අද යකඩ යැයි කියූ විට ඔබට එක්වරම සිහිපත් වනුයේ යකඩ නම් වූ ලෝහය විය හැකිය. නමුත් මේ කතාබහ නම් ඒ යකඩ ගැන නොවේ. අපේ සිරුරට අත්‍යවශ්‍ය නමුත් මේ වන විට එතරම් තැකීමක් ඇතිව ලබා නොගන්නා පෝෂකයක් වූ යකඩ නැතිනම් අයන් පිළිබඳවය. බොහෝ දෙනෙකු ආහාර අවශ්‍ය යැයි සලකන්නේ කුසගින්න නිවීමට මිස ශරීරයේ පැවැත්ම උදෙසා නොවේ. අතට අසුවන යමකින් කුසගින්න නිවාගන්නට පෙළඹෙන බොහෝදෙනෙකුට පෝෂණය සම්බන්ධයෙන් අවධානයක් දක්වන්නට මතක් වෙන්නේ කිසියම් රෝගී තත්ත්වයකට මුහුණ දුන්පසුව විය හැකිය. නමුත් යමෙකුට පෝෂණය අවශ්‍ය වෙන්නේ කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් රෝහල් ගත වූ විට පමණක් නොවේ. මෙවර අපි අද සෞඛ්‍ය පිටුවේ විශේෂ අවධානයට බඳුන් කරනුයේ එම කාරණයයි.
අද බොහෝදෙනෙකු ,පෝෂ්‍යදායක ආහාර යනු කුමක්දැයි සොයන්නට කාලය කැප නොකර අධික මේදය සහිත කෙටි කෑම වර්ග මෙන්ම ප්‍රයිඩ් රයිස් යනුවෙන් හඳුන්වන තෙලින් තෙම්පරාදු කරන ලද බත් ආහාරයට ගැනීම විලාසිතාවක් බවට පත්කරගෙන තිබේ. නමුත් මේවායින් සිරුරට ලැබෙනුයේ කිනම් පෝෂණයක්ද යන්න සෙවීමට උනන්දු නොවෙන්නේ කුසගින්න නිවුනු පසු එයින් එහා ඒ සම්බන්ධයෙන් සිතන්නට කාලයක් වෙන් නොකරන බැවිණි. සමහරු තුන් වේලටම බත් කන්නට පුරුදුව සිටින බව පැවසුවත් ඒ තුන්වේල තුළ ආහාරයට ගත් දේ සමබල ආහාර වේලක අවශ්‍යතාවය පිරිමැහුවාද යන්න තැකීමක් නොකරෙයි. බොහෝ විට පරිප්පු පොල් සම්බල වැනි යමක් සමග උදෑසන බත් වේලක් ආහාරයට ගන්නා අය. නැවත දිවා ආහාරයටත් එක් එළවළුවක් හෝ මාළුවක් යොදාගනිමින් උදය ආහාරවේලෙන් දිවා ආහාර වේලට වෙනසක් ඇතිකරගන්නා අතර රාත්‍රි ආහාරයටද බත් සමග එක් එළවළුවක් හෝ දෙකක් නැතිනම් පාන් වැනි යමක් ආහාරයට ගන්නට හුරු පුරුදුව සිටී. මෙසේ කළක් වැරදි ආහාර පුරුදු හා ජීවත්වන්නන් විවිධ පෝෂණ ඌණතාවයන් මෙන්ම ඒවා පදනම් කොට ගත් රෝගාබාධයන්ට මෙන්ම විවිධ බෝ නොවන රෝගවලටද ගොදුරු වෙන බව නොරහසකි.
