ඇසළ පෙරහරේ සතර මහා දේවාල අතරින් පළමුව ගමන් කෙරෙන නාථ දේවාල පෙරහර සම්බන්ධයෙන් වූ සිරිත් විරිත් සහ සැඟවුණු රසබර පුවත් ඇසුරෙන් එම දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීංකෙන්ද මහතා ගෙන් කළ විමසීමකි මේ.
නාථ දේවාලයද, විහාරයද
'නාථ' යනු දේවාලයක් ලෙස ජනවහර අනුව භාවිත කළද, ඇත්ත වශයෙන්ම මෙය දේවාලය යන අර්ථයෙන් සලකන්න බැහැ. ඒ කියන්නෙ මේක බෞද්ධ ආගමික වතාවත් සඳහා වෙන්කළ පූජනීය සිද්ධස්ථානයක්. මතු බුදුවන මෛත්‍රී බුදුන් නාථ දෙවියන් වහන්සේ ලෙස පිළිගැනීමට ලක්වන නිසා මෙය දේවාලයක් හෝ කෝවිලක් ලෙස හඳුන්වන්න බැහැ.
මෙතැන පොල් ගහන්නෙ නැහැ. මිනිසුන්ට විරුද්ධව යාතිකා කරන්නේ නැහැ. අනුන්ට දඬුවම් කරන්නට කන්නලව් කරමින් දෙවියන්ගෙන් නොයෙක් වරදාන, වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැහැ. ඒ නාථ දෙවියන් කියන්නෙ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ යන පිළිගැනීම නිසා.
සමහරු මේ මතයට පටහැනි යම් තර්ක ඉදිරිපත් කරනවා. වරක් අයෙකු මා සමග අන්තර්ජාලය හරහා විශාල සංවාදයක යෙදුණා.දෙවියෙකුට බුදුවෙන්න බැහැ කියන කාරණය එහිදී ඔහු තර්ක කළා. පන්සිය පනස් ජාතකය අනුව එවැනි අවස්ථා සඳහා උදාහරණ තියෙනවා.
එහිදී ඇතැම් අවසාන ආත්මවලදී බෝසතුන් දෙවියන් ලෙස ඉපදුණු අවස්ථා තියෙනවා. තව්තිසා දෙව්ලොව සංතුසිත දෙවිපුත්ව ඉපිද සිටිය බව සඳහන් වෙනවා. එතැනදි බුද්ධ ආරාධනාව ලැබෙන තුරු සිදුහත් කුමරු ලෙස සිටි බව පැවසෙනවා. ගෞතම බුදුන් සංතුසිත නමින් වුවත් මෛත්‍රී බුදුන් නාථ යන නමින් වැඩ වාසය කරනවා.
මෙතැන බුදුන් වහන්සේ නමක් වැඩ සිටින ස්ථානයක් නිසා බෞද්ධ ආගමට සම්බන්ධ මූලික පූජනීය, වන්දනීය ස්ථාන කිහිපයක් තියෙනවා. එයින්ද මෙය විහාරස්ථානයක් බව සනාථ වෙනවා. ඒවා මම විස්තර කරන්නම්.
එකක් පැරණි සහ නව බුද්ධ මන්දිර හතරක් තියෙනවා. චෛත්‍ය දෙකක් තියෙනවා. එකක් බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව නිධන් කර ඉදිකළ එකක්. බෝධීන් වහන්සේලා තුන් නමක් සිටිනවා. එක් බෝධීන් වහන්සේ නමක් දෙතිස් මහා ඵල බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලෙස වන්දනීයත්වයට පත්වෙනවා.
එමනිසා මෙම නාථ දේවාලය තුළ සිදුවන්නේ දාන, ශීල, භාවනා වැඩසටහන් පමණයි. සැදැහැතියන් වාර්ෂිකව දානමාන පිංකම් කිරීම, පිච්ච මල් පූජා ආදිය පැවැත්වීමත් ඇතැම් ග්‍රහදෝෂ, රෝගවලදී පිහිට පතා බෝධිය නැමදීමත් කෙරෙනවා. ඵෙතිහාසික වැල් බෝධිය මෙහි එවැනි මහානුභාව සම්පන්න බෝධියක් ලෙස පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ඒ වගේම දළදා පෙරහරට දායක වන දේවාල අතරින් මාළිගාවේ පෙරහරට පසුපසින් පළමුව ගමන් කරන්නේද නාථ දේවාල පෙරහරයි. එයින්ද මෛත්‍රී බුදුන් කෙරෙහි පළමුව පූජා විධි පැවැත්වීම සනාථ කෙරෙනවා. එයින් පසු පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි දේවාල පෙරහර ගමන් කරනවා.
පිළිමතලාවේ මහාධිකාරම් තැන ක්‍රි.ව. 1815 මෙම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කර ඇති බව එහි ලේඛන සනාථ කරයි. ඒ අනුව එකල රාජ්‍ය අනුග්‍රහය මෙන්ම රජතුමාගේ ඉහළ නිලධාරීන් එම තනතුර හොබවා ඇති බව තහවුරු වෙනවා.