ශීත සෘතුව අත ළඟටම ඇවිත්. සරත් සෘතුවේදී සුපුරුදු හරිත වර්ණයෙන් මිදී කහ, රතු සහ තැඹිලි ආදි වර්ණයන්ගෙන් හැඩ වූ ශාක පත්‍ර ශීත සෘතුවට ඉඩ ලබාදී තුරු අගින් බැස යන්නට පටන් අරන්. එපරිද්දෙන්ම ගිම්හානයේදී ඊට සරිලන ඇඳුමෙන් පැලඳුමෙන් හැඩ වූ ජපනුන් ශීත සෘතුවට ආවේණික විලාසිතා සහ ඇඳුම් ආයිත්තමින් සැරසෙමින් තෝකියෝව පුරා ගමන් කරනු දැකගත හැකියි. ඒ ඒ කාලෙට ඔබින පරිද්දෙන්, ඇඳුම් ආයිත්තම්, ආහාරපාන, රාජකාරි වේලාවන් වෙනස් කරගන්නා ඔවුන් සුපුරුදු කඩිසර විලාසයෙන් සිය දෛනික කටයුතුවල නිරත වෙනවා. වරෙක ඔවුන්ගේ තදින් හික්මුණු හැසිරීම, ආචාරශීලීත්වය දකින මට දෙවැනි ලෝක සංග්‍රාමයේදී ලෝකයා බියෙන් අවුළුවමින් මහා සංහාරයක නියළුණේ මේ මිනිසුන්මදැයි සැක සිතෙන තරම්.
මේ අපූරු මිනිසුන් ගැන නොයෙක් දේ අත්දකිමින් එකී කල්පනාවෙන්ම මා තෝකියෝවේ නගර බස් රථයකට ඉබේම වාගේ ගොඩවූයේ සුපුරුදු ජපන් සංස්කෘතිය අධ්‍යයන මධ්‍යස්ථානයට යාමටය. බසයේ කිසිම හා හූවක් නැත. කවුරුත් මගේ කල්පනාවට බාධාවෙන පරිදි හඬක් නොනැගූහ. පාර දෙපස සෙනග පිරී ඇත. එහෙත් ලොකු සද්දබද්ද නැත. ඒ ජපානයේ හැටිය.
එදිනෙදා කටයුතු වෙනුවෙන් ජපනුන් යොදාගන්නා නගර බස් රථ ගැන ඔවුන් තුළ ඇත්තේ පොදු හැඟීමකි. එම පොදු හැඟීම ඇති කරනු වස් අතීතයේ සිට වර්තමානය දක්වාම පැවැති රජයන් ගෙන ඇති ක්‍රියාවන් ඊට පිටිවහලක් වන්නට ඇත. ඒ සඳහා ජපන් වැසියන්ගෙන්ද නොමද සහායක් හිමිවන්නට ඇතිවා සේම අදද පොදු යහපත වෙනුවෙන් සිදුකරනු ලබන ක්‍රියාවන් වෙනුවෙන් නොමද සහාය හිමිවේ. පොදු ජනයාගේ යහපත, පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක වන නගර බස් රථ සේවයේ ඇති පීඩාකාරී නොවන බව නිසාමදෝ කිසිදු ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්, මැසිවිල්ලක් අසන්නට, දකින්නට නොමැත. ලොකු - කුඩා, තරුණ - මහලු, පොහොසත් - දුප්පත් බේදයකින් තොරව නගර බස් රථ සේවය ජපන් ජාතිකයෝ භාවිත කරති.
එදිනෙදා රාජකාරි කටයුතු සඳහා මෙන්ම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් අප රට තුළ පොදු මගී බස් රථ මෙන්ම නගර බස් රථ භාවිත කරන්නන් අත්විඳින අනේකවිධ දුක් කම්කටොලුවලට මුහුණ දී හෙම්බත් වූ අත්දැකීමෙන් පොහොසත් මට තෝකියෝවේ නගර බස් රථය ගැන දැනුණේ අපුරු මිහිරකි. නැවුම් බවකි.
ජපන් වැසියෝ නියමිත බස් නැවතුම් පොළට පැමිණ බස් රථය පැමිණෙන තුරු ඉවසීමෙන් බලා සිටිති. අතරමග සිට බස් රථයට අතදමා, කෑ ගසා හෝ බස් රථය නතර කිරීමට වෑයැම් නොකරති. රියදුරු මහතා නියමිත නැවතුම්පළේ හැර කිසිදු ස්ථානයක බස් රථය නතර නොකරන බැවින් එවැනි උත්සාහයක් කළද ඉන් පළක් නොමැත. බස් නැවතුමට පැමිණෙන මගීන් එක පෙළකට එකා පිටුපස හිඳිමින් බස් රථයට ගොඩවීමට සූදානමින් සිටින අතර, අපේ රටේ බස් නැවතුම්පළවල මෙන් ඒ සඳහා යකඩ වැටවල් ඉදිකර නොමැත. මගීන් හසුරුවන්නන් නොමැත. කිසිවෙකුගේ පාලනයක් නොමැත.
නියමිත වේලාවට පැමිණෙන බස් රථයේ සිටින මගීන්ට බැස යෑම සඳහා විවෘත වන්නේ පසුපස දොර පමණි. එසේ විවෘත වන පසුපස දොරෙන් මගීහු විනීතව බැස යති. පිටුපස දොරෙන් ඔවුහු බැස යන අතර ඉදිරි පස දොරටුවෙන් පෙර සඳහන් කළ පරිදිම මගීන් විනීතව, පිළිවෙළකට බස් රථයට ඇතුළු වෙති. ඔවුහු බස් රථයට ඇතුළු කර ගැනීමට හෝ බස් රථයෙන් බැස්සවීමට කොන්දොස්තර මහතෙකු නොමැත.
මේ නිසා කොන්දොස්තර මහතාගේ නිමක් නොමැති කෑමොර දීමක් ජපානයේදී දැකගත නොහේ. මගීන් සහ රියදුරු මහතා තුළ අනවශ්‍ය කලබලයක් නොමැති නිසා පිටවීමට සහ ඇතුළු වීමට ගතවන්නේ ඉතා සුළු වේලාවකි.රෝද පුටු භාවිත කරන්නෙකු හෝ ගෝකාට් එකක් සමග පැමිණෙන මවුවරුන්ට පිටුපස දොරෙන් බස් රථයට ඇතුළු විය හැකිය. ඒ සඳහා රියදුරු මහතා පිටුපස දොරටුව විවෘත කළ යුතුය. ඒසේ විවෘත වන පිටුපස දොරටුවෙන් වෙනත් කිසිදු මගියෙක් ඇතුළුවීමටද උත්සාහ නොකරති. හැරමිටි වාරුවෙන් ගමන් කරන වැඩිහිටියෝ පවා පෝළිමේ සිට බස් රථයට ගොඩවෙති. සම්මතයෙන් පිටපැණීම අපුලක් ලෙස දකින බැවින් ඔවුහු කිසිවිටක එවැන්නක් සිදුකිරීමට උත්සාහ නොකරති.
ජපානය තුළ භාවිත කරන නගර බස් රථ සහ පදික වේදිකා ඉදිකර ඇත්තේ යම් සැලැස්මකට අනුව යැයි මට සිතේ. බස් රථයට ඇතුළු වීම සඳහා පඩි පෙළක් නොමැත. පදික වේදිකාවට වඩා මද උසකින් (එයද එතරම් සැලකිය යුතු මට්ටමක නොමැත) යුතු බස් රථයෙ පිවිසුම් දොරටුව සහ පිටවීමේ දොරටුව ඉතා පහසුවෙන් බස් රථයට පිවිසීමට සහ පිටවීමට හැකි අයුරින් ඉදිකර ඇත. රෝද පුටු භාවිත කරන්නන්ට බස් රථයට පිවිසීම සඳහා ඉදිරිපස පිවිසුම් දොරටුවට වඩා යම් ප්‍රමාණයක විශාල වූ පිටුපස දොරටුවට සවිකර ඇති ස්වයංක්‍රීය යකඩ තහඩුවක් වැනි පාලමක් තිබේ. එය බස් රථය සහ පදික වේදිකාව සම්බන්ධ කරමින් ක්‍රියාකරයි. මේ හරහා පහසුවෙන් බස් රථයට ඇතුළු වන ආබාධිත මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝද පුටුව ස්ථාවරව තබාගැනීම සඳහා අවශ්‍ය නම් භාවිත කිරීමට ආරක්ෂක පටිද, ඒ සඳහා වෙන්වූ විශේෂ ස්ථානයක්ද බස් රථය තුළ ඇත.
කොන්දොස්තර මහතෙකු නොමැති නිසා බස් රථයට ඇතුළු වූ පසු ගමන් ගාස්තුව ගෙවීම සඳහා ස්වයංක්‍රීය යන්ත්‍රයක් රියදුරු මහතා අසලම තබා ඇත. ගමනාන්තයට පෙර බස් රථයෙන් බැස ගියද, එක් නැවතුම් පොළක සිට ඊළඟ නැවතුම්පළෙන් බැස ගියද ජපාන යෙන් 210ක මුදල ගෙවීම අනිවාර්ය වේ. එහිදී මාරු කාසි ගැටලු නැත. පසුවට ඉතිරි මුදල් දෙන පොරොන්දුද නැත. ගමන් ගාස්තුව ගෙවීම සඳහා ස්වයංක්‍රීය කාඩ්පත්ද භාවිත කළ හැකිය. ජපන්නු අතරින් 90% ක් පමණදෙනා ස්වයංක්‍රීය කාඩ්පත් භාවිත කරති. මුදල් භාවිත කරමින් නියමිත ගාස්තුව ගෙවන මගීන් මුදල් නෝට්ටුව යන්ත්‍රයට යොමුකළ පසු ඉතිරි මුදල යන්ත්‍රය විසින්ම ලබාදේ.
මේ සියලු දේ දෙස රියදුරු අසුනට වී විමසිල්ලෙන් බලා සිටින රියදුරු මහතාගෙන් මගීන්ට හිමිවන්නේ සුහද පිළිගැනීමකි.පොදු මගී බස්රථවල සේවය කරන රියදුරු මහතාට ජපන් ජන සමාජය තුළ ඇත්තේ හොඳ පිළිගැනීමකි. සෙසු වෘත්තිකයන් මෙන් ඊට සරිලන නිසි වැටුපක් ලබන, නිල ඇඳුමක්, හිස් වැස්මක් සහිතව, පිළිවෙළකට අඳින පළදින ඔවුහු ප්‍රියමනාපය, පිරිසුදුය. ගුවන් නියමුවෙකු මෙන් මයික්රෆෝනයක් භාවිත කරමින් ඒ ඒ නැවතුම් පොළ ගැන මගීන් දැනුවත් කිරීමට නිරන්තරයෙන් ඔවුහු කටයුතු කරති.
බස් රථයේ හෝන් එක නොමැති නම් අපේ රියදුරු මහතුන්ට බස් රථය ධාවනය කිරීම අපහසු වුවද ජපානයේ බස් රථයේ නළාවක් නොමැතිදෝයි මට සැක සිතේ. ඒ ඒ තරමටම ඒවාට නළා හඬ ආගන්තුකය. එය භාවිත කිරීමටද ජපන් රියදුරු මහතුන් තුළ උනන්දුවක් නොමැති තරම්ය. තවද මගීන් එකතු කර ගැනීම සඳහා රියදුරු මහතාට තරගයක්, හදිස්සියක් නැත. කොන්දොස්තර මහතාගේ නිමක් නොමැති ඉදිරියට යන්න, පස්සට යන්න යැයි කෑමොර දීමක් ජපානයේ නොමැති වුවද තවත් මගියෙකුට බස් රථයේ පසුපසට යෑමට හෝ බස් රථයෙන් බැස යෑමට අවශ්‍ය ඉඩහසර ලබාදීමද සියලු දෙනා වෙතින් නිතැතින්ම සිදුවේ. මහමෙරක් තරම් වූ සිතුවිලි, රාජකාරි, පීඩාවන් පොදි බැඳගෙන බස් රථයට ගොඩවන අපේ පොදු ජනයාට බසයේ ඇති රේඩියෝව හෝ කැසට් යන්ත්‍රයේ කන් පැළෙන තොරතෝංචියක් නොමැති ශබ්ද දූෂණය එකම අපායකි. සිය අසාවන්ට, සිතුම් පැතුම්වලට වඩා සෙසු අයගේ නිදහස ජපන් ජාතිකයන් අගය කරන නිසා එවැනි නිහඬ ක්‍රමවේදයන්ට ඔවුන් හුරු පුරුදුව සිටින බව මට සිතේ.
ඒ ඒ නැවතුම්පළවල්හි ඉදිකර ඇති පුවරුවල කාලසටහනේ දක්වා ඇති වේලාවට අදාළ නැවතුම්පළට ළඟා වීමට රියදුරු මහතාට අපහසුවක් නොමැත. බස් රථය ආදාළ නැවතුම්පළේ නතර කරන තුරු අසුනෙන් නොනැගිටින ලෙසද, පිටවීමේ දොරටුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් එහි ඇති සීමා ඉරෙන් ඈත්ව සිටින ලෙසට මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සපයා ඇති උපදෙස් ඒ පරිද්දෙන්ම මගීහු අනුගමනය කරති. මගීන්ගේ පහසුව වෙනුවෙන් සීනුව නාද කිරීම සඳහා සෑම අසුනක ඒ සඳහා බොත්තමක් සවිකර ඇත. ගැබිනි මවුවරුන්, ආබාධිත පුද්ගලයන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වෙන්වූ ආසන කිහිපයකින්ද යුක්තය. බස් රථය තුළදී කාන්තාවන් ලිංගික අතවරයන්ට ලක්වීම් සිදුනොවන අතර, ඒ සම්බන්ධයෙන් ඇති නීතිරීතිද ඉතා ප්රබලය. බොහෝ නිතීරීති ඇත්තේද හැකි සෑම විටම කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසෙන පරිද්දෙනි.
ජපානයේ නගර බස් රථ ප්‍රවාහනය මේ තරම් දියුණුවක් ලබාඇත්තේ සියලු දෙනාගේම සහයෝගයෙන් බව මා හිතවත් ජපන් මිත්‍රයකු පවසා සිටියේය. එය රජයකට පමණක්, බස් හිමිකරුවන්ට පමණක්, රියදුරු හෝ කොන්දොස්තර මහතාට පමණක් සිදුකළ නොහැකි දෙයක් බවත් මගීන්ගේ සහායද ඒ සඳහා අවශ්‍ය බවත් ඔහු කියයි.
කඩ සාප්පු පසු කරමින් බසය ඇදී ගොසිනි. වරකට දහස් ගණන් ජපනුන් එහා මෙහා පාර මාරු වෙන ෂිබුයා නගරයේ පාරක් ඈතින් පෙනේ. මාගේ හිස අසල ඇති බොත්තම රතු පාට වුණි. කවුදෝ බෙල් එක නාද කළ සලකුණකි ඒ. මාද බැසිය යුතුය. බසය සීරුවට නැවතුමට පැමිණියේය. මට ඉබේම නැගිටුණි. “අරිගොතො ගොසයිමසු” රියදුරු මහතා මා දෙස බලා මද සිනහා පායි. “අරිගොතො ගොසයිමසු” මාද පෙරළා කියමි. බසය සීරුවට ඉදිරියට ඇදෙනු පෙනේ.