එදිනෙදා කටයුතු සඳහා මිනිසා විසින් පරිභෝජනය කරනු ලබන සම්පත් අතුරින් වැඩි වශයෙන්ම පවතින්නේ ස්වාභාවික සම්පත්ය. මානව ශිෂ්ඨාචාරයන්ගේ ආරම්භයේ සිට
මේ දක්වාමත් අපගේ විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා දැව යොදා ගනී.
මෙහිදී කිසිදු පාලනයකින් තොරව වන සම්පත විනාශ කරමින් දැව ලබාගැනීමට යෑම හේතුවෙන් වන ගහණය අඩුවී යෑමේ තර්ජනය දැඩිසේ ඇති විය. පසුකාලීනව දැවවලින් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ සඳහා ආදේශකයක් ලෙස ප්ලාස්ටික් සහ සැහැල්ලු ලෝහ වර්ග භාවිතයත් සමග උක්ත තර්ජනයට යම් පිළියමක් යෙදුණු නමුත් පසුකාලීනව ප්ලාස්ටික් ද්‍රව්‍ය සහ ඇතැම් ලෝහ භාවිතයේ අනිටු විපාක හේතුවෙන් නැවතත් පරිසරයට තර්ජනයක් මතුවිය.
ස්ථිරසාර සංවර්ධන සංකල්ප වෙත ලෝකය අවධානය යොමු කිරීමත් සමග මිනිසාගේ පරිභෝජන අවශ්‍යතා ඉටුකෙරන අතරවාරයේ වන සම්පතත් ආරක්ෂා කරගැනීම සඳහා ස්ථිරසාර දැව නිෂ්පාදනය බිහිවිය. ඒ අනුව වර්තමානයේදී බොහෝ රටවල් පරිභෝජන අවශ්‍යතා සඳහා වනාන්තර එළිපෙහෙළි කරමින් දැව ලබාගැනීම වෙනුවට විශාල භූමි ප්රමාණවල ගස් වගා කරමින් දැව අස්වනු ලබාගැනීමට යොමුවී සිටින අතර එම දැව භාවිතයෙන් විවිධ නව හරිත නිෂ්පාදනද මේ වන විට බිහිවෙමින් තිබේ.
අද සොබා විශේෂාංගය තුළින් ඔබවෙත ගෙන එන්නේ එවන් ආකාරයේ දැව යොදාගනිමින් නව නිෂ්පාදන සිදුකරන අපූරු තරුණයෙකු පිළිබඳවය. මේ ඔහුගේ කතාවයි.
&මම සහන් ලක්ෂිත දිසානායක. මුලින්ම බැංකු ක්ෂේත්රයේ විධායක නිලධාරියෙක් විදිහටයි මම වැඩ කළේ. නමුත් කුඩා කාලයේ ඉඳලා මට ආසාවක් තිබුණා මගේම කියලා අලුත්ම ආකාරයේ නිෂ්පාදන සිදුකරන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කාලයත් එක්ක මම ව්‍යාපාර ක්ෂේත්රය ගැනත් හැදෑරීම් කළා. පසුව මම තීරණය කළා කවුරුත් නොකරන, නමුත් හොඳ ඉල්ලුමක් තියෙන වෙනස්ම විදිහක දැව ආශ්රිත නිෂ්පාදන කරන්න. ඒ අනුව මේ වෙද්දී Eyecatching කියන මගේ සන්නාමය යටතේ විශාල පරාසයක දැව නිෂ්පාදන මම කරනවා. නාම පුවරු, පිඟන්, භාජන, අත්ඔරලෝසු, කෝප්ප, හැඳි සහ ගෑරප්පු වගේ තවත් බොහෝ දැවවලින් කරන නිෂ්පාදන රැසක් මා සතුව තිබෙනවා.
ගස් කපලා කොහොමද ස්ථිරසාර නිෂ්පාදනයක් කරන්නේ කියන කාරණය ගොඩ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. මගේ මේ හැම නිෂ්පාදනයකටම භාවිත කරන්නේ මැහෝගනී දැව වර්ගය. මැහෝගනී කියන්නේ අද වෙද්දී නිෂ්පාදන කාර්යයන්වලට යොදා ගැනීමේ අරමුණින් විශාල ඉඩම්වල මහා පරිමාණයෙන් වගා කරන ශාකයක්. ඒ වගේම මට එන ගැනුම්කරුවන් බොහෝ දෙනෙක් අහපු දෙයක් තමයි ඇයි මේක කුඹුක් වගේ දැවයකින් කරන්න බැරි කියලා. ඇත්තටම කුඹුක් කියන්නේ වැඩෙන්න අවුරුදු ගණනාවක් ගතවෙන දුර්ලභ වටිනා ශාකයක්. ඒ වගේම ඒක පරිසරයේ පැවැත්මට ලොකු කාර්යයක් ඉටුකරන ශාකයක්. ඒ කාරණය නිසා අපි අපේ කිසිම නිෂ්පාදනයකට කුඹුක් යොදාගන්නේ නැහැ. ඒක ප්‍රවර්ධනය කරන්නෙත් නැහැ. මේ කාරණාව ගැන මම මගේ හැම පාරිභෝගිකයෙක්වම ගැනුම්කරුවෙක්වම දැනුවත් කරනවා. ඒ හැමකෙනෙක්ම මේ කාරණාව හොඳින් තේරුම් ගන්නවා.
මිනිසා කියන්නේ මුල් කාලයේ ඉඳලාම පරිසරයත් සමග බද්ධ වෙලා හිටපු කෙනෙක්. නමුත් තාක්ෂණයේ දියුණුවත් එක්ක සෑම දෙයක්ම කෘත්‍රිම වීමත් එක්ක මිනිසා ගොඩක් මේ වෙද්දී පරිසරයෙන් ඈත්වෙලා තියෙනවා. අපි අද භාවිත කරන ප්ලාස්ටික් පිඟාන, කෝප්පය වගේ විශාල පරාසයක තියෙන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතයෙන් පස්සේ පරිසරයට බැහැර කිරීමත් එක්ක පරිසරයට වෙන්නේ සුළුපටු හානියක් නෙවෙයි. විශේෂයෙන් ප්ලාස්ටික් වියෝජනය වීමත් එක්ක අද මතු වෙලා තියෙන මයික්‍රෝ ප්ලාස්ටික් අවදානම අද ලෝකයේම දැඩි අවධානයට ලක්වූ කාරණයක්.
නමුත් අපිට පුළුවන් නම් ස්ථිරසාර ක්‍රමවේද සහ හරිත සංකල්ප යටතේ මේ වගේ ස්වාභාවික නිෂ්පාදන හා පරිසර හිතකාමී නිෂ්පාදන මිනිසාගේ පරිභෝජනයට එක්කරන්න, අර බිඳී ගිය සම්බන්ධතාව නැවත ගොඩනගන්න හැකියාව තියෙනවා. ඒ වගේම පරිසර සංරක්ෂණය ගැන හිතන්න මෙය වක්‍රාකරව විශාල දායකත්වයක් ලබාදෙනවා.
ව්‍යාපාරයක් විදිහට ගත්තොත් ලංකාව වගේ රටකට නම් මේ වගේ අලුත් නිෂ්පාදන රැසක් බිහිකරන්න වගේම හොඳ විදෙස් වෙළෙඳ පොළක් මේ හරිත නිෂ්පාදන ඔස්සේ නිර්මාණය කරගන්න ඕනෑතරම් ඉඩකඩ තිබෙනවා. ඒ වගේම මෙවැනි නිෂ්පාදනවලට විශාල ඉල්ලුමක් වගේම ඉහළ මිලක් ලබාගන්න හැකියාව තිබෙනවා.
ඒවාට අවශ්‍ය සම්පත් ඕනෑ තරම් මේ රටේ පවතිනවා. නමුත් ඒ සම්පත් ලබාගැනීම ස්ථිරසාරව සිදුකරන්න පුළුවන් නම් අපිට වගේම අපේ ඉදිරි පරම්පරාවලටත් මේවායේ ප්රතිලාභ ලබාගන්න ඉඩ සැලසේවි.
වර්තමානය වෙද්දී මම මගේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව මේ ව්‍යාපාරයේ නිරතව ඉන්නවා. ඇත්තටම රැකියාවක් කරනවාට වඩා තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම තුළ විශාල තෘප්තියක් තිබෙනවා. මම කරන දැව නිෂ්පාදනවල මූලික සැකසුම් කරගන්න වඩුවැඩ කරන තැන් කිහිපයකටම ගියත් ගොඩ දෙනෙක් මේක කරන්න භාරගන්න කැමති වුණේ නැහැ. පස්සේ බොහොම අපහසුවෙන් තැන් කිහිපයක් කැමති කරගත්තා. කාලයක් යද්දී මම දැක්ක දෙයක් තමයි වඩු කර්මාන්තය නැතිවෙලා යන්න මූලිකම හේතුව ඒක ව්‍යාපාරයක් විදිහට නිසි කළමනාකරණයකින් නොකිරීම.
තමන් උපයන ආදායම හෝ අමුද්‍රව්‍ය ටික හරි විදිහට කළමනාකරණය කරගන්න එකෙන් එයාලට ලැබෙන ප්‍රතිලාභය ගැනවත් නිසි වෙලාවට නිෂ්පාදන සහ ඇණවුම් පාරිභෝගිකයාට ලැබෙන්න සැලැස්වීමෙන් ලැබෙන ප්‍රතිලාභය ගැනවත් එයාලට හරි අවබෝධයක් තිබුණේ නැහැ. හැම වෙලාවකම මේ කර්මාන්තය යන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් එදාවේල ගැන පමණක් හිතලා.
පස්සෙ කාලෙක ව්‍යාපාර කටයුතුත් එක්ක මම ඔවුන්ට ගොඩක් සමීප වුණා. ඒ සමීප සම්බන්ධයත් එක්ක මම එයාලට පැහැදිලි කළා ඔවුන්ගේ ක්‍රමය වෙනස් කිරීමෙන් ලැබෙන ප්රතිලාභ පිළිබඳ. ඒ එක්කම ව්‍යාපාරයක් විදිහට මේ කර්මාන්තය ගොඩනගාගන්න විදිහ සහ කළමනාකරණය කරගන්න විදිහ ගැන නිතරම දැනුවත් කළා. ඇත්තටම ඔවුන් ගොඩක් කැමති වුණා ඒ වෙනස තමන්ගේ කර්මාන්ත තුළ කරගන්න. එහි ප්‍රතිඵලයක් විදිහට මුලින්ම වඩුමඩුවක් විදිහට කරගෙන ගිය ඒ කර්මාන්ත අද එයාලා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් විදිහට කරගෙන යනවා. මාත් එක්ක කටයුතු කරපු ඔවුන් ඒ ලබලා තියෙන දියුණුව ගැනත්, ඊට රුකුලක් සැපයීමට හැකිවීම ගැනත් මට විශාල සතුටක් තියෙනවා.
සටහන - නඳුන් ශ්‍යාමාල්/ ඡායාරූප - ශමීර රාජපක්ෂ