කාලගුණය නිරන්තරයෙන් වෙනස් වන දෙයකි. නමුත් එහි සාමාන්‍ය තත්ත්වය කාලගුණ අනාවැකි මගින් මහජනයාට දැනුම් දීම වෙනුවෙන් සෑම රටකම පාහේ නිශ්චිත වූ සේවාවක් පවත්වාගෙන යයි.
මෙම සේවාව හරහා ඉදිරි දින කිහිපයේ රටේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබඳ යම් අනාවැකියක් නිකුත් කර, ඒ හරහා මහජනයාට සිය දෛනික කාර්යයන්වලට තීරණ ගැනීම සඳහා යම් අදහසක් ලබාදීම සිදු කෙරෙයි. සංවර්ධිත ධනවත් රටවල් මෙම අනාවැකි ලබාදීම සඳහා තාක්ෂණයෙන් ඉතා ඉහළ යන්ත්‍ර සූත්‍ර භාවිත කරන අතර, ඒවායෙන් නිවැරදි දත්ත ලබාගෙන නිවැරදි අනාවැකි ලබාදෙයි.
නමුත් අපේ රටේ මෙම සේවාව ලබාදීම සඳහා පිහිටුවා ඇති කාලගුණ දෙපාර්තමේන්තුව සෑම කාලගුණික ව්‍යසනයක් අවසානයේම මහජනතාවගේ අප්‍රසාදයට පත්වන්නේ මේ පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට නොහැකි වූ බවට කෙරෙන චෝදනාව අනුවය. මේ ඒ පිළිබඳවත්, අද දිනයේ දිවයිනට බලපැවැත්විය හැකි යැයි අපේක්ෂා කරන කාලගුණ අනාවැකියත් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය මහත්මිය 'අද'ට දැක්වූ අදහස්ය.
Q අද දිනයේ වර්ෂාපතනය පිළිබඳ ලබා දිය හැකි අනාවැකිය මුලින්ම ඉදිරිපත් කළොත්?
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලට විටින් විට වැසි ඇති වේවි. සමහරවිට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට තරමක් වැසි, ඒ කියන්නේ මිලිමීටර 75 – 100 ත් වගේ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Q මීට දින කිහිපයකට පෙර මිලිමීටර 500 ඉක්මවූ වැසි ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. මේ වගේ තත්ත්වයක් අදත් ඇතිවිය හැකිද?
නැහැ. ඒ තරම් ලොකුවට වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.
Q බොහෝ දෙනා මේ අධික වර්ෂාපතනය ලැබීම පිළිබඳ පූර්ව අනාවැකි ලබාදෙන්නට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි වූ බවට චෝදනා කරනවා?
අපි කිව්වා මිලිමීටර 150 ට වඩා වැඩි වැසි ඇති වේවි කියලා.
Q ඒ කියන්නේ නිශ්චිතවම කියන්න අමාරුයි කියලද?
කාලගුණ අනාවැකි කියන නම දෙන්න අවශ්‍ය නෑනේ මේක අපට හරියටම කියන්න පුළුවන් නම්. මම කියන්නම් අපි මැයි මාසේ 15 වෙනිදා තමයි මුලින්ම කිව්වේ ඉදිරි දින කිහිපය තුළ නිරිතදිග මෝසම ඇතිවන නිසා වැසි වැඩිවන බව. ඒ කියන්නේ දවස් 10කට කලින් අපි මේ අනාවැකිය කිව්වේ.
ඒ වගේම 20 වැනිදායින් පසු වැස්ස වැඩිවන බව අපි කිව්වා. 22 වැනිදා ලබාදුන් අනාවැකියේ අපි කිව්වා 25 වැනිදායින් පසු වැස්ස වැඩිවෙන බව. 23 වැනිදා හවස 5.00 ට අපි විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කළා නිරිතදිග කොටසේ වැස්ස වැඩි වෙනවා, මිලිමීටර 100 ට වඩා වැඩි වැසි බලාපොරොත්තු වෙනවා කියලා. මීළඟට 25 වැනිදා උදේ 5.30 ට අපි කිව්වා මිලිමීටර 150 ට වඩා වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව. ඔයිට වඩා මොනවද දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්න තියෙන්නේ.
Q නමුත් මහජනතාව නිතරම ඇඟිල්ල දිගු කරන්නේ කාලගුණ දෙපාර්තමේන්තුව දෙසට නේද?
මේක ඇත්තටම මාධ්‍යවලින් කරපු දෙයක්. අපේ වගේ දෙපාර්තමේන්තුවක් ගැන මිනිසුන්ගේ විශ්වාසය ගොඩනගන්නයි අවශ්‍ය. මාධ්‍යවලින් මෙයාලා මේක කළේ මෙහෙමයි කියලා පල්ලෙහාටම දාන්නේ නැතිව, කරපු දේ අගය කරනවා නම් හොඳයි. මොකද අපි කිසිදෙයක් නොකර ඉඳලා නැහැනේ.
ඇත්තටම ලංකාවේ මිනිස්සු කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කාලගුණ අනාවැකිය බලාපොරොත්තු වෙන්නේ ඇමෙරිකානු තත්ත්වයන්ට අනුකූලවයි. අනෙක් රජයේ දෙපාර්තමේන්තුත් ඇමෙරිකානු තත්ත්වයන්ට අනුකූලව වැඩ කරනවාද? ඇමෙරිකාව ගත්තොත් ඔවුන්ගේ තාක්ෂණය ඉතා ඉහළයි. ඔවුන්ට සැටලයිට් පහසුකම් ඇතුළු නවීන තාක්ෂණය තියෙනවා.
