දෙපාවල ඇතිවන නහරගැට ගැසීම ඉතාම සුළභ තත්ත්වයක්. විශේෂයෙන්ම මැදිවිය සමග මේ ගැටලුව බොහෝ දෙනෙක් අත්විඳින නමුත් මෙම තත්ත්වය තරුණ වයසේ අයටත් ඇතිවෙන්න පුලුවන්. දෙපාවල ඇතිවන තත්ත්වයක් නිසා බොහෝ දෙනෙක් මේ තත්ත්වයට ශළ්‍යකර්ම කරගන්නට අකමැතිබවක් පලකරනවා.එවැන්නන් රෝග සුවය සඳහා ඖෂධ ප්‍රතිකාර පිළිබඳ පමණක් උනන්දුවක් දක්වතත් සමහර අවස්ථාවලදී ඇතැම් පුද්ගලයින්ට ශල්‍යකර්ම යෙදීම අත්‍යවශ්‍ය අවස්ථා පැවතිය හැකිය. නහර ගැට ගැසීම නැති නම් වෙරිකෝසිස් වේන් යනුවෙන් හඳුන්වන මේ රෝග තත්ත්වයද ශල්‍යකර්මයකට යොමු විය යුතු අවස්ථාවක් ලෙස මතු විය හැකි ය. ඇතමුන් මේ සඳහා වෙළුම් යෙදීම මෙන්ම එන්නත් පිළිබඳ උනන්දුවෙයි. නමුත් එයින් ලැබෙන ප්‍රතිඵලය ශල්‍යකර්මයකින් ලබන සුවය තරම් තීව්‍රද යන්න විමසීමට අද අපි සෞඛ්‍ය පිටුවේ ප්‍රධානතම ඉඩකඩ වෙන් කර ඔබව දැනුම්වත්කිරීමට අදහස් කරමු..
වෙරිකෝසිස් නැතිනම් නහරගැට ගැසීම යන තත්ත්වයට ශල්‍යකර්මයක් අවශ්‍යද යන්න බැලූ බැල්මට තීරණය නොකෙරෙනු ඇත. සාමාන්‍යයෙන් කිසියම් රෝගයක් පිළිබඳ නිර්ණය කිරීමට නිසි වෛද්‍ය පරීක්ෂාවක් සහ ඒ සඳහා නියමිත පරීක්ෂණවලට යොමු වීම අත්‍යවශ්‍යය. නමුත් නහරගැට ගැසීම නැතිනම් වෙරිකෝසිස් වේන් යනු රෝගියාටම පියවි ඇසින් දැක තමන්ට එවන් තත්ත්වයක් ඇති බව තීරණය කරගත හැකි රෝගයකි. මෙවන් තත්ත්වයක් දුටු විට එය රෝගයක් බව පවා බොහෝ දෙනා පිළිනොගන්නා කරුණකි. එයට හේතුව එවන් තත්ත්වයක් පවතින්නට හැරීමෙන් පසුකාලීනව ඇතිවන කරදරකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අත්දැකීමක් ලබා නොතිබීමයි. නහර ගැට ගැසීම ඇතැම් විටෙක ප්‍රවේණියට නැතිනම් ආරයට සම්බන්ධයක් දක්වන තත්ත්වයක් ලෙසද අනුමාන කෙරෙයි. දෙමවුපියන්ට මේ තත්ත්වය පැවතියේ නම් ඇතැම් විටෙක දරුවන්ටද ඇතිවිය හැකි යැයි සැකයක් පවතියි. එය ශිරාවල පිටත පටකවල උපතින්ම පවතින දුර්වලතාවයක් සහිත මවුපියන්ගේ දරුවන්ටත්වීමට ඉඩකඩ පවතින බව විශ්වාසය පදනම් කරගත් තත්ත්වයකි. සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම දෙපා සම්බන්ධයෙන් ඇති විය හැකි තත්ත්වයක් වුවත් කලාතුරකින් අත්වලත් මෙවන් තත්ත්වයක් දැකිය හැකි අවස්ථා හමුවෙන්නට පුලුවන.
