ඕනෑවට වඩා ජනාකීර්ණ ප්‍රදේශයක ගැවසෙන්න වුණාම ඒ ඒ පළාත්වලින් මොන මොන ලෙඩ රෝග බෝ වෙයිද කියන සිතුවිල්ල ඇතිවෙන එක කාටත් පොදුයි. මේ නිසා අපි හැමකෙනෙක්ම එවැනි ජනාකීර්ණ ප්‍රදේශවල ගැවසෙන කාලය පුලුවන් තරම් අඩු කරගන්න කැමති වුණත් අපත් නොදැනිම අප වඩාත් ජනාකීර්ණ පරිසරයක ගැවසෙමින් සිටින විට ඒ ගැන සතුටට පත්වෙන ඇතැම් රෝගකාරකයන් තිබෙනවා. පිරිසුදු වාතය සම්බන්ධයෙන් අපි හැමකෙනෙක්ම උනන්දු වෙන්නේ වාතය හරහා බොහෝ රෝග බීජ අපේ සිරුර ආක්‍රමණය කරන්නට කටයුතු කරන බවට අප තුළ තිබෙන ආකල්පය නිසාමයි. එහිදී ඔබ වැරදි යැයි පවසන්නට කිසිවෙකුටත් නොහැකියි. ඒ සැබවින්ම අප අද කතාකරන මෙම රෝගකාරකයත් අපව ආක්‍රමණය කරන්නේ අප හුස්ම ගන්න වාතය හා එක්ව නිසායි. කොහොම වුණත් අපි මේ ඉන්නේ කිසියම් රෝගකාරකයක් ගැවසෙන වාතය සහිත වටපිටාවක කියලා ස්ථිර වශයෙන්ම කළින් අඳුනගන්න අවස්ථාවකුත් අපට නැහැ. මේ නිසා අනාරක්ෂිත වටපිටාවක් බව තීරණය කරන්න වෙන්නෙ අනුමානයෙන්. එහෙම නැතත් ඔබට මෙහෙම අනතුරු ඇඟවීමක් කළ හැකියි. ඒ ඔබ වඩාත් ජනාකීර්ණ වටපිටාවක වැඩි පුර ගැවසෙන අයෙක් නම් ඔබට යම් යම් බෝවන රෝගවලින් තර්ජනයක් ඇතිවෙන්න පුලුවන් බවයි. විශේෂයෙන් ලාදුරු රෝග බීජය කියන්නෙ මේ වගේ එකක්. ඒ නිසා මේ ගැන අද සෞඛ්‍ය පිටුවෙන් ඔබව දැනුම්වත් කරන්නට අපි අද ඉඩක් වෙන් කළා.
'ලාදුරු' මේ කියන රෝගය දැන් නැහැ කියලා බොහෝ දෙනෙක් සිතා සිටියත් ලාදුරු අපේ රටෙන් මුලුමණින්ම තුරන් වී නැහැ. ඇත්තෙන්ම මේ මෙහොතේත් ඔබ ලාදුරු රෝගය ඇතිකරන බැක්ටීරියාවට නිරාවරණය වෙන අවධානම දරන බව නම් අමතක කරන්න එපා. ඒ වගේම ලාදුරු ගැන ඕනවට වඩා බය වෙන්නත් එපා .එසේ යම් අයුරකින් ඔබ ලාදුරු රෝග බීජයට නිරාවරණය වී ඇති බව පෙන්වන රෝග ලක්ෂණයකින් පෙළෙනවා නම් , ඒ ගැන එක්වරම සසල වෙන්නටත් එපා. කිසිම විකෘති වීමක් හානියක් ඇතිනොවෙන පරිද්දෙන් වගේම තවත් අයට බෝකිරීමෙන් වැළකෙමින් එයින් සුවය ලබන්නට හැකි බහුවිධ ප්‍රතිකාර ක්‍රමයක් ලාදුරු රෝගය වෙනුවෙන් දැන් අපේ රටේ පවතිනවා. අවශ්‍ය වෙන්නේ කළට වේලාවට ඔබ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම පමණයි.
