වතුර හෙවත් ජලය යනු හයිඩ්රජන් සහ ඔක්සිජන් (H2O) යන්නෙන් සමන්විත, ජීවයෙහි සියලු ආකාර පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූ රසායනිකයකි. සාමාන්‍ය වහරේදී වතුර යනුවෙන් අදහස් කරන්නේ එහි ද්‍රව ආකාරය පමණක් වුවද, මේ සඳහා ඝන (අයිස්) අවස්ථාවක් මෙන්ම, වායුමය (ජල වාෂ්ප හෝ හුමාලය) අවස්ථාවක්ද පවතී. පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි.
ලෝකයේ බොහෝ රටවලට මේ පිරිසුදු පානීය ජලය නොමැති වටපිටාවක, ඒ පිරිසුදු පානීය ජලය බොහෝකොට තවමත් සපයාගත හැකි ශ්‍රී ලාංකේය ජනතාවට, පිරිසුදු පානීය ජලයෙන් අපේ නිරෝගී යහපැවැත්මට ලැබෙන වාසිය තවමත් හරිහැටි අවබෝධ වී නැතුවා සේය. අපට වැළඳෙන ලෙඩරෝග රැසකට හේතුව නිසි අයුරින් පිරිසුදු පානීය ජලය පානය නොකිරීම බව බොහෝ දෙනෙකු තවමත් අවබෝධ කරගෙන නැතුවා සේය. අප බොහෝ දෙනෙකු තුළ පවතින මේ අනවබෝධය හේතුවෙන්ම, පිරිසුදු පානීය ජලය නිසි අයුරින් පානය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් සැකෙවින් මෙම කරුණු කිහිපය ඔබ හමුවෙහි තැබීමට අපි අදහස් කළෙමු.
අපගේ නිරෝගීබව පවත්වා ගැනීමට පෝෂ්‍යදායී ආහාර වේලක් සේම, ජලය අත්‍යවශ්‍ය සාධකයක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකු නම්, ඔහු හෝ ඇය දිනකට වතුර වීදුරු 08ක් වත් පානය කිරීම අප ශරීරයට අත්‍යවශ්‍ය වන සාධයකයකි.
නමුත්, මේ ආකාරයෙන් දිනකට වතුරු වීදුරු 08ක් වත් පානය කළ යුතු යැයි කියා, එක්වරම වතුර බෝතල් ගණනින් පානය කිරීමද වැරදි ක්‍රියාවකි. එසේ එක්වර ජලය පානය කිරීමට යාමෙන් විවිධ සංකූලතා මතුවිය හැකිය.
ඒ නිසා, අප නිවැරදිව ජලය පානය කළ යුතු වන්නේ මේ ආකාරයෙනි. එනම්,
සෑම පැය 1/2 කට වරක් වතුර අඬු කෝප්ප 01ක් වත් පානය කිරීමට හැකි නම්, එය අපේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යහපත්ය. නිවසේ රැඳී සිටින්නෙකු වුවද, රැකියාවක නිරත වන්නෙකු වුවද, මේ ආකාරයෙන් ජලය පානය කිරීමට හැකි නම්, අපගේ ශරීරය සඳහා දිනකට අවශ්‍ය වතුර ප්‍රමාණය අපටත් නොදැනීම අප ශරීරය වෙත ලැබෙන බව නොරහසකි.
මේ ආකාරයට අපට දෛනිකව අවශ්‍ය ජලය ප්‍රමාණය අපටත් නොදැනීම ලබාගන්නේ කෙසේද කියා විමසා බැලීමේදී, ඇතැම් දෙනා නිතර ජලය පානය කිරීමට මැළිකමක් දක්වන හේතුවක්ද මෙහිලා සඳහන් කිරීම වටී. එනම්, නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවන බව පවසමින් ජලය පානය කිරීමේ හොඳ පුරුද්ද බොහෝදෙනෙකු විසින් අතපසු කරනු ලබන බව පැවසිය යුතුය.
එහිදී, අප කලින් සඳහන් කළ ආකාරයටම සෑම පැය 1/2 කට වරක් වතුර අඬු කෝප්ප 01ක තරම් ප්‍රමාණයක් පානය කිරීමෙන් ඔබට අනවශ්‍ය අපහසුතා ඇති නොවන අතර, එය ඔබගේ ශරීරයටද පහසුවක් වන බව සඳහන් කළ යුතුය. සැබවින්ම ඔබට අද සිටම මෙම ක්‍රමය අත්හදා බලමින් සුබදායී ප්‍රතිඵල අත්විඳිය හැකි බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
එමෙන්ම, අප ජලය පානය කිරීමේදී සිදුකරන තවත් වැරදි ක්‍රියාවක් මෙහිලා සඳහන් කරන්නෙමු. එනම්, අප ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට පුරුදුව සිටීමයි. මෙසේ ආහාර ගන්නා අතරතුරදී ජලය පානය කිරීමට යමෙකු පුරුදුව සිටින්නේ නම්, ආහාරය දරවීමට ආමාශයෙහි ශ්‍රාවය වන ආමාශයික යුෂය තනුක වීමෙන් ආහාර දිරවීමේ ගැටලු ඔහුට හෝ ඇයට මතුවිය හැකිය. එසේම, ආහාර ගෙන අවසන් වූ පසුවත් ජලය වීදුරු ගණන් පානය කිරීමද අපේ ශරීරයට යහපතක් ගෙන දෙන්නක් නොවන බව මෙහිලා සිහිපත් කළ යුතුය.
එහිදී, යමෙකු ආහාර ගැනීමට පැය 1/2 කටවත් පෙර වතුර අඬු කෝප්ප 01ක් සහ ආහාර ගැනීම අවසන් වූ පසුව වතුර අඬු කෝප්ප 1/4 ක් පමණ පානය කිරීම ජලය පානය කිරීමේ වඩාත් යෝග්‍ය ක්‍රමය බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
ඔබ උදෑසනින් අවදි වූ වහාම හිස් බඩ නිවුණු ජලය වීදුරුවක් පානය කිරීමට පුරුදුව සිටීමද ඉතාම වැදගත් ක්‍රියාවකි. එහිදී, හිස් බඩ ජලය පානය කර පැය 1/2 ක් පමණ යනතෙක් වෙනත් පාන වර්ගයක් හෝ ආහාරයක් නොගැනීමට ඔබ වගබලා ගත යුතුය.
ඒ වගේම, ඔබ තරමක් ස්ථුල පුද්ගලයෙකු නම් උදෑසන අවදි වූ වහාම මඳක් උණුසුම් ජලය වීදුරුවකට දෙහි බිංදු 3 - 4 ක් හෝ මී පැණි තේ හැඳි 1/2 - 1 ක් පමණ දමා පානය කිරීම ඔබේ ස්ථුලභාවය මට්ටු කිරීමට උපකාරී වන බවද සිහිපත් කළ යුතුය.
අප ගෞතම බුදුරජාණන් වහන්සේ පවා තමන් වහන්සේගේ දෛනික දින චර්යාව ආරම්භ කිරීමට පෙර අවදි වූ වහාම සිසිල් පැන් පානය කළ බව ඔබ නොදන්නවා විය හැකිය. උදෑසන අවදි වූ වහාම වතුර පානය කිරීමේ හොඳ පුරුද්දක් ඔබට නැතිනම් අඩුම තරමින් හැදෙන වැඩෙන ඔබේ දරුවන්ටවත් මේ පුරුද්ද ඇති කරවීමට ඔබ වගබලා ගත යුතුය. මන්දයත්, දරුවන්ගේ දින චර්යාව ක්‍රමවත්ව සකසා ගැනීමට මෙය මහෝපකාරී වන බැවිනි. ජලය පානය ඒ තරම්ම අපේ ශරීර සෞඛ්‍යයට අතිශය වැදගත් බව ඔබ වටහාගත යුතුය.
ඔබ දන්නවාද?
ඔබේ මොළයෙන් 90% ක් ජලය ඇත.
ඔබේ අස්ථිවලින් 22% ක් ජලය ඇත.
ඔබේ මාංශපේශීවලින් 75% ක් ජලය ඇත.
එනම්, ඔබේ ශරීර බරින් 75% ක් පමණ ඇත්තේ ජලයයි.
යම් පුද්ගලයෙකු තමාට අවශ්‍ය ජලය ප්‍රමාණය නිවැරදිව ගැනීම තුළින් වත්මන් සමාජයේ අතොරක් නැතිව සෑදෙන බොහෝ ලෙඩ රෝගවලින් මිදීමට අවස්ථාව පවතින බව අපි මෙම ලිපියෙහි ආරම්භයේදීම සඳහන් කළෙමු. බොහෝ ප්‍රදේශයන්හි පිරිසුදු පානීය ජලය තවමත් පහසුවෙන් සපයාගත හැකි ශ්‍රී ලංකාව වැනි රටක ජීවත් වන අප, එසේ ලැබෙන පිරිසුදු පානීය ජලය පානය නොකර, පැණිබීම හා විවිධ කෘත්‍රිම බීම වර්ගවලට අප දරුවන් පවා හුරුකරවීම රටම රෝගී කරවා, වේදනාකාරී මරණයක් දක්වා තම ආයු කාලය කෙටි කරගන්නා තත්ත්වයක් බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
ඒ නිසා, නිසිලෙස ජලය පානය කිරීමෙන් ඔබට වැළඳෙන බොහෝ රෝගාබාධවලට සමුදීමට අවස්ථාව පවතී. එනම්, මූලිකවම ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගවලින් වැළකී සිටීමට ඔබට හැකිය. මලබද්ධය, අර්ශස්, ග්‍රහණි, ගෑස්ටයිට්‍රිස් (අම්ලපිත්ත) මෙහිදී විශේෂ වෙයි.
