පාසල්වල දෙවන වාරය ආරම්භයත් එක්ක ආයෙමත් ඔන්න උදෑසන ආහාරවේල ගැන හිතන්න දේවල් ගොඩක් ඉස්මතු වෙලා. කලබලයෙන් කලබලයෙන් පාසල් යන්න දුවන ඔබේ දරුවාගේ ආහාරවේල ඔබ බාරදෙන්නේ පාන් පෙත්තකට නම් එයින් මතුවෙන ගැටලු විසඳන්න ඔබ අලුත් ක්‍රමයක් සොයාගන්නම ඕන. දරුවාට කිරි වේලට අමතරව යමක් දෙන්න ඔබ ප්‍රවේශම්වීම වැදගත්. සමහර දරුවන් සීරියල් වර්ගයක් ආහාරයට ගන්න කැමති වන්නට පුලුවන්.
නමුත් එවන් දෑ වෙළඳ පොළෙන් ගන්නවාට වඩා ඔබට නිවසේදීම සකසා ගත හැකි නම් එය ඔබේ ආර්ථිකයට වඩාත් පසුවක් විය හැකියි. මුං ඇට මෙන්ම කඩල තිරිඟු ඇට ආදී ධාන්‍ය වර්ග හොඳින් සෝදා පසුව වියළා කබලේ බැද කුඩුකරගෙන තබාගන්නට අපහසුවක් නැති අතර ඒවා මදක් කෑලි හැපෙන සේ සකස් කරගතහොත් එයට අලුත් රසයක් එක්වූවා සේ දැනෙයි. වෙළඳ පොලේ අලෙවිය සඳහා ඇති හබල පෙති ද මේ කාරිය සඳහා ඔබට යොදාගත හැකියි.
මේවා හැන්දක ප්‍රමාණය බැගින් ගෙන පොල් හැඳි දෙකක් ගම්මිරිස් ස්වල්පයක් යොදා අවශ්‍ය නම් යාන්තමින් සීනි හෝ හකුරු එක්කර ගුලි සාදා ගත හැකි අතර පැණි රස නැතිව සකසා ගුලි කර අවසානයේ සීනි ඇට මත තවරා ආහාරයට ගැනීමටද හැකිය. මෙසේ නව ආරකින් ලැබෙන ආහාරය දරුවාට ප්‍රිය උපදවන බැවින් ආහාරයට ගැනීමට මැලි නොවන අතර දිනපතා මෙම මිශ්‍රණයම යොදා නොගෙන මෙයට වියලි මිදි එක්කර එක දිනයක්ද කජු ස්වල්පයක් හෝ රට ඉඳි එක්කර තව දිනක් ද ආදී වශයෙන් රස වෙනස් කරවන්නට පුලුවන.
නමුත් ඒ කුමන ක්‍රමයක් අනුගමනය කලත් එයින් ලැබෙන පෝෂණයේ අඩුවක් නොවේ. බොහෝ දරුවන් උදෑසන ආහාරය මග හැරීමට හේතුව ආහාරයේ පවතින ඒකාකාරී රටාවයි. ඒ නිසා මේ කරුණ ගැන අවබෝධයෙන් යුතුව දරුවාගේ ආහාරවේල සකසා දෙන්නට මවක් උත්සහ ගන්නේ නම් වැඩි පුර කරදර නොවිඳ ඔබේ දරුවාගේ පෝෂණය ද ආහාර රුචිකත්වයද ඇතිකරවිය හැකිය.