ලාදුරු යනු ඇඟිලි කුණු වී හැලී යන දෙපා විකෘති වී දියවී යන රෝගයක් වශයෙන් කළකට පෙර මේ රෝගය සම්බන්ධයෙන් මිනිසුන් සිතා සිටි බව ඇත්ත. එවන් මතයක් ගොඩනැගෙන්නට සැබවින්ම හේතු වුණේ, මෙම රෝගය සමට සහ පර්යන්ත ස්නායු පද්ධතියට හානි පමුණුවන නිසා රෝගයේ උත්සන්න අවස්ථාවේ ඇඟිලි ආදිය තරමක විකෘති පෙනුමකට ලක්වන නිසයි. නමුත් කිසිවිටක ඒවා කුණු වී හැලී යන තත්ත්වයක් ඇතියි සිතමින් ප්‍රතිකාර මගහැරිය යුතු නැහැ. දැන් පවතින අතිසාර්ථක බහුවිධ ප්‍රතිකාරයන් නිසා ලාදුරු කිසිම විකෘතියක් ඇතිනොකරන පරිද්දෙන් නිට්ටාවටම සුවකළ හැකි රෝගයක් බවට තහවුරු වී පවතිනවා. රෝගය බෝවෙන්නේ කොහොමද කියන එක ගැන අපි පළමුව කතාකර සිටිමු. මේ රෝගය ඔබට ගෙන එන්නේත් අපේ පරිසරයේ පවතින බැක්ටීරියාවක්. පරිසරයේ පවතින බැක්ටීරියාවක් යැයි කීවත් මෙය මිනිසාගෙන් මිනිසාට බෝවන බැක්ටීරියාවක්. මිනිසාගෙන් මිනිසාට බෝවෙන්නේ කෙසේදැයි විමසා බැලුවහොත් ඒ,බෝවන ගණයේ ලාදුරු බැක්ටීරියාවන් සහිත කෙනෙක් හයියෙන් කතාකිරීම, කිවිසීම හඬ නගා සිනාසීම,කැස්ස යන අවස්ථාවකදී වාතය වෙත නිකුත් කරන අදාල පුද්ගලයාගේ කෙළ බිඳිති වාතය හා මුසුවී නිරෝගී පුද්ගලයාගේ ආශ්වාස වාතය හා ශරීරගතවීමෙන්. නමුත් මෙම කාරිය අප සිතන ආකාරයට අද බැක්ටීරියාවට නිරාවරණය වී හෙට රෝග ලක්ෂණ මතුකරවන්නක් නම් නෙවෙයි. සමහර විට අද ඔබේ ශරීරයට එසේ එක්වන බිඳිතිවලින් ඔබට ලාදුරු රෝගය මතුකරවන්නේ නම් , එහි බීජෞෂණ සමය නැතිනම් රෝගබීජ ක්‍රියාත්මකවීමට ගතවන කාලය , කෙටි කාලයක සිට අවුරුදු තුන සිට පහ දක්වා මෙන්ම අවුරුදු දහය සිට පහළොව දක්වා වැනි කාලයක් වුවත් වීමට ඉඩ තිබෙනවා. මේ නිසා මේ ගැන අවදානමක් අපට ඇතිවෙමින් පවතින්නේද යන්න පිළිබඳ පූර්ව අවධානය යොමුකරවන්නට අපට ඇති එකම මග සැලසී ඇත්තේ අපේ සමේ මතුවන ලක්ෂණවලින් . නමුත් සමේ මතුවන මේ ලකුණු ඇතැම්විට ඔබ විසින්ම වරදවා වටහාගෙන නොසැලකිලිමත්ව පසුවෙන්නට ඉඩ තිබෙනවා. පිටේ මතුවන මෙවැනි ලප ඇතැම්විට නොදකින්නට ඉඩ ඇතත් දුටුවන් එය පැවසූවිට