යාල ජාතික උද්‍යානය තුළට පිවිසෙන සෆාරි ජීප් රථවලට මෙන්ම සියලු වාහන සඳහා රථවාහන වේග සීමා මෙන්ම සංචාරකයන් හට දැඩි නීතිරීති පනවා ඇතත්, එම නීතිරීති උල්ලංඝනය කරනු ලබන ජීප් රථ රියදුරන් හේතුවෙන් වනසතුන්ගේ චර්යා රටාවන්ට දැඩි බාධා ඇතිවී තිබේ. මේ තත්ත්වය පාලන කිරීම සඳහා 2017.10.23 වැනිදා සිට යාල ජාතික උද්‍යානය තුළට පිවිසෙන වාහන සංඛ්‍යාව 300ක් දක්වා සීමා කිරීමට රජය කටයුතු කළ අතර, ඒ සඳහා සෆාරි ජීප් රථ හිමියන් මෙන්ම රියදුරන් විරෝධතාවක්ද දියත් කරනු ලැබීය. කෙසේ නමුත් අද වන විට මෙම තත්ත්වය නැවත පෙර පරිදිම වෙනස් වී යාලට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600ක් දක්වා වැඩි කර තිබේ. මේ අනුව දිනකට යාල පලටුපාන පිවිසුමෙන් ජීප් රථ 500ක් හා කටගමුව පිවිසුමෙන් ජීප් රථ 100ක් ඇතුළුවීමට මේ වනවිට අවසර දී ඇතැයි අප කළ විමසීමකදී යාල උද්‍යාන භාරකරු ඩී.පී සියාසිංහ මහතා කියා සිටියේය.
යාල ජාතික උද්‍යානය වෙත පිවිසෙන සංචාරකයන් පිනවීම උදෙසා බොහොමයක් සෆාරි ජීප් රථ රියදුරන් වනසතුන් හට හිරිහැර වන අයුරින් හා උද්‍යාන තුළදී නියමිත නීතිරීති පවා කඩකරමින් හැසිරෙන ආකාරයක්ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ මුල්ම වනජීවී රක්ෂිත කලාපයන් ලෙස 1900දී පමණ යාල හා විල්පත්තුව වෙන්කරන ලදී. ඒ අතරින් අද වන විට යාල ජාතික උද්‍යානයට බොහොමයක් සංචාරකයන් පැමිණෙන්නේ දිවියන් දැක බලා ගැනීමට වුවත්, ලංකාව තුළ දැකිය හැකි බොහොමයක් වනසතුන් එහිදී දැක බලා ගැනීමට හැකිවීම යාල සඳහා සංචාරක ආකර්ෂණය දැඩි සේ ලැබීමට හේතු වී තිබේ.
පසුගිය යුද සමය තුළ යාලට පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක් වූ අතර, එම කාලයේ යාලට සංචාරකයන් රැගෙන යන සෆාරි ජීප් රථ තිබුණේ 125කටත් අඩු සංඛ්‍යාවක් බවයි සෆාරි ජීප් රථ හිමියන්ගේ සංගමයේ සභාපති පී.ඩී කීර්ති ප්‍රකාශ කර සිටියේ. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
ඇත්තටම අද වනවිට යාල සෆාරි ජීප් රථ සංඛ්‍යාව වැඩියි. මේ නිසා අපි නිතරම රජයෙන් ඉල්ලා සිටියා මෙම ජීප් රථ සීමා කරන්න කියලා. නමුත් රජය එය නිසි අයුරින් ක්‍රියාත්මක කළේ නැහැ. ඒ නිසා තමයි යාල තුළ මෙම තත්ත්වය උද්ගත වී තියෙන්නේ.
අද වනවිට යාල සෆාරි ජීප් රථ 1200ක් විතර තියෙනවා. අපි දැන් වනජීවී ඇමතිවරුන් හතර දෙනෙකුගෙන්ම පමණ ඉල්ලා සිටියා යාල ජීප් රථ ලියාපදිංචි කරලා ඒවාට පමණක් යාලට ඇතුළුවන්න අවසර දෙන්න කියලා. අපි මේ වන විට එසේ ලියාපදිංචි කරන්න ජීප් රථ 600කගේ පමණ තොරතුරු වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා. නමුත් මෙහෙ ඉන්න ඇමතිවරයෙක් ඒක කරන්න ඉඩ දෙන්නේ නැහැ.
රියදුරන්ට පුහුණුවක් අවශ්‍යයි
නුපුහුණු රියදුරන් මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා යාල වනසතුන්ට යම් යම් බාධාවන් එල්ල වෙනවා. හැමදෙනාටම සතුන්ගේ චර්යාවන් පිළිබඳ පුහුණුවක් අවශ්‍යයි. අපි මේ කාරණා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් දැනුවත් කළත් වනජීවී දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැහැ. ඒ තුළ මේ තත්ත්වය උග්‍ර වෙමින් පවතිනවා.
පසුගිය කාලය පුරාවට යාල වනෝද්‍යානය තුළ ඇතිවූ මෙම තත්ත්වයන් තුළ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරනු ලබන සෆාරි ජීප් රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යාල වනෝද්‍යානය තුළ මුර සංචාර ක්‍රියාත්මක කළා. බොහොමයක් මාර්ග එක් දිසාවකට පමණක් ගමන් කිරීම සඳහා යොදා තිබෙනවා.
යාල වනසතුන් බොහොමයක් මේ වන විට මිනිසුන්ට හුරු වී තිබෙනවා. යාල විලපනාව ප්‍රදේශයේ මෙන්ම ඌරනිය යන ප්‍රදේශවල මේ වගේ මිනිසුන්ට හුරු වූ වලහෙක් ඉන්නවා. වයස අවුරුදු 08ක් පමණ වුණ මේ සතා ජීප් රථ ළඟටම එනවා. එතකොට එයා බලන්න වාහන එයාගෙ ළඟටම යනවා. කොහොම වුණත් රියදුරන් දැඩි සේ විනයගරුක විය යුතුයි.
ජීප් රථ ඇතුළු කිරීමට විද්‍යාත්මක ක්‍රමයක් අවශ්‍යයි
ලෝකයේ තිබෙන ජාතික උද්‍යාන සමග ගතහොත් ලංකාවේ තිබෙන මෙම ජාතික උද්‍යාන ඉතා කුඩා බැවින් මේවා තුළට ඇතුළුවන ජීප් රථ සීමා කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවත්, පසුගිය කාලය තුළ යාලට ඇතුළුවන ජීප් රථ සීමා කළද එවැනි කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් නොතිබූ බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති පරිසරවේදී සජීව චාමිකර කියා සිටියේය.
&විශේෂයෙන් ලංකාව වැනි කුඩා රටක තිබෙන ජාතික උද්‍යාන කුඩා වුවත් ඒ තුළ විශාල ජෛව විවිධත්වයක් තිබෙනවා. එම නිසා ඒ තුළට වාහන ඇතුළු කිරීමේදී එහි සිටින සතුන්ගේ ක්‍රියාකාරකම් සඳහා බාධා ඇති නොවන අයුරින් දවසේ කාල පරාසයන් තුළ වාහන සීමා කරන්න ඕන. නිදසුනක් ලෙස උදේ කාලයේ තමයි සතුන්ගේ චර්යා රටාවන්හි ක්‍රියාකාරකම් වැඩි. දවල් වෙනකොට එය අඩු වෙනවා. ඒ අනුව උදේ කාලයේ වාහන සීමා කරලා දවල් කාලයේ ඊට සාපේක්ෂව වැඩි වුණාට කමක් නැහැ. නමුත් එසේ ඇතුළු කරන වාහනත් යම් දුර ප්‍රමාණයක් අනුව ඇතුළු කළ යුතුයි* යනුවෙන් සජීව චාමිකර පෙන්වා දෙයි.
දුරකථන කුලුනේ බලපෑම
යාලදී සතෙකු දැක්කහම තත්පර ගාණකින් ඒ සතාව ජීප්වලින් වටකර ගන්නවා. ඒක ඒ සතාගේ නිදහසට බාධාවක්. සතෙකු දැක්ක ගමන් දුරකථන මගින් අනෙක් අයට කතා කරලා සතා ඉන්න තැන කියනවා. එතකොට තමයි මේ ප්රශ්නය වැඩි වෙන්නේ. අපි මේ කුලුන ඉවත් කරන්න කියලත් ඉල්ලීමක් කළා. ඒවට බලධාරීන් ක්‍රියාත්මක වන්නේ නැහැ.
වාහන වැඩි වීමෙන් සතුන් රෝගවලට ගොදුරු වෙනවා
උද්‍යාන තුළට ඇතුළු වන වාහන වැඩි වීම නිසා වනසතුන් විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම වාහන දුම මෙන්ම දූවිලි නිසා සතුන් ස්වසන රෝගයන්ට ගොදුරු වී ඇති අවස්ථා වාර්තා වෙනවා. වාහන වැඩි වීම නිසා සතුන්ගේ සියලු චර්යා රටාවන් වෙනස් වෙනවා.
ජාතික වනෝද්‍යාන ඇතිකරන්න මූලික හේතුව වුණේ වනසතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න යන්නයි. නමුත් මේ ආකාරයෙන් ජාතික වනෝද්‍යාන තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කළොත් වනෝද්‍යාන තුළම එම සතුන් හට ආරක්ෂාව නැතිවෙලා යනවා.
විශේෂයෙන්ම ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ. එහි මූලික අර්ථ නිරූපණයේ පැහැදිලිව තියෙන්නේ වනජීවීන්ට හා වනජීවී වාසස්ථාන වාණිජ වශයෙන් අවභාවිතය වැළැක්වීම සඳහා මෙම පනත නීතිගත කර තිබෙන බවයි. නමුත් අද වන විට පනතද උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යාන වැඩිපුරම භාවිත කරන්නේ වාණිජ කටයුතු සඳහා පමණයි* යනුවෙන් සජීව චාමිකර වැඩිදුරටත් පවසා සිටියේය.