හිසේ ඇතිවන කැසීමත් සමග සම කුඩා සියුම් කැබලිගැලවී කුඩු ආකාරයෙන් හිසෙන් ගැලවී යාම ඉස්හොරි යන තත්ත්වය ලෙස අප කවුරුත් දන්නා දෙයයි. නමුත් ඉස්හොරි ඇතිවීම ඇතැම් විට වැරදි ආකාරයට තේරුම් ගන්නටද ඉඩ තිබේ. සමහර ඉස්හොරි ලක්ෂණ ඉස්හොරි නොවන අතර වෙනත් හේතුමත ඇතිවන්නකි. අප ඒවා මොනවාදැයි පළමුව සොයා බැලුවහොත් ප්‍රථමයෙන්ම හිසේ සමට බලපෑ හැකි රසායණිකයන් අඩංගු විවිධ හිසකෙස් ආලේපනද එක් හේතුවක් විය හැකිය.
ඇතැම් ෂැම්පූ, හෙයා ටොනික් වර්ග සබන් වර්ග,හෙයා ක්‍රීම්, ජෙල් මෙවැනි දේ අතර වෙයි. සැර කෑම වර්ග ගැනීමෙන් ලේ ධාතුව ඌෂ්ණ වී එයින්ද මෙවන් තත්ත්වයක් ඇතිවීමේ ආරම්භය ලද හැකිය. නිසි පෝෂණයක් නොමැතිකම, පවිත්‍රතාවය මදකම, මානසික ආතතිය, පීඩනය වැනි තත්ත්වයන් මෙන්ම සම වියලීමට තුඩු දෙන වායු සමීකරණ ආදිය තුළ වැඩි කාලයක් ගත කිරීම සමහර අවස්ථාවලදී ඉස්හොරි වැනි තත්ත්වයක් සඳහා ආසන්න වශයෙන් බලපෑ හැකිය.
මේ නිසා මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගතම යුතු අතර එය සැබවින්ම ඉස්හොරි තත්ත්වයක්මද යන්න දැන ගැනීමට වෛද්‍ය පරීක්ෂාව අවශ්‍යයම දෙයකි.
කෙසේ නමුත් ඉස්හොරි මට්ටු කරන්නට හෙළ වෙදකමේ සාර්ථක ප්‍රතිකාර රාශියක්ම පවතින අතර එය මුලුමණින්ම පාලනය කර ඉස්හොරිවලින් තොර හිසක් පවත්වා ගැනීම ඒකාන්ත වශයෙන්ම කළ හැකිය. සුළු අත්බෙහෙතක් වශයෙන් මේ ප්‍රතිකාර කර බලන්න. උළුහාල් මේස හැඳි දෙකක් පමණ ගෙන තලා ගත් අරළු ගෙඩියක් සමග රැයක් පෙඟෙන්නට තබන්න. එය පෙඟී ඉතා හොඳින් මෘදු වෙන අතර උදයට ඒවා හොඳින් සියුම්වන ලෙස අඹරා හිසේ ආලේප කරන්න.
අනතුරුව පැය භාගගක් පමණ හිසට හොඳින් හිරු එළිය වැටෙන්නට සලස්වන්න පැය භාගයකින් පසු සෝදා හරින්න. හිස සෝදන වතුරට දෙහි ඇඹුල් තේ හැඳි 2 ක් පමණ හෝ විනාකිරි ස්වල්පයක් එක් කිරීම සුදුසුය. හිස සේදීමට ග්ලිසරීන් අඩංගු සබන් පාවිච්චි කරන්න. එයට හේතුව එවැනි සබන්වල කොස්ටික් සෝඩා අඩංගු නොවීමයි. මේ හැරෙන්නට ඔබට පහසුවෙන්ම සාදාගත හැකි තවත් ආලේපයකි මේ. මු‘ ඇට හොඳින් පිටි වන සේ කුඩු කර ගන්න. මුදවපු කිරි සමග හොඳින් පල්පයක් වන සේ මිශ්‍ර කර ගන්න. එය හිසේ සැම තැනකම ආලේපවන පරිදි හොඳන් ආලේප කර පැය භාගයකට පසුව සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය එක දිනක් පමණක් කර ප්‍රතිඵල ලැබිය නොහැකිය. දිනක් හැර දිනක් ඉස්හොරි ගැටලුව විසඳෙන තෙක් කරන්න.
කොහොඹ කොළ, උළුහාල්, කුඹුක් කොළ, වියලි කහ, සමව ගෙන තම්බා හිස සෝදන්න.
හිස් හොරි සහ චර්ම ආබාධ සම්බන්ධයෙන් අද පාඨක ඔබට වෛද්‍යවරිය හමුවී නොමිලයේ රෝග තත්ත්වය පරීක්ෂා කර රෝග විනිශ්චය ලබාගැනීමට අවස්ථාව පවතින අතර අංක 54 සී ,චාර්ල්ස් පෙදෙස රාවතාවත්ත මොරටුව යන ස්ථානයේ පිහිටි සුව තරු වෙත මෙම පුවත්පත් ලිපිය ඉදිරිපත් කර එම අවස්ථාව ලබාගත හැකිය .
එය රෝග පරීක්ෂාව පමණක් නොමිලයේ සැලසෙන අතර ඒ සඳහා කළින් වෙලාවක් සහ දිනයක් වෙන්කරවා ගැනීමට 011 2 641 733 දුරකථන අංකයෙන් වෛද්‍යවරිය අමතන්නට හැකියාව පවතී.