රසින් වැඩි නිසාම බොහෝදෙනා ප්‍රියකරන විසිතුරු ආහාර කියන්නේ අධික කොලස්ටරෝල කිවුවොත් වඩාත් නිවැරදියි. බොහෝ උත්සව කාලයන්, අවසන් වූ පසු රෝහල්වල බාහිර රෝගීන්ගේ අංශවලට වැඩිපුර පැමිණෙන්නේ රුධිරයේ ග්ලූකෝස් හා කොලෙස්ටරෝල අධික රෝගීන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැති තරම්. කලකට ඉහත මේවා ගැන මතක් කරන්න සිදුවුණේ මැදිවයස්වල පසුවන පුද්ගලයින්ට වුවත් දැන් දැන් මෙය තරුණ වයස්වල පසුවන අය වෙතත් බලපාන්නට පටන් ගෙන ඇති නිසා ආහාරයේ ඇති කොලෙස්ටරෝල උරා ගැනීම අඩු කළ හැකිදැයි සොයා බලන්නට අප අදහස් කළා.
සාමාන්‍යයෙන් අවශ්‍යතාවටත් වඩා වැඩියෙන් ආහාර ගන්න හිතෙන වෙලාවල් ඔබටත් තිබෙන්නට පුළුවන්. අප එසේ කියන්නේ වඩා විසිතුරු ලෙස හා වඩාත් රසවත් ලෙස මෙසේ ආහාර ඔබ ඉදිරියේ දිස්වන විට ආහාර තරමක් වැඩිපුර ගන්නට ඔබ තුළත් යම් පෙළඹවීමක් ඇතිවිය හැකි නිසයි. කෙසේ නමුත් ඔබ මේ කරුණ නම් අමතක නොකර සිහිතබා ගැනීම වැදගත්. ඒ අවශ්‍යතාවට වඩා වැඩියෙන් පෝෂ්‍ය පදාර්ථ උරාගෙන ඒවා තැන්පත්කර තබා ගැනීම ශරීරයේ පවතින ගති ලක්ෂණයක් බව. මේ නිසා තෙල් වර්ග උරා ගැනීම අඩුකරවීමද ඉතාම අපහසු දෙයකි. නමුත් ඇතැම් ආහාර කොටස්වලට මේදය සමග එක්වීමෙන් ඒවා උරා ගැනීම අඩුකරලීමට යම් සහයක් පළකළ හැකි බව දැන් හඳුනාගෙන තිබෙන කාරණයකි. නමුත් මෙම ආහාර කොටස අළුතින් අප දැනගත යුතුවූවක් නොවේ. සැබවින්ම මෙය අප හොඳින්ම දන්නා හඳුනන ආහාර කොටසකි. එසේ කී විට මෙය මිලදී ගත හැකි වෙෙළඳ සැලක් හෝ ස්ථානයක් සොයා කලබල නොවන්න. අප මේ කතාකරන්නේ ආහාරයේ පවතින තන්තු නැතිනම් ෆයිබර් වශයෙන් අප නොයෙක් විට හඳුන්වන කෙඳිවලටයි.
අප ගන්නා ආහාර හැම එකක්ම සම්පූර්ණයෙන්ම ජීර්ණය වනවාදැයි ඔබට ගැටලුවක් තිබෙන්නට පුළුවන. කිසිවිටෙකත් එය එසේ සිදුනොවෙයි. අප ගන්නා ආහාරවලින් මිනිසාට දිරවීමට අපහසු කොටසක්ද තිබේ. ඒ අපහසු කොටසවන්නේ අප මුලින් කී තන්තුමය කොටසයි. එසේ නම් මේ තන්තුවලින් ශරීරයට ඇති ඵලය කුමක්ද යන්නත් මේවා අනවශ්‍ය යැයි සිතන්නටත් ඔබ වෙලාවක් වෙන්කරනවා නම් පැවසිය යුත්තේ මෙම කොටස අත්‍යවශ්‍ය කොටසක් වන අතර මෙම කොටස් මලපහ සමග පිටවී යන බවයි.