නමුත් අපටම ආවේණික වූ ආහාර රටාවක් පැරැන්නන් අතර වූ බව සත්‍යයකි. උදෑසන ආහාරවේලට කිසියම් ධාන්‍යවර්ගයක් හෝ කුරහන් ආදියෙන් සකස් කළ තලප හාල්මැස්සන් හෝ වෙල් මාලු වැනි හොද්දක් සමග ගන්නට පුරුදුව සිටි ඔවුන් තේ කෝප්පය වෙනුවටද කොළ කැඳ කෝප්පයක් බොන්නට හුරු පුරුදුව සිටියහ එයින් ඔවුන්ගේ උදෑසන ආහාරවේල රජෙකු මෙන් ගන්නට හැකියාවක් ඔවුනට වූයේ පෝෂණය එතරම්ම උසස් තලයක තිබුණු බැවිණි. දිවා ආහාරය ලෙසත් ඔවුන් ඒකාකාරී ආහාර රටාවක් නොව විවිධත්වයෙන් යුතු ආහාර ගන්නට හුරු පුරුදුව සිටි අතර ඒවා බොහෝ විට තම ගෙවත්තෙන් කොරටුවෙන් නෙලා ගත් එළවලු හෝ පලාවර්ග වූ අතර වෙල් මාලු ආදිය කරවල මේ ආහාර වේල් අතරට එක්ව තිබිණි.නමුත් අද එය දිනකට කුමන හෝ එළවලු වර්ගයක් දෙකක් වන තැනට පත්ව ඇති අතර පලතුරු පරිභෝජනයෙන් බොහෝ ඈත්ය. මේ නිසා මෙකළ බොහෝ දෙනෙකු පෝෂණ අෟණතාවයන්ට මුහුණ දී සිටියි.
සැබවින්ම මෙසේ පෝෂණ ඌණතාවයන් වෙත ගොදුරුවෙන්නේ අප රටේ අය පමණක් නොවේ මෙය ලොව පුරාම පවතින ගැටලුවකි. කෙසේ වෙතත් පෝෂණය යනුවෙන් හඳුන්වන්නේ පුළුල් පරාසයකට දිවෙන විෂයක් වුවත් අප එයින් අද යකඩ සම්බන්ධයෙන් පවතින තත්ත්වය විමසා බලමු.
යකඩ, අපේ පෝෂණයට ඉතාම අවශ්‍ය සංඝටකයක්. අපි යකඩ ඌණතාවය ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් වශයෙන් මේවන විට හඳුනාගෙන ඇති තත්ත්වයක්. එමෙන්ම යකඩ ඌණතාවය ලොව පුරාම ඉතා බැරෑරුම් ප්රශ්නයක්ව පවතින්නක් වන අතර විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවල වඩාත් බහුල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබෙන්නක්. බොහෝවිට අප නීරක්තිය නැති නම් රක්තහීනතාවය රෝගයක් ලෙස සැලකුවත් එයට පදනම යකඩ ඌණතාවය බව එතරම් සිතන්නේ නැතිවීම ගැටලුවකි. සැබවින්ම යකඩ අපට අවශ්‍යද ඒ කුමක් සඳහාද යන්න අප දැනුම්වත්ව සිටිය යුතු කරුණකි. ආහාර මගින් අප ගන්නා යකඩ ප්‍රමාණය අවශෝෂණය වී එය රුධිරට එක්වීමෙන් පසුව එයට රතු පැහැය ලැබෙන රතු රුධිරානුවල අඩංගු හිමෝග්ලොබීන් ප්‍රමාණවත්ව තබා ගැනීමට දායක වෙයි පසුව පසුව හිමොග්ලොබීන්වලින් පොහොසත් එම රුධිරය ශරීරයේ පැවැත්මට අවශ්‍ය නොයෙක් අවයව කරා ගමන් කරනු ඇත. එයින් වඩාත් විශේෂත්වයක් ගනු ලබන්නේ පෙණහලු සිට ශරිරයේ පටක වෙත ප්‍රමාණවත්ව ගෙන යෑමට අවශ්‍ය හිමෝග්ලොබීන් මෙම යකඩ නිසා ප්‍රමාණවත්ව පවතින බැවිණි. යම් ආකාරයකින් යකඩ අඩුවුවහොත් රුධිරයේ පවතින හිමෝග්ලොබීන් ප්‍රමාණය