දතක් කියන්නේ අපේ ශරිරයේ පුංචිම අවයවයක්. ඒ නිසාමදෝ සමහරු මේ ගැන දක්වන අවධානයත් ඉතාම අඩුයි. දතක පුංචි කැක්කුමක් ඇතිවූ වහාම එය ගලවා දමන්න උත්සහ කරන නැතිනම් අදහස් කරන අය නොවරදවාම මේ සටහන කියවා බලන්න. උපන් ලස්සන දිගුකාලයක් පවත්වා ගන්න ඔබ සැලසුම් කරනවා නම් ඒ වැඩේට ඔබට බෙහෙවින්ම උපකාරී වෙන්නේ ඔබේ දත් බව අමතක කරන්න එපා.
දතක් ගැලෙවුවම එය නැවත කෘතිම දතක් පරිද්දෙන් හෝ යෙදුවේ නැතිනම් ස්තීර වශයෙන් ඔබේ මුහුණේ හැඩය වෙනස් වෙන්නට පුලුවනි. ඒ නිසා කවුරුත් එතරම් අවධානයක් නොදක්වන මේ පුංචි ගැටලුව නිරාකරණය කරගන්න ඔබට අත්වැලක් සපයන්න මෙවර අද සෞඛ්‍ය පිටුව වෙන්වෙයි.
බොහෝ දෙනා දත් ගැන උනන්දුවක් දක්වන්නේ ඉදිරි පෙළ දත් සම්බන්ධයෙන් යැයි පැවසුවහොත් එහි වරදක් නොවේ. මන්ද ඉදිරි පෙළ දත් ඔබේ සිනාවට අලංකාරයක් එකතුකරන බැවිණි. එසේම ඉදිරි පෙළ දත් හොඳින් ඔප වැටෙන සේ මදින්නට උත්සහ දැරුවත් එතරම් උනන්දුවකින් හක්කේ දත් මදින්නට උත්සහ නොකරන බැවින් වැඩිපුරම දිරායාමට බඳුන්වනුයේ හක්ෙක් දත් ඒ නිසා බහුතරයක් ඉක්මණින්ම ගලවා දමන්නට පෙළඹෙන්නේ හක්කේ දත්ය.
එයින් ඔබේ සිනාවට බැලූ බැල්මට හානියක් නොවන බැවින් ඒ ගැලවූ දත වෙනුවෙන් දතක් යොදන්නටද ඔබ උත්සහ නොදරනවා විය හැකිය. අපගේ මුහුණේ පිරුණු බවක් ඇතිකරවන්නට සමත් මාංශ පේශී වලට සහයක් හනුවට සවි වී තිබෙන දත්වලින් ලැබෙන නමුත් දත් ගලවා දැමූ පසු ඇතිවන හිදැසට නව දතක් යෙදීම මග හැරිය හොත් එම මාංශ පේෂී ගිලා බැස මුහුණ යටට ගිලී ගිය ආකාරයක් කම්මුල් ඇට පෑදී ඇතිබවක් ඇතිකරවන්නට සමත් විය හැකිය.
මෙසේ වනුයේ අත ගැලවීමෙන් ඇතිවූ හිදැස හේතුවෙන් මාංශ පේශීය දරා සිටින්නට තිබෙන ශක්තිමත් පදනමද ගිලිහී යාමය.මෙම කම්මුල් යටට ගිලීයාම නිසා වයසට වඩා වියපත් පෙනුමක් දිස්වන්නටද ඉඩ තිබේ. මෙපමණක් නොව ඇතැම් විට එතෙක් ඔබ නිරවුල්ව පැවති හඬ නිසියාකාරව වචන උච්චාරණයක් නොවන්නට යම් ඉඩක් පැවතිය හැකිය.
මන්ද දත් නොපැවතීමෙන් හඬට යම් බලපෑමක් ඇති විය හැකි බැවිණි. එමෙන්ම ආහාර සැපීමේදී දිව සහ කම්මුල්වල ඇතුල් පැත්ත තමන්ටම හැපෙන්නට ඇති ඉඩ කඩ නිසා අතුරු ප්‍රශ්නද මතු වෙන්නට ඉඩ ඇති බැවින් දතක් ඉවත් කරන්නට සිදු වුවහොත් ඒ අඩුව කෙසේ හෝ පුරවාගන්නට යම් පියවරක් ගැනීම නුවණට හුරුය.
නමුත් අප ඔබට පවසන්නේ දත් කෘතිම ලෙස පැළඳීම කෙරෙහි උනන්දුවන්නට කියා නම් නොවේ. බොහෝ විට සමහරු කැඩී බිඳි පලුදු වූ දත් සියල්ල ගලවා කෘතිම දත් ඇන්දක් පළදින එක වඩා පහසු යැයි සිතන්නට පුලුවනි. නමුත් ඇත්ත වශයෙන්ම තමන් ගේ දත් මෙන් කෘතිම දතක සවි ශක්තිය ඉස්තරම් බවක් නොමැති වීමය.කෘතිම දතක කොපමණ බලයක් ඇත්දැයි අප විමසා බැලුවහොත් ස්වභාවික දතක ශක්තියෙන් හයෙන් එකක පමණ ප්‍රමාණයක් යැයි පැවසිය හැකිය.
