ආහාර ගිලීමේදී අපහසුතාවය ඇතිවීම බොහෝ දෙනෙකු කලබලයට පත්වෙන රෝගී තත්ත්වයකි. ඒ බොහෝ දෙනෙකු මේ සම්බන්ධයෙන් අසා ඇති කරුණු මත පදනම්ව ඇති කරගන්නා බිය හේතුවෙණි. ආහාර සහ දියර වර්ග ගිලීමේදී සිරවීමක් ඇතිවීම, නැතිනම් ගිලීමේ අපහසුතාවය සම්බන්ධයෙන් පවතින වඩාත් ප්‍රසිද්ධම හේතුව උගුරේ ඇතිවන පිළිකා තත්ත්වයකැයි යන්න හැමවිටම ඒ ආකාරයෙන් නොපවතී. එමෙන්ම ආහාර ගිලීමේ අපහසුතාවයට එකම හේතුව පිළිකා පමණක් නොවේ. බොහෝදෙනා අතර සුළබ නමුත් සමාජය තුළ එතරම් කතාබහකට ලක්නොවී පසුකාලීනව වඩාත් බරපතල තත්ත්වයට පත්වෙන ආහාර සහ දියර ගිලීමේදී ඇතිවන අපහසුතාවය සම්බන්ධයෙන් අද සෞඛ්‍ය පිටුවේ ප්‍රධාන ලිපිය සැකසෙන්නේ මෙම ගැටලුව දැන් දැන් වඩා සුලභ තත්ත්වයක් ලෙස මතුවන බැවින්, අද පාඨක ඔබට පූර්ණ දැනුම්වත්බවක් ලබාදෙමින් ඔබේ සෞඛ්‍යට මතුවිය හැකි ගැටලු අවම කරන්නටය.
ඝන හෝ මෘදු ඕනෑම ආහාරයක් ගිලින විට උගුර සිරවීමක් හෝ වේදනා දැනීමක් යම් යම් අවස්ථාවල අප කාටත් ඇතිවිය හැකිය. ඇතැම් අවස්ථාවල ඔබට සෙම්ගෙඩි හෝ වෙනයම් උගුරේ ආසාදන තත්ත්වයක් ඇතිවූ විට සෙම්ප්‍රතිශ්‍යාව සෑදී ඇති විටක මද පමණින් හෝ මෙවැනි තත්ත්වයක් ඔබටත් අත්විඳින්නට ලැබී ඇති. අද අප කතාකරන්නේ ඒ තත්ත්වය ගැන නොවෙන බව පළමුව ඔබ දැනුවත් විය යුතු කරුණයි.උගුරේ සිරවීම නැතිනම් ආහාර ගිලීමේදී ඇතිවන අපහසුතාවය පිළිබඳ බොහෝ දෙනා එතරම් තැකීමක් නොකරන්නට හේතුව ඒ සම්බන්ධයෙන් නිවැරදි දැනීමක් නොමැතිවීම යැයි කිවහොත් එහි වරදක් නොවේ. බොහෝවිට ආහාර ගිලීමේ අපහසුතාවය වැඩිපුර අත්විඳිනුයේ වියපත් අයවීම ඉතා බහුල සිද්ධියකි.නමුත් කලාතුරකින් නමුත් මෙය තරුණ වයසේ අයටද ඇතිවිය හැකියි.
අප කළින් කීවාක් මෙන් උගුරේ සිරවීම නැතිනම් ආහාර ගිලීමේ අපහසුවට බහුලවම හේතුකාරකවී ඇත්තේ ගලනාලයේ ඇතිවන පිළිකා බව සැබෑවක්.නමුත් සැමවිටම එය පිළිකා තත්ත්වයක ලක්ෂණයක්ම ෙනාවන අතර මෙතැන් සිට අප ඔබව දැනුම්වත් කරනුයේ එම කරුණ පිළිබඳවයි. විශේෂයෙන් වතුකරයේ ලැයිම් ආශ්‍රිතව ජීවත්වන සහ විවිධ මානසික අවපීඩනයන් සහිතව ජීවත්වන අය සියදිවි හානිකර ගැනීමේ අරමුණින් ඇසිඩි පානය කිරීම කලකට ඉහත ඉතාම සුලභ තත්ත්වයක්ව පැවතුණි. වාසනාවකට මෙන් දැන් දැන් එම තත්ත්වය අඩු නමුත් තවමත් ඉඳහිට එවැනි සිද්ධින් වාර්ථාවන අතර එම අනුවණ ක්‍රියාව නිසා ඔවුන් මුළු ජීවිතකාලය පුරාම එක්තරා අපහසුතාවයකට මුහුණ දීමද ආරම්භ කරයි.
ඒ අවාසනාවකට මෙන් එම තත්ත්වය සුවපත් කිරීමේ හැකියාවක් නොමැතිවීම නිසයි. ඇසිඩ් පානය කළ අයෙකුගේ ගලනාලය පිළිස්සීයාම නිසා කැළලක් ඇතිවීම නිසා පසුකාලෙක ආහාර ගිලීමේ අපහසුතාවය ඇතිවන්නට හැකියි. නමුත් එය රෝගියා තනිව තීරණය නොකළ යුතුයි එය තීරණය කළ යුත්තේ නිසි පරීක්ෂාවකින් පසුව ශල්‍ය වෛද්‍යවරයෙකු විසිණි. මීළඟට උගුරේ වේදනාවක් සහිතව ගිලීමේ අපහසුතාවය ඇතිවන තවත් තත්ත්වයක් තිබේ. එයට ස්ත්‍රී පුරුෂ බේධයක් නැත. ඇතැම් අයට ගැස්ට්රසිටීස් වැනි ආමාශයේ අම්ලය අධික තත්ත්වයක් පවතින විට රාත්‍රී නින්දේදී එය ගලනාලය දිගේ උඩ කෙළවර තෙක් ගලා ඒමේන් යම් පිළිස්සීමක් ඇතිවීම හේතුවෙන්ද කෙනෙකුට මෙවන් ලක්ෂණයක් මතුවිය හැකිය. එය උගුර ආශ්‍රිතව සිදුකරන පරීක්ෂණ ඇසුරෙන් තීරණය කළ හැකි තත්ත්වයකි. නමුත් මෙය පිළිකා තත්ත්වයක් නොවේ. අප බොහෝ විට ගිලීමේ අපහසුතා සම්බන්ධයෙන් බහුලව දකින්නේ ගලනාලයේ පිළිකා තත්ත්වයන් යැයි පැවසුවහොත් වයස් ගත පුද්ගලයන් ඇසුරින් නම් සත්‍යයකි. වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ගේ ගිලීමේ අපහසුතාවලට වැඩිම හේතුව වී ඇත්තේ ගලනාලයේ පිළිකා තත්ත්වයන් වන අතර දැන් දැන් වයස අවුරුදු 45 ට වැඩි අයගේද හේතුව ගලනාල පිළිකා යැයි දැනගන්නට තිබේ. විශේෂයෙන්ම පිරිමින් අතර බහුලම පිළිකාව පුරස්ථි ග්‍රන්ථි පිළිකාව සහ මුඛ පිළිකාව යැයි සැලකුනත් හතරවැනියට වැඩිම පිළිකා තත්ත්වයව පවතින්නේ ගලනාල පිළිකාවයි.
(ශල්‍ය වෛද්‍ය සායනවලින් මේ තත්ත්වයට හේතුව සියයට සියයක් සොයා ගෙන නැත.) කෙසේ නමුත් යකඩ ඌණතා තත්ත්වයක් හේතුවෙන් තරුණ කාන්තාවන්ටත් ඇතැම් අවස්ථාවක ගිලීමේ අපහසුතාවය මතුකරන තත්ත්වයක් ඇති විය හැකියි. එය පිළිකාමය තත්ත්වයක් නොවුණත් පසුකාලීනව එවන් අයට පිළිකා ඇතිවීමේ අවදානමක් ඇති බව අමතක නොකළ යුතුයි. යකඩ ඌණතාවය නිසා එවන් ගිලීමේ අපහසුතාවයක් ඇති වූ තරුණ කාන්තාවන් තමන් ගේ ජීවිත කාලය පුරාම වරින් වර එන්ඩොස්කොප් පරීක්ෂණ මගින් එම තත්ත්වය පිළිකා අවදාමක් කරා යන්නේද යන්න පරීක්ෂා කර බැලිය යුතු අතර යකඩ ඌණතා තත්ත්වය අවම වන ප්‍රතිකාර ලබාගත යුතුයි.
