කාවන්තිස්ස රජතුමා විසින් රුහුණේ ඉදිකරන ලද විශාලතම මෙන්ම පැරණිතම තපෝවනය ලෙස සැලකෙනුයේ කරඳහෙල තපෝවනයයි. මෙම ඉපැරණි තපෝවනය පිහිටියේ ඊටම සරිලන අති රමණීය පරිසර පද්ධතියක් මැදිකොට ගෙනය. වැවයි, දාගැබයි, වෙල්යායයි එකට සංකලනය වී මුහුදු මට්ටමේ සිට අඩි 633 ක් උසින් පිහිටි කරඳහෙළ කන්ද ආශ්‍රිතව මෙම තපෝවනය පිහිටා තිබේ.
අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් පානම පත්තුවේ හුලංනුගේ හන්දියේ සිට බක්මිටියාව පැරණි මාර්ගයේ සැතපුමක් පමණ ගිය තැන කඳුරුගස්ආර ගම්මාන ආශ්‍රිතව මෙම තපෝවනය පිහිටා තිබේ. එකල මෙම ස්ථානයට ළඟාවීම අතිශය දුෂ්කර කටයුත්තක් වුවද අද එහි යෑම කිසිවෙකුටත් අපහසු කටයුත්තක් නොවන්නේ මාර්ග පද්ධතිය සංවර්ධනය කොට ඇති නිසාය.
මෙම ඉපැරණි තපෝවනය තුළ ස්ථූප, ශෛලමය ගොඩනැගිලි මෙන්ම ලෙන් කර්මාන්තයද දැකිය හැක. මෙම තපෝවනය කන්ද මුදුනේ හා කඳු බෑවුම් ප්‍රදේශ තුළ ලොකු කුඩා ලෙන් හතළිහක් පමණ පිහිටුවා ඇත. ඒවා බොහෝමයක වැසි ජලය ඇතුළට ගලා ඒම වළක්වාලීම සඳහා කටාරම් කොටා තිබෙන අතර, ලෙන් තුනක ශිලා ලිපි කොටා තිබේ.
මෙහි ඇති ලෙන් වලින් එක් ලෙනක් අඩි 512 ක් දිගකින් හා අඩි 30 ක පළලින් යුක්තවන අතර, කටාරම් කෙටූ එවැනි ගල් ලෙනක් මුළු රුහුණේම නොමැත. අඩි 175 ක් දිග, අඩි 35 ක් උස, අඩි 31 ක් පළලින් යුත් මෙහි තවත් විශාල ලෙනක් කන්දේ ඉදිරිපස නැගෙනහිරට මුහුණපා තිබේ. එම කටාරම් කෙටූ ගල් ලෙන තුළ සිව්වන සියවසට අයත් යැයි සැලකෙන බුදුමැදුරක් තනා තිබේ. එහි දිගින් අඩි 41 ක් පමණ වන විශාල සැතපෙන බුදු පිළිමයක් අඹා ඇත. නිදන් හොරුන් විසින් මෙම බුදු පිළිමයට වරින්වර දැඩි හානි කොට විනාශකර තිබේ. මෙම ලෙනේ බිත්ති තුළ පැරණි චිත්‍ර සටහන් සමූහයක් දැකිය හැකි අතර, ඒවා බොහෝමයක් මේ වනවිට විනාශ වී හා විනාශ වෙමින් පවතී.
මෙම ලෙනේ කරවා ඇති මෙම සැතපෙන බුදු පිළිමය රෝහණයේ ඇති බුදු පිළිම අතරින් අද්විතීය බුදු පිළිමයක් බවට පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ සඳහන් කරති. මෙම තපෝවනය තුළ අවම වශයෙන් ස්ථූප තුනක්වත් තිබී ඇතැයි අනාවරණය වී ඇති අතර, එම ස්ථූපවල ගඩොල් කුඩුම්බිගල, ශාස්ත්රවෙල, යල්පන, කොටවෙහෙර යන ස්ථූපවල ගඩොල් හා සැසැදේ. ඒ අනුව මෙම ස්ථූප එකම කාල වකවානුවක පිහිටුවා ඇතැයි සිතිය හැකිය.
මෙහි ඇති විශාල පර්වතය මුදුනේ ස්වාභාවික ලෙස නිර්මාණය වූ විශාල ගල් කෙම් (ජල පොකුණු) දෙකක්ද කුඩා ගල් කෙම් හතරක්ද දැකිය හැකිය. වර්ෂාව දැඩිව පවතින කාලවලට මෙම ගල් පොකුණු ජලයෙන් පිරී උතුරා යන අතර, ඒවායේ ජලය වර්ෂයේ බොහෝ කලක් යනතුරු නොසිඳී පවතී.
කාවන්තිස්ස රජතුමා සමග විහාරමහා දේවිය මෙම සුන්දර පූජනීය ස්ථානයට නිතර නිතර පැමිණ ඇතැයි ජනප්රවාදයේ සඳහන් වෙයි.කරඳහෙල විහාරය හා ඒ අවට ප්‍රදේශය කිසිදාක පුරාවිද්‍යා ගවේෂණයකට ලක් කොට නොමැත. පුරාවිද්‍යා කැණීම් කොට මෙහි ශේෂයන් මනා ලෙස පරීක්ෂණයකට ලක් කළහොත් ඉතිහාසයේ වැදගත් තොරතුරු රුසක් සොයාගත හැකිය.