පොසොන් පුර පසළොස්වක පොහොය සිහිපත් වන විට නිරායාසයෙන්ම අපගේ සිතට නැගෙන්නේ මිහිඳු මාහිමියන්ගේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තියයි. ඒ අසිරිමත් සම්ප්‍රාප්තිය වූ මහින්දාගමනය සිංහල බෞද්ධ සංස්කෘතික හා ආගමික අංශයන්හි නව මාවතක අරුණලු උදා කිරීමට සමත් විය.
ඵෙතිහාසික පුරාවෘත්තවලට අනුව හඳුනාගත හැකි වන්නේ මහින්දාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රමවත් සංස්කෘතියක් නොපැවති බවයි. යක්ෂ, දේව හා නාග ගෝත්‍රිකයන් ලෙසින් කළ ගස් ගල් වන්දනයට නව ආගමික සංකල්පයන්ගේ ආරෝපණයක් සිදුවිය. මහා රූස්ස ගසක් සමීපයෙන් ගිය පිරිස එහි නිශ්ශබ්දතාව, නිස්කලංක බව, මහා භයානක ස්වභාවය හා සිසිලස ආදී දේ දැක එය දෙවියන් විසින් සිදුකරන ලද්දක් බව කල්පනා කළහ. මහා විශාල පර්වතවල ඇති විශාලත්වය බියමුසු ස්වරූපයක් ඇති කෙරුණි.
ඒ නිසාම එකල සිටි පිරිස වෘක්ෂ වන්දනය, ගස් ගල් වන්දනය, දේවත්වයෙන් සිදුකරන්නට වූහ. බුදු දහමේ ගැඹුරු සංකල්ප සරලව ඉස්මතු කරමින් මිහිඳු මාහිමියෝ වෘක්ෂ වන්දනයට බෝධි වන්දනයත්, පර්වත වන්දනය වෙනුවට චෛත්‍ය වන්දනයත් හඳුන්වා දෙන්නට වූහ. ඒ අනුව ධර්ම දේශනා පැවැත්වීම මුල්කොට ගනිමින් පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවන්නට විය. එහි පළමුවැනි ධර්මදේශනය ලෙස තෝරාගන්නට යෙදුනේ චුල්ලහත්ථි පදෝපම සූත්‍රයයි.
එහි අරමුණ වූයේ ත්‍රිවිධරත්නය පිළිබඳ මූලික අවබෝධයත්, චතුරාර්ය සත්‍යය හා බුදුදහමේ මූලික ඉගැන්වීම් මෙන්ම භික්ෂුවකගේ හැසිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමය. එසේම විමානවත්ථු හා පේතවත්ථු පිළිබඳ දේශනා මගින්, අද දක්වා පවතින බෞද්ධ චින්තනයේ අනන්‍ය ලක්ෂණයන් වන පාපයට බියවීම හා පාපයට ලැජ්ජාවීමත්, පිනට ළැදිකමත් වර්ධනය වන්නට විය.
දේවදූත සූත්‍ර, අග්ෂික්ධන්දෝපම සූත්‍රය හා අප්පමාද ආදී සූත්‍රයන් තෝරාගන්නේ ජීවිත යථාර්ථයත්, සසරේ භයානක බවත් පෙන්වාදීම මගින් චිත්ත සන්තානයන් තුළ සෘණාත්මක සංකල්ප දුරලා සිතුම්පැතුම් ධනාත්මක ලෙස වර්ධනය කිරීමටය. ඒ අනුව පළමුකොටම පුද්ගලයාගේ ආධ්‍යාත්මය සුවපත් කිරීම හා පස්පවින් වැළකුණු ධාර්මිෂ්ට සමාජයක් නිර්මාණය කිරීම මිහිඳු මාහිමියන්ගේ ධර්ම ප්රචාරයේ මූලික අරමුණ විය. එමගින් බුද්ධාගම යනු කුමක්දැයි රජතුමා ඇතුළු පිරිසට අවබෝධය ලබාදීම මගින් හරවත් බෞද්ධ සංස්කෘතියක් ඇති කිරීමට අඩිතාලම වැටුණි.
සමාජයේ සිටි පිරිස ප්‍රධාන වශයෙන් ගිහි පැවිදි ලෙස දක්වා පැවිදි පිරිස භික්ෂු භික්ෂුණී ලෙසටත්, ගිහි පිරිස උපාසක උපාසිකා ලෙසටත් බෙදී ගිය ආකාරය නිරූපණය කරන්නේ බෞද්ධ සමාජය සකස් වූ ආකාරයයි. මිනිස් තිරිසන් භේදයකින් තොරව ජීවිතය වටිනා වස්තුවක් බව තේරුම් ගත් මිනිසාට අවිහිංසා සහගත සිතිවිලි පෝෂණය වූ අතර, පන්සලට එකතු වූ අවස්ථාවේදී සියලු බද්ධ වෛර අමතක කොට එකා මෙන් මෙත් සිතින් කටයුතු කරන්නට විය.
'මාතා යථානියං පුත්තං - ආයුෂා ඒකපුත්ත මනුරක්ඛේ' මව දිවිහිමියෙන් සිය එකම පුතු රකින්නා සේ සියලු සත්ත්වයන් වෙත මෛත්‍රිය දැක්විය යුතුය යනුවෙන් දැක්වෙන්නේ එදා මිනිසා තුළ වර්ධනය වූ මෛත්‍රී සහගත චේතනාවන්ගේ ස්වභාවයයි. වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, නිල්ගොයමයි, කහ සිවුරයි යන සිංහල සංස්කෘතිය උරුම වූ බෞද්ධ සමාජයේ වටිනාකම් රෝපණය වන්නට විය. ඒ අනුව මිහිඳු මාහිමියෝ ධර්ම ප්‍ර‘බෝධයෙන් ශ්‍රී ලාංකේය ජනයා පුබුදුකොට ආගමක් හඳුන්වා දුන්නා පමණක් නොව සමස්ත සමාජයම දැවැන්ත වෙනසකට පරිවර්තනය කරනු ලැබූහ.