දැන් අප ගලනාලයේ පිළිකා තත්ත්වයන් ඇතිවීමට තුඩු දිය හැකි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර සිටිමු. ඔබ නිතර ඉතාමත් දැඩි රස්නයක් සහිත ආහාර පාන භාවිතයට හුරු වී සිටින්නෙක් ද ? අධික රස්නයෙන් ආහාර පාන ලබා ගැනීම එතරම් හිතකර පුරුද්දක් නොවන බව පළමුව සිහිතබා ගන්න .ඔබේ ගලනාලයේ නිරෝගීතාවය නැතිකර දමන මේ පුරුද්ද ඔබට පසු කාලෙක ගලනාල පිළිකාවකට මග පෙන්වයි. මේ හැරෙන්නට ඔබ මත්වතුර බාවිත කරන්නෙක් නම් එයින් සිදුවන්නේද ඔබේ ගලනාලය පුළුස්සා දැමීමකි. එමෙන්ද ඔබ දුම් පානය කරන්නෙක් නම් තත්ත්වය තවත් දරුණුය. මත්වතුර හා දුම්පානය ගලනාල පිළිකා පමණක් නොව මුඛ පිළිකා මෙන්ම තවත් පිළිකා රැසකට ඔබව කැඳවාගෙන යන බැවින් වහාම අදම ඔබේ ඒ වැරදි පුරුදුවලින් ඈත්වෙන්න. මුලින්ම ඔබට ඇතිවන්නට ඉඩ ඇත්තේ ඝන ආහාර ගැනීමේදී උගුරේ සිරවෙන ගතිය නමුත් දෙවැනි පියවර ලෙස ඔබ දියර ආහාරවලට පවා එම තත්ත්වය අත්විඳින්නට ඉඩ තිබේ. ක්‍රම ක්‍රමයෙන් මුළුමණින්ම ආහාර ගිලීමේ අපහසුතාවය වැඩි දියුණුවීමත් සමග එය සුව කිරීමට ඇති අවස්ථාද මගහැරෙන බැවින් වහාම මූලික ලක්ෂණ දැනෙන්නට පටන්ගත් විගසම ඔබේ ශල්‍ය සායනයට හේ ශල්‍ය වෛද්‍යවරයා වෙත යන්න.ගලනාලයේ ඇතිවන කුඩා ගැටිත්තක් හේතුකොටගෙන ඇතිවන මේ ගිලීමේ අපහසුතාවය පසුකාලෙක මුළුමනින්ම ගිලින්නට අපහසුවක් විය හැකියි. ගලනාලයේ මෙවැනි ප්‍රශ්නයක් ඇති වූ ඇතමුන් මුළින්ම පැමිණිලි කරන්නේ පපුව මැද්දේ සිරවීමක් ඇතිකරන බවයි. ඒ නිසා ඔබට කුමන ආකාරයෙන් හෝ ආහාර ගිලීමේදි අපහසුතාවයක් මතුකරන කිනම් හෝ ලක්ෂණයක් පවතින නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් ප්‍රතිකාර ලැබිය යුතුම ,ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් ලැබිය යුතුම අවස්ථාවක් සේ සලකා ඉක්මන් වෙන්න. මන්ද ඔබට ඇතිවිය හැකි සංකූලතා මග හරවා ගන්නට මෙන්ම ඉක්මන් සුවයක් ලබන්නටද පූර්ණ සුවයක් ලබන්නටද නොපමා වීම අත්‍යවශ්‍ය කරුණක් වන බැවිණි.
ගලනාලයේ ඇතිවන ඇතැම් ගැටලු පිළිකාවලට බැර කරන්නට නොහැකි බව අප මුළින්ම ඔබට කීවා. එවන් තවත් එක් තත්ත්වයක් ලෙස ගලනාලයේ ඇතිවන පුස්වර්ග හඳුන්වන්නට පුලුවන්. මේ පුස් වර්ග නැතිනම් කැන්ඩිඩා වර්ගවලින් ඇතිකරන බලපෑම එන්ඩොස්කොපි පරීක්ෂණය මගින් හඳුනාගත හැකියි. එමෙන්ම ගැස්ට්‍රයිටිස් තත්ත්වයේදී උගුරට ඇසිඩ් ගැලීම හේතුවෙන් ඇතිවන පිළිස්සීමේදී ගලනාලයේ ඇතිවන ඉදිමීමද මේ ආකාරයෙන්ම ඉහත කී පරීක්ෂණවලින් සහතික කරගන්නට හැකියි. මේ නිසා වහාම ඔබ හේතුව කුමක් වුවත් එය නිවැරදිව දැනගන්නට වෛද්‍යවරයෙකුගේ උපදෙස් වෙත යොමු විය යුතුය. ගිලීමේ අපහසුව එන්න එන්නට වැඩිවීම ඔබට වෙනත් ආකාරයක අතුරු ඵලයක්ද ඇතිකරවන්නට සමත් සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයෙකුට කෙළ මි. ලි එක්දහස් පන්සියයයක් පමණ ගිලෙනවා. නමුත් කල් පසුවෙන්නට පසුවෙන්නට රෝගී පුද්ගලයාට කෙළ ගිලගන්නට අපහසුවෙනවා. ආහාර සහ වතුර මේ නිසා ගලනාලය තුළ ඉතිරිවීම සිදුවෙනවා. මෙය එක්තරා ආකාරයක භයානක ප්‍රතිඵලයක් ඇතිකරවන්නට සමත් මේවා පෙණහළු තුළට ඇතුළුවීමෙන් රෝගියා නියුමෝනියා තත්ත්වයකට පත්ව වඩාත් රෝගීවෙන්නට හැකියි.
ඇතැම් අවස්ථාවක වෙනත් පිළිකාවන් ඇති විටත් කෙනෙකුට ඒ හා සම්බන්ධ රෝග ලක්ෂණ යම් ආකාරයක ඉහත කී කියන රෝග ලක්ෂණ හරහාද පෙන්නුම්කරන අතර එය එසේ වනුයේ ඒ සම්බන්ධයෙන් වසා නාලවල ක්‍රියාකාරිත්වය තුළින්ද යම් ලක්ෂණ පෙන්නුම්කරන නිසයි.කෙසේ නමුත් ඔබේ සියලු වැඩ රාජකාරීවලට වඩා පළමු රාජකාරිය ඔබේ ජීවිතයේ සුවපත් බව වෙනුවෙන් කැප කරන්න.ගිලීමේ අපහසුතා ඇතිකරන්නට සමත් අවදානම් සාධක කීපයක් හෝ එකක් ඔබ සමීපයේ පවතී නම් ඔබේ ආහාරගැනීමේදී ඔබ අත්විඳින සාමාන්‍ය ජීවිතයේදී වෙනදා අත්නොවිඳි නමුත් දැන් අත්විඳින සුළු වෙනස්කමක් වෙත වුවත් ඔබේ අවධානය යොමුකරන්න. ගිලීමේ අපහසුතා ඇතිවෙන්නේ ඇයිදැයි දැන් ඔබ හොඳින් දන්නා කරුණක්. නමුත් සතියකට වඩා පවතින ක්‍රම ක්‍රමයෙන් වැඩිවන ආහාර ගිලීමේ අපහසුතාවය, සතියකට වඩා පවතින ආහාර ගිලීමේදී ඇතිවන වේදනාව , ආහාර අරුචිය, අනපේෂිත ලෙස ශරීරයේ බර අඩුවීම ක් ඇත්නම් වහාම ක්‍රියාත්මක වී ඔබේ ශල්‍ය වෛද්‍යවරයා මුණගැසෙන්න. එමෙන්ම ගලනාලයේ පමණක් නොව ස්වරාලයේ ඇතිවන පිළිකා තත්ත්වයන්වලදීත් ආහාර ගිලීමේ අපහසුතාවය සහ උගුරේ වේදනාව ඇතිවිය හැකිය .ස්වරාල පිළිකාවේදී කල්පවතින කැස්සක්ද කටහඬේ වෙනස්වීම හා ගොරෝසුබවක්ද ඇතිවිය හැකියි. මේ නිසා හරියටම කුමක් නිසා ඔබට රෝග ලක්ෂණ පහළවී දැයි දැනගන්නට වහා වහා ප්‍රථිකාර වෙත යොමුවීමෙන් ඔබට අවස්ථාව ලැබෙනවා සේම රෝගය සුවපත්කරගැනීමේ අවස්ථාවද ඔබට උදාවේ.