එමෙන්ම, හිස ආශ්‍රිතව අතිවන රෝග - ඉරුවාරදය, කොඳු ඇට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග, විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව ඇතිවන රෝග වළක්වාගත හැකිය. මීට අමතරව, අස්ථි සම්බන්ධ රෝග (වාතකන්ටිකා) - උදෑසන නැගිටින විට විලුඹ බිම තැබීමට ඇති අපහසුතාව වළක්වාගත හැකි අතර, ශරීරයේ ඇති අනවශ්‍ය මේදය හා කොලොස්ටරෝල් ඉවතට ගමන් කිරීමද සිදුවෙයි.
එසේම, සමහර රෝග සඳහා ජලය ඖෂධයක් ලෙසද භාවිත වන බවද සඳහන් කළ යුතුය. එමෙන්ම, වකුගඩු ආශ්රිත රෝග - මුත්‍රා ගල් ඇතිවීමද නිසි අයුරින් පිරිසුදු ජලය පානය කිරීමෙන් වළක්වාගත හැකිය.
ජලය පානය කිරීමෙන් අප ශරීරයේ සෛල අලුත්වැඩියා කිරීම මගින් සමේ නිරෝගීභාවය හා නම්‍යශීලීතාව රැකදෙන බවද බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි. සම ලස්සන වීමද ජලය පානය කිරීමෙන් ලැබෙන වාසියකි. එනම්, ජලය නිසි ලෙස පානය කිරීමෙන් ඔබගේ සම නිරෝගී වීම හා පැහැපත් වීම, සෛල නිතර අලුත්වැඩියා කිරීම මගින් ඔබ වයසට යෑමේ වේගයද අඩුවන බව සිහියේ තබාගත යුතුය.
එමෙන්ම, ජලය පානය කිරීමෙන් මතක තබාගැනීමේ ශක්තිය හා සිතීමේ ශක්තිය වර්ධනය වන අතර, මේ තත්ත්වය හැදෙන වැඩෙන දුවා දරුවන්ට අතිශය වැදගත් වූවක් බව නොරහසකි.
දැනුම්වත්ව හෝ නොදැනුවත්ව වර්තමානයේදී දෙමවුපියන් තම කුඩා දරුවන්ට නිරන්තරයෙන් ලබාදෙන්නේ වසවිෂ සහිත ආහාර පාන වර්ගයි. මෙවැනි තත්ත්වයක ඔවුන් වෙත වැඩිපුර ජලය පානය කිරීමට ඉඩ සැලැස්වීමෙන් ඔවුන්ගේ ශරීරයේ ඇති විෂ ගතිය මූත්‍ර සමග පෙරී යාමට උපකාරී වන බවද මෙහිලා සඳහන් කළ යුතුය.
ඔබ වෙළෙඳ සැලෙන් ලබාගන්නා පැණිබීම බෝතලයකට වඩා ඔබ පානය කරන කුරුම්බා ගෙඩියක ඇති වතුරවල මෙවැනි ගුණ ඇති බව ඔබ නොදන්නවා විය හැකිය.
කුරුම්බා වතුර හෘදයට හිතකර වන අතර, බඩගින්න වැඩි කරයි (අග්නිදීපක), මලබද්ධය වළක්වයි (වස්ථි ශෝදන), ශරීරය පෝෂණය කරයි, පිත කඵ නාශනය කරයි. එමෙන්ම, දාහය, අතීසාරය, කරකැවිල්ල, විෂජ රෝග, පිපාසය, වමනය නැති කරයි. (සුශුත සංහිතාව)
පිරිසුදු ජලය වීදුරුවක් පානය කර දැනට සමාජයේ බහුලව පවතින රෝගවලින් 50%ක් පමණ වළක්වාගත හැකි අතර, ඔබගේ ආර්ථිකයටද එය විශාල යහපතක් වනු ඇති බව මෙහිලා සඳහන් කිරීමට කැමැත්තෙමු. ඒ අනුව, මෙවැනි ඉතාමත් යහපත් තත්ත්වයක් ඔබේ ජීවිතයට ඇති කරදෙන ජලය, ඔබ අප වැඩි දෙනෙකුට තවමත් නොමිලයේම හෝ ඉතා පහසුවෙන් ලබාගත හැකි පරිසරයක, ඔබ තවදුරටත් ඒ පිරිසුදු පානීය ජලය දෛනිකව නිසි අයුරින් පානය කිරීමට අපොහොසත් නොවනු ඇති බව අපේ ඒකායන විශ්වාසයයි.