මුදල් වලට දෙයියන්ගේ මල්ලි යන අන්වර්ථ නාමය ලැබී තිබෙන්නේ දෙවියන්ට කළ නොහැක්කක් නොමැති නිසාත්, අජීවී මුදල් නෝට්ටුවටද එවැනි බලයක් තිබෙන බව මිනිසුන් අදහන නිසාත්ය. මෙරට විධායක ජනාධිපති ක්‍රමයට නොමැති බව සැලකෙන එකම හැකියාව වන ගැහැනියක් පිරිමියෙක් කිරීමේ හා පිරිමියෙක් ගැහැනියක් කිරීමේ බලය මුදලට තිබෙන බව අතිශයෝක්තියක් නොවේ. රජයට බරක් නොවී සැප පහසු ජීවිතයක් ගත කිරීමේ අරමුණින් මුදල් ගෙදරදීම අච්චු ගසන ස්වයංරැකියා ඇරඹීමට ගිය බොහෝ දෙනෙක් අද බන්ධනාගාරගතව සිටින්නේ පහසු මාර්ගයක් යැයි සිතුවද එය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම සමස්ත ආර්ථිකයටම අහිතකර ලෙස බලපවත්නා කාරණයක් වන නිසාවෙනි.
මුදල් අපට සිතෙන පතන ආකාරයෙන් මුද්‍රණය කළහොත් රැකියාවක් නොකර ඉතාමත් සැප පහසු ජීවිතයක් ගත කිරීමටත්, රටේ ණය බර පියවා ගැනීමටත්, රටේ දුප්පත්කම සම්පූර්ණයෙන්ම තුරන් කර ධනවත් රටක් බවට පත්වීමටත් හැකියාව තිබෙන බව බොහෝවිට ඔබට සිතෙනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එය ඉතාමත් දරුණු විපාක ඇති කරන්නා වූ සමස්ත ආර්ථිකයටම බලපාන්නා වූ බරපතළ ක්‍රියාවලියකි. මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ සැබවින්ම මුදල් යනු කුමක්ද? මුදල් අච්චු ගැසීම සමස්ත ආර්ථිකයටම බලපවත්වන්නා වූ බරපතළ කාරණයක් වන්නේ කෙසේද? යන්න පිළිබඳව යම් විවරණයක් ඔබ වෙත ගෙන ඒමටයි.
ආර්ථික විද්‍යාවට අනුව මුදල් ලෙස හැඳින්වෙන්නේ ගනුදෙනු කිරීම සඳහා පොදුවේ භාවිත කළ හැකි ඕනෑම මාධ්‍යයකි. අද වන විට ඔබේ පසුම්බියේ තිබෙන මුදල් නෝට්ටුවට තිබෙන්නේ සිප්පි කටු සහ ගල් කැබලි සිටම විකාශනය වූ දීර්ඝ ඉතිහාසයකි. මුදල් නෝට්ටුවක වටිනාකම සැබෑ ලෙසම රැඳී තිබෙන්නේ එය මුද්‍රණය කර ඇති කඩදාසියේ වටිනාකමක් ඇති නිසා හෝ එහි සටහන් කර ඇති අගය නිසා හෝ නොවේ. ඔබ අත ඇති මුදල් නෝට්ටුවක් හොඳින් නිරීක්ෂණය කළහොත් මෙරට පිළිගත් තනතුරු දෙකක පුද්ගලයන් දෙදෙනෙකු විසින් තබා ඇති අත්සන් දෙකක් සහ ඊට ඉහළින් %ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය^ යනුවෙන් වගන්තියක් දැකගත හැකිය. සැබවින්ම ඔබ භාවිත කරන්නා වූ මුදල් නෝට්ටුවකට වටිනාකමක් මෙන්ම විශ්වසනීයත්වයක් ලබාදී තිබෙන්නේ එම අත්සන් දෙක සහ වගන්තියයි. ඕනෑම රටක මුදල් නෝට්ටුවකට මෙවැනි සහතිකයක් විවිධාකාරයෙන් ලබා දී තිබේ. එම සහතිකය හා වටිනාකම මත ඔබට රටේ ඕනෑම ගනුදෙනුවක් සඳහා මෙම නෝට්ටු භාවිත කළ හැකි වේ.
මීළඟට මුදල් අච්චුගැසීම ආර්ථිකයත් සමග එක්වී තිබෙන්නේ කෙසේදැයි සලකා බලමු. ඔබට එදිනෙදා ජීවිතයේදී විවිධාකාරයෙන් වියපැයදම් පවතී. එසේම රජයකටද වියදම් තිබේ. මූලික වශයෙන් සංවර්ධන කටයුතු, රාජ්‍ය සේවක වැටුප්, සුබසාධන කටයුතු ආදිය ඒ සඳහා උදාහරණ කිහිපයකි. මේ සෑම කටයුත්තක් සඳහාම රජය අවශ්‍ය මුදල් සපයාගනු ලබන්නේ රජයට අයත් ආදායම් මූලාශ්‍ර ඔස්සේය. උදාහරණයක් ලෙස රජය විසින් එක්රැස් කරගන්නා වූ බදු ආදායම් සහ රාජ්‍ය ව්‍යාපාර මගින් ලබාගන්නා ආදායම් ආදී කිහිපයක් දැක්විය හැකිය. ඇතැම් අවස්ථාවන්හිදී මෙම ආදායම් මූලාශ්රයන්ගෙන් රජයට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවීමට ඉඩකඩ තිබේ. එවැනි අවස්ථාවන්වලදී එම ආදායම් හිඟය පියවා ගැනීම සඳහා සාමාන්‍යයෙන් ක්‍රම කිහිපයක් රජයක් මගින් අනුගමනය කරනු ලබයි. ඉන් පළමු ක්‍රමවේදය වන්නේ බදු වැඩි කිරීම මගින් රජයේ ආදායම වැඩි කර ගැනීමයි. දෙවන ක්‍රමය වන්නේ දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ලබාගන්නා ණය වේ. අනෙක් ක්‍රමය වන්නේ මුදල් අච්චු ගැසීමයි. නමුත් මුදල් අච්චු ගැසීම කිසිදු ආකාරයකින් කිසිදු රටක් සිය ආදායම් හිඟය පියවා ගැනීමට සුලභ ලෙසින් භාවිත කරන්නේ නැත. ඊට පෙර රටේ මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වය හා මුදල් සංසරණය වන ආකාරය ආදී බොහෝ කාරණා පිළිබඳව සලකා බැලිය යුතුය. මෙම ක්‍රමය භාවිත කරන්නේ ඉහත සඳහන් කළ ක්‍රමවේද සියල්ලම අසාර්ථක වී භාවිත කළ හැකි එකම විකල්පය ලෙස හඳුනාගත හැකි වුවහොත් පමණි. එම නිසා කිසිදු රජයක් හිතුමතයට මුදල් අච්චු ගැසීම සිදුනොකරන අතර, නිසි ක්‍රමවේදයන්ට අනුව සීමිත මුදල් ප්‍රමාණයක් පමණක් එහිදී මුද්‍රණය කරනු ලබයි. මෙරට මුදල් මුද්‍රණය කිරීමේ බලය පැවරී ඇත්තේ එක් ආයතනයකට පමණි. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවටයි.
මුදල් හිතුමතයට මුද්‍රණය කිරීමට යාම දරුණු ප්රතිවිපාකයන් ගෙන එන කරුණකි. එහි බරපතළම ප්රතිවිපාකය වන්නේ අති උද්ධමනයක් ඇති වීමයි. මහා පරිමාණයෙන් ව්‍යාජ මුදල් මුද්‍රණයෙන්ද ඒ තත්ත්වය පැන නැගිය හැකිය. මහ බැංකුව සහ රජය මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් දැඩි නියාමනයක් සිදුකරන්නේ මේ නිසාවෙනි. මෙහිදී ජනතාව අතර ගැවසෙන මුදල් ප්‍රමාණය වැඩි වීමක් සිදුවේ. එවිට ජනතාව නිෂ්පාදන හා සේවා වැඩි වැඩියෙන් භාවිත කිරීමට යොමුවන අතර, ඒ අනුව භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීම ශීඝ්‍රයෙන් ඉහළ යයි. ඒ තත්ත්වය යටතේ අති උද්ධමන තත්ත්වයක් නිර්මාණය වේ. සාමාන්‍යයෙන් රටක භාණ්ඩ හා සේවාවන්වල මිල ඉහළ යාමට වසර කිහිපයක් ගතවුවත්, අති උද්ධමන තත්ත්වයක් යටතේ භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් ඉහළ යාමට ගත වන්නේ දින කිහිපයක් හෝ පැය කිහිපයක් විය හැකිය. පළමු ලෝක යුද්ධයෙන් ලද පරාජයත් සමග 1923 වසරේදී ජර්මනියද මෙවැනි පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ හා සේවාවන්වල මිල ඉහළ යාමේ අති උද්ධමන තත්ත්වයකට මුහුණ දුන්නේය. එය ඇතිවී තිබුණේ සේවක වැටුප් ගෙවා ගැනීමට නොහැකි වීම මත නිසි පාලනයකින් තොරව අධික ලෙස මුදල් මුද්‍රණය කිරීමට යාම නිසාය.
මේ අගතිය වර්තමානයේ දැඩි ලෙස අත්විඳින්නේ වෙනිසියුලාවයි. 2016 වසරේ දෙසැම්බර් මාසය වන විට පමණක් වෙනිසියුලාවේ උද්ධමනය 800෴කට ආසන්නය. එහි වර්තමාන ජනාධිපති නිකලස් මධුරෝගේ පාලනයට පිං සිදුවන්නට ඉදිරියේදී එය තවත් බරපතළ වීමට නියමිත බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දී තිබේ. සරල උදාහරණයකින් එය පෙන්වා දුනහොත් එවැනි වාතාවරණයකදී ඔබ මේ වසරේදී රුපියල් 100කට ලබාගත් භාණ්ඩයක් හෝ සේවාවක් ඊළඟ වසරේදී ඔබට ලබාගැනීමට සිදුවන්නේ රුපියල් 900ක් වැනි මිලකටය. ඒ අනුව මුදල් අච්චු ගැසීම ඔබ සිතනා තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව පැහැදිලිය. එහි අහිතකර තත්ත්ව අවම කරගත හැක්කේ නිසි පාලනයක් හෝ ශික්ෂණයක් මත සිදුවනවා නම් පමණි. එම නිසා කිව හැකි කාරණය වන්නේ දෙවියන්ගේ මල්ලි හිතුමතයට අච්චු ගැසීමට යාමෙන් ඇතිවන ප්‍රතිවිපාක දෙවියන් කෝප වූවාටත් වඩා භයානක බවයි.