Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
දීර්ඝ කාලයක් පුරාවට ලෝකයටම හිසරදයක්ව පවතින රෝගයක් ලෙස %පිළිකාව^ හැඳින්විය හැකිය. පසුගිය දිනවල ලෝකයම බියෙන් සලිත වූ %කොරෝනා^ වෛරසයටත් වඩා වැඩියෙන් අප පිළිකා රෝගය වෙත අවධානය ලබාදිය යුතුය. ලෝකයේ සෑම රටක්ම මේ වනවිට පිළිකා මර්දනය සඳහා විශේෂිත වැඩසටහන් රැසක් පවත්වාගෙන යන අතර, සෑම වසරකම පෙබරවාරි 04 වැනි දින %ලෝක පිළිකා දිනය^ ලෙස සැලකේ. පෙබරවාරි මාසය %ලෝක පිළිකා මාසය^ ලෙසින් හැඳින්වේ. මෙවර ලෝක පිළිකා දිනයෙහි තේමාව වන්නේ %මම අපි ඔබ වෙනුවෙන් අද මෙන්ම හෙටත්^ යන්නයි. ඇත්තෙන්ම පිළිකාව කෙතරම් වර්තමානයේ පුද්ගල සෞඛ්‍ය අකර්මණ්‍ය කර තිබෙනවාද?, කෙතරම් මිනිස් ජීවිත ප්‍රමාණයක් පිළිකා මාරයාට හසුවීද? යන්න අප සිතා බැලිය යුතු කරුණු දෙකකි. පිළිකා දිනය වෙනුවෙන් පසුගියදා (10දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් පැවැති අතර, එහිදී දැක්වුණු අදහස් ඇසුරින් මෙම ලිපිය සකස් වී තිබේ.
පිළිකා රෝගය පිළිබඳව බොහෝ දෙනාගේ අදහස වනුයේ මෙම එය සුවකළ නොහැකි රෝගයක් බවයි. එමෙන්ම මෙම රෝගය හටගැනීමෙන් අනතුරුව ඇතැම් පුද්ගලයන් කායිකව මෙන්ම මානසිකවද පහතට වැටෙන බව අප දැක තිබේ. පිළිකා රෝගය කෙතරම් භයානක තත්ත්වයක් වුවත් ඒ සඳහා සාර්ථකව ප්‍රතිකාර ලබාගෙන සුවපත් වූ බොහෝ පුද්ගලයන් ලෝකය පුරාම සිටී. ලංකාව තුළද පිළිකා මාරයාට එරෙහිව සටන් කර ජයගත් පුද්ගලයන් රැසක් සිටින අතර, මේ වනවිට ලංකාව පුරා පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන රැසක් පවතී. ඒ සඳහා අවැසි විශේෂඥ වෛද්‍යවරුන්ද සිටී.
අද වනවිට ගතවන සෑම විනාඩියකදීම ලෝකයේ 17 දෙනෙකු පිළිකා රෝගය හේතුවෙන් මරණයට පත්වේ. 2018 වසර තුළදී ලංකාවෙහි නව පිළිකා රෝගීන් 23,530ක් හඳුනාගෙන තිබෙන අතර, දිනකට නව පිළිකා රෝගීන් 64 දෙනෙකු සාමාන්‍ය වශයෙන් හඳුනා ගැනේ. ලංකාව තුළ පිළිකා රෝගය හේතුවෙන් දළ වශයෙන් වසරකට මරණ 14,013ක් සිදුවන අතර, එක් දිනකදී පිළිකා මරණ 38ක් සිදුවේ.
සෑම පිළිකා මරණවලින් තුනෙන් එකක් නිසි ප්‍රතිකාර තුළින් වැළැක්විය හැකි බව මෙම මාධ්‍ය සම්මන්ත්‍රණයේදී කතාබහට ලක්විය. එමෙන්ම මේ වනවිට පිළිකාව කලින් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ සුවකිරීම සාර්ථකව සිදුකළ හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි. තවද පිළිකාවෙහි අවසන් අදියරයේදී හඳුනා ගන්නා පිළිකා රෝගීන් වෙනුවෙන්ද විශේෂ ප්‍රතිකාර මේ වනවිට තිබෙන අතර, ඔවුන්වද සුවකිරීමට හැකියාව තිබේ. මෙම රෝගය සුවකළ නොහැකි රෝගීන්ගේ මනස කඩා වැටීම වළක්වා, ඔවුන්ගේ ඉදිරි කාලය සුබවාදීව ගතකිරීමට උපකාර කෙරෙන විවිධ වැඩසටහන්ද පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ක්‍රියාත්මක කෙරේ.