අඩුවෙයි. එවන් අවස්ථාවකදී යම් පුද්ගලයෙකු නීරක්තියට පත් වූවෙකු යන්න තීරණය කෙරෙයි. දැන් අප මෙසේ නීරක්තියට ලක්වීම සම්බන්ධයෙන් මෙතරම් කලබල විය යුත්තේ ඇයිද යන්න විමසා බලමු. ? මෙකී ඌණතාවය මොළය , ස්නායු පද්ධතිය, ඇට මිදුළු, පේශීන් වැනි ශරීරයේ එදිනෙදා ක්‍රියාවලියට බලපාන විශේෂිත කොටස්වලට බාධා පමුණුවයි. නමුත් හානිය මෙතැකින් නිමවන්නේ යැයි පැවසිය නොහැකිය. අක්මාවේ නොයෙකුත් දුෂ්කරතාවලටද, මෙය බලපානු ලබන අතරම මෙය ඉතාම භයානක තත්ත්වයක් ලෙස හඳුනාගත හැකි වන්නේ යොවුන් වයසේ පසුවන තරුණියන් ගැබිනියන් බවට පත්වීමේදීය. අවසාන ප්‍රති ඵලය වෙන්නේ එවන් තැනැත්තියක් විසින් උපත ලබාදෙන බිළිඳා දක්වා මෙම යකඩ ඌණතාවයට ගොදුරුවීමේ ඉඩ කඩ සලසන බැවිණි. අප යකඩ සිරුරට අත්‍යවශ්‍යම පෝෂකයක් ලෙස සැලකීමට හා එම ඌණතාවයන් මගහැර ගැනීමට වෙහෙස ගත යුත්තේ එවැනි ඌණතා අපට මහත් හානි ඇතිකිරීමේ අවදානමක් ඇතිබැවිණි.
අප කවුරුත් එතරම් අවධානයක් නොදැක්වුවත් අපේ සිරුරින් යකඩ ඉවත්ව යන අවස්ථාද තිබෙයි. මෙසේ ඉවත්ව යන අවස්ථා හඳුනාගෙන එම ඉවත්ව යන ප්‍රමාණයට ද සරිලන පරිද්දෙන් යකඩ සහිත ආහාර ලබාගැනීමට උනන්දුවෙන්නේ නමි එයින් ඇතිවන හානිය අවම කර ගත හැකිය.
එසේ යකඩ ශරීරයෙන් බැහැරවන අවස්ථා ලෙස සෛල බිඳීම්, කාන්තාවන්ගේ මාසික ආර්ථවය හා වෙනත් රුධිර වහනයක් හැඳින්විය හැකිය. නමුත් සමහරෙකු ගේ සිරුරේ යකඩ ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ ද තවත් කෙනෙක්ගේ එසේ නොවන්නේ ඇයිද යන්න අප විසින් අවධානය යොමුකළ යුතු කරුණකි.බොහෝවිට එයින් එක් ප්‍රධාන හේතුවක් වනුයේ ආහාරයේ යකඩ අවශ්‍ය ප්‍රමාණයට අන්තර්ගත නොවීමය.
එසේත් නැතිනම් ආහාරයේ ඇති යකඩ උරාගැනීම අඩුවිය හැකිය. එමෙන්ම ජීවන චක්‍රයේ සමහර අවස්ථාවල යකඩ අවශ්‍යතාවය වැඩිවෙන විට ඊට අවශ්‍ය ප්‍රමාණය නොගැනීමද විය හැකිය. අප ඊට උදාහරණ සැළකුවහොත් ගර්භිණී සමය ළදරු සමය, 1-2 වසර සඳහා අවශ්‍යතාව, යොවුන් විය, පේශින් වැඩීම, රතු රුධිරානු වැඩිවීම, මාස් ශුද්ධිය ඇතිවීම සැලකිය හැකිය. මේ හැරුණු කොට ශරීරයෙන් අධිකව රුධිරය පිටවීම සම්බන්ධයෙන්ද අවධානය දැක්විය යුතුව තිබේ. එයට උදාහරණ සැලකුවහොත් දරු ප්‍රසූතිය, අඩු මස් දරු උපත්, කොකු පණු රෝගය, මළ සමග රුධිරය පිටවීම වැනි දෑ වැදගත්ය. සාමාන්‍යයෙන් යකඩ ඌණතාවය හැම ජන කොටසකටම බලපාන්නකි. අප දැන් ඒවා වෙන වෙනම විමසමු
ගැබිනි මවුවරුන්ට -
මාතෘ මරණ ඇතිවීමේ අවකාශය වැඩි කරයි.