සංවර්ධිත රටවල ඉදිරි කාලගුණ අනාවැකි කියන්න භාවිත කරන දෙයක් තමයි ගණිතමය ආකෘති. ඒ කියන්නේ භෞතික විද්‍යාත්මක සමීකරණ භාවිත කරලා පරිගණක මගින් ඉදිරි කාලයේ කාලගුණ අනාවැකි කියන එක. මේක අතින් හදලා විසඳන්න පුළුවන් ආකාරයේ ගණිත සමීකරණයක් නොවෙයි. මේකට සුපිරි පරිගණක අවශ්‍යයි.
මොකද දත්ත ගොඩක් තිබෙනවා. භෞතික විද්‍යාත්මක සමීකරණයක් අවකලනය කරලා අපි කියනවා දැන් මෙහෙම නම් තව විනාඩි තුනකින් මොනවද වෙන්නේ කියලා. ඔය විදිහට පැයක කාලයක් බැලුවොත් දත්ත ගොඩක් එකතු වෙනවා. ඕක අතින් කරන්න බැහැ. සුපිරි පරිගණක අවශ්‍යයි. සුපිරි පරිගණකයක් නඩත්තුවට වසරකට ලක්ෂ 3000 – 4000 ක් වැය වෙනවා. එය අපේ දෙපාර්තමේන්තුව තරම් විශාල එක් කොටසක් බවට දැක්විය හැකියි. උදාහරණ ලෙස ඉන්දියාව ආදී සල්ලි තියෙන රටවල් මේ පරිගණක ක්‍රමය භාවිතයට ගන්නවා.
Q ඉන්දියාවේ මෙම පහසුකම් තිබෙනවා නම් අපට නොහැකිද ඔවුන්ගේ දත්ත භාවිතයට ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කරන්න?
අපි ඒ අයගේ දත්ත අරන් තමයි අනාවැකි කියන්නේ. ලංකාවේ කාලගුණ අනාවැකිය කියන්න බැහැ ලංකාවේ ම්‍යස්ථානවල පමණක් ලබාගන්නා තොරතුරු මගින්. අපි කාලගුණය ගැන කතා කරනවා කියන්නේ සුළඟ ගැනයි මේ කතා කරන්නේ. සුළග එක රටක් හරහා පමණක් හැසිරෙන්නේ නැහැ. සුළඟ ලෝකය වටා යනවා. එතකොට සුළඟේ හැසිරීම ගන්න ලංකාවේ දත්ත විතරක් මදියි.
අපේ රට ලෝක සිතියමේ පොඩි රටක්. පොඩි රටක් වුණාම ලංකාව හරහා යන සුළඟ ලෝකේ වටේ ගිහිල්ලයි එන්නේ. ඒ නිසා අපි ලෝකේ 1/3කවත් දත්ත ලබාගන්නවා හැමදාම ලංකාවේ කාලගුණය ගැන කියන්න. ලෝකයේ කාලගුණය තනි රටකට කාලගුණය මනින්න බැරි දෙයක්. ඒකට ලෝක කාලගුණ විද්‍යා සංගමයේ සාමාජික රටවල් සියල්ල එකතු වෙලා කරන දෙයක්. ලංකාවට ඕන ඕන වෙලාවට දත්ත මනින්න බැහැ.
Q අපේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තාක්ෂණික උපකරණ නොමැති බව නිරන්තරයෙන් නැගෙන මැසිවිල්ලක් බවට පත්වෙලා නේද?
ඇත්තටම තාක්ෂණික උපකරණ ඔය තරම් තිබිලත් 2008 අවුරුද්දේ ඇමෙරිකාවේ 1500 ක් සුළි කුණාටුවෙන් මැරුණා. කොයිතරම් දියුණු උපකරණා හා විධි තිබුණත් කාලගුණය ගැන හරියටම කියන්න බැරි නිසයි ඒකට කාලගුණ අනාවැකිය කියලා කියන්නේ. ඉන්දියාවේ මෝසම් කාලගුණ තත්ත්ව ආවම කීදෙනෙක් මැරෙනවාද බලන්න.
Q හරියටම කියන්න බැරි නම් අද වැස්සත් පසුගියදා ඇති වූ වර්ෂාපතනය වගේ දරුණු වීමේ අවධාදානමකුත් තියෙනවා කියන එකද අදහස් වන්නේ?
නැහැ. දැන් තිබෙන තත්ත්වය අනුව මිලිමීටර 500 ගණන් වහින්නේ නැහැ. නමුත් මිලිමීටර 100ක පමණ වර්ෂාපතනයක් ලැබෙනවා.
Q ඉදිරි දින කිහිපය?
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට වහිනවා. මොකද මේ දිනවල බෙංගාල බොක්කේ සුළි සුළඟක් තිබෙනවා. ඒ සුළිසුළඟ අද බංග්ලාදේශය දෙසට ගමන් කරාවි කියලයි ගෝලීය අනාවැකි පළකර තිබෙන්නේ. එහෙම වුණාම සුළඟ හා තද වැසි ක්‍රමයෙන් පහවෙලා යනවා. අද දවසේ වර්ෂාවේ අවදානමක් තිබෙනවා. අදින් පසු ටික ටික අඩුවෙලා ගිහින් ජුනි දෙවැනිදායින් පසු වර්ෂාව අඩු වෙලා යාවි.