ඩෙංගු උවදුර ව්‍යාප්ත වීම නිසා කින්නියාවේ 10 දෙනකු පමණ මිය ගොස් රෝහල් ද පිරී පාසල් 66 ක් වසා දමා ඇති පුවතක් වාර්තා විය.
ගතවූ 15 දින රාත්‍රිය වන විට අනාවරණය වූයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පුරා ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ අවදානමකි. එහෙත් හැමදාමත් ඇසන්නේ ඩෙංගු මරණ සහ අවදානම පිළිබඳ කතාන්තර නම් ගන්නා ලද උත්සාහයන්ගේ අසාර්ථක පැත්ත කුමක්දැයි සෙවීමට වගකිවයුත්තන්ට නිකමට වත් අදහසක් පහළ නොවුණු බව පාසල් වසා දමන තැනට උවදුර ව්‍යාප්ත වීම දක්වා ඇසේ. එසේනම් ඒ කාගේ වරද නිසාද? නිලධාරීන් කළේ කුමක්ද?
කින්නියා ජනතාව මහ මඟ කාණු දෙපස පෙන්වමින් කීවේ ඒවා මදුරුවන් බෝවන තවාන් බවට චෝදනාවකි. එසේනම් ඒ ජනතාවට නොව ආණ්ඩුවට දඩ ගැසිය යුතු කතාවකි.
මෙතෙක් නිදි වැද සිටි සෞඛ්‍ය බලධාරීන් 15 දින ආරක්ෂක නිලධාරීන් 700ක් සමග ජනතාවට තරවටු කරමින් මදුරු උවදුර වනසනන්ට තිබූ උනන්දුව ගතවූ මාස තුනක කාලය තුළ තිබුණේ නම් ඩෙංගු තබා කෝදුරුවෙක්වත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් සොයාගන්නට නොහැකි වන බවට ජනතාව ආණ්ඩුවටත්, සෞඛ්‍ය බලධාරීන්ටත් ගරහමින් පැවසුවෝය. ඇත්තෙන්ම එම ජනතාවගේ වැටුප් ගත් සෞඛ්‍ය බලධාරීන්ද, දේශපාලකයන්ද මෙතෙක් සිටියේ සළුපිළි පටලවාගෙන දැයි කුපිතව සිටින ජනතාව විමසති.
දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවන්නේ කොන්ත්‍රාත් කිරීමට හෝ ඥාති සංග්‍රහයට නොවේ. මෙවැනි ජාතික අර්බුද වෙනුවෙන් සොයා බලා රාජ්‍ය මට්ටමේ පියවර ගැනීම වෙනුවෙනි. නැගෙනහිර එවැන්නවුන් සිටියේ නම් මෙවැනි දේ සිදුවේදැයි එම ජනතාව අසති.
හැම පළාතකම සැබෑ තත්ත්වය එසේ යැයි එම පළාත්වල ජනතාවද පවසති. තමන් කෙතරම් පිරිසුදු කළද අසල්වැසියාට එරෙහිව තමාට පියවරගත නොහැකි තැන එය පොලීසිය සහ සෞඛ්‍ය අංශ කළයුතු දෙයකි. එයට සන්නිවේදන ක්‍රමයක් මෙතෙක් සකස්කර නැත. අද කින්නියාවේය. හෙට බස්නාහිර හෝ මධ්‍යම නොවිය හැකිද?
ජනතාවගේ පැත්තෙන් තමන්ගේ ගෙවත්ත පිරිසුදුකර තැබීමට යම් උනන්දුවක් දක්වන බව සැබෑය. එහෙත් මදුරුවා ඉදිරියෙනි. ඒ නොහැකියාව නිලධාරීන්ගේ නොවේද?
තමන්ගේ පවුලේ අයෙකුට ඩෙංගු වැලඳෙනතුරු යමෙකුට මරණ බිය නැත. මගේ නිවස පිරිසුදු වුවද අසල්වැසියන්ගේ නිවස අපිරිසුදු නම් එය මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයකි. එහෙත් අසල්වැසියාට ඒ උනන්දුව නොමැති නම් මා කුමක් කළයුතු දැයි ජනතාවට ඇත්තේ ප්රශ්නයකි.
ඔබේ ඉඩම පිරිසුදු කරගන්න යැයි අසල්වැසියාට පෙන්වා දෙන පුද්ගලයාට බොහෝ විට සිදුවන්නේ අසල්වැසියාගේ ඇනුම්පද කෙනෙහිලිකම් හෝ වාග් ප්රහාරයන් නැතහොත් පොලු පහරට ලක්වීමටය. “අපේ දේ අපි කර ගන්නම්. තමුසෙලාගේ දේ තමුසෙලා බලාගන්නවා” ඔවුන්ගේ ප්‍රහාරය අවසානයේ නතර වන්නේ පොලිස් පැමිණිලි පොතෙනි.
පොලීසිය පවසන්නේ නැවත ආරවුල් කර පැමිණියොත් දෙපාර්ශ්වයම කූඩු දමන කතාව මිස 'ගෙදර ගිහින් පරිසරය පිරිසුදු කර ගන්න' යන ඔවදන නොවේ. ඒ අපේ පොලීසියේ හැටි යැයි සිතා සාමකාමී මිනිසුන් අනම්මනම් වලට නොපැටලවී මදුරුවාට දිවි පුදති.
