පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය 25%ක් ලබාගැනීම සඳහා අවශ්‍ය වූ ප්‍රතිපාදන සැලසීම හා එය මුල් වරට ක්‍රියාවට නැංවීම කාන්තා අයිතීන් පිළිබඳ කතා කරන බොහෝ දෙනාගේ පැසසුමට කාරණයකි. මේ අනුව පසුගිය 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී එය ජනතා නියෝජනයේ සැබෑ වෙනසක් කිරීමට සමත් විය. නමුත් මෙහි ප්‍රතිඵලය සමග එය දේශපාලන පසුගාමීත්වයට කුමන අයුරින් බලපෑමක් කරන්නේද යන්න අපට කල්තියා කිව නොහැකිය. මේ වන විට උද්ගතව ඇති තත්ත්වය වනුයේ කාන්තා නියෝජනයේ ඇති වී තිබෙන නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පළාත් පාලන ආයතන පිහිටුවීමට කල්යෑමය. නමුත් මෙම කෝටාව යටතේ කාන්තාවන් දේශපාලනයට ප්‍රවිෂ්ට වීම ඉතාමත් ධනාත්මක ලක්ෂණයකි. ඒ නිසා මෙහි ගැටලු අවම කරමින් ඒ ලබාගත් අයිතිය සැබෑ යථාර්ථයක් බවට පත්කර ගැනීමට කටයුතු කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2016 වර්ෂය වන විට ලෝකයේ පාර්ලිමේන්තු නියෝජනයෙන් 22.8%ක කාන්තා නියෝජනයක් නිරූපණය විය. එමෙන්ම 2017 වර්ෂය වන විට රාජ්‍ය කාන්තා නායකත්වය රටවල් 11ක දැකගත හැකි වීම සුවිශේෂී කාරණයකි. එමෙන්ම දැනට ලොව ඉහළම කාන්තා නියෝජනයක් දැකගත හැකි වන්නේ රුවන්ඩාව තුළය. එම රටේ පහළ මන්ත්‍රී මණ්ඩලය තුළ 63.8෴ක කාන්තා නියෝජනයක් දැකිය හැකිය.
මෙම කාන්තා දේශපාලන සහභාගිත්ව ඒ ඒ රටවල් තුළ ඇති ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ආදී නොයෙක් කරුණු කාරණා අනුව වෙනස් ස්වරූපයක් ගනී. ආර්ථිකයෙන් ඉහළ යැයි පැවසෙන, ලොව ධනවාදී රටක් යැයි සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය තුළ තවමත් කාන්තාවක් රාජ්‍ය නායිකාව ලෙස තේරී පත්ව නොමැත. එහි කාන්තා දේශපාලන නියෝජනය වාර්තා වනුයේ 2017 වන විට 28.1%ක් ලෙසින්ය. අපට වැදගත් යැයි සැලකෙන ආසියානු කලාපයේම දේශපාලනය සඳහා කාන්තා නියෝජනය 2017 වර්ෂයේ 19.4%කි.
කාන්තා නියෝජනයේ සංඛ්‍යාත්මක අගය කෙසේ වෙතත් ලොව පළමු වැනි අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක හා පූර්ණ බලැති විධායක ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග යන මහත්මීන් පත්වීම ශ්‍රී ලංකාව පොදුවේ ලෝකය හමුවේ ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. නමුත් ඉන් එහාට කාන්තා අයිතීන් දිනා ගැනීම කෙරෙහි විශේෂ සිදුවීම් ලංකා දේශපාලනය තුළ වාර්තා නොවේ.
අප රටට ඉතා සමීප වූ රටක් වන ඉන්දියාව තුළද එවැනිම තත්ත්වයක් දැකගත හැකිය. ඉන්දියාවේ අගමැතිනිය වශයෙන් වරක ඉන්දිරා ගාන්ධි රට මෙහෙය වුවද, තමිල්නාඩු ප්‍රාන්තයේ බලවත් කාන්තා චරිතයක් වූ ජයලලිතා ජයරාම් පාලනය කළද, ඉන්දියාවේ කාන්තා අයිතීන් ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි. ඔවුන්ගේ සංස්කෘතිය තුළින්ම මෙම තත්ත්වය මතු කර තිබෙන අතර, එරට 2017 රජයේ ආර්ථික සමීක්ෂණ වාර්තාව අනුව එරට කාන්තාවන් මිලයන 63ක් නොයෙක් හේතු ඔස්සේ අතුරුදන්ව ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණි. එය ඉතා සුළුවෙන් තැකිය හැකි දෙයක් නොවේ. අනෙක් කාරණය වන්නේ කාන්තා හිංසනය වැඩිම රටවල් 10න් එකක් ලෙසද ඉන්දියාව ඇතුළත්ව තිබීමය. කාන්තා හා ළමා ප්‍රචණ්ඩක්‍රියා හා හිංසනික ක්‍රියා නිතර නිතර අසන්නට දකින්නට ලැබේ. එවන් වූ තත්ත්වයක් තුළ කාන්තා නායකත්වය දැරූ ඉන්දිරා ගාන්ධි පිළිබඳවත්, ජයලලිතා පිළිබඳවත් අපට උදම් ඇනිය නොහැකිය.
