හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධන කලාපයට අයත් ප්‍රදේශයන් තුළ මහා පරිමාණයෙන් කැලෑ එළිකරමින් සිදුකරනු ලබන සියලුම වගා කටයුතු නීතිවිරෝධී බව මහවැලි සංවර්ධන අධිකාරිය මගින් තොරතුරු දැන ගැනීමේ පනත භාවිත කරමින් ලබාගත් තොරතුරුවලින් හෙළි වේ
මේ ආකාරයේ මහා පරිමාණයෙන් කැලෑ හෙළි කරමින් අනවසරයෙන් වගා කටයුතු සිදුකළත්, මහවැලි සංවර්ධන අධිකාරියේ නිලධාරීන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය යම් දේශපාලඥයෙකුගේ හෝ මුදලට යට වී ඇති බවයි .
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මහවැලි සංවර්ධන කලාපයට අයත් වාරි, ගොඩ ඉඩම් හා නිවාස, වැව්, ආයෝජන ව්‍යාපෘති, කැලෑ ප්‍රදේශයන් සහ වෙනත් ඉඩම් හෙක්ටයාර 25,000කට අධික ප්‍රමාණයක් ඇති බවයි මහවැලි සංවර්ධන අධිකාරියේ තොරතුරුවලින් හෙළිවන්නේ.
මෙම ඉඩම් තුළින් 2000 වර්ෂයේ සිට රජයේ සංවර්ධන කටයුතු සඳහා විටින් විට හෙක්ටයාර 159කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත්, හෙක්ටයාර 35කට අධික ප්‍රමාණයක් පෞද්ගලික ආයතනයන්හි සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති බවත් මහවැලි සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. (තොරතුරු දැනගැනීමේ පනතින් ලබාගත් තොරතුරු)
මේ අතර 2005 වර්ෂයේ සිට හම්බන්තොට දිස්ත්‍රිකයේ ඇති කළ වරාය හා මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීමට ප්‍රථමයෙන් සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සමග අවතැන් වන අලිඇතුන්ට රැකවරණය සැලසීම සඳහා හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කළයුතු බවයි. ඒ සඳහා මහවැලි සංවර්ධන කලාපයට අයත් හෙක්ටයාර 12,000ක් වෙන් කර එහි විශාල මුදලක් වැයකර යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ලෙස නම් කරන ලද දැන්වීම් පුවරුද යොදා තිබේ .
නමුත් එය එම වාර්තා සහ දැන්වීම් පුවරුවලට පමණක් සීමා කරමින් දැනට යෝජිත වනඅලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ පමණක් නොව වන ඝාතකයන්ගේද දැවැන්ත ගොදුරක් බවට පත්ව තිබෙන්නේ මහවැලි නිලධාරීන්ගේද ආශීර්වාදයෙන් බවයි හෙළිවන්නේ.
නීතිවිරෝධී වන විනාශය
2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අඥා පනතේ 2 වැනි වගන්තියට අනුව හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත.
නමුත් මේ වන විට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහඅන්දර වැව හා පහළ අන්දර වැව අතර පිහිටි හාමුදුරු වැව් ඉහත්තාවේ අක්කර 2000ක් පමණ එළිපෙහෙළි කර මහා පරිමාණයෙන් කෙසෙල් වගා කර තිබෙන ආකාරය මනාව පෙනී යන කාරණයකි.
මේ ආකාරයෙන් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය සඳහා වෙන් කර තිබෙන හෙක්ටයාර 12000ක් පමණ වන වනඅලින් විශාල සංඛ්‍යාවක් වාසභූමි කරගෙන සිටින කැලෑ ප්‍රදේශයන් වන මහවැලි අධිකාරියේ පාලනය යටතේ පවතින අන්දරවැව උස්ගල රක්ෂිතයේ අක්කර 600ක්, වැවේගම රක්ෂිතයේ අක්කර 100ක්, කුඩාඉදිවැව රක්ෂිතයේ අක්කර 400ක්, සුරුවිරුගම මුත්තගල් ආර රක්ෂිතයේ අක්කර 25ක් පමණ, සුරුවිරුගම වැලිආර රක්ෂිතයේ අක්කර 25ක් පමණ මීට වසර දෙකක පමණ කාලයක සිට මහා පරිමාණ වගාවන් සඳහා නීතිවිරෝධීව හෙළිකර අනවසර විදුලි වැටවල් පවා සකසාගෙන වගා කටයුතු සිදුකරනු ලබයි .