එහෙත් ඒ පොලීසිය තුළම පරිසර ඒකකයකි. අසල්වැසියන් ඉඩමට හෝ මහමඟට කුණු දමන්නේ යැයි පොලීසියට දුරකථනයෙන් හෝ 119න් පැමිණිල්ලක් කළද එතැනින් ලැබෙන පිළිතුරක් නැත. අසල්වැසියා අසන්නේ 'පොලීසියට කියා අපිට කළාද' යනුවෙන් අවලාදාත්මක ප්‍රකාශයකි.
පොලීසියට අවංකව උවමනාවක් තිබේ නම් එවැනි පැමිණිල්ලක් දුරකථනයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලද සැණින් අදාළ ස්ථානයට ගොස් නිරීක්ෂණය කරන්නේ නම් අර්බුදය එතකින් විසදෙනු ඇත. එවැන්නක් සිදුනොවීම ඩෙංගු උවදුරට උඩගෙඩි දීමකි. ජනාධිපති කාර්යසාධන කමිටු ඇතත්, ඒවා නමට විනා වැඩට නොවන බව ජනතාව පවසන්නේ එවැනි ඒකාබද්ධ වැඩසටහනක් හෝ මෙතෙක් ගම්මාන මට්ටමෙන් ක්‍රියාත්මක නොවූ හෙයිනි.
හැම ගමකටම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඔවුන්ට තිබෙන රාජකාරිය අනුව දැරිය නොහැකි බරකි. ඔවුන්ගේ රාජකාරියද ඩෙංගු පමණක් නොවේ. තවත් දේ තිබේ. එසේනම් ඔවුන්ට දිරිගැන්වීම සඳහා යතුරුපැදි, ඉන්ධන සහ වෙනත් අවශ්‍ය සේවා විමසා සපයා ඔවුන්ගේ සේවය කාර්යක්ෂම කළ යුතුය. එහෙත් අදටත් එවැන්නක් සිදුවූ බව පෙනෙන්නට නැත. හැම චෝදනාවක්ම ඔවුන් කරපිට පටවා ඉහළ ඇත්තෝ සාද දමති.
පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක, එම්.ඕ.එච් කාර්යාලය, පළාත් පාලන ආයතනය හෝ පොලීසියට යමෙකු දුරකථනයෙන් අවිධිමත් කැළිකසළ බැහැර කිරීම පිළිබඳ පැමිණිල්ලක් කළහොත් එම බලධාරීන් ලිඛිත පැමිණිල්ලක් එවන ලෙස තොරතුරු සපයන්නාට නියෝග කරයි.
දවසේ ළමා ළපටින්ගේ කටයුතු සමග මග දිගට පවතින වර්ජන සහ බස් අරගලය සමග මහ මග කාලකන්නි වෙමින් රැකියාවට යන අයත්, මළපොතේ අකුරක් නොදත් අයත් එතැන් සිට රජයේ ඇත්තන්ට වාහන ඉන්ධන සපයා තමන් ලියන අප්පුලා සොයාගොස් මුදල් වැයකර චෝදනාපත්‍ර සකස් කර ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය. සාමාන්‍ය තැපෑලෙන් යැවූ විට පවසන්නේ නොලැබුණු බවට කතාවක් බව ජනතාව අත්දැකීමෙන් පවසති. තමන්ද කාලය කා අනුන්ගේ කාලයද මරණ එම නිලධාරීන්ට අනුව සියල්ල නිමවන විට මදුරුවාගේ ජීවන චක්‍රය අනුව උන් බෝ වී මිනිසුන් රෝහල්ගත කර හෝ මරා දමා අවසානය. නිලධාරියා ගොඩය.
රටේ පරිසර ඇමතිවරයා ජනාධිපති වුවද හැමදාමත් ඩෙංගු සහ කැළිකසළ ප්රශ්නය ඔඩු දුවන්නේ නම් ඒ අවමානය එල්ල වන්නේද ජනාධිපතිවරයාටය. ජනතාව ලියන අප්පුලාගේ රාජකාරිය භාරගත යුතු බවට කරන දැනුම්දීම සමහරවිට ජනාධිපතිතුමා නොදන්නවාද විය හැකිය.
සැබවින්ම කැළිකසළ බැහැර කිරීමේ අර්බුදය ජනතාවට පාලනය කළ නොහැකි බවට පවතින තර්කය ආණ්ඩුවට වැටහෙන්නේ නැත. ආණ්ඩුව විසින් ජනතාව පිට වරද පටවා ඇඟ බේරා ගැනීමේ ක්‍රමය පවතින තාක් මේ මරණ මෙසේම ඇසෙනු ඇත. දිරා යන දෙයක් පුළුස්සා දැමිය හැක. එහෙත් පොලිතින්, ප්ලාටික් වැනි දේ ජනතාවට විනාශ කළ නොහැක්කේ කුඩා ඉඩම් තුළ හෝ තට්ටු නිවාස හෝ මුඩුක්කු පරිසරයකද වෙසෙන ජනතාවට ඒ පහසුකම් නොමැති හෙයිනි. අනෙක් අතට පරිසර දුෂණයට එවැනි දෑ පිළිස්සීම තුළ වෙනත් කාලවලට වඩා හානිකර විෂ වායූන් එක්වී ඇති බවට විද්වත්හු සහ ළය රෝග වෛද්‍යවරු පෙන්වා දෙති.
ජනතාවට සිදුව ඇත්තේ දිස්ත්‍රික් නැතහොත් පළාත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලවල බුරුතු පිටින් සිටින ලිපිකරුවන්ටත් වැටුප් ගෙවