ඇසිටමිනොෆෙන් (Acetaminophen) නමින් හඳුන්වන කොළ පැහැති පැරසිටමෝල් දියරය ඇතුළු පැරසිටමෝල් ඖෂධය ගැබ් දරන කාලයේ නිතර භාවිතයෙන් ගැබ තුළ වැඩෙන දරුවා 'පාලනය කිරීමට අපහසු ක්‍රියාකාරී දරුවෙක්' වී ඇටෙන්ෂන් ඩෙෆිසිට් හයිපර් ඇක්ටිවිටි ඩිසෝඩර් (Attention deficit hyperactivity disorder) නොහොත් AD HD රෝග තත්ත්වයට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි හෙළි වී තිබේ.
ඩෙන්මාර්කයේ ඩැනිෂ් නැෂනල් බර්ත් කෝට් පර්යේෂණායතනය විසින් ගැබිනි මවුවරුන් 64,000 ක් යොදාගෙන කරන ලද පරීක්ෂණයකින් අනතුරුව මෙය හෙළිදරව් වී තිබේ.
වෛද්‍ය නිර්දේශයකින් තොරව විවෘත වෙළෙඳ පොළින් ලබාගත හැකි තරමේ විශ්වසනීයත්වයක් තබා ඇති පැරසිටමෝල් වර්ගයේ ඖෂධ ගැබිනි සමයේ වෛද්‍ය නිර්දේශයින් තොරව ලොවපුරාම මවුවරුන් ලබාගන්නා ඖෂධයක් වන අතර, මෙම ඖෂධයට වැදෑමහ හරහා දරුවාට බලපෑම් කළ හැකි බව මේ පරීක්ෂණයෙන් තහවුරු කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පවසයි.
මව මෙම අවධියේ අදාළ ඖෂධය නිතර නිතර ලබාගත්තේ නම් එම ගැබ තුළ සිටි දරුවා බිහි වූ පසු පළමු අවුරුදු හත තුළදී අධික ක්‍රියාකාරීත්වයකින් යුතුව හැසිරෙන ප්‍රචණ්ඩකාරී, අධික දඟකාරකමක් පෙන්වන, හික්මවීමට අපහසු දරුවෙකු බවට පත්කරන AD HD රෝග තත්ත්වය ඇතිවීමේ 30%ක අවදානමක් ඇති කරන බවද පර්යේෂණයෙන් හෙළි වී තිබේ.
මේ හැරෙන්නට මවගේ අක්මාවට හානි පැමිණවීමටද මේ ඖෂධයේ බලපෑමක් ඇතැයි තහවුරු වී තිබේ. ගැබ් නොගත් හා සාමාන්‍ය පුද්ගලයන් ඕනෑම කෙනෙකුට මෙසේ අක්මාව අනතුරට පත්කරවීමේ අවදානම පැරසිටමෝල් ඖෂධය භාවිතය නිසා තිබෙන බව පවසන වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා, එසේ අක්මාවට හානි ඇති වූ විට ආහාර අරුචිය, ආහාර ගැනීමට අපහසු වීම, වමනයට ඒම, වමනය යෑම සහ උදරය රිදීම වැනි රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇතැයිද පවසයි.
ගර්භිණී මවුවරුන් මේ නිසා පැරසිටමෝල් අඩංගු ඖෂධ ගර්භිණී කාලයේදී වෛද්‍ය උපදේශයකින් හා නිර්දේශයකින් තොරව භාවිත නොකිරීම ගැටලු අවම කිරීමට හේතුවක් බවත්, ඩෙන්මාර්කයේ පිළිගත් පර්යේෂණ ආයතනයක් මවුවරුන් 64,000 ක් යොදාගෙන සිදුකරන ලද මෙම පරීක්ෂණයෙන් හෙළිකරගත් කරුණු අප රටේද අදාළ අංශවලින් නිසි පරීක්ෂාවකට ලක්කරන්නේ නම් එය අනාගතයේ ඇති විය හැකි බොහෝ ප්‍රශ්න වළක්වාගැනීමට උපකාරයක් විය හැකි බවත් රත්නසිරි ඒ හේවගේ මහතා පවසයි.