පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල සම්පාදනය වෙමින් පවතී. මෙවර පළාත් පාලන මැතිවරණය සුවිශේෂී වන හේතු ගණනාවකි. එයින්ද වඩා වැදගත් වන්නේ අරගලයක් කර ලබාගත්තේ යැයි ඇතැමුන් අර්ථ ගන්වන මැතිවරණය කා වෙනුවෙන්, කුමක් සඳහාද යන්නයි. මැතිවරණය යථාර්ථයක් බවට පත් කරගැනීම ජනතාවගේ පැත්තෙන්ද වගකීමකි. එහිලා වගවිය හැකි නියෝජිතයන් තෝරා බේරා හඳුන්වාදීම පක්ෂ නායකයන් සිය වගකීම ඉටු කළා වනු ඇතැයි ඡන්දදායකයෝ පෙන්වා දෙති.ඒ අතර මැතිවරණය රටපුරා එකම දිනයක පැවැත් වී නම් එය රටේ ජනමතය විචාරණයට ලක්කෙරෙන සාම්පලයක් වනු ඇතැයිද දේශපාලන නිරීක්ෂකයෝ අර්ථ ගැන්වූහ.
-කාන්තාව සහ දේශපාලන අයිතිය
මෙම මැතිවරණයේ තවත් සුවිශේෂී අංශයක් ලෙස සැලකෙන්නේ කාන්තා නියෝජනය 25෴ ක් විය යුතුය යන කොන්දේසියකි. එතුළ කාන්තා අපේක්ෂිකාවන් තෝරාගැනීමේ අර්බුදයට බොහෝ පක්ෂ සහ කණ්ඩායම් මුහුණදී ඇතැයි තවත් මැසිවිල්ලකි.
කවුරු කෙසේ අර්ථ ගැන්වුවද මෙරට දේශපාලන ක්ෂේත්රය තුළ හැමදාමත් කාන්තා නියෝජනය ඉතා අවම මට්ටමක පවතින බව නොරහසකි. එයට අනුබල වන්නේ පවතින මැතිවරණ ක්‍රමවේද සමග හැසිරීමට හෝ කරට කර තරග වැදීමට කාන්තාවට පවතින ශක්තිය ඉතා පහළ මට්ටමක පැවතීම යැයිද ජනතා සාක්ෂි සනාථ කරති.
අපේක්ෂකයන් තේරීමේදී ජනප්‍රිය සහ අතමිට ඇති පුද්ගලයන් මිස සුදුස්සන් කොන් කිරීමේ ක්‍රමය මේ වනවිටත් නාමලේඛන සම්පාදනයේ විවාදයක් බවට පත්ව ඇත. පක්ෂය වෙනුවෙන් කැපවූ පුද්ගලයන් වෙනුවට අහසින් කඩාවැටුණු කාන්තා නියෝජනයන්ට හෝ වෙනත් හිතවත්කම් සපුරාගැනීමේ ක්‍රමවේද පිළිබඳ ඇසේ. පවුලේ අයට වැඩි ප්‍රමුඛතාව දෙන අතර කාන්තා නියෝජිතයන් සොයාගැනීමට ඇති නොහැකියාව දක්වා බිරිය(න්), දියණිය(න්), නැන්දා ලේලිවරුන්ගේ නම් ඇතුළත් කරගැනීමේ අරගලයක්ද නිර්මාණය වෙමින් පවතින බව පැවසේ. එනිසා මෙය වරදක් ලෙස දකින කාන්තා පිරිස සංවිධානය වී අපේක්ෂකත්වය සඳහා තරග කිරීමේ අවශ්‍යතාව කාන්තා සංවිධාන දක්වති.
-රැල්ල සහ ජනප්‍රියතාව
ජනප්‍රිය රැල්ල තුළ නළු නිළියන් පාර්ලිමේන්තුවට ගොස් වසර දහයක් එහි කල්මැරුවද සිංහල සිනමාව වෙනුවෙන් ඔවුන් කළේ කුමක්දැයි ජනතාව අසති. ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රිඩාවේ උන්නතිය උදෙසා කුමක් කළේදැයි ජනතාව තර්ක කරති. කලාකරුවන් කලාව වෙනුවෙන් කුමක් කළේදැයි ප්‍රශ්න කරති. ගමේ නායකත්වය තුළ පාර්ලිමේන්තුව දක්වා සුදුස්සන් තෝරාගැනීමට ගමේ මිනිසාට නොතිබූ හැකියාව ජනතාව අවධාරණය කරති. අහසින් පාත් වූ හෝ ගෙදර යන ගමන් රජ මැදුරට ගෙන්වා මැති ඇමතිකම් පිළිගැන්වූ අපේක්ෂකයන් නිසා මෙම දේශපාලන අර්බුදය ආරම්භ වූ බවට ජනතාව කරන චෝදනා බැහැර කළ නොහැකිය.
