ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම ගැන බොහෝ දෙනා උදම් අනනු පෙනේ. ඒ 'බළලා මැටියෙන් වුණත් කමක් නැත මීයන් අල්ලනවා නම්' පන්නයේ පිරිස්ය. ඔවුන්ට මේ මොහොතේ සියලු ඛනිජ තෙල් සේවකයන් සේවයෙන් පහකර ගෙදර යැවූවද කමක් නැත. ඒ මේ මොහොතේ කෙසේ හෝ තම වාහනවලට තෙල් ලබාගැනීම පමණක් ඔවුන්ගේ මූලික අභිප්‍රාය බැවිනි.
එහෙත් ඛනිජ තෙල් සේවකයන් මෙලෙස වර්ජනය කරන්නේ ඇයි දැයි මේ 'හුරේ දාන' මහත්තුරු අහන්නේ නැත, හොයන්නේද නැත. ගැටලුව එතැනය. ආණ්ඩුව පටි තදකර ගන්නැයි කී විට පටියේ අන්තිම කොණටම තදකර ගන්නට ඇති උවමනාව හෝ ඔවුන්ට මේ සඳහා නැත.
මේ ඛනිජ තෙල් සේවකයන් වර්ජනය කරන්නේ ඇයි? හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට පැවරීමට එරෙහිවය. ඉන්පසු නිරායාසයෙන්ම සිදුවන ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිවය. පාඩු ලබන සහ මළකඩ කන තෙල් ටැංකි ටිකක් ලාභ ලැබීම සඳහා යමෙකුට පැවරීමේ වරද කුමක්දැයි කෙනෙකුට විමසිය හැකිය.
එහෙත් මේ විරෝධයේ මූලික පදනම එකී 'පැවරීම' සම්බන්ධයෙන් නොවේ, එය පැවරීම සඳහා වන ක්‍රමවේදය පිළිබඳවය. ඉන්දියාවට නිසි ක්‍රමවේදයකින් තොරව තෙල් ටැංකි බදු දීමේ ආදීනව පසුගිය කාලයේ අපි දුටිමු. තෙල් ටැංකි නිරීක්ෂණයට ගිය රජයේ නිලධාරීන් ඉන්දීය සමාගමේ ආරක්ෂක නිලධාරීන්ගේ ග්‍රහණයට ලක්වූයේත්, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන්ට එය තහනම් කලාපයකත් වූයේත් කෙලෙසදැයි සබුද්ධිකව විමසන්නෙකුට එය අලුතින් පැහැදිලි කළ යුතු නැත.
අනෙත් අතට ඊයේ උදෑසන අවදි වනවිට ආණ්ඩුව ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ අතරේ කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය හමුදාව අතට පත් කොට තිබූ අතර, හමුදාව යටතේ තෙල් බෙදාහැරීමේ කටයුතුද සිදුවිය.
ආණ්ඩුව පවසන්නේ පොදු ජන ජීවිතය අඩාළ වන හෙයින් හමුදාව යොදාගනිමින් මෙම සේවා පවත්වාගෙන යන බවයි. එහෙත් අප තේරුම්ගත යුතු කාරණාව වන්නේ මේ හේතුවෙන් කෙතරම් බරපතළ අර්බුදයක් ඇතිවිය හැකිද යන්නය. හමුදාව යොදාගනිමින් මේ තත්ත්වය යම් පමණකින් හෝ සමනය කළා යැයි උපකල්පනය කරමු.
එහෙත් මෙලෙස සිවිල් රාජ්‍ය සේවා යාන්ත්රණයට ආරක්ෂක හමුදා ඇතුළත් කරගැනීමෙන් සිදු වන්නේ රාජ්‍ය සේවකයාට, රාජ්‍ය යාන්ත්‍රණය හෝ ආණ්ඩුව පිළිබඳ සැකයක් ඇති වීම නොවේද? එය අනාගතයේ ඇතිවිය හැකි ගැටලුකාරී අවස්ථා සම්බන්ධයෙන් යම් වැරදි පූර්වාදර්ශයක් නොවන්නේද? මන්ද ආණ්ඩුව මේ කාරණාවේදී හමුදාවේ මැදිහත්වීම පිළිබඳ සලකා බලා ඉදිරියේදී ඇතිවන වැඩවර්ජනවලදීද හමුදාව යොදාගනිමින් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ ගැනීමේ ඉඩක් ඇති බැවිනි.
එහෙත් හමුදාව යොදවා යම්යම් කාර්යයන් සිදුකළ හැකි වුවද, සිවිල් සමාජය සමග කටයුතු කිරීමේදී හා යම්යම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඔවුන් ඊට සම්බන්ධ කරගැනීම හරහා තත්ත්වය අවුලෙන් අවුලට යනවා මිස ඉන් ලැබෙන සෙතක් නැත. එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ වීමෙන් පසු ආණ්ඩුවකටද පැවැත්මක් නැත. එහෙත් ආණ්ඩුව තේරුම් නොගන්නා සත්‍යය වන්නේද මෙයයි.
ඒ මදිවාට එදින දහවල් 12.00 වනවිට සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බවටද ආණ්ඩුව තර්ජනය කළේය. මේ තර්ජනය කාටද? 80 ජූලි වර්ජනය සිදුවී මේ වනවිට අවුරුදු 37කි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් 40,356ක් ගෙදර යවන ලද්දේද මෙවැනි එක් තර්ජනයකින් පසුවය.
ජනාධිපති ජේ.ආර්. ඇතුළු ඇමති මණ්ඩලය එදා සිදුකළේ දුම්රිය, ලංගම, තැපැල් සේවය, වරාය, අධ්‍යාපනය, රෝහල්, තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් හදිසි නීති රෙගුලාසි යටතේ වැඩවර්ජන නීති විරෝධී කිරීමය.
වර්තමානයේ මේ ආණ්ඩුව සිදුකරමින් සිටින්නේද එයමය. අර්බුදය වන්නේ මෙකී දරුණු මර්දනය ක්‍රියාත්මක කරමින් සිටින්නේද, 2015 ජනවාරි 08 වැනිදාට පෙර ප්රජාතන්ත්රවාදය, කම්කරු නිදහස හා අයිතිවාසිකම්, රටේ ආරක්ෂක අංශ සිවිල් සේවා සඳහා යොදවා ගැනීම් ආදිය ගැන කිඹුල් කඳුළු හෙළමින් යහපාලනය ස්ථාපිත කරන්නට බලයට ආ පිරිස විසින්ම වීමය.
මේ අතරේ වරායේද අර්බුදයකි. ඒ හම්බන්තොට වරාය 99 අවුරුදු පදනම යටතේ චීනයට පවරා දීමට එරෙහිව නැගෙන විරෝධතා රැල්ලත් සමගිනි. තෙල්වලින් පසු ආණ්ඩුවට මුහුණදීමට සිදුවන වෘත්තීය අරගලය බොහෝවිට වරායේ අඛණ්ඩ සේවක වර්ජනයක් විය හැකිය.
වරාය සේවක පාර්ශ්වයෙන් නැගෙන විරෝධතාව සාධාරණය. ඒ 99 අවුරුදු බදු පදනම යටතේ පවරා දීමේ ආදීනව පිළිබඳ පෙර නිමිති අප ඕනෑ තරම් දැක ඇති නිසාය. එවැනි පෙරනිමිති ගැන හොයන්නට අවැසි නම් ගව්ගණන් දුර සොයා යන්නට අවශ්‍ය නැත.
අස්ගිරි - මල්වතු විහාර පාලනාධිකාරියෙන් ඒ ගැන විමසිය හැකිය. විහාර සතුව තිබියදී යටත්විජිත සමයේ විවිධ පුද්ගලයන්ට 99 අවුරුදු බදු පදනම යටතේ පවරන ලද ඉඩකඩම්වල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුද ඔබට හොඳ නිදසුන් සපයනු ඇත.
එහි ඇති අර්බුදකාරී තත්ත්වය වන්නේ ආණ්ඩුව කොළේ වසා මේ සෙල්ලමේ නිරත වීමය. වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡාවලදී 99 අවුරුදු බදු කතාවක් ආණ්ඩුව නොකී බව වෘත්තීය සමිති පවසයි. ඒ චෝදනාව ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රතික්ෂේප කිරීමක් හෝ බැහැර කිරීමක් සිදු කෙරෙන්නේ නැත. ඒ හේතුවෙන් මේ චෝදනා හුදු වචනවලට සීමා වූවක් පමණක් නොවන බව හැබෑය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් හෙට (28දා) පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබුණද, ඒ සම්බන්ධ ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ නැත. එලෙස කියන්නේ අප නොව, වත්මන් ආණ්ඩුවේ වරාය හා නාවික කටයුතු ඇමතිවරයාය.
ඔහු තවදුරටත් පවසන්නේ අදාළ විවාදයේදී යම් සාධනීය කරුණක් ඉදිරිපත් වුවහොත් පමණක් එය ගිවිසුමට ඇතුළත් කිරීම ගැන සලකා බැලිය හැකි බවය. එලෙස කියමින් ඔහු අනුමාන කරන්නේ කුමක්ද? ඒ අනුව අප බලාපොරොත්තු විය යුත්තේ විවාදයේ කුමක් වුවද ගිවිසුම නොවෙනස් වනු ඇති බවද?
එමෙන්ම හිටපු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගද මේ ගිවිසුමට සිය විරෝධය පළ කළේය. ඔහු මෙම වරාය ගිවිසුමෙන් වැඩි කොටසක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාගත යුතු බව පවසමින් ඒ සඳහා උත්සාහ ගන්නා අයුරක් පෙනෙන්නට තිබිණි.
ඒ සැබෑවටම ඔහු වරායට ඇති ආදරය නිසාද? නැතහොත් යම් පෞද්ගලික ලාභයක් බලාපොරොත්තුවෙන්දැයි අපි නොදනිමු. නමුත් ඔහු මේ කාරණාව සම්බන්ධයෙන් යම් එළැඹුමක සිටි බව පමණක් පැහැදිලිය. කෙසේ වුවද අවසානයේ සිදුවූයේ ඔහුට වරාය හා නාවික අමාත්‍යාංශය අහිමි වී යෑමය.
කෙසේ වෙතත් ආණ්ඩුවේ මේ හදිසි නින්දෙන් අවදි වීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? එක්කෝ ආණ්ඩුව තමන් සතු බලතල මතක් වී ඒවා ක්‍රියාත්මක කරමින් සිටියි. නැත්නම් ආණ්ඩුව තමන්ගේ 'ප්‍රොජෙක්ට්' ගොඩදමාගැනීම සඳහා රාජ්‍ය ත්‍රස්තවාදය පතුරුවමින් මර්දනය අරඹා තිබේ. මෙයින් පළමුවැන්න විය නොහැකිය. මන්ද එසේ බලතල ක්‍රියාත්මක කිරීමට උවමනාවක් වී නම් ඒ සඳහා මීට වඩා ඕනෑ තරම් හොඳ අවස්ථා ආණ්ඩුවට තිබූ නිසාය.
කසළ ප්රශ්නය, ඩෙංගු වසංගතය, බැඳුම්කර සිද්ධිය, සයිටම් ගැටලුව ආදී මෑතකාලීන සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහාද මේ තරමටම උනන්දුවක් ආණ්ඩුවට තිබුණේද? මේ දක්වා එවැනි කිසිදු දෙයකට මෙවැනි උනන්දුවක් ආණ්ඩුව වෙතින් දක්නට නැත. එවැනි යම් උනන්දුවක් හෝ තිබුණා නම් ඒ නෙවිල් ප්‍රනාන්දු රෝහල කඩිමුඩියේ ජනසතු කිරීමට පමණි.
එහෙත් ඒ කාරණාව ජනතාව හෝ කිසිවෙකු ඉල්ලා සිටි දෙයක් නොවේ. එයින් සිදුවූයේ සයිටම් අර්බුදය තවත් උග්‍ර වීම පමණි. ඒ නිසා අප විශ්වාස කළයුත්තේ කුමක්ද? එමෙන්ම සිදුවෙමින් පවතින්නේ කුමක්ද? දෙවැනි කාරණාව නොවේද?
එසේ නම් මේ පවසන්නේ හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට පැවරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු නම්‍යශීලීතාවක් නොදක්වන බව නොවේද? මහජන විරෝධතා හමුවේ පවා අඩියක් පසුපසට ගන්නට හෝ සූදානම් නැති නොහික්මුණු ආණ්ඩුවක් බව නොවේද? ඒකාධිපති යැයි, මර්දනකාරී යැයි හංවඩු ගැසූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවා මෙතරම් දඩබ්බර වූයේ නැත.
මහජන විරෝධතා හමුවේ එම ආණ්ඩු අවස්ථා කිහිපයකදීම අඩියක් පස්සට ගිය අවස්ථා තිබිණි. පෞද්ගලික අංශ සේවකයාගේ විශ්‍රාම වැටුප, සමසෞඛ්‍ය ගැටලුව, දැයට කිරුළ ප්‍රදර්ශනය ආදිය ඉන් කිහිපයක් පමණි. එහෙත් මේ ආණ්ඩුව ඒ තරමින්වත් පසුබසින්නට සූදානම් බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම මෙය සුළුවෙන් තකා පහසුවෙන් බැහැර නොකළ යුතුය. මන්ද යත් 'ලබ්බට තැබූ අත පුහුලට තබන්නට' මේ ආණ්ඩුව කිසිවිටෙක පසුබට නොවන නිසාය.
සමිත් බෝධිපක්ෂ