මහින්දාගමනයෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ කාලය ලංකා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්විය. බුදු දහමේ බලපෑම මත දේශීය සංස්කෘතියේ නව යුගයක් උදාකිරීමට සමත් විය. එහි ආරම්භය සිදුවූයේ දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් අභිෂේක කිරීම හා සැදැහැවත් බෞද්ධයෙකු බවට පත්වීමෙනි. එමගින් ශ්‍රී ලාංකිකයන් වන අපට වටිනා සංස්කෘතිකාංග රාශියක් ලැබුණි.
මහාමේඝ වන උයන සංවර්ධනය කිරීම මගින් උද්‍යාන කලාව බිහි කිරීම, භික්ෂූන් වහන්සේලා උදෙසා විහාරාරාම තනවා දීමෙන් ආගමික සංස්කෘතික හා පැවිදි උපසම්පදා වැනි ආගමික සිරිත් ඇති කිරීම, චෛත්‍යය හා බෝධි වන්දනයට නව අරුතක් ලබාදීම ආදිය මහින්දාගමනයෙන් ලද සංස්කෘතික දායාදයන්ය. එසේම ලාංකික සංස්කෘතියේ ධර්ම දේශනා, දානමය පිංකම්, පිරිත් සජ්ඣායනා, මඟුල් හා අවමඟුල් චාරිත්‍ර ආදිය කේන්ද්‍රකොට ගනිමින් ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම ආගමික කටයුතු කෙරෙහි නව නැඹුරුවක් දැක්වූයේ මිහිඳු මාහිමියන්ගේ ආගමික සංකල්පයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. ජන ජීවිතය හා සම්බන්ධ වූ ආධ්‍යාත්මික පරිවර්තනයක් පමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ආරාමික අධ්‍යාපනය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් සිදුවිය.
මිහිඳු මාහිමියෝ අනුරාධපුරයෙහි මහා විහාරය කේන්ද්‍රකොට ගනිමින් ලාංකික මානවයාගේ සාරධර්ම වර්ධනය කරමින් පුද්ගල හා සමාජ සම්බන්ධතා ජන ජීවිතයට බද්ධ කරමින් පස්පවින් වැළකුණු ධර්මිෂ්ට සමාජයක් නිර්මාණය කිරීමට සමත් වූහ. සැබෑවටම ආධ්‍යාත්මික සුවපත් බව අගයන ජීවිතයේ යථාර්ථය ගැඹුරින් තේරුම් ගත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම උන්වහන්සේගේ ඒකායන අභිප්‍රාය විය. එදා පැවති සාමකාමී, තෘප්තිමත් ජීවන රටාව වර්තමානයේ දැවැන්ත ක්‍රියාකාරකම් මගින් හා දියුණු යැයි සම්මත අධ්‍යාපන රටාවන් මගින් සැබෑවක් බවට පත්කිරීමට නොහැකි වීම කණගාටුවට කරුණකි.
පරාර්ථකාමිත්වය වෙනුවට ආත්මාර්ථකාමිත්වයත්, එමගින් එකිනෙකා අභිභවා යෑමට දරන ප්රයත්නයත් තුළින් වර්ධනය වී ඇති අතෘප්තිමත් ජීවන රටාවත්, ඇඟ කිළිපොලා යන අපරාධ රැල්ලත් දකින විට පෙනී යන්නේ මිනිසා මහා පරිහානියකට වැටෙමින් පවත්නා අන්දමයි. මිහිඳු මාහිමියන් හඳුන්වා දෙනු ලැබූයේ අනිත්‍යතාව, සංසාරයේ ඇති භයංකර බව මෙන්ම මිනිසාට ලැබී ඇති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ ඇති වටිනාකමයි.
මිනිසා ලබා ඇති බුද්ධියේ මහිමයයි. බුද්ධිය හා ඉගෙනීම එකක් නොව කාරණා දෙකකි. සතුන්ට මිනිසාටත් වඩා ඉගෙන ගන්නට හැකියාව ඇති අවස්ථා දැකිය හැක. එසේම මිනිසාට මෙන්ම සතාටද යමක් ඇසෙන නිසා ශ්‍රවණය කිරීමට හැකියාවද ඇත. ඇසුණු දෙයින් හා උගත් දෙයින් අලුත් යමක් සිතීමට හා එම බුද්ධිමය හැකියාවෙන් වැඩ ගැනීමට සතුන් අපොහොසත් වන නිසා, අප්‍රමාණ සත්ත්ව ලෝකය තුළ මනුෂ්‍ය ජීවිතය පමණක් ඉතා ශ්‍රේෂ්ඨ වන බව බුදුන් වහන්සේ විසින් දේශනාකොට ඇත. අනුබුදු මිහිඳු හිමියන් පෝෂණය කළ ආගමික හා සංස්කෘතික ප්‍ර‘බෝධයේ වටිනාකම එයයි.
දෙහිඕවිට, ශ්‍රී සුශිලෝදය පිරිවෙන්හි ආචාර්ය
ශාස්ත්රිපති, රාජකීය පණ්ඩිත
පූජ්‍ය පලුගොල්ලේ විජිත හිමි