හෝ ඒවා අලුහම්ද නැතිනම් වෙනයම් ලපද යන්න සොයාබලමින් කාලය නොගෙවා වහාම චර්ම රෝග සායනයක් වෙත ගොස් පරීක්ෂා කරවා ගන්න. අලුහම් වුවත් එයද සමේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එය සම මත වැවෙන දිලීර රෝගයක්. අනෙක් කාරණය නම් මෙය මුලු සිරුරේ සම පුරාම පැතිර යා හැකියි. එසේම මෙවැනි අලුහම් ලප දහඩිය දමන අවස්ථාවලදී සම මත කැසීමක් මතුකරන්නට හැකියි. එවැනි ලප සීරූ වීට සුදු පැහැති සියුම් කුඩු ආකාරයට ගැලවී යන සම් කොටස් දැකිය හැකියි. එහෙයින් එයද චර්ම රෝග ප්‍රතිකාර ලැබිය යුතු අවස්ථාවකි. හිතුමතයට ගල්වන ආලේප වර්ග නිසා සම දැවී රලු වී කලු පැහැ ගැන්වි හානි පැමිණවීමට පුලුවන්. මේ නිසා වඩාත් සුදුසුවන්නේ මේවා ගැන තවත් හොඳින් පරීක්ෂාකරවා ගෙන ප්‍රතිකාර පැතීමයි. ලාදුරු ලප සමේ පැහැයට වඩා මදක් ලා පැහැයක් දරන එමෙන්ම මදක් ඉළිප්පුන ස්වභාවයක් ඇති ලප විශේෂයකි. ඒවා තරමක ඝනැති බවක්ද දකින්නට හැකියි. විශේෂම ලක්ෂණය වන්නේ මේ ලප මත කිසියම් ආකාරයකින් තියුණු උල් සහිත උපකරණයකින් මද පීඩනයක් දුන් විට කිසිම ආකාරයක දැනීමක් වේදනාවක් ඇති නොවීමය. මෙවන් දැනීම් රහිත ලප බොහෝවිට ලාදුරු රෝගයේ ලක්ෂණයන්වීමට ඉඩ තිබේ.
ලාදුරු රෝගයේ රෝගබීජ ශරීරගත වූ සැණින්ම රෝග ලක්ෂණ මතුනොකරන්නා සේම රෝගබීජ ශරීරගත වූ හැමෝටම රෝග ලක්ෂණ මතුවීමක් නැත. නමුත් සාමාන්‍යයෙන් සෑම වසරකම අලුතින් ලාදුරු රෝගයට ගොදුරු වූ රෝගීන් 2000 ක් පමණ හමුවන අතර එයින් සියයට 41 ක්ම බස්නාහිර පළාතින් රෝගයට ගොදුරු වූවන් ලෙස වාර්ථා වෙයි. එයිනුත් බෝවන වර්ගයේ ලාදුරු රෝගීන් 48%කි .මේ නිසා ගමෙන් නගරයට පැමිණ ජනාකීර්ණ පරිසරයක ගැවසෙමින් රැකියාකරන ඉගෙනගන්න තරුණ ඔබ මෙවන් නිහඬ බැක්ටීරියා ආශ්රිත රෝගයන් පිළිබඳව වඩාත් දැනුම්වත්ව සිටින්නට උත්සහ දරන්න.මේ රෝගයත් සමග විකෘතිතා මතුවන්නේ යැයි ඔබ අසා ඇති කතාවට බිය නොවී වහාම ප්‍රතිකාර වෙත යොමුවෙන්න .එයින් කිසිම ආකාරයක විකෘතිතාවයක් නොමැතිව ඔබට රෝගය මුලුමණින්ම සුවකරගැනීමට පුලුවන.