වරක පිදෙල් ක්රැස්ත්රෝ සඳහන් කළ පරිදි කාන්තා අයිතීන් දිනා ගැනීම විප්ලවයක් තුළ විප්ලවයකි. එයින් ඔහු අදහස් කරන්නේ නීතිරීති, අණපනත් මගින් පමණක් කාන්තා අයිතීන් පූර්ණ ලෙස තහවුරු කළ නොහැකි බවයි. විශේෂයෙන්ම රටක සංස්කෘතිය සහ අනෙකුත් සමාජීය සාධක විසින් කාන්තා අයිතීන් සීමා වේ. ඒ නිසා කාන්තාව නිරන්තරයෙන් නීති මගින් තහවුරු කළ අයිතීන් භුක්ති විඳීමට ඉදිරිගාමී විය යුතුය.
කාන්තා - පුරුෂ සමානාත්මතාව ලොව විවිධ රටවල විවිධ මට්ටමින් දැකගත හැකිය. කාන්තා අයිතීන් උදා කර ගැනීම සඳහා ඉතිහාසයේ සඳහන්ව ඇති අරගලවලට මූලික හේතුව වන්නේ සමාජ, දේශපාලන හා ආර්ථික කාරණාවලදී කාන්තාව නොසලකා හැරීමය. ඒ නැතිව ගිය සමාජ, ආර්ථික හා දේශපාලනික අයිතිය ලබා ගැනීම සඳහා කාන්තාව විවිධ ස්වරූපයේ අරගල අාරම්භ කළ අතර, බ්‍රිතාන්‍යයේ කාන්තාවට ඡන්ද අයිතිය හිමිකර ගැනීමට පවා සියවස් දෙකක කාලයක් අරගල කරන්නට සිදුවිය. ඒ අනුව ඔවුන් 1918 අවුරුදු 30ට වැඩි කාන්තාවන් සඳහා ඡන්දප්‍රකාශ කිරීමේ අයිතිය දිනාගත් අතර, 1921 වන විට එය අවුරුදු 21ට අඩු කාන්තාවන් සඳහා අඩු කිරීමට ඔවුන්ගේ අරගලයෙන් සමත් විය. ඒ අරගලවලින් ලද පන්නරය නිසා අද වන විට බටහිර රටවල කාන්තාවට සමාජ, දේශපාලන හා ආර්ථික වශයෙන් සම අයිතීන් බොහෝමයක් හිමිව තිබේ. ඒ අනුව එකී රටවල තීරණ ගැනීමට පුරුෂයාට සේම කාන්තාවටද සම අයිතියක්, නීතිමය හා ප්‍රතිපත්තිමය රාමුව තුළ ගොඩ නැගී තිබේ.
නමුත් ලංකාව තුළ එවැනි තත්ත්වයක් මෙතෙක් නොතිබිණි. වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 50%ක වැඩි ප්‍රතිශතයක් සිටිනුයේ කාන්තාවන්ය. රටේ සමස්ත ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේද කාන්තාවන්ය. ඇඟලුම්, තේ වැනි ආර්ථික අංශවලද, විදේශ විනිමයේ වැඩියෙන් උපයන්නේද කාන්තාවය.
නමුත් ඇත්තෙන්ම මෙය දේශපාලන ක්ෂේත්රයටත් අදාළ කරගත යුතුය. රටේ ප්‍රතිපත්ති සම්පාදනයේදී කාන්තාවද සහභාගි කරගත යුතුය. ඒ නිසා කාන්තා නියෝජනය සැබෑ ලෙසම රටට හා සමාජයට වැඩදායී වීමට නම්, බලයට පත්ව සිටින දේශපාලඥයන්ගේ බිරින්දෑවරු හා දියණියන් මෙයට ඇතුළත් කර නොගෙන ප්රගතිශීලී කාන්තාවන්ගේ නියෝජනයක් ඉස්මතු විය යුතුය.
