රුධිර කොලෙස්ටරෝලය ඇති බව හඳුනාගත් පසු බොහෝ දෙනෙක් කලබල වනුයේ අවුරුදු ගණනක් පුරා තමන් රැස් කරගත් කොලෙස්ටරෝලය එක රැයකින් අඩුකරගත හැකි මගක් පවතීද යන්න සොයා බැලීමටයි.
නමුත් කොලෙස්ටරෝලය එකතු කිරීමෙන් වැළකීමට ඔබ අධි කොලෙස්ටරෝලයක් සහිත අයෙකු බව හඳුනාගන්නට පෙර සිටම ඇරඹිය යුතු කාරියකි. එහෙත් එය කරන්නේ කෙසේද යන්න දැන් ඔබ විමසනු ඇති. මෙතැන් සිට ඔබ වෙත ගෙන එන්නේ එය කෙසේ කළ යුතු ද යන්නයි.
මස් කිරි, බිත්තර යන සත්ත්ව ආහාර පරිභෝජනය අඩු කරන්නට ඔබ උත්සහ කළ යුතුමය. සත්ත්ව ආහාර සඳහා වඩාත් සුදුසු යැයි කිව හැක්කේ මාළු වර්ග පමණකි. නමුත් ඉස්සන් , දැල්ලන් , කකුළුවන් ආදී මසුන් ඒ සඳහා කෙසේවත් නොගැලපෙන බව මතක තබාගන්න.
මුහුදු මාලු වල ඇති ගුණ කලපු ආශ්රිත මසුන්ගෙන් ලැබෙතැයි සිතීම මුලාවකි. කුකුළු මස් ද අව ගුණයෙන් අඩු නමුත් මාළු තරම් ගුණවත් නොවේ. කුකුළු මසේ වැඩි පුරම තෙල් ඇත්තේ සම කොටසේය. එබැවින් පිසීමට පෙර සම ඉවත්කර ගැනීමට වග බලාගත යුතුය. හරක් මස් ඌරු මස් අනුභවයෙන් වැළකී සිටිය හැකි නම් එය වඩාත් සුදුසුය. යම් අයුරකින් ඒවා අනුභව කරන්නේ නම් තෙල් කොටස් ආහාරයට ගැනීමෙන් වැළකීම අත්‍යවශ්‍යය.
කිරි ආහාර සම්බන්ධයෙන් අවදානය දැක්වුවහොත් වඩාත් මේදය ඇත්තේ මීකිරෙහිය. එළකිරෙහි මේදය අඩු නමුත් මේදය රහිත එළකිරි වර්ග තෝරාගැනීම මැනවි. කිරිවලින් නිපදවනු ලබන මුදවාපු කිරි යෝගට්, කේජු, බටර් යනාදිය ද මේදය අතින් පොහොසත්ය. මේදය රහිත හෝ මේදය අඩු හෝ වර්ග වෙළඳ පොලේ ඇත්නම් ඒවා අනුභව කිරීමේ වරදක් නොවේ.
මුදවාපු කිරිවල වැඩිපුරම මේදය රැඳී ඇත්තේ එහි උඩ නැගෙනා තුනී පටලයේය. එය ඉවත්කොට ආහාරයට ගැනීම වරදක් නොවේ. බිත්තරවල මේදය අඩංගු වී තිබෙන්නේ කහමදයේයි. සුදු මදය බොහෝ විට මේදයෙන් තොර බැවින් ප්‍රෝටීන් බහුල ව ඇති බැවිනුත් ගුණදායකවේ.
කේජු බටර් යනු කොලෙස්ටරෝලයෙන් බේරෙන්නට අවශ්‍ය අයෙකු විසින් නවතා දැමිය යුතු ආහාර වෙයි. බහු අසංතෘප්ත මාගරින් වර්ග වෙළඳපොලේ ඇත. නමුත් ඒවා ගත යුත්තේ ද ඉතාම අඩුවෙනි. තෙල් වර්ග භාවිතය හැකිතාක් අඩු කළ යුතුය විශේෂයෙන් පොල් තෙල් ද පාම් තෙල් ද හැකි තාක් අඩුකළ යුතුය.
මේවා සංතෘප්ත තෙල් වන අතර සීතලේදී පහසුවෙන් මිදෙන ඒවායි. බහු අසංතෘප්ත මේද වර්ග එතරම් ගුණදායක නොවුණද දිනකට තේ හැඳි 1-2 වැනි ප්‍රමාණකට සීමා විය යුතුය. මේවා ශිත කල ද නොමිදී පවතී.
බහු අසංතෘප්ත මේද වර්ග නම් බඩ ඉරිඟු තෙල සූරියකාන්ත තෙල, සෝයා තෙල යන මේවායි.
ඒක අසංතෘප්ත යැයි කියනු ලබන තෙල් වර්ගයක්ද වෙයි. මේ තෙල් ඉතාම ගුණදායක යැයි ප්‍රභල මතයක් පවතී. ඔලිවු තෙල මේ ගණයට අයිතිය. අලි ගැට පේර වල ඇත්තේත් ඒක අසංතෘප්ත මේදය යැයි පවසමින් සමහරු කීවත් සතියකට එක් ගෙඩියකට දෙකකට වඩා අනුභවය නුසුදුසුය.
බහු අසංතෟප්ත තෙල වුවත් වරක් භාවිත කළ පසු නැවත භාවිත නොකළ යුතුය. එළවළු තෙලෙහි කොලෙස්ටරෝලය අඩංගු නැත. යන්න සඳහන් වුවත් ඒ තෙල් වර්ග භාවිතය සුදුසුය යන්න එයින් අදහස් නොකෙරේ. කෙසේ නමුත් පොල් තෙල් පාම් තෙල් අනුභව කළ විට එයින් කොටසක් අක්මාවේදී කෙලෙස්ටරෝලය බවට පෙරලනුයේ යැයි මතක තබා ගන්න.