උන්මාදය නැතිනම් මේනියාව කියන්නේ මානසික වශයෙන් අප නොදැනුවත්වම ගොදුරුවන රෝගී තත්ත්වයක්. මානසික රෝග යනු පිස්සු හැදීම යනුවෙන් සිතුවේ ඉතාම ඈත අතීතයේ වුවත් සෑම මානසික රෝගයක්ම උමතු නැතිනම් පිස්සු යන තැනට ලඝු කළ හැකි එකක් නොවන බව ඔබ දැනසිටිය යුතුයි.
ඇතමුන් මානසික රෝගයක් යැයි දැනගත් වහාම එය අනෙකුත් අයගෙන් සඟවන්නට උත්සහ දරනුයේ එය තමන්ට මහත් ලැජ්ජාවට කාරණයක් යැයි සිතන නිසා වුවත් මානසික රෝග යනු එසේ සමාජයෙන් වසන් විය යුතු තත්ත්වයක් නොවනුයේ මෙලොව කිසිම කෙනෙකු මානසික රෝගී තත්ත්වයකින් ගැලවී ජීවත්වනවා යැයි ස්තීර වශයෙන් පැවසිය නොහැකි නිසයි.
අද සෞඛ්‍ය පිටුව තුළින් අප මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් දක්වනුයේ උන්මාදය යනු කෙබඳු තත්ත්වයක්ද යන්න හරි හැටි වටහා ගන්නට ඔබට අවස්ථාව සලසමිනි.
උන්මාදය යන මානසික තත්ත්වය ඇතිවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අප පළමුව ඇනුම්වත්ව සිටිමු. බොහෝ විට මානසික රෝග ඇතිවනුයේ එදිනෙදා ජීවිතයේ ඇතිවන යම් යම් සිදුවීම් නිසා මිනිසාට පැන නගින ප්‍රශ්න ආශ්‍රිතව ඇතිවන තත්ත්වයන් නිසා යැයි අප සැමවිටම සිතුවත් සමහර අවස්ථාවන්වලදී ඊට අමතරව මතුවිය හැකි ගැටලු සම්බන්ධයෙන්ද දැනුම්වත්වීම වටි.
මේ අනුව උන්මාදයට යම් ජානමය බලපෑමක් ඇති බව ඔබ දැනසිටිය යුතු එක් කරුණකි. ඇතැම් විට උන්මාදය සහිත මවකට උපදින දරුවා උන්මාදය සහිත පියෙකුට දාව උපදින දරුවා ට මේ තත්ත්වය ඇතිවීමේ යම් අවධානමක් පවතී. නමුත් උන්මාදය සහිත දෙමවුපියන්ගේ දරුවන් සියලු දෙනාම පාහේ උන්මාද රෝගීන් වේ යැයි ස්ථීර වශයෙන් සඳහන් කරන්නට අපහසුය. මෙය ජානමය බලපෑම මත සිදුවන්නක් වුවද ස්ථීරවම යමක් පැවසීම අපහසුය.
උන්මාදය ඇතැයි හඳුනාගන්නට උපකාරීවන ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ දැනුවත් නොමැති නම් එය ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් සේ නොසලකා හිඳින්නට ඔබ පෙළඹිය හැකි බැවින් අප පළමුව එහි ලක්ෂණ මොනවාද සහ එය සාමාන්‍ය ගති ලක්ෂණවලින් වෙනස් වන්නේ කෙසේදැයි හඳුනාගෙන සිටිමු. සාමාන්‍යයෙන් එඩිතර ගතිය යනු මානසික රෝගයක් නොවේ.
නමුත් උන්මාද රෝගියා හිටි හැටියේදී තමන්ගේ දෛණික ක්රියාකාරිත්වයන් වැඩි පුර එඩියකින් යුතුව කරන්නට පටන් ගැනීමක් පෙනෙන්නට ඇතිනම් ඒ සම්බන්ධ අවධානයක් දැක්වීම වැදගත්ය. එවැන්නෝ මට ඕනෑම දෙයක් කළ හැකියි, මට බැරිනම් මේක කරන්න පුලුවන් කෙනෙක් නැතැයි කියා ක්ෂණිකව අනතුරුදායක දෙයට යොමුවීමට ඉඩ ඇත. බොහෝ විට අන් අයගේ අදහස් නොරුස්සන සහ පිළිනොගන්නා මේ අය ඇහුම්කන් දෙන්නටද අකමැතිය.
ඔවුන් ජැන්ඩියට අඳින්නට පලඳින්නට වෙනදාට වඩා උත්සහයක් ගන්නා අතර තමන්ගේ භාහිර ස්වරූපය වඩාත් ඉහළ තලයකට ගෙන එන්නට වෙහෙසෙයි. රාත්‍රියේ නින්දට ගියත් නිදිවර්ජිතව ගතකරන මොවුන් නින්ද නොයෑමෙන් පෙළෙයි. කෙසේ නමුත් මෙවැනි රෝගීන් ඉතා අසාමාන්‍ය ලෙස පිළිවෙල ගැන උනන්දුවක් දක්වති.
