මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය හෙවත් HIV වෛරසය ලෝක ප්‍රජාවගේ සෞඛ්‍යයට ඇතිකර තිබෙන්නේ විශාල බලපෑමකි. නමුත් අද වනවිට HIV වෛරසය මාරාන්තික වෛරසයක් ලෙස හඳුන්වනු නොලබන්නේ මේ සඳහා විධිමත් සහ සාර්ථක ප්‍රතිකාර ලොව පුරාම සොයාගෙන තිබෙන බැවිනි. තවද මේ වනවිට ඒඩ්ස් රෝගය ලෝකයෙන්ම තුරන් කිරීමට ලොවම එකතු වී කටයුතු කරනු දක්නට ලැබේ. මේ හේතුවෙන්ම සෑම වසරකම දෙසැම්බර් පළමු වැනිදා ලෝක ඒඩ්ස් දිනය ලෙස නම්කොට ඒඩ්ස් තුරන් කිරීම සඳහා විවිධ වැඩසටහන් ලෝකය පුරාම සිදුකරනු ලබයි. මෙවර ඒඩ්ස් දිනයෙහි තේමාව වන්නේ ප්‍රජාවේ දායකත්වය ලබාගනිමින් ඒඩ්ස් දුරලමු යන්නයි. මේ වෙනුවෙන් දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් පසුගියදා (25දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කර තිබුණි.
HIV වෛරසය ශරීරයට ඇතුළු වූ පසු එමගින් ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම සිදුකරයි. මේ සඳහා යම්කිසි කාලයක් ගත වේ. සාමාන්‍ය රෝගීන්ගේ අවුරුදු දහයක් පමණ කාලයක් මේ සඳහා ගතවේ. ප්‍රතිශක්තිය ඉතා දුර්වල වූ විට මොවුන් නොයෙකුත් ආසාදනයන්ට ලක් වේ. විශේෂයෙන් පිළිකා වර්ග වැනි තත්ත්වයන්ට ගොදුරු වීමටද මෙහිදී ඉඩකඩ ඇත. ප්‍රතිශක්තිය ඉතා දුර්වල වූ පසු ඒඩ්ස් තත්ත්වයට පුද්ගලයා පරිවර්තනය වේ. එම තත්ත්වයට පැමිණි පසුවද ප්‍රතිකාර සිදු නොකළහොත් අනිවාර්යයෙන්ම වසර දෙකක් ඇතුළත එම පුද්ගලයාට ජීවිතයට සමු දීමට සිදුවේ. HIV ආසාදනය වූ කාලය තුළදීම හඳුනාගනිමින් එයට ප්‍රතිකාර සිදුකළහොත් පුද්ගලයාට ඒඩ්ස් තත්ත්වයට යෑමට පෙරදීම ඔවුන්ව සුව කිරීමට හැකියාව පවතී.
HIV වෛරසය මිනිස් ශරීරයට ඇතුළු විය හැක්කේ ක්‍රම තුනක් මගින් පමණි. ඒ අනාරක්ෂිත ලිංගික හැසීරම් තුළින්, රුධිර පාරවිලනයකින් හෝ රුධිර තැවරුණු ඉඳිකටු හෝ කැපුම් උපකරණ හවුලේ භාවිත කිරීම සහ මවකගෙන් දරුවාට (ගර්භය තුළදී, ප්‍රසූතියේදී හෝ මවුකිරී දීම) යන ආකාරයන් තුළිනි. මදුරුවන් මගින්, වැසිකිළි භාවිතයෙන් හෝ අතට අත දීම වැනි ස්පර්ශයකදී HIV වෛරසය කිසිසේත්ම තවත් ශරීරයකට ඇතුළු නොවන බව විශේෂඥ වෛද්‍යවරු ප්‍රකාශ කරති.
2018 වර්ෂය අවසානය වනවිට ලොව පුරා HIV වෛරසය ආසාදනය වී ඇති පුද්ගල ප්‍රමාණය මිලියන 37.9ක් වන අතර, ඉන් මිලියන 23.3ක් ඒ සඳහා ප්‍රතිකාර ලබති. එමෙන්ම වසරකට මිලියන 1.7ක් HIV නව ආසාදිතයන් බවට පත්වේ. ගෝලීය තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ 2030 වනවිට AIDS ලෝකයෙන් තුරන් කිරීමට කටයුතු කරමින් සිටින අතර, ඉදිරි වසර පහ ඇතුළත ලංකාවෙන්ද මෙය තුරන් කිරීමට ඉලක්ක කරගෙන සිටියි. මෙම ඉලක්කය සාර්ථක කරගැනීම සඳහා ඒඩ්ස් මරණ සංඛ්‍යාව අවම කිරීම, HIV නව ආසාදන අවම කිරීම සහ HIV ආසාදිත පුද්ගලයන් හුදෙකලා නොකිරීම සහ වෙන්කොට සැලකීම අවම කිරීම යන ප්‍රධාන කරුණු වැදගත් වේ. ලංකාව තුළ ඒඩ්ස් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය සේවකයන්, සායන නිලධාරීන්, සාමාන්‍ය ප්‍රජාව ඇතුළු සියලු ප්‍රජාව ලබාදෙන ප්‍රජා දායකත්වය මෙහිදී වැදගත් වේ.