ලාදුරු රෝගය අවුරුදු පහළොවට අඩු දරුවන්ටද බලපෑම් එල්ලකර තිබුණු අතර මේ වයස්වල දරුවන් ඒතරම් තම සමේ ඇතිවන වෙනස්කම් පිළිබඳව සොයා නොබලන්නට හැකිය. එවන් අවස්ථාවල ඔවුන්ගේ සිරුරේ ඇතිවන ලපවල වගකීම අලුහම් යන තත්ත්වයට නොපවරා වැඩිහිටියන් විසින් මේ දරුවන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කළ යුතුය. ජනගහණයෙන් ලක්ෂයකට ලාදුරු රෝගීන් දස දෙනෙකු සිටිතැයි අනුමාන පවතින බැවින් ඔබ ඒ පිළිබඳව සීරුවෙන් සිටින්න. මෙය හඳුනාගන්නට ඔබට තවත් ලක්ෂණ කීපයක් පිළිබඳව අපි ඔබේ අවධානය යොමුකරමු. මෙවැන්නන්ගේ ඇහි බැම ඇතැම්විට අඩුවී යන බවක් දැකිය හැකියි. එමෙන්ම සම රළු බවක්ද පෙනෙන්නට පුලුවන. නාසයේ අවහිරවීමක් ඇතිවී නාසයෙන් කතාකරන ස්වරයක් ඇතිවෙන්නටද පුලුවන. නාසයෙන් ලේ ගලන්නට අතේ නිතර තුවාල ඇතිවෙන්නට අතපය හිරිවැටීම් නිසා ඒ තුවාල ඇති වූ බවක් නොදැන සිටින්නට හැකිය.ස්නායු වලට හානිකරන තුරු ඔබ ප්‍රතිකාර ප්‍රමාද කළහොත් ස්නායුවට හානි පැමිණවීමෙන් ඇතිවෙන විකෘති තා නැවත ප්‍රකෘති කරන්නට ප්‍රතිකාර මගින් හැකියාවක් නොවුණත් ස්නායුවට බලපෑම් කරන්නට කළියෙන් ප්‍රතිකාර ආරම්භ කළහොත් කිසිම විකෘතිතාවයක් ඇති නොවන පරිද්දෙන් හා ස්නායුව විනාශවිමෙන් වළකන පරිද්දෙන් රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. ළඟම රජයේ රෝහලේ සමේ රෝග සායනයට, ජාතික රෝහලේ භාහිර රෝගී අංශයට, වහාම ගොස් ඔබේ සැකය දුරුකරගන්න. ප්‍රතිකාර ගත් සැනින් ඔබේ ශරීරය තුළ පවතින බැක්ටිරියාව විනාශවීම ආරම්භ කළත් තවත් ටික කාලයක් සම මත ඇති වූ පැල්ලම පවතින්නට හැකියි. නමුත් කලබල වෙන්නට එපා නිසි ප්‍රතිකාර ගැනීමෙන් පැල්ලම් මැකී යන බව අසත්‍යයක් නොවෙයි.
යම් අයුරකින් දරුවෙක්ගේ සම මත මෙවැනි පැල්ලමක් මතුව ඇත්නම් එය දෙමවුපියන් විසින් සොයා බලා ප්‍රතිකාර වෙත යොමු කළ යුතුයි. එසේ නැතිනම් කිසියම් වැඩිහිටියෙකුගේ ශරීරයේ පැල්ලම් මතුව තිබේ නම් එය යම් අයුරකින් ලාදුරු රෝගීයෙකු පිළිබඳ ඉඟියක් නම් එම පුද්ගලයා අසල ගැවසෙන්නන්ද,කුඩා දරුවන්ද ලාදුරු රෝගයට ගොදුරු විය හැකිය. සිරුරේ පැල්ලම් පහකට අඩු ප්‍රමාණයක් පවතී නම් මාසහයක ප්‍රතිකාර මගින්ද පැල්ලම් පහකට වඩා පවතින්නේ නම් වසරක ප්‍රතිකාර මගින්ද ලාදුරු නිට්ටාවට සුව කළ හැකිය එමෙන්ම මෙම ප්‍රතිකාර ලබාගැන්ම ආරම්භ කළ දා සිට දින තුනක ඇවෑමෙන් මෙම රෝගීන්ගෙන් අන් අයට රෝගය පැතිරෙන්නේ නැති බවද මතක තබාගන්න. ලාදුරු නිට්ටාවට සුවකරගන්නට සැක සහිත රෝග ලක්ෂණ දුටු වහාම චර්ම රෝග සායනයක පරීක්ෂාවට ලක්වී වහාම ප්‍රතිකාර වෙත යොමුවෙන්න