තමන් සිටින තැන මෙන්ම නිදාගන්නා ස්ථානය ඇඳ ආදිය ඉතාමත් පිළිවෙලට තබා ගැනීමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබේ. මේ හැරෙන්නට ඔවුන් තමාට විශේෂ බලයක් ඇතැයි, දේව වරමක් ඇතැයි හෝ යක්ෂ ප්‍රේත ආදීන් සමග කතාකරන්නට සහ ඔවුන්ගෙන් සේවය ලබා ගැනීමට විශේෂ වරමක් ඇතැයි මෙවැන්නෝ පැවසීමට ඉඩ තිබේ.
කෙසේ නමුත් සමහර අවස්ථාවල මේ රෝග තත්ත්වයන් උත්සන්න වූ මිනිසුන් තමන්ට ඇති බලය පෙන්වීමට දේවාල සාදාගනිමින් දෙවියන් තමන්ට ආරූඩ වෙන බව පවසමින් රෝගී පුද්ගලයන් සුව කරන බව නොයෙක් ආශ්චර්යයන් සිදු කළ හැකි බව පවසනු ඉතා සුලභ සිද්ධියකි.
ඔවුන් මේ මානසික වශයෙන් පෙන්වනුයේ අප මේ පවසන උන්මාද තත්ත්වය බව බොහෝ දෙනෙකුට නොවැටහී තිබෙන්නට පුලුවන. මේ අය අතරින් තවත් දැකිය හැකි ප්‍රධානතම ලක්ෂණයකි, වරෙක ඉතාම ප්‍රීතියෙන් සිටින බව හා උද්යෝගිමත්ව සිටින අතර තවත් කාලයකදී ඉතාම දුක්බරව කාලය ගත කිරීම. සමහර කාලවලදී ඉතාම ප්‍රියමනාප සතුටු සහගත ජීවිතයක් ගතකරන මොවුන් වරෙක ඉතාම දුක්බර බවක් පෙන්වයි. මේ නිසා අප මේ ඉහත සඳහන් කළ ලක්ෂණ මෙන්ම මේ කියන ගති ලක්ෂණ ද මතුවී පෙනිය හැක.
මෙවැන්නන් හිමිදිරි පාන්දරම අවදිවන්නට රුචිකත්වයක් දැක්විය හැකිය. එසේ අවදිවන ඔවුන් අන් අයගේ නින්දට බාධා කරමින් ඔවුන්ට බැන වැදිමින් කටයුතු කරන්නට වුවත් ඉඩ තිබේ. එමෙන්ම ඔවුන් දුක්බරව ව්‍යාකූලව පසුවන විට අන් අය කිසියම් ආකාරයකින් ප්‍රීති සහගත අවස්ථාවකට පත්වී සිටිමද නොරුස්සන්නට ඉඩ ඇත. තමන් දුක්බරව සිටින විට අන් අය සතුටුවීම හේ නොරුස්සයි. ඒ සම්බන්ධයෙන් එළි පිටම විරුද්ධත්වය දක්වයි.
උන්මාදයෙන් පෙළෙන්නන් සැමවිටම කරන්නට බැරිතරම් විශ්මිත අන්දමේ වැඩගොඩක් එකවිට කරන්නට ගොස් කරදරයට පත්වෙන අවස්ථාද විරල නොවේ. දැන් අපි මෙවැනි මානසික රෝග ඇතිවන්නට බොහෝවිට බලපානු ලබන මොළයේ රසායණික තත්ත්වයේ වෙනස්කමක් වශයෙන් රෝග ලක්ෂණ මතුකරන අවස්ථා දැනගනිමු.
සාමාන්‍යයෙන් උන්මාදයේ රෝග ලක්ෂණ ආරම්භ වෙන්නේ යමෙකුගේ තරුණ අවදියේ වීමටද ඉඩ පවතී. මෙම රෝගය වැලඳුනහොත් බොහෝ විට අවදානම වැඩිවන්නට ඉඩක් පවතී. දැන් අප මේ සම්බන්ධයෙන් යම් රෝග ලක්ෂණ පහළවීමක් ඔබේ සමීපතමයෙකුට සිදුවුවහොත් ඔබ කුමක් කළ යුතුද යන්න විමසමු.
පළමුව රෝගියා සමග ඒ සම්බන්ධයෙන් වාද කිරිමෙන් වළකින්න. ඔහු හෙලා නොදැක විවේචනය කිරීමෙන් තොරව ඔහු සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. ඇතමුන් මෙවැනි රෝග සඳහා විවිධ ශාන්තිකර්ම සිදු කළත් එයින් යම් මානසික සුවයක් ලබන්නට ඉඩ ඇති නමුත් රෝගය ඇතිකරන හේතූන්වලට වැට බැඳීමක් නොවේ.
ඒ නිසා නිසි ආකාරයෙන් රෝගියා වෛද්‍ය පරීක්ෂණවලට සහ ප්‍රතිකාරවලට යොමුකරමින් රෝගියාගේ මානසිකත්වය සම්බන්ධයෙන් කටයුතු කළ යුතුය. රෝහල්වල මනෝ වෛද්‍ය සායන වෙත හෝ මනෝ වෛද්‍යවරුන් වෙත රෝගියා රැගෙනයාමට කටයුතුකරන්න. රෝගියා රැකබලාගන්නන් වඩාත් රෝගියා සමග සමීපවීම අවශ්‍යය.