දුම්පානය, බුලත්විට, මත්ද්‍රව්‍ය, මද්‍යසාර භාවිතයෙන් වැළකීම, වායු දූෂණයෙන් අඩු පරිසරයක ජීවත් වීම, පෝෂදායී එළවළු, පලතුරු නිරතුරුවම ආහාරයට ගැනීම, ශරීර යෝග්‍යතාව නිවැරදිව තබාගැනීම, ක්‍රියාශීලී වීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම තුළින් පිළිකාවන් ඇතුළු සියලුම බෝ නොවන රෝගවලින් වැළකිය හැකිය. දුම්පානයෙන් සියයට දහඅටක ප්‍රමාණයක් පුද්ගලයෙකුගේ ශරීරයේ පිළිකා රෝගී තත්ත්වයක් ඇතිවීමටද බලපානු ලබයි. පෙණහලු පිළිකා, පුරස්ථි ග්‍රන්ථි පිළිකා, ආමාශය ආශ්රිත පිළිකා තත්ත්වයන් වැඩි ප්‍රමාණයක් වැළඳෙනුයේ පිරිමි පාර්ශ්වයට වන අතර, ඉන් ලෝකයේ ඉදිරියෙන්ම තිබෙන පිළිකාව වනුයේ %පෙණහලු පිළිකා^ රෝගයයි. එයට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙනුයේ ලෝකයේ වැඩි පිරිසක් දුම්පානයට ඇබ්බැහි වී සිටීමයි. පෙණහලු පිළිකාව සෑදුණු විට සුව කිරීමේ හැකියාව සීමා සහිත බව මෙම සම්මන්ත්‍රණයේදී විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය.
පෙණහලු පිළිකාව ඉක්මනින් වැලඳී ශරීරය පුරා ඉක්මනින් ගමන් කිරීම සිදුවන අතර, මෙම පිළිකාව වැලඳීම වළක්වා ගැනීමට සිදුකළ යුතු ප්‍රධානම කාර්ය වනුයේ දුම්පානයෙන් වැළකී සිටීම බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. ඉන්පසු ඉදිරියෙන්ම තිබෙන පිළිකා රෝගය වනුයේ පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත පිළිකාව වන අතර, එය ඉතා සෙමින් පැතිරීම සිදුවේ. එබැවින් මෙම රෝගී තත්ත්වයෙන් රෝගියා සුව කරගැනීමේ හැකියාව වැඩිවන බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පැවසීය. ආමාශය ආශ්‍රිතව ඇතිවන පිළිකාවද යම් මට්ටමකින් දරුණු තත්ත්වයක් වන අතර, %ගුණදායක ආහාරයන්^ පරිභෝජනය නොකිරීම මෙම රෝගය ඇතිවීම සඳහා ප්‍රධාන හේතුවකි. ලෝකයේ දුම් පානයට සමගාමීවම තිබෙන ගැටලුවක් ලෙස %ගුණදායක ආහාරයන්^ පරිභෝජනය නොකිරීම හැඳින්විය හැකිය. එමෙන්ම පියයුරු පිළිකාව කාන්තාවන්ට සෑදෙන පිළිකා රෝගී තත්ත්වයන්ගෙන් ඉදිරියෙන්ම සිටින පිළිකාව වේ. එමෙන්ම ගැබ්ගෙල පිළිකාව කාන්තාවන්ට දෙවැනියට වැඩියෙන්ම වැලඳෙන පිළිකාව ලෙස හඳුනාගෙන තිබේ. කාන්තාවන් අතර විශාල වශයෙන් දුම්පානය සිදුනොවන බැවින් පෙණහලු පිළිකා කාන්තාවන්ට සෑදෙනුයේ ඉතා අවම වශයෙන් බව වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙහිදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
&මුඛ පිළිකාව, පෙණහලු පිළිකාව, ගැබ්ගෙල පිළිකාව වැනි පිළිකාවන් අපට වැළැක්විය හැකි පිළිකාවන්. පියයුරු පිළිකාවද සුව කිරීමේ හැකියාව තිබෙන පිළිකාවක්. පියයුරු පිළිකාව කල් ඇතිව හඳුනා නොගැනීම හේතුවෙන් මියගිය පිරිස් වසරකදී වැඩි ප්‍රමාණයක් අපට හමුවෙනවා. පසුගිය වසර දහයක කාලය තුළදී පිළිකාව සුව කරගත් පිරිස පනස්දහසකට අධිකයි. ලංකාව තුළ වසරකට පියයුරු පිළිකා රෝගීන් 3000ක් පමණ හඳුනා ගැනෙනවා. කාන්තාවන්ට සෑදෙන පිළිකාවන් අතරින් හතරෙන් එකක ප්‍රමාණයක් පියයුරු පිළිකා රෝගීන් වෙනවා.