මේ වන විට එය යම් වශයෙන් ප්රගතිශීලී වී ඇත. කොළඹ නගරයේ පළමු පුරපතිනිය වශයෙන් රෝසි සේනානායක මහත්මිය පත්වෙන්නේ එලෙසය. ඇය ලංකා ඉතිහාසයේ දෙවැනි පුරපතිනිය වෙයි. ඇයට පෙර යාපනයේ සරෝජනී යොගෙස්වරම් මහත්මිය තේරී පත්වූවාය. දැන් හෝ ලංකාවට එවැනි කාන්තා පුරපතිනියන් බිහි වීම ප්‍රසංශනීය කරුණකි. පැරීසිය, රෝමය, ප්රාග්, වර්සෝ, බාර්සිලෝනා ආදී බොහෝ නගර පාලනය කරනු ලබනුයේ මහජන ඡන්දයෙන් තෙරීපත් වූ පුරපතිනියන් විසින්ය. එමෙන්ම මේ පළාත් පාලන මැතිවරණයත් සමග ආදිවාසී ප්‍රථම මන්ත්රීවරියද බිහිවීම සුවිශේෂී දෙයකි. හෙනානිගල ජනතාව නියෝජනය කරමින් ආදිවාසී කාන්තාවක වන ඩබ්ලිව්.එම්. ශිරෝමාලා තේරී පත් වන්නේ එහි ප්රගතිගාමී දෙයක් ලෙසය. එමෙන්ම අ.පො.ස. උසස් පෙළ සඳහා ගණිත අංශයෙන් පෙනී සිටිමින් මොරටුව විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමේ සුදුසුකම් ලැබූ අනුරාධපුරයේ සචිනි කාරියවසම් මෙනෙවිය ලංකා ඉතිහාසයේ ළාබාලතම නගර සභා මන්ත්‍රීවරිය වෙයි. මෙයින් පෙනීයනුයේ කාන්තා නියෝජනය තුළ සමස්ත ලාංකේය කාන්තාවම ලැබූ ප්රගතිශීලී වර්ධනයයි. අපට එහි ගුණාත්මකභාවය පිළිබඳ එක්වරම අපේක්ෂා කළ නොහැකිය. අප එය අපේක්ෂා කළ යුත්තේ ටිකෙන් ටිකය.
ඒ නිසා අප පිදෙල් ක්‍රස්තෝගේ කියමන නැවත සිහිපත් කළ යුතුය. ලංකාවේ ප්‍රබල කාන්තා විමුක්ති අරගලයක් දැන් ක්‍රියාත්මක නොවුණද, එය ආරම්භ කිරීමට මේ වර්ෂයේම පියවර කිහිපයක් තබන්නට අපට හැකිවිය. මත්පැන් මිලදී ගැනීම හා මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට තිබූ තහනම ලිහිල් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කළේය. නමුත් එයට බොහෝ දෙනා විරුද්ධ වූහ. ඒ නිසා රටේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලිහිල් කළ චක්‍රලේඛය නැවත හකුළුවා දැමීය. නමුත් ඇත්තෙන්ම මෙය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීමකි. මෙම අයිතිය භුක්ති විඳින්නේද, නැද්ද යන්න කාන්තාවගේ රුචිකත්වය මත තීරණය කරනු විනා එය පුරුෂයන්ට කැප වූ ස්ත්රීන්ට අකැප වූ අයිතියක් ලෙස කිසිවිටෙකත් නොසිතිය යුතුය. නමුත් කාන්තාවෝ එකළොස් දෙනෙක් මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තම අයිතීන් ඉල්ලා සිටියහ. මෙය මත්පැන් සම්බන්ධ කාරණයක් වුවද, සමස්ත කාන්තා අයිතීන් වෙනුවෙන් නැගීසිටීමකි. මෙවැනි නැගීසිටීමක් ඉතිහාසයෙන් වාර්තා වූයේනම් ඒ අතළොස්සකි. එය එසේ සමාජයෙන් යටපත්ව ගියේය. කාන්තාවන්ට වඩා මේ පිළිබඳ පුරුෂ පාර්ශ්වය නොයෙක් ආකාරයේ කතා පැවැත්වීම හාස්‍යට කරුණකි.