එනිසා කොයි ජගතාටත් අවස්ථාව ලැබෙන්නේ ගමෙන් සුදුස්සන් පත් කර නොයැවීම හෝ හඳුනා නොගැනීම නිසා බව ඡන්දදායකයන් පසක් කරගත යුතු බව ජනතාව පෙන්වා දෙති. නැවත රජ මැදුරට හෝ අගමැති කාර්යාලයට ගෙන්වා නුසුදුස්සන්ට මහපුටු ලබාදීමේ ක්‍රමය අහෝසි වීමට නම් ගමේ සිට මහපුටුව දක්වා සුදුස්සන් නියෝජනයට මෙම මැතිවරණය පදනම් කරගත යුතු බවට ජනතාව කරන යෝජනාව කතිරය භාවිතයේදීද සිදුවිය යුතු බව පැහැදිලිය.
-තරගය සහ මුහුණදීමේ ස්වභාවය
විසෙන් විස නැසීමට හැකි පුද්ගලයන් මිස උගතුන් බුද්ධිමතුන් යොදා මෙවර සටන දිනාගත නොහැකි බව පක්ෂ නායකයන් බහුතරයක් මේ වනවිට තීරණය කර ඇතැයි පැවසේ. එනිසාම ගමේ අපරාධකරුවන්, මැරයන් වටා නාමයෝජනා ගොනු වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග දක්වයි. අවස්ථාවාදී දේශපාලකයන් ප්රජාතන්ත්රවාදය ඉදිරියට දමා කිනම් විවරණයක් කළද, මෙවර පළාත් පාලන මැතිවරණය හුදෙක් බලය සහ පැවැත්ම සඳහා වන බලු - කපුටු අරගලයක් විනා ජනතා අවශ්‍යතා සහ ජාතික සංවර්ධනය ඉලක්ක කරගත් අපේක්ෂකයන් තෝරන මැතිවරණයක් නොවනු ඇතැයිද ඡන්දදායකයෝ අනාවැකි පළ කරති.
එසේ නම් නාමලේඛන සැකසීමට පෙර අපේක්ෂක වරම හිමිවිය යුත්තේ කාටදැයි පක්ෂ නායකයන් හෘදසාක්ෂිය අනුව විමසිය යුතුය. ගත වූ මහ මැතිවරණයේදී මෛත්‍රී පිළ වෙනුවෙන් ජාතික ආණ්ඩුවට මුක්කු ගැසීමට එකතු වූයේ ජනතා විරෝධයෙන් පසෙකට කළ අපේක්ෂකයන් යැයි ජනතාව මෙනෙහි කරති. මහින්දලා, මෛත්රීලා මෙන්ම රනිල්ලාද අල්ලස දූෂණය වංචාවට අනුබලයක් වූ මිනිසුන්ට මැතිවරණවලදී නාමයෝජනා ලබාදුන් අයුරු ජනතාව පෙන්වා දෙති.
අපෙන් දූෂිතයන්ට, වංචාකරුවන්ට, මත්කුඩු, එතනෝල් ව්‍යාපාරිකයන්ට නාමයෝජනා නැතැයි පැවසුවද මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසු ඔවුන් තමන්ගේ උකුල මත වඩා හිඳුවාගත් නායකයන් පැවසුවේ චෝදනා තිබුණාට, කටකතා තිබුණාට ඒ අය වැරදිකරුවන් ලෙස අධිකරණයෙන් තීන්දු කර නැති කතාවකි. සමහරුන්ට චෝදනා කළද නඩු නැති නිසා නිදොස් නිවැරදිකරුවන් ලෙස පුරාජේරුවකි. අපි කවුරු එවුවද, නිදොස් පුද්ගලයා තේරීම ජනතාව සතු බවට අවකැපෙන කතාවකි. පක්ෂ නායකයන් පාලකයන්ද ජනතාව එතරම්ම මැට්ටන් යැයි සිතන බව ජනතාව පසුව සිහිපත් කරති.
-වගකීම වෙනුවෙන් ජනතාව වගවීම
එනිසා අවස්ථාවාදී දූෂිත පක්ෂ නායකයන් විසින් කවුරුන් පත් කළද ඔවුන් තෝරා බේරාගැනීම ජනතාවගේ වගකීමකි. එයට පළාත් පාලන මැතිවරණය මනා පදනමකි. යහපත් ප්රවේශයකි. නමුත් පාලකයන්ට බලය උදුරාගැනීම උදෙසා දූෂිතයන්, අපරාධකරුවන්, එතනෝල් මුදලාලි මේ වනවිටත් ලේඛන හරහා සහ දිස්ත්‍රික් මෙන්ම ආසන සංවිධායකයන් ලෙස පත්කර අවසන් බවට ඡන්දදායකයන් නඟන මැසිවිල්ලට පිළිතුරුද ඔවුන් සතු බව ජනතාව පෙන්වා දෙති.
මැතිවරණ හමුවේ රටේ කිනම් නායකයා, පාලකයා සහ අපේක්ෂකයා කුමක් පැවසුවද මේ කියන්නේ කිනම් බේගලයක්ද යන්න ඡන්දදායකයා සියුම්ව විමසිය යුතුය. ගෙවීගිය හැම මැතිවරණයකදීම ඡන්දදායකයන් හිතමතා කළ වරද වෙනුවෙන් අදටත් තමන් දඬුවම් විඳින බව ජනතාව පෙන්වා දෙති. එසේ නම් එය නිවැරදි කරගත යුත්තේද ඡන්දදායකයා විසින් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. කවුරු එව්වත් කතිරය අපේ යැයි ජනතාව මෙනෙහි කළ යුතුය.
-ඡන්දදායකයා සහ පැසුණු බුද්ධිය
ජාතිවාදය, ආගම්වාදය, රට බෙදන කතා ඉදිරි මාස එකහමාරක කාලය තුළ කන් පුරාවට ඇසෙනු ඇත. කහපාට, නිල්පාට, රතුපාට මෙන්ම කොළපාට ඇත්තන්ද විවිධ වේශයන්ගෙන් ජනතාව නොමග යැවීමට තමන් දන්නා ඉහළම උප්පරවැට්ටි යොදන අයුරු සහ ප්‍රකාශ නිකුත් කරන ආකාරය ජනතාවට දැකිය හැකි වනු ඇත. අපට එදා වැරදුණා. අප අතින් වරදින්නට ඇති. ආයෙ එහෙම වෙන්නේ නැතැයි තවත් අය පවසනු ඇත.
2020 සඳහා ගමේ බලය ස්ථාපනය කර පාර්ලිමේන්තුව දක්වා එය විකාශය කරමුයි හැමදෙනාම පවසනු ඇත. එහෙත් ගමේ බලය යනු සංවර්ධනයද, දේශපාලන ඔඩු දිවීමද යන්න එතැන පැහැදිලි කරන්නේ නැත. මේ හැම කතාවක්ම තමන්ගේ බලය වෙනුවෙන් මිස රටේ හෙට දවස වෙනුවෙන්දැයි ජනතාව නිතර මෙනෙහි කළ යුතු කාලය එළඹ ඇතැයි බුද්ධිමත්හු අවධාරණය කරති.
-නුසුදුස්සන් පන්නා දැමීම
දිනපතා මාධ්‍ය හරහා ඇසෙන සිරස්තල විමසමු. %ගමට පාලමක් නැහැ, %ඒ දණ්ඩෙන් මරු සොයා යන ගමනක්^, බීමට ජලය බිඳක් සොයා සැතපුම් ගණන් දුර ගෙවන ගැමියෝ හෝ ගමේ පාරට තාර ටිකක් නැතැ^යි වශයෙන් නඟන මැසිවිලි සුලබය. ගෙවුණු අවුරුදු තිහ හතළිහ කාගෙන්වත් වැඩක් වුණේ නැතැයි ඔවුහු චෝදනා කරති. එසේ නම් ඒ කාලය තුළ ගම් සභාවෙන් පසු අඩුම තරමින් පළාත් පාලන මැතිවරණ අටක් දහයක් පැවැත්වෙන්නට ඇත. නියෝජිතයන් දහ පහළොස් දෙනා බැගින් සියයක් එකසිය පණහක් දෙනා පත් කරගන්නටද ඇත. ජනතාව ඔවුන් නඩත්තු කිරීමට උපයන සොච්චමෙන් කඹුරන්නටද ඇත.
ඒ අඩුපාඩුව ඉටු නොවූයේ නම් මෙවර නාමයෝජනාවේ සිටින්නේද ඔවුන්මදැයි ජනතාව සෙවිය යුතුය. නැවත එවැනි මැසිවිලි ඇසීමට පැරණි මුහුණත් තහඩුම ඒ තැනට පත්කර, තවත් අවුරුදු හතරක් පහක් ඒ කතා පෙළම මාධ්‍ය හරහා පවසමින් සිටින්නෙමුදැයි ජනතාව සිතිය යුතුය.
ජනතාව ලද වරම දේශපාලකයන්ට තමන්ගේ පසුම්බිය සහ බලය පුරවාගැනීමේ අවස්ථාවක් නොකර, ජනතාව දිනාගත යුත්තේ ඔවුන්ගෙන් වැඩගැනීම හෝ බැරි නම් එළවා දමන තැනට තමන්ගේ පටි තද කරගත හැකි වෙනසකට යෑම යැයි දේශපාලන විද්වත්හු අවධාරණය කරති.
-බැටළුවා සහ සිංහයා වෙන්කර හඳුනා ගැනීම
ගත වූ කාලයේ ඇසුණු ප්‍රබලම මැසිවිලි අතර පළාත් පාලන මන්ත්‍රීන්ට සහ සභාපතිවරුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවේ යැයි කියැවුණි. පළාත් සභා අතරින්ද පළාත් සභා මන්ත්‍රීවරයෙකු පවසා සිටියේ තමන්ට මාසිකව ලැබෙන රුපියල් හතළිස්පන්දහසක් වැනි දීමනා ප්‍රමාණවත් නොවන පුවතකි. මැතිවරණ හරහා තරග කරන විට ස්වේච්ඡා සේවයක් සහ ගරු සේවයක් යැයි පවසමින් එයට රිංගාගන්නා දේශපාලකයන්ට බලය ලද පසු දීමනා වැටුප්, වරප්‍රසාද, යානවාහන, නිලනිවාස, දුරකථන වෙනුවෙන් අසීමිත වරප්‍රසාද ඉල්ලා සිටීම ජනතාවට අනුව විලාපයකි.
මෙතෙක් පළාත් පාලන නියෝජිතයන් 4500 ක් නඩත්තු කළ ජනතාවට මෙවර මැතිවරණවලින් පසු 8000 ක මන්ත්‍රී රොත්තක් නඩත්තු කිරීමේ බරද පැටවෙනු ඇතැයි ඡන්දදායකයෝ පෙන්වා දෙති. ඒ බරපැන පවුලේ බත්පතින් හෝ දරුවන්ගේ ආහාර වේල, අධ්‍යාපන වියදම් සහ හෙට දිනය සඳහා වන ඉතුරුම්වලින් අඩුකර ගෙවා දමන්නට සිදුවනු ඇත. එනිසා නියෝජිත සංඛ්‍යාව වැඩි කළද ඉටුවන සේවයේ ගුණාත්මක බව මිස ඔවුන්ගේ කෘත්‍රිම අයිතිවාසිකම් ලෙස දක්වන ජනතාවට බරක් විය හැකි වියදම්වලින් බැහැර වීම අත්‍යවශ්‍ය කරුණකි.
එසේම දැනට පවතින දීමනා, වරප්‍රසාද, පහසුකම් මදි යැයි විලාප නඟන ඇත්තන්ට නාමයෝජනා ලබා නොදීම පක්ෂ නායකයන්ගේ වගකීමකි. ගරු හෝ ස්වේච්ඡා සේවයක් නම් වැටුප් වරප්‍රසාද දීමනා වෙනුවෙන් අරගල කළ හැකිද යන්න එක් තර්කයකි. අනෙක් අතට ඔවුන් රජයේ හෝ වැඩබිම් සේවකයන් මෙන් පූර්ණකාලීනව එහි නිරත නොවන්නේ නම් තමන්ට වෙනත් ආදායම් මාර්ග හරහා නඩත්තු වන පිරිසක් බවද ජනතාව අවධාරණය කරති. එයට අමතරව කෙතරම් කයිවාරු ගැසුවත් ගමේ පාලමෙන්ද, බෝක්කුවෙන් හෝ කොන්ත්‍රාත් හරහා එකිනෙකා ගසා කන ආකාරයද කඩවීදියේ බස් නැවතුමේ ජනතාව අතර සංවාදයකි.
එහෙත් 2020 මැතිවරණ ජය ඉලක්ක කර කවුරු දිනුවත් පළාත් පාලන මන්ත්‍රීන්ට සන්තෝෂම් ලෙස සැපයෙන දීමනා වරප්‍රසාද ජනතාවගේ කරපිට පැටවෙන බරක් ලෙස තවත් ඉහළ යනු ඇතැයි ජනතාව අනුමාන කරති.
එනිසා හැම බරක්ම විඳගැනීමට සිදුවන බව දැන දැන රටට ඇසෙන්නට විලාප නඟන බැටළුවාගේත්, අවශ්‍ය අවශ්‍ය විට සටනට පිවිසෙන සිංහයාගේත් සැබෑ හඬක වෙනස තේරුම් ගැනීමට දැන්වත් ඡන්දදායකයාට හැකියාව තිබිය යුතුය.