ලෝකයේ බොහෝ විට පෙණහලු පිළිකා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුවත් ලංකාවේ වැඩියෙන් වාර්තා වන්නේ මුඛ පිළිකා රෝගීන්. එයට ප්‍රධානම අවදානම්සහගත සාධකය වන්නේ ලංකාව තුළ බාල, මහලු බොහෝ පිරිසක් බුලත් විට කෑම පුරුද්දක් කොටගෙන තිබීමයි. බුලත් විටෙහි අඩංගු දුම්කොළ සහ පුවක් ප්‍රධාන පිළිකා කාරකයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. නමුත් ලංකාව තුළ පුවක් ආනයනය අවම කිරීම සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වන්නේ ඉතා අඩුවෙන්. විශේෂයෙන් %බාබුල්^ වැනි ඇසුරුම් කෙරුණු පුවක් පිළිකා කාරක බහුල දෙයක් ලෙස සැලකෙනවා.
මෙහිදී සුවකළ නොහැකි පිළිකා රෝගීන්ගේ ඉදිරි කාලය ධනාත්මක ලෙස හා සුබවාදීව ගතකිරීම උදෙසා ගෙන යන වැඩසටහන් පිළිබඳව අදහස් පළකළ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉරේෂා නිලවීර මහත්මිය,
&අපට සෑම පිළිකා රෝගියෙකුම සුව කිරීමට හැකියාවක් නොමැති බව ඔබ දන්නවා. එසේ සුවකළ නොහැකි රෝගියෙකු හමු වූ පසු ඔහුගේ ඉදිරි කාලය ධනාත්මක ලෙස හා සුබවාදීව ගතකිරීමට ඉඩ සලසා දීම %සහන සත්කාර සේවාව^ තුළින් අප සිදුකරනවා. %සහන සත්කාර^ සේවාවෙහි අරමුණු කිහිපයක් තිබෙනවා. ඇතැම්විට එවැනි රෝගීන් වෙනත් පීඩාවන් තුළින් පෙළෙන්න පටන් ගන්නවා. පිළිකා රෝගය උත්සන්න වූ පසු අධික වේදනාවන් ශරීරයෙන් දැනෙන්න පටන් ගන්නවා. එම කායික වේදනාවන් හැකි ලෙස අවම කිරීමට අප කටයුතු කරනවා. එමෙන්ම ඔහුගේ මානසික සුවයද ඉහළට ගෙන ඒමට අප විවිධ වැඩසටහන් සිදුකරනවා. තවද ඔවුන්ට අධ්‍යාපනික සුවයක් ලබාදීමද මෙම සහන සත්කාර වැඩසටහන් තුළින් අප සිදුකරනවා. රෝගියා කේන්ද්‍ර කරගත් විශාල පිරිසක් මෙම සහන සත්කාර වැඩසටහන පිටුපස සිටිනවා. එමෙන්ම රෝගියාගේ පවුලේ අයටත්, රෝගියා රැක බලාගන්නා අයටත් අප මෙම වැඩසටහනේදී ප්‍රතිකාර සිදුකරනවා. එමෙන්ම මෙම රෝගීන්ට අධ්‍යාත්මික සුවය ඉතා වැදගත් වෙනවා. ඒ සඳහාද අප අවස්ථාව ලබාදී තිබෙනවා. රෝගීන් නිවසට ගෙනගොස් රැක බලා ගැනීමට අපහසුතා තිබෙන අවස්ථාවන් සඳහා රෝගීන් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයන් අප පවත්වාගෙන යනවා. එමෙන්ම නිවෙස තුළ සිටම සහන සත්කාර සේවා ලබා ගැනීමටද හැකියාව තිබෙනවා. මේ හැම රෝගියෙකුගේම මනස කඩා වැටීමට නොදී තබා ගැනීමටයි අප උත්සහ ගන්නේ