එය එසේ සමාජයෙන් යටපත් වෙද්දී පැවැති පළාත් පාලන මැතිවරණය තුළද 25෴ක කෝටාව තුළ කාන්තා නියෝජනයේ යම්යම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ බොහෝ දෙනා කතා කරන්නට වූහ. මේ අනුව මාර්තු 06 වැනිදා සභා රැස්වන බවට ප්‍රකාශ කළද, එය මාර්තු 15 වැනිදා දක්වා කල්ගොස් ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන සංසදය මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ මෙම කාන්තා නියෝජනය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳිය යුතු බවයි.
මෙවර ක්‍රියාත්මක වූ මැතිවරණ නියෝජන ක්‍රමය තුළ පළමු වර ක්‍රියාත්මක කිරීමේදී මෙවන් යම්යම් ගැටලු පැමිණියද, අනාගතයේදී එවන් ගැටලු අවම කර ගනිමින් ලාංකේය කාන්තාවට සැබෑ නායකත්වයක් දැරිය හැකිය. නැතිනම්, මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇතැයි සලකා පළාත් සභා ක්‍රමයේදී එය කිසිවිටෙකත් ඉවත් නොකළ යුතුය. මෙරට ජනගහනයේ බහුතරයක් සිටින කාන්තාවගේ අයිතිය, කැමැත්ත මින් ඉදිරියට ලාංකේය දේශපාලනයෙන් පිළිබිඹු විය යුතුය. කාන්තාව කිසිවිටෙකත් පක්ෂයේ හෝ දේශපාලන ව්‍යුහයේ සැරසිල්ලක් බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. එසේ සිතන තත්ත්වයකට වුවද සමාජය පත් නොකළ යුතුය. කාන්තාව අනෙක් ක්ෂේත්රවල මෙන්ම දේශපාලනයේදී සක්‍රීය ක්‍රියාකාරිනියක් විය යුතුය.
එකී පරිවර්තනය අප සකස් කළ යුතු වන්නේ ලාංකේය සංස්කෘතික රාමුව තුළ සිටිමින්ය. සංස්කෘතිය තුළ ඇතැම් අවස්ථාවල හිරවන කාන්තාව මේ වන විට බොහෝ බාධක සිඳබිඳ දමා ජාතික ක්ෂේත්රය පමණකුදු අන්තර්ජාතික ක්ෂේත්රයම ජයගෙන ඇති බව නම් නොරහසකි. ආර්ථිකයේ ලාංකේය ව්‍යවසායිකාවෝ කොතෙක් ඇතිද? එයින් ප්රත්යක්ෂ වන්නේ එය නොවේද, ඒ නිසා ලැබූ 25෴ක කෝටාව ක්‍රියාකාරී සැබෑ යථාර්ථයක් බවට පත් කිරීමට අප ඉදිරියේදී කටයුතු කළ යුතුය.
ඒ සඳහා කාන්තාව මෙතැන් පටන් නැගී සිටිය යුතුය. කිසි විටෙකත් කාන්තාව පුරුෂයාට වඩා පහත් නොකළ යුතුය. අද සමාජයේ සිදුවන කාන්තා හිංසනය හා ප්රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන්නේ මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙසය. ඒ නිසා අදටත් යල්පැන ගිය පුරුෂ මූලික සමාජ ක්‍රමයෙන් අප මිදිය යුතුය. ලාංකේය සමාජය තුළ ස්ත්රීන්ට හා පුරුෂයන්ට සම ඉඩප්රස්ථා දිය යුතුය. මෙහිදී එකී බලය උගත් කාන්තාවකට හිමිවිය යුතුය කියා නියමයක් නොමැත. හිමිවිය යුත්තේ මිනිසුන්ගේ සැබෑ දුක තේරුම්ගත හැකි කාන්තාවන්ටය. වැටුප් විෂමතාව වුවද, අදටත් කාන්තාවට හිමිවන්නේ කම්කරුවන් වශයෙන් පිරිමින්ට වඩා අඩු වැටුපකි. පොදු ප්‍රවාහනයේ වුවද ඇයට යෑමට නොහැකි තත්ත්වයකට පත්ව සිටියි. මෙවැනි සමාජ ආකල්ප වෙනස් කරමින් කාන්තාවන් සවිබල ගැන්වීමට කාන්තා අරගලයක් බිහිකරලිය යුතුය. එසේ වූ විට ගුණාත්මක තත්ත්වයේ කාන්තා නියෝජනයක් අද සහ හෙට නැති වුවද, ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. මෙය ලාංකේය කාන්තා විමුක්තියේ පළමු පියවර වේ. එනිසා මින් ඉදිරියට පැවැත්වෙන පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ හා ජනාධිපතිවරණයේදී ප්‍රබල කාන්තා නියෝජනයක් බිහිකරලිය යුතුය.