දැන් ඔබට හයෙන් පහක පමණ ශක්තියක් දරන ඔබේ සැබෑ දත කෙතරම් වටිනවාද යන්න වැටහෙනවා ඇත. කෘතිම දත් ඇන්දක් යොදාගන්නට වුවත් දත් කීපයක් මුඛයේ තිබීම අවශ්‍යය. එසේ නැතිනම් එය හරි හැටි රඳවාගන්නට අපහසුවනු ඇත. කෘතිම දත් ඇන්දක් දිගු කළක් තිස්සේ පලඳින්නෙකුට එනැමල රැඳී තිබූ අස්ථියට ඇතිවන තෙරපීම හා පීඩනය හේතුකොට ගෙන එම අස්ථිය දියවීමට පටන් ගැනීමක් සිදුවෙයි. එවිට එතෙක් හොඳින් සවි වී තිබුණු දත් ඇන්ද බුරුල්බවක් දැක්වීමට පුලුවන.
එය නිතර ගැලවෙන්නට පටන් ගැනීම එහිදී සිදුවෙයි. එවිට අලුත් දත් ඇන්දක් දැමීමට සිදුවෙන අතර එයටද කලක් ගතවන විට එම ප්‍රතිඵලයම ලද හැකිය. මේ නිසා සැමවිටම උත්සහ දැරිය යුත්තේ දත් ආරක්ෂා කර ගැනීමට මිස ඒවා ගලවා කෘතිම ඒවා පැලැඳීමට නොවේ.කෘතිම දත් ඇඳි මෙසේ වුවත් එක දතක් දෙකක් ගැලවූ විට එය නොසලකා සිටීමට වඩා කෘතිම දතක් පැලඳීම අවශ්‍ය ක්‍රියාවකි.
කෘතිම දත් පළඳින්නට සිදුවන්නේ දතක් සම්පූර්ණයෙන්ම දිරා ඉවත් කිරීමෙන් අනතුරුවය. ඒ නිසා දතක් යාන්තමින් දිරායන ලකුණු පෙන්වූ වහාම එය එතනින් එහාට දිරායාම වළක්වන ප්‍රතිකාරයකට ලක් විය යුතුය. මේ සඳහා දැන් ඕනෑතරම් නව ක්‍රම පවතී.යම් අයුරකින් ඔබට නොදැනීම දත දිරාගොස් ඇති නම් එය ගලවා දැමීමට වඩා එම දත හැකි අයුරින් පිළියම් යොදා ගැලවීමෙන් නවතා ගැනීමට හැකියාව පවති.
මෙහිදි ඔබ වඩාත් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේ දිරාගිය දතේ කොටසක් කැඩී කොටසක් ඉතිරි වූ විටය. එසේවුවත් එය ගලවා දැමීමට ඉක්මන් නොවී ඔබේ දන්ත වෛද්‍යවරයා හමුවෙන්නට උත්සහ දරන්න. දත සම්බන්ධයෙන් සිදුකළ හැකි ප්‍රතිකාර ක්‍රමය කුමක්දැයි එමගින් ඔබට සාකච්ඡා මාර්ගයෙන් තීරණයකට පැමිණීමට හැකිය.
කෙසේවුවත් කිසියම් දතක කොටසක් දිරාගොස් කැඩී ගියේ නමුදු දන්ත මූලය යනුවෙන් හඳුන්වන විදුරුමසට සම්බන්ධ වූ දතේ කොටස සවි ශක්තිමත්ව නොසෙල්වී පවතින්නේ නම් එම කැඩුණු දත පිළිසකර කිරීමට හැකියාවක් පවතියි. නමුත් එසේ සකස් කිරීමට ප්‍රථමයෙන් එම දතට ස්නායු පිරවුමක් සිදු කිරීම අවශ්‍ය විය හැකිය.
එසේ ස්නායු පිරවුමකින් දත සකස් කළ පසු එය නැවත හොඳින් සකස් ක එහි ඇති වූ ගැටලුව විසඳීමට හැකියාව පවතියි.එහි දන්ත මූලයට ස්නායු පිරවීමක් සිදුකර එතැන වසා දමා එයට කෘතිම දතක් සම්බන්ධ කළ හැකිය. එය අප මුලින් පැවසූ කෘතිම දත් ඇඳී මෙන් බුරුල්වීමක් නැත. දැන් අප දතක් ගැලවීමට අහම්බයකින් හෝ සිදුවුවහොත් කාතිම දතක් දැමීමම අත්‍යවශ්‍ය වන්නේ ඇයිදැයි විමසමු. ඔබ දත ගලවන්නේ උඩු ඇන්දේ නම් යටි ඇන්දේ දත් ක්‍රමයෙන් ඒ හිදැස දෙසට ඇදෙයි. එසේ සිදුවන්නේ ඔබට නොදැනීමය.
එමෙන්ම දත ගලවා ඇත්තේ යටි ඇන්දේ නම් උඩු ඇන්දේ දත් ඒ හිදැස ආක්‍රමණය කර ඒ දෙසට ඇදී යයි. එසේ සිදුවීමත් සමගම දත් අතර හිදැස් ඇතිවෙන්නට පටන් ගනී. ඒ හිදැස් අතර ක්‍රම ක්‍රමයෙන් ආහාර සිරවන්නට පටන් ගන්නා අතර ක්‍රම ක්‍රමයෙන් ඒවා තුළ බැක්ටීරියා වර්ධනය වී එම දත්ද ඉක්මණින් දිරායන්නට පටන් ගනී. මේ නිසාද දත් අහිමිවීම් වැඩි විය හැකිය. යම් ආකාරයෙන් ගලවන්නම සිදුවෙන දතක් නම් ඔබ එය ගැලවිය යුතුය. අනතුරුව ඉතා ඉක්මණින් කෘතිම දතක් පැලදීමට උනන්දු වෙන්න.
අප බේරාගත නොහැකි දත් ගලවා දමන්න යැයි උපදෙස් දුන්නද එසේ දත් ගලවන්නට නොසුදුසු අවස්ථා පවතින විට කුමක් කළ යුතුද යන්නත් දැනගෙන සිටිමු. ඇතැම් විට ඔබ කිසියම් හේතුවක් මත දිර්ඝ කාලීන ප්‍රතිකාර ලෙස දියවැඩියා රෝගය සම්බන්ධයෙන්ද,රුධිරය කැටි ගැසීම සඳහා ඇස්ප්‍රීන් ඖෂධය භාවිත කරන්නෙක් නම් එයද. දතක් ගලවන්නට යාමේදී නොවරදවාම වෛද්‍යවරයා වෙත පැවසිය යුතු කරුණුය.
එමෙන්ම කිසියම් රෝග තත්ත්වයක් සදහා දිගු කළක් ප්රෙඩිනිසොලෝන් ආදී ඖෂධ ගන්නා රෝගීන්ද දතක් ගලවන්නට අවශ්‍ය නම් තමන්ට ඇති එම රෝග තත්ත්වයන් පැවසිය යුතුය. පළමුව එම රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ලබා දී ඒවා සමනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් ඔබේ දත ගැලවීම සම්බන්ධයේ තීරණයක් ගනු ඇත. බොහෝ විට දියවැඩියාව වැනි තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා අය ඒ සම්බන්ධයෙන් වඩාත්ම අවදානයක් දැක්විය යුතුය.
මන්ද දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ පවතින සීනි ප්‍රමාණය නිසා තුවාල වියලීම ප්‍රමාද වන බැවින් සීනි ප්‍රමාණය අධික වූ විටක එය නොසලකා හෝ වෛද්‍යවරයාට එය සගවා දත ගලවාගන්නට කටයුතු යෙදීමෙන් අයහපත් ප්‍රතිඵල ලැබිය හැකිය. මේ හේතුවෙන් වඩාත් අපහසුතාවයට පත්වන්නට සිදුවන්නේද ඔබටම බැවින් ඔබේ රෝග තත්ත්වයන් සම්බන්ධව ඔබේ දන්ත වෛද්‍යවරයා හා සත්‍ය තොරතුරු පැවසීම ඔබේම ආරක්ෂාව සම්බන්ධයෙන් මහත් ප්‍රයෝජනයක් සලසනු ඇත.
දත් සම්බන්ධයෙන් කටයුතු කරන දත් බඳින්නන් නැතිනම් ඩෙන්ටල් ටෙක්නීෂියන්ස්ලාද සිටිති. ඔවුන් දන්ත කාර්මික කටයුතු සිදු කරන අතර කෘතිම දත් බැඳීම මිස දත් ගැලවීම සහ දත් සම්බන්ධ අනෙකුත් කාරණා සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුදුසුකම් ලත් අයවලුන් නොවේ.
දත් ගැලවීම හෝ ස්නායු පිරවුම් වැනි කාරණා සුදුසුකම් ලත් දන්ත ශල්‍යාගාරයකින් හෝ දන්ත සායන පවතින රෝහල්වලින් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලයේද සලසා ගත හැකිය. මේ නිසා දතක් ගැලවීමෙන් පසු ඔබ ඔබේ ගැලවූ දතට ඉක්මණින් කෘතිම දතක් පලදින්නට උත්සහ දරන්න. මන්ද එසේ නොකලහොත් අනෙක් දත්වලටද දිරායාමේ අවදානමක් ඇතිවන බැවිණි.