මෙසේ නහර ගැට ගැසීමට හේතුව කුමක් වුවත් එය නොසලකා හැරිය යුතු නොසලකා හැරිය නොහැකි තත්ත්වයක් නොවන බව ඔබ දැන සිටිය යුතුයි. මේ නිසා මතුවන බොහෝ සංකූලතා වලින් ගැලවී සිටීමට ඔබට උපකාරීවන එම දැනුම පසුකාලීනව මේ රෝගයෙන් ඇතිවන පීඩාවලින් ඔබ මුදවා ගැනීමට සමත්වනු ඇති. ඔබ නහර ලෙස හඳුන්වන්නේ රුධිරය ගෙන යන ශිරා බව ඔබ මුලින්ම දැනගත යුතුයි. මේ ගැට ගැසුණු ශිරාවන් සඳහා ඉක්මන් ප්‍රතිකාර නොකලොත් යම් විටෙක මේවා නැවත ස්ථීර ලෙස සාමාන්‍ය තත්ත්වයට පත්කරීම නැතිනම් දිගින් හා පළලින් අඩු නොවී ඒ ආකාරයටම පවතින්නට පුලුවන. මේ ආකාරයට මේ ශිරාවන් කැටි ගැසීම නිසා ඒ තුළ රුධිරය කැටි ගැසීම ඇතිවෙන්නට පුලුවන. මේ නිසා රුධිර සංසරණයේ වෙනස්කම් ඇති වී කකුලේ මැද ඇති ප්‍රධාන රුධිර නාලයේද ලේ කැටි ගැසීම් ඇතිවෙන්නට පුලුවන. ආරය යන හේතුව හැරුණු විට කාන්තාවක් ගර්භිණී වූ විට වඩා ක්‍රියාකාරී ෙවන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසා ශිරාවල තිබෙන මාංශ ස්ථරයේ හැකිලීම අඩුවීම හේතුවෙන් ශිරාව මහත්විම ඇතිවෙන නිසාත්, ගැබේ සිටින දරුවා උදරයේ ඇති ශිරාවලට තෙරපීම නිසා කකුලේ ශිරාවල පළල්වීමක් ඇති වී ඒවා ගැට ගැසෙන්නට ඉඩ තිබෙනවා. නමුත් මෙය දරුවා ලැබුණු පසු තරමක් දුරට මග හැරී යන්නට හැකියි. නමුත් මේවා දිගින් දිගටම පවතින්නේ නම් ප්‍රතිකාර පැතීම අවශ්‍යය. මේ හැරෙන්නට යම් අයෙකුගේ උදරයේ ගෙඩි ඇතිවීමකදීත් නැතිනම් උදරය ඇතුලේ ශිරාවල ලේ කැටි ගැසීමක් ඇතිවීමේදීත් දෙපාවල නහර ගැට ගැසීමට ඉඩ කඩ පවතියි. මේ ලේ කැටි දියවී ගියත් එය නහර ගැට ගැසීම නතරවීමට හේතු නොවෙන්නේ ශිරාවල ස්වභාවිකව පවතින කපාට මෙසේ සිරුරේ ඉහළ සිට පහළට අනවශ්‍ය තරම් පැමිණ ශිරා විස්තාරණය කිරීමේදී ශිරාවල ඇති කපාට විනාශ වි යන නිසයි. සාමාන්‍යයෙන් වැඩි ස්ථූලතාවයක් සහිත අයට ශිරාවල ලේ කැටි ගැසීම වැඩිපුර ඇතිවන බව දකින්නට ලැබෙයි. එමෙන්ම වැඩිවේලාවක් සිටගෙන ඉන්නා ආකාරයේ රැකියාවන් කරන අයට මේ තත්ත්වයේ වැඩි බවක් දකින්නට ලැබීමත් මේ අනුව එම හේතු මේ තත්ත්වයට යම් සබඳතාවයක් තිබිය හැකි යැයි අනුමාන කළ හැකි වුවද එය තහවුරු කොට නැත. නහර ගැට ගැසීමේ තත්ත්වය ඇතිකරන වෙනත් සංකූලතා සම්බන්ධයෙන් පැවතිය හැකි අවදානම පිළිබඳ අප මුලින්ම සඳහන් කළ බව ඔබට මතක ඇති. දැන් අප ඒවා එකින් එක සවිස්තරාත්මකව විග්රහ කරමු. මෙහිදී කලාතුරකින් නමුත් දැකිය හැකි තත්ත්වයකි මේ නහර ගැට සිදුරු වී රුධිරය ගැලීම. මෙය ඉතා පීඩාකාරී ලෙස කෙනෙකුට ඇතිවීමට ඉඩ ඇති නිසා මේවා සිදුරු වී රුධිරය ගැලීමට ඇති ඉඩ කඩ අවමකර ගැනීමට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්ය.
මේ හැරෙන්නට කකුලේ පහළ කොටසේ වළලු කර ප්‍රදේශයේ සාමාන්‍යයෙන් සමේ පවතින මෘදු බව නැතිවී ගොස් තුවාල ඇතිවීමට පටන් ගැනිමත් එම තුවාල කුඩා සිරීමකින් ආරම්භ වී සුව නොවී පැවතිම තවත් එක් සංකූලතාවයක් ලෙස දැක්විය හැකිය. මේ තුවාල සුව වෙන්නට නම් මුලින්ම ගැට ගැසී ගිය නහරවලට ප්‍රතිකාර ලබා සිටිය යුතුය. නහර ගැට ගැසීම් නැතිවන්නට ප්‍රතිකාර කළත් ඇතැම්විටක මෙසේ ඇති වූ තුවාල සුවනොවී පවතින්නටඑම තුවාලය විසින් ඇතිකරනු ලබන කැළලක් වැනි ලක්ෂණය හේතුවන්නට හැකිය. එය එසේ වෙන්නේ එම කැළල මතින් සම නැවත වර්ධනය නොවන බැවිණි. මෙසේ ඇතිවන තුවාල කකුලේ අස්ථිවලට කිට්ටුවෙන් පවතින නිසා අස්ථිවල තද බල වේදනාවක්ද මතුවන්නට ඉඩ කඩ තිබේ. අස්ථියේ මතුපිට ස්ථරය ඉදිමීම එයට හේතුවයි. තුවාල බොහෝ කල් පවතින විට තවත් සංකූලතාවයක් මතුවීමේ අවධානමක් තිබේ. ඒ කකුලේ ඇඟිලි සහ වළළුකර සම්බන්ධව ක්‍රියාකරන කණ්ඩරාවල හැකිලීමක් ඇතිකිරීමයි. මෙවන් තත්ත්වයක් ඇති වූ විට වළළුකර පහළට නැවීයාමක් ඇතිවන අතර එය නැවත යථා තත්ත්වයට පත්කරවන්නට ප්‍රතිකාර කිරීම අපහසුය. වසර දහයක් දොළහක් තරම් දිගු කාලයක් මෙම තුවාල සුව නොවී පැවතිය හොත් එය පිළිකා බවට පත්වෙන්නට ඇති හැකියාව කිසිසේත්ම නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම යථා තත්ත්වට පත්කිරීම සඳහා ප්‍රතිකර්ම ලෙස ශල්‍යකර්ම හා ඖෂධ එන්නත් කිරීමට වෛද්‍යවරු තීරණය කරනු ලබයි. මෙසේ ප්‍රතිකාර තීරණය කරද්දී මුලින්ම සොයා බැලෙන්නේ නහර ගැට ගැසීම ආරම්භ වනුයේ කොතැනින්ද යන්නයි. එසේ ගැට ගැසීමට අප මුලින්ම කියූ හේතුවලින් කුමන හේතුවක් බලපා ඇත්දැයි ඊළට සලකා බැලෙන හේතුවයි. සාමාන්‍යයෙන් නහර ගැට ගැසීම ආරම්භ වනුයේ ඉකිළිය ප්‍රදේශයෙන් සහ දණහිස පිටුපසින්ය.
දණහිස පිටුපසින් ආරම්භ වී ඇත්නම් සහ එහි ශිරාවල ඇති කපාට විනාශ වී ඇත්නම් එය ශල්‍ය කර්මයක් කළ යුතු අවස්ථාවක් ලෙස තීරණය වෙන්නට පුලුවන්. දණහිසත් ඉකිලියත් අතර නම් ඒ සඳහාත් ශල්‍ය කර්මයක් නිර්දේශ වෙන්නට පුලුවන. දණහිස පහළින් පටන් ගෙන විශාල ප්‍රමාණයක් ගැට ගැසී තිබේ නම් එයද ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර යෙදිය යුතු අවස්ථාවකි. නමුත් දණහිසට පහළින් පටන් ගෙන සාමාන්‍ය ප්‍රමාණයක් නහර ගැට ගැසී ඇත්නම් බෙහෙත් විදීම මගින් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. නමුත් කකුලේ මැද ඇති ප්‍රධාන ශිරාවේ අවහිරතාවයක් පවතියි නම් පිටින් පෙනෙන නහර ගැට ගැසීමට ප්‍රතිකාර කළ නොහැකිය. එවැනි අයෙකුට පිටත ගැට ගැසී ඇති නහර ඉවත් කර ප්‍රතිකාර කළහොත් රුධිර ගමනාගමනය අවහිරවීම හේතුවෙන් පාදය විශාල ලෙස ඉදිමිය හැකිය. මේ සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් විශේෂ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ඒ අනුව ප්‍රතිකාර කළ යුත්තේ කෙසේදැයි තීරණය කෙරෙනු ඇත. මේ නිසා ඔබටත් මෙවන් තත්ත්වයක් ඇත්නම් වහාම ශල්‍ය වෛද්‍යවරයෙකු හෝ ශල්‍ය සායනයකට ගොස් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමට නොපමා වෙන්න.නහරගැට ගැසීම සඳහා ශල්‍ය කර්මයකට ලක්වෙන්නෙකුට පාදයේ මැද ශිරාව හොඳින් ක්‍රියාකාරී නම් දින තුනකට පසු රෝහලෙන් පිටව යා හැකිය. ශල්‍යකර්මයට ලක් වූ දිනට පසු දින රෝගියා ඇදෙන් බස්සවනු ලබන අතර ක්‍රේප් බැන්ඩේජ් යොදා රෝගියා ඇවිද්දවීම මගින් නහර වල ලේ කැටි ඇතිවීම වැලැක්වීමට හේතු කාරණා යෙදේ.මේ ප්‍රතිකාර මගින් සියයට හැත්තෑවක් දෙනාට සුවය ලද හැකි අතර සියයට තිහක් පමණ නැවත රෝගය ඇතිවීම සඳහා අවදානමක් පවතින බව අමතක නොකළ යුතුය.