තන්තු යැයි කීවිට අපගේ ආහාරවල තන්තු දෙවර්ගයක් පවතී. කඨෝර තන්තු හා සූක්ෂ්ම තන්තු යනු ඒ දෙවර්ගයයි. නමුත් මෙම නම්, අපට එතරම් හුරු පුරුදු නොවන නිසා අප ඒවා ගැන තව දුරටත් විමසමු. කඨෝර තන්තු යනු ඇසට පෙනෙනා සියුම් කෙඳි වෙයි. සිංහල හාලේ ඇති රතු දුඹුරු නිවුඩ මේ සඳහා අපට ගත හැකි කදිම නිදසුනකි. එහෙත් මෙම තන්තු වර්ගය ඇත්තේ එපමණක් නොවේ. මේවා මුල් / අල වර්ගවල බහුලව පවතී. ඊට උදාහරණ සැලකුවහොත් කැරට් අර්තාපල්, කොහිල යන ඒවා සැලකිය හැකිය. එමෙන්ම මේවා ධාන්‍ය වර්ගවලද පවතී. රතුහාල් සහ කුරක්කන් යනු මෙම තන්තුවලින් ඉතා පොහොසත් ධාන්‍ය වර්ගයන්ය. එළවළු වර්ග සැලකුවහොත් ගෝවා සහ මුරුංගාවල මෙම තන්තු ඉතා බහුලය.
පලතුරු වර්ග අතරින් මේවා කොහු අඹ, ඇඹරැල්ලා යන පලතුරුවල විශේෂයෙන්ම අඩංගුය.
මෙම ආහාර තෙල් වර්ග උරා ගැනීම අඩුකරන්නට මෙන්ම මෑතකාලීනව බොහෝ දෙනෙකු පීඩාවට පත්කරන මළ බද්ධය සහ අර්ශස් වැනි රෝග තත්ත්වයන් මර්දනය කිරීමට ඉතාමත් ගුණදායකය. කඨෝර තන්තු ආහාර මාර්ගයේ ඇති ආහාර මිශ්‍රණයේ රැඳී පවතින අතර මල කොටස් ඇති කිරීමෙහිලා ඉතාම වැදගත්වෙයි. එමෙන්ම මෙවැනි ආහාර බහුලව ගන්නා අයට පිළිකා ඇතුළු විවිධාකාර වූ බඩවැල් රෝග වැලඳීම අඩු බවද පිළිගැනෙයි. කඨෝර තන්තු සඳහා නිවුඩු බත, පරළු පාන්, කුරක්කන් පිටිවලින් තැනූ ආහාර ඉතාම සුදුසුය. කැරට්, අර්තාපල්, රාබු, කොහිල කඨෝර තන්තු ලබාගැනීමට ඉතාම යෝග්‍ය වෙයි. නමුත් යම් අයුරකින් හෘදයාබාධ ඇතිවීමට ඇති ඉඩකඩ වැළැක්වීම සම්බන්ධයෙන් වඩාත් වැදගත් වන්නේ සූක්ෂම තන්තු මිස කඨෝර තන්තු නොවේ.
සූක්ෂ්ම යන නමින්ම මෙය ඇසට නොපෙනෙන සියුම් දෙයක් බව ඉඟියක් පළවෙනු ඇත. මේ වර්ගයේ තන්තු ඇසට නොපෙනෙන අතර අන්වීක්ෂයකින් පමණක් දැකබලා ගන්නට හැකිවෙයි. දැන් අප සූක්ෂම තන්තු යනු මොනවාදැයි විමසා බලමු. පියලි ඇට වර්ග අතර සූක්ෂ්ම තන්තු හඳුනාගත හැකි ආහාර ලෙස බෝංචි, කව්පි, සෝයා, කොළ පැහැති මෑ සැලකිය හැකිය. එළවළු වර්ග අතරින් ගෝවා, මැල්ලුම් කොළ වර්ග ඉතා වැදගත්ය. පලතුරු අතරින් පැපොල් පේර, කෙසෙල් මේ තන්තුවලින් පෝෂිතය.