එමෙන්ම කුඩාඉදිවැව ප්‍රදේශයේ අක්කර 50ක පමණ ප්‍රදේශයක්, කුබැල්ල ප්‍රදේශයේ අක්කර 30කට අධික ප්‍රමාණයක්, වල්සපුගල ප්‍රෙද්ශයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් අනවසර වගාකරුවන්ගේ ගොදුරක් වනතුරු මහවැලි නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිසි බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්විය යුතුම කාරණයක් වී තිබේ .
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 වැනි දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5කට වඩා විශාල වනාන්තරයක් එළිකර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතුය.
නමුත් අලිඇතුන් ඇතුළු විශාල වනජීවීන් ප්‍රමාණයක් ජීවත් වන මෙම ප්‍රදේශයන් තුළ මහා පරිමාණ සංවර්ධන කටයුතු සඳහා රක්ෂිත ප්‍රදේශයන් එළි කිරීමේදී වනජීවී දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි තොරතුරු දැනගැනීමේ පනත හරහා, මහවැලි අධිකාරිය මගින් ලබාගත් තොරතුරුවලින් පෙනී යන්නේ.
අලිමංකඩ එළි කරලා
මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර දෙක තුළදී පමණක් හම්බන්තොට වගාබිම්වලට පැමිණි අලිඇතුන් 19ක් පමණ වෙඩි තැබීමෙන්, හක්කපටස් භාවිතයෙන් හා විදුලිසැර යෙදීමෙන් ඝාතනය කර තිබේ. එපමණක් නොව අලිඇතුන්ගේ ප්‍රහාරයට ලක්ව මිනිසුන් 10 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ තොරතුරුවලින් අනාවරණය වේ.
කෙසේ නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය හා ඒවාට වනාන්තර තුළ මහවැලි අධිකාරියේ මැදිහත් වීමෙන් මෙන්ම අනුදැනුම ඇතිව සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු නිසාවෙන් මේ වනවිට ඉන් ඉතිරිව ඇත්තේ ඒ සඳහා වෙන් කළ භූමි ප්‍රමාණයෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් බවත්, තවදුරටත් ඒ අයුරින් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අයත් භූමි ප්‍රමාණය හෙළි කළහොත් අලි - මිනිස් ගැටුම උග්‍ර වන බව වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු පශු වෛද්‍යවරයෙකුද වන ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු මහතා පවසා සිටී.
මේ තත්ත්වය පාලනය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කළ හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් මහවැලි අධිකාරිය කළුගල් කැඩීම මෙන්ම විවිධ සංවර්ධන කටයුතු හා වාණිජ වගාවන් සඳහා ලබාදීම හේතුවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වෙමින් පවතින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ.ඒ.පී විජයකුමාර මහතා පෙන්වා දෙයි .
එපමණක් නොව යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ කුරුදාන ඇතුළු විවිධ ප්‍රදේශවල අලිමංකඩ පවා හරස් කරමින් අලුතින් ගම්මාන පිහිටුවීම හා වාණිජ වගාවන් සඳහා විවිධ පුද්ගලයන්හට ඉඩම් ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය තව තවත් වර්ධනය වෙමින් තිබෙන බවත්, මේ අයුරින් වනාන්තර අවභාවිතාව නිසා මෙම රක්ෂිතය ප්‍රකාශයට පත්කිරීමට ඉඩප්රස්ථාව ලබා නොදෙන බව පරිසර සංරක්ෂණ භාරයේ සභාපති පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙයි.
මේ ආකාරයෙන් අවභාවිත වන යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් සියයට 40ක් පමණ ආවරණය වන්නේ මහවැලි අධිකාරියට අයත් වනාන්තර ඉඩම්වලිනි. 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරී පනතේ 3(1) වගන්තියට අනුව 1981 අප්‍රේල් 16 වැනි දින අංක 137 දරන ගැසට් නිවේදනය මගින් වලව බලප්‍රදේශය වශයෙන් විශාල භූමි ප්‍රමාණයක් මහවැලි අධිකාරිය යටතට පවරා දී තිබේ. එසේ පවරා දී ඇත්තේ මෙම සමස්ත ප්‍රදේශයේම වනාන්තර එළි පෙහෙළි කර සංවර්ධනය කිරීමට නොවන බව පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දෙයි.