උදැසන ආහාරවේලක පෝෂණ ගුණය සම්බන්ධයෙන් අප මෙතෙක් බොහෝ කරුණු සාකච්ඡා කළෙමි. අද අප සාකච්ඡාවට බඳුන් කරනුයේ සිංහල ආහාරවේලක එනම් පැරැන්නන් විසින් නිතර ආහාරයට ගත් ආහාර වේලක් මගින් උදෑසන ආහාර වේලේ පෝෂණය සරිකරගන්නා අන්දමයි.
කැඳ වරිග ඒ අතරින් ප්‍රධානම තැනක් ගන්නා එකකි. මෙනේරි කැඳ ,කුරක්කන් කැඳ ,තණහාල් කැඳ ඕලු හාල් කැඳ ,මෙන්ම කිතුල් පිටි ආදී පිටි වර්ග වලින් සකස් කරන ලද කැඳ වර්ගද එකල ගැමි සමාජය තුළ ජනප්‍රිය කැඳ වර්ගවලින් සමහරෙකි. මේ හැරෙන්නට කොළ කැඳ වර්ගද අමතක කළ නොහැකි. කොළ කැඳ සාදන විට ඊට කුරක්කන් හෝ සව් හාල් මිටක් යෙදීම අදටත් දැකිය හැකි විශේෂයකි.
එවැනි ක්‍රමයක් යොදාගන්නා විට එම කැඳ වර්ගය සඳහා පොල් කිරි යෙදීම සීමා කළ හැකිවීම එයට විශේෂ හේතුවක් වන්නට ඇත. මේ කැඳ වර්ග හැරෙන්නට එකල වඩාත් ජනප්‍රියව පැවති තවත් කැඳ වර්ගයක් තිබේ . එය පොල් කිරි කැඳයි. පොල් කිරි කැඳ පපුවේ සෙම සහ කැස්ස වැනි කුඩා පරිමාණයේ රෝග සඳහා ඉතාම ගුණදායක බවක් දැක්වූ කැඳ විශේෂයකි. මේ හැරෙන්නට ධාන්‍යවර්ග තම්බා පොඩි කර එයට පොල් යොදා එයින් තනන ලද රොටි ද ඉතාම රසවත් කෑමකි.
මෙවන් රොටි වර්ග සමග වැව් මාලු හොද්දක් යොදා ගැනීම එකල සිරිතයි. එය ඉතාම ගුණවත් මෙන්ම රසවත් ආහාරයකි. කුරහන් හැලප ද මෙවන් ගුණදායක ආහාරයක් නිසා ඇතමුන් නිවසින් දුරබැහැර යන විට කුරක්කන් හැලප සාදාගෙන යෑම දැකිය හැකිය.පිලුණු නොවන එම ආහාර වේල් කීපයක් තබාගෙන වුවද ආහාරයට ගත හැකිවිම එයට හේතුවයි .මෙවැනි සරල ආහාර වේලක් ලබාගත්තද ඔවුන් අලුත් පලතුරු ආදියද ආහාරයට ගත් අතර ඇතැම් අල වර්ගද මෙසේ කැඳ ආකාරයෙන් සකස් කර ආහාරයට එක්කරගෙන තිබේ.
දම් අල මෙන්ම හිඟුරල මෙන්ම මඤ්ඤොක්කා ආදිය හොඳින් තම්බා පොල්කිරි යොදා එය උකු දියරයක් ලෙස සකස් කොට පානය කිරීම අදත් ගම්වල උදෑසන ආහාරවේල ලෙස හේනට කුඹුරට ගෙන යන ආහාර වේලකි.