දැන් අප සූක්ෂ්ම තන්තු අපේ ආහාර හා මිශ්‍රව සීනිත් මේදයත් හොර රහසේම උරාගන්නා අන්දම විමසා බලමු. බඩවැලේ දියවී ඇති සූක්ෂම තන්තුවලට එම ආහාර මිශ්‍රණයේ ඇති මේද අංශු සමගත් සීනි අංශු සමගත් සූක්ෂ්ම තන්තු සම්බන්ධ වෙයි. එවිට මේදයත් සීනිත් උරාගැනීම අඩුවෙයි.
එමෙන්ම සූක්ෂ්ම තන්තු මගින් බඩවැලේ ඇති පිත ආපසු උරාගැනීමද පහළ බස්සවනු ලැබේ. එයත් සිදුවන්නේ පිතත් සූක්ෂ්ම තන්තුවලට සම්බන්ධ වන බැවිනි. එවිට අසූචි මගින් පිත දිනපතාම පිටවී යන බැවින් ශරීරයට අවශ්‍ය පිත සාදාගැනීම පිණිස අක්මාව කොලෙස්ටරෝලය පරිභෝජනය කරනු ඇත. එනම් කොලෙස්ටරෝලය භාවිත කරනු ඇත. සාමාන්‍යයෙන් අපේ ශරීරය පිත සාදාගනු ලබන්නේ කොලෙස්ටරෝල භාවිත කරමින් බව ඔබ දන්නවා ඇත. එවිට ශරීරයේ ඇති කොලෙස්ටරෝලයද පහළ බසී. එසේ වන්නේ ඒවා බහුල ලෙස පරිභෝජනය වී වැයවීමක් සිදුවෙන බැවිනි. පලතුරු ආහාරයට ගත්විට සීනි වැඩි ප්‍රමාණයක් එකතු නොවන්නේ කෙසේදැයි දැන් අප විමසමු. සාමාන්‍යයෙන් පලතුරුවල ඇති සූක්ෂ්ම තන්තු, සීනි උරාගන්නා බැවින් පලතුරු ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය එතරම් වැඩි නොවේ. ආහාරවල ඇති සීනිත් මේදයත් උරාගැනීම අඩුකිරීම පිණිස සූක්ෂ්ම තන්තු ක්‍රියාකරනු ලබන්නේ එම ආහාර සමග එම තන්තු අතිශය සමීපව මිශ්‍රවී ඇත්නම් පමණකි. එහෙයින් අනුභව කරන්නා වූ ආහාරයේම සූක්ෂ්ම තන්තු පැවතිය යුතුය.
යම් යම් වෙළඳ අරමුණු අනුව පැකට් කරන ලද සූක්ෂ්ම තන්තු ගිලීමෙන් මෙම වාසිය අත්කර ගත හැකි යැයි තවම සනාථ කර නොමැත. කෙසෙල් පේර වැනි පලතුරුවල තන්තු බහුල බවත් රුධිර කොලෙස්ටරෝලය අඩුකරලීමට පේර ඉතාම වැදගත් පලතුරක් බවත් ඉන්දියානු සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම බඩ ඉරිඟුද තන්තුවලින් ඉතාම පොහොසත් වන අතර වෙනත් වැදගත් මේද වර්ගද ශරීරයට ලබාගත හැකි වෙයි. ඕට්ස්ද මෙවැනිම ධාන්‍යයක් වුවත් එය අධික මිලකින් යුතුවීම අපේ රටේ භාවිතයට බාධාවකි. තෙල් සහිත ආහාර ගන්නා විට සූක්ෂම තන්තු සහිත ආහාරවල සහාය ලබාගන්න. එවිට ඔබ නොදැනීම අධික ලෙස තෙල් සීනි උරාගැනීම මදක් වළකාලන්නට සහායක් ලද හැකිය.