කළලයේ වර්ධනය හීන කරයි.
උපතට පෙර හෝ අළුත උපන් බිළිඳ මරණ වැඩිකරයි.
ළදරුවන්ට සහ ළමුන්ට -
මානසික වර්ධනය හීන වීම
ශාරිරික වර්ධනය දුර්වලවීම
ක්‍රියාකාරීබව අඩුවීම
රෝගවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවීම
යෞවන යෞවනියන් -
ළදරුවන්ට සහ ළමුන්ට පෙර සඳහන් ආකාරයටම සිදුවීම
වැඩිහිටියන් -
ක්‍රියාශීලී බව අඩුවීම
මානසික අවධානය දුර්වලවීම
ආදායමි ඉපයීමේ හැකියාව අඩුවීම රෝගවලට ගොදුරුවීමේ හැකියාව වැඩිවීම
කොහොම නමුත් යකඩ ඌණතාවය නිසා ඉක්මණින් වෙහෙසට පත්වීම, සුදුමැලි පෙනුම, පාඩම් කිරීමට බාධා ඇතිවීම ඇතිවිය හැකිය. යම් අයුරකින් යකඩ ඌණතාවයෙන් පෙළෙන යෞවනියක් ගැබිනියක් වුවහොත් නිතර ලෙඩ රෝග ඇතිවීම, දරුවාගේ උපත් බර අඩුවීම, සිදුවිය හැකි අතර එයින් ඇතිවන බැරෑරුම්ම අවස්ථාවකදී දෙදෙනාගේම මරණය පවා සිදුවිය හැකිය.
දැන් අපි මෙහි වැදගත්ම කොටස සම්බන්ධයෙන් විමසමු. ඒ ආහාරවලින් ශරීරයට යකඩ උරාගන්න පහසු කරවන්නට අපට කුමක් කළ හැකිද යන්නයි.
සාමාන්‍යයෙන් සත්ත්ව ආහාර භාවිතයට ගන්නේ නම් ඒවායින් යකඩ පහසුවෙන් ශරීරරයට උරා ගැනෙයි. ඒත් ශාක ආහාර වලින් එසේ පහසුවෙන් යකඩ අවශෝෂණය කරගන්නට නොහැකිය. නමුත් නිර්මාංශික අය ශාක ආහාර වේලක් ලබා ගැනීමෙන් අනතුරුව විටමින් සී සහිත ආහාරයක් ලබා ගත යුතුය .අලුත් පලතුරක් ආහාරයට ගැනීම මේ සදහා ප්රමාණවත්ය.මේ හේතුවෙන් එහි ඇති යකඩ ප්‍රමාණය පහසුවෙන් ශරීරයට උරාගැනෙයි. තවද ශාක ආහාර පිළියෙළ කිරීමේදී ඉතා සුළු වශයෙන් හෝ සත්ත්ව ආහාර ප්‍රමාණයක් එක් කිරීම, එළවළු සහ අනෙකුත් ශාකමය ආහාරවල යකඩ උරා ගැනීමේ ප්‍රවණතාවය පහසු කරයි. එමෙන්ම එම ආහාර වේල් සඳහා දෙහි තක්කාලි, විනාකිරි, සියඹලා, වැනි දෑ එක් කිරීම මගින් ඒවායේ අඩංගු ඇසිටික් අම්ලය, නිසා යකඩ උරා ගැනීම පහසු කෙරෙයි. එමෙන්ම වඩාත් වැදගත් වන කරුණක් වනුයේ යම් ආහාරයක් ගෙන පැයක් හෝ දෙකක් යන තුරු තේ හෝ කෝපි වැනි පානයක් ලබා නොගැනීමයි .එයින් ආහාරයේ ඇති යකඩ ශරීරයට උරා ගැනීමට බාධා පමුණුවයි.