ලංකාව තුළ 1987 සිට මේ වසරේ ජූනි මාසය වනවිට 3,243 දෙනෙකු HIV ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ. ලංකාව තුළ HIV ආසාදනය සඳහා ප්‍රතිකාර ආරම්භ වන්නේ 2004 වසරේ සිට වන අතර, මේ වනවිට 1,600කට ආසන්න පිරිසක් රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායන තුළින් සාර්ථකව ප්‍රතිකාර ලබාගනී. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ලංකාව HIV ආසාදිතයන් අඩු ප්‍රවණතාවයක් සිටින රටක් ලෙස හැඳින්විය හැකිය. නමුත් වසරක් පතා HIV ආසාදනය වන පුද්ගලයන් ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන බව මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එකතු වූ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ඔවුන් දක්වන්නේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සෑම වසරකම 196, 228, 235, 249, 285 සහ 350ක් ලෙස HIV ආසාදිතයන් ප්‍රමාණය වැඩි වූ බවය. මෙම පුවත් සාකච්ඡාවේදී හෙළි වූයේ ලංකාව තුළ නව HIV ආසාදිත ප්‍රමාණය වැඩි වන්නේ පිරිමි - පිරිමි ලිංගික සම්බන්ධතා තුළින් බවය.
HIV වෛරසය ආසාදනය වී ඇති බවට දැනගත හැකි වන්නේ HIV සඳහාම සිදුකෙරෙන රුධිර පරීක්ෂණයක් තුළින්ම පමණි. එමෙන්ම HIV ආසාදනය වී ඇත්නම් දින කිහිපයක් ඇතුළතදීම එය තහවුරු කර ගැනීමේ තාක්ෂණය අප සතු බව මෙහිදී විශේෂඥ වෛද්‍යවරු කීහ. HIV ආසාදිත පුද්ගලයන් හට අවශ්‍ය ප්‍රතිවෛරස් ඖෂධ දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වල ඇති ලිංගාශ්‍රිත රෝග සායන තුළින් නොමිලේම ලබාගැනීමට මේ වනවිට හැකියාව පවතී. පෙත්තක්, පෙති කිහිපයක් ලෙස ඇති මෙම ඖෂධයන් තුළින් අතුරු ආබාධ අවම වන අතර, ප්රමිතීන් උසස් ඖෂධ බැවින් කිසිවෙකුට අනිසි ලෙස බියක් ඇති කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද වෛද්‍යවරු පවසති. තවද නිසි ප්‍රතිකාර සහ සේවාවන් නිසි කලට ලබාගන්නා HIV ආසාදිත පුද්ගලයන් මගින් රෝගය බෝ වීම වැළකේ.
80 දශකයේදී ඒඩ්ස් තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහන් මේ වනවිට යල් පැනගොස් ඇති අතර, ඒවා වර්තමානයට සුදුසු නොවේ. මන්ද වර්තමානයේදී විවිධ නූතන ක්‍රම ඔස්සේ HIV ආසාදනය වන බැවිනි. බොහෝ විට සමාජ මාධ්‍ය සහ ජංගම දුරකථන යෙදවුම් ඔස්සේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ගොඩනංවා ගැනීමට තරුණ පරපුර වැඩි වශයෙන් උත්සාහ කරන බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. තවද සමාජ මාධ්‍ය තුළින් HIV පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටින බව ඔවුහු පවසති. විශේෂයෙන් තරුණයන් හට මාර්ගගත ක්‍රමය ඔස්සේ HIV පිළිබඳව දැනුම ලබාදීමටද කටයුතු කරන බව මෙහිදී පැවසිණි. %Know For Sure^ වැනි ජංගම දුරකථන යෙදවුම් තුළින් තරුණයන් දැනුවත් කරමින්, ඔවුන්ට ආසාදනය වී ඇත්නම් ඒවාට ගතහැකි කඩිනම් ක්‍රියාමාර්ගයන් සහ ඔවුන්ව ප්‍රතිකාර සායන සඳහා යොමුකිරීම දක්වාම කටයුතු කරන බව මෙම වෛද්‍යවරු පැවසූහ.
විශේෂයෙන් වගකීම් සහිත ආරක්ෂාකාරී ලිංගික හැසිරීම් තරුණ ප්‍රජාවට හඳුන්වා දීමට තමන් බලාපොරොත්තු වන බවද ඔවුහු පවසති. තමන්ට HIV ආසාදනය වී ඇත්දැයි සැකයක් පවතී නම් පළාත් සෞඛ්‍ය සායනයකට සහභාගී වී පරික්ෂා කර ගැනීමට හැකියාවක් ඇත. බොහෝ පුද්ගලයන් HIV ආසාදනය වී ඇතැයි සිතා වසර ගණනාවක සිටම මානසික මට්ටමින් පහතට වැටී සිටින බව මෙහිදී වෛද්‍යවරු පැවසූහ. ලංකාවේ HIV සහ ඒඩ්ස් සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ රජයේ වෛද්‍ය ආයතන තුළින් පමණි. මෙහිදී අාසාදිතයන්ගේ මානසික තත්ත්වය ඉතා ඉහළ මට්ටමක රඳවා තැබීමට වෛද්‍යවරු කටයුතු කරන බවත්, ඔවුන්ගේ රහස්‍යභාවය සැමවිටම සුරකින බවත් ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔවුහු පැවසූහ. තවද ඕනෑම පෞද්ගලික රසායනාගාරයකින් HIV සඳහා රුධිර පර්යේෂණයක් සිදුකර එය ධනාත්මක මට්ටමක පැවතියහොත්, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන රසායනාගාරය වෙත එම රුධිර සාම්පලය ලබාදෙයි.
HIV ප්‍රතිකාර සඳහා වැයවන මූල්‍යමය දායකත්වය දරන්නේ රජය විසිනි. ඉතා අඩු අවධියක සිටින ආසාදිතයෙකුගේ ප්‍රතිකාර සඳහා මසකට රුපියල් 3000 - 5000ත් අතර පිරිවැයක් වියදම් වන අතර, රෝගියාගේ තත්ත්වය සහ ස්වභාවයට අනුව මසකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් දක්වාද වැය වේ. තවද මිල අධිකම පර්යේෂණයන් මෙම ආසාදිතයන් සඳහා සිදුකරන බවද ඔවුහු පැවසූහ.
මේ පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම ඉතා වැදගත් වන බව මෙම සාකච්ඡාවේදී මතු විය. එහිදී පසුගිය වසර තුළ සෑම දිස්ත්‍රික්කයකම පිහිටි පාසල් වෙත HIV/ AIDS මර්දන ව්‍යාපෘති, දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇති බවත්, ඉදිරි වර්ෂවලදී ද එම වැඩසටහන් සාර්ථකව සිදුකිරීමට සිය වෛද්‍ය කාර්යමණ්ඩලයන් සහ උපදේශකවරුන් කැපවී සිටින බවද මෙහිදී ඔවුහු පැවසූහ.
HIV වෛරසය බෝ වීම සිදුවන්නේ ක්‍රම තුනක් ඔස්සේ පමණක් බව අපි ඉහතදී පැවසුවෙමු. ඉන් මවගෙන් දරුවාට බෝ වීම මේ වනවිට ලංකාව තුළ අවම කර ඇති බව විශේෂඥ වෛද්‍යවරු කීහ. එමන්ම තමන් වැඩි සැලකිල්ලක් ලබාදෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා හැකිතාක් අවම කිරීමේ වැඩසටහන් පැවැත්වීමට බවද ඔවුහු පැවසූහ. විශේෂයෙන් තරුණ ප්‍රජාව අතර ලිංගික සම්බන්ධතා ප්‍රමාද කිරීම මෙහිදී වැදගත් වන බව විශේෂඥ වෛද්‍යවරු පවසති.
දිවයින පුරා රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත රෝග සායනයන් සතියේ දිනවල පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වාද, සෙනසුරාදා දින පෙරවරු 8.00 සිට පස්වරු 12.00 දක්වාද මේ වනවිට පැවැත්වේ. තවද මෙම සායන තුළ සිදුකරන පරීක්ෂණයන් සහ ප්‍රතිකාරයන් සියල්ල නොමිලේ සිදුකරයි.
මෙවර ලෝක ඒඩ්ස් දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් ප්‍රදර්ශන කුටියක් සහ සායනයක් හෙට (29දා) සහ අනිද්දා (30) යන දෙදින තුළ කොළඹ නගර සභා ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. තවද මෙම දිනයට සමගාමීව පා ගමනක්ද පැවැත්වේ. මෙම පා ගමන 30දා පෙරවරු 8.30ට කොළඹ කැම්බල් පිටියෙන් ආරම්භ වන අතර, එය පාර්ක් වීදිය හරහා මරදාන, බොරැල්ල හරහා ගොස් නගර සභා පිටියේදී පෙරවරු 10.30ට අවසන් කරයි. එමෙන්ම එදිනට ඒඩ්ස් පිළිබඳව දැනුවත් කිරීමේ රැස්වීමක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.