මේ වනවිට ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ප්‍රධාන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයන් පිහිටා තිබේ. එමෙන්ම එම රෝහල්වල පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු රැසක් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට සිටින අතර, දිස්ත්‍රික් මහරෝහල් තුළද පිළිකා ප්‍රතිකාර ඒකකයන් මේ වනවිට ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 23ක් රට පුරා ක්‍රියාත්මක වන අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ කොතලාවල රෝහල තුළද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ. එම නිසා පිළිකාව කලින් හඳුනා ගැනීම, ප්‍රතිකාර කිරීම සහ පිළිකාව වැළැක්වීම සිදුකිරීමට හැකියාව පවතින බව වෛද්‍යවරු මෙහිදී ප්‍රකාශ කළහ.
ලංකාවේ වැඩි වශයෙන් දක්නට ලැබෙන පිළිකා වර්ගයන් හා එහි රෝග ලක්ෂණ.
මුඛ පිළිකා
මුඛ පිළිකාව ඇතිවීමට පෙර පූර්ව පිළිකා අවස්ථාවේදීම එය හඳුනාගත හැකිය. එම අවස්ථාවේදී හඳුනාගතහොත් පිළිකාවක් බවට පත්වීම වළක්වාගත හැකිය. මුඛය තුළ සුදු හා රතු මිශ්‍ර ලපයන් කලාන්තරයක් තිස්සේ පැවතීම, රතු පැහැති දිගු ලපයන් මුඛය තුළ දිගු කාලයක් පැවතීම, සුදු පැහැති ලපයන් පැවතීම, මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ ඝනවීමක් හා සුදුමැලි බවක් පැවතීම, මුඛය අභ්‍යන්තරයේ දීර්ඝකාලීනව සුව නොවන තුවාලයක් හෝ ගැටිත්තක් තිබීම මෙහි රෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකිය.
ගලනාල පිළිකා
මෙම රෝගය වැඩි වශයෙන් සෑදෙනුයේ පිරිමි පාර්ශ්වයට බව මේ වනවිට සොයාගෙන තිබේ. මිනිස් ශරීරයේ ගලනාලය ආශ්‍රිතව මෙම පිළිකා රෝගී තත්ත්වය නිර්මාණය වේ. සතියකට වඩා පවතින ආහාර ගිලීමේ වේදනාවන් පැවතීම, අනපේක්ෂිත ආකාරයෙන් සිරුරේ බර ප්‍රමාණය අඩුවීම, ක්‍රම ක්‍රමයෙන් වැඩි වන ආහාර ගිලීමේ අපහසුතාවන් පැවතීම මෙම රෝගයෙහි රෝග ලක්ෂණයන් වේ.
මහාඅන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා
මෙහි රෝග ලක්ෂණ ලෙස මළපහ සමග ලේ පිටවීම, මළපහ කිරීමේ පුරුදුවල යම් වෙනස්කමක් පැවතීම, නිතර නිතර ඇතිවන මලබද්ධය, පාචන ස්වභාවයක් හෝ ගුද මාර්ගයෙන් ලේ පිටවීම, මලපහ පෙරට වඩා සිහින් ස්වභාවයක් ගැනීම, මලපහ කිරීමෙන් පසුවද මලපහ පිටවීමේ අසම්පූර්ණ බවක් දැනීම, උදරයේ ඇති අසාමාන්‍ය වේදනාවන් යන මෙම රෝග ලක්ෂණයන්ගෙන් එකක් හෝ පවතීනම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
පියයුරු පිළිකා
පියයුරු පිළිකාවක් යනු පියයුරේ කිරි නිපදවන ග්‍රන්ථි හා නාලවල සෛල පාලනයකින් තොරව අසාමාන්‍ය ලෙස බෙදීම හේතුවෙන් ඇති වන රෝගී තත්ත්වයකි. පියයුරු පිළිකා කාන්තා පුරුෂ දෙපාර්ශ්වයටම වැලඳෙන්නක් වන අතර, පියයුරු පිළිකාව පිරිමි අයෙකුට වඩා කාන්තාවකට වැලඳීම ඉතා වැඩිය. පිළිකා සඳහා පවුල් ඉතිහාසයක් ඇති කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානමක් තිබේ. මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ ලේ ඥාතියෙකුට පියයුරු හා ඩිම්බ කෝෂ පිළිකා වැලඳී ඇතිනම් මෙම තත්ත්වය ඇතිවිය හැකිය. තවද දරුවන් නොමැති හෝ දරුවන් ලැබීම පමා වූ කාන්තාවන්ටද පියයුරු පිළිකාව වැලඳීමට ඉඩකඩක් පවතී. වෛද්‍ය උපදෙසින් තොරව %ඊස්ට්‍රජන්^ හෝමෝනය අඩංගු ඖෂධ සඳහා දීර්ඝකාලීනව නිරාවරණය වූ කාන්තාවන්ටද මෙම රෝගී තත්ත්වය ඇතිවීමට හැකිය. තවද ආර්තවහරණයට පසු අධික ලෙස තරබාරු වූ කාන්තාවන්ටද, ජීවිත කාලය තුළ ඔසප් චක්‍ර වැඩි සංඛ්‍යාවකට නිරාවරණය වූ කාන්තාවන්ටද මෙම පිළිකා තත්ත්වය ඇතිවීමට ඉඩකඩ තිබේ.
පියයුරුවල අලුතෙන් ඇතිවූ අසමමිතික බවක් තිබීම, පියයුරේ යම් කොටසක් ඇතුළට නෙරා යාමක් තිබීම, පියයුරුවල සමෙහි වෙනස් යමක් පැවතීම මෙම රෝගයෙහි රෝග ලක්ෂණයන් වේ. විශේෂයෙන් දදයක්, ඝනවීමක්, පැහැයේ වෙනසක්, ඉදිමීමක් වැනි ලක්ෂණයන් පැවතීමද මෙහි රෝග ලක්ෂණයන් වේ. එමෙන්ම තනපුඩු ඇතුළට ගිලී යාම, තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයන් පිටවීම, පියයුරුවල අසාමාන්‍ය වේදනාවන් දැනීමද මෙහි රෝග ලක්ෂණයන් ලෙස හඳුන්වා දිය හැකිය. පියයුරු පිළිකාවක් මූලික අවධියේදීම හඳුනාගතහොත් ඒ සඳහා සාර්ථකව ප්‍රතිකාර කර සුව කරගැනීමට හැකියාව පවතී. ස්වයං පියයුරු පරීක්ෂාව, සායනික පියයුරු පරීක්ෂාව, මැමෝග්රෑම් හෝ අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂා මගින් පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට හැකියාව පවතී.
ගැබ්ගෙල පිළිකා
කාන්තාවන්ට වැලඳෙන පිළිකා අතරින් දෙවැනියට බහුලතම පිළිකා වර්ගය වන්නේ මෙම පිළිකාවයි. මෙය සම්පූර්ණයෙන්ම සුවකර ගැනීමට හැකි පිළිකාවකි. මෙය ඇතිවනුයේ පිළිකා කාරක %හියුමන් පැපිලෝමා^ වෛරස (එච්.පී.වී) ආසාදනය දිගුකාලීනව ගැබ්ගෙල ආශ්‍රිතව පැවතීම හේතුවෙනි. එච්.පී.වී වෛරසය ආසාදනය ලිංගික සම්බන්ධතා පවත්වන ඕනෑම කෙනෙක් තුළ ඇතිවිය හැකි ආසාදනයකි. මෙම ආසාදනයෙහි කිසිදු රෝග ලක්ෂණයක් නොපෙනෙන අතර, ඇතැම් කාන්තාවන් මෙයින් ප්‍රතිකාර නොලබාම සුවපත් වේ. සුළු පිරිසකට මෙම ආසාදනය දිගටම පවතී. දීර්ඝකාලීනව මෙම වෛරසය ආසාදනය ගැබ්ගෙලේ පැවතීම හේතුවෙන් ගැබ්ගෙලේ සෛලවල යම් අසාමාන්‍යතා ඇතිවීමේ හැකියාව පවතී. මෙය ගැබ්ගෙල පිළිකාවේ මුල් අවධිය ලෙස සැලකේ. පූර්ව පිළිකා අවධියේදී සහ පිළිකාවේ මූලික අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් නොමැති වන අතර, පැප් පරීක්ෂණයක් මගින් මෙම අවධි හඳුනාගෙන සරල ක්‍රම මගින් පිළිකාවක් බවට පත්වීම වළක්වාගත හැකිය. ගැබ්ගෙල පිළිකාව මූලික අවධිය පසුකළ විට යෝනි මාර්ගයෙන් දුර්ගන්ධයෙන් යුත් ශ්‍රාවයන් පිටවීම, ඔසප් චක්‍ර දෙකක් අතර හෝ අර්තවහරණයෙන් පසුව හෝ ලිංගික සබඳතා අතරතුර යෝනි මාර්ගයෙන් අක්‍රමවත් හා ආසාමාන්‍ය රුධිර වහනයක් සිදුවීම ගැබ්ගෙල පිළිකාවේ රෝග ලක්ෂණයන්ය.
එච්.පී.වී වෛරසය ආසාදානය වීම වළක්වා ගැනීමට %එච්.පී.වී^ එන්නත ලබාගැනීමට හැකිය. තවද අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීමෙන් වැළැකීම, අනාරක්ෂිත ලිංගික සබඳතාවකදී උපත් පාලන කොපු භාවිත කිරීම සහ දුම්පානයෙන් වැළැකීම තුළින්ද මෙම වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකිය.
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
පුරුෂයන්ට සෑදෙන ප්‍රධාන පිළිකා අතුරින් දෙවැනි තැනට තිබෙනුයේ පුරස්ථිත ග්‍රන්ථි පිළිකාවය. අවශ්‍යතාව ඇතත් මුත්‍රා පහකිරීමේ ඇති අපහසුතාව, මුත්‍රා කිරීමෙන් පසුවද සම්පූර්ණයෙන්ම මුත්‍රා පිට නොවූවා සේ දැනීම, මුත්‍රා කිරීම ඇරඹීමේ සහ මුත්‍රා ධාරාව පවත්වා ගැනීමේ අපහසුතාවන්, නිරන්තරයෙන් අසාමාන්‍ය ලෙස මුත්‍රා පිටවීම සහ රාත්‍රියට මුත්‍රා කිරීමේ වාර ගණන වැඩි වීම මෙහි රෝග ලක්ෂණයන් ලෙස දැක්විය හැකිය.
තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා
තයිරොයිඩ් ග්‍රන්ථියේ විශාල වීමක් හෝ වෙනසක් පැවතීම, ගෙලෙහි වසා ගැටිති (කුද්දැටි) ඉදිමීමක්, හේතුවක් නොමැතිව ඇතිවන කටහඬේ ගොරෝසු බවක්, ගෙලෙහි නිරන්තර වේදනාවක්, ගිලීමේ අපහසු බවක්, හුස්ම ගැනීමේ අපහසු බවක් පැවතීම මෙම රෝගයෙහි රෝග ලක්ෂණයන්ය. මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට හෝ ඔබේ හිතවතුන්ට තිබෙනවා නම් හැකි ඉක්මනින් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස අපිද ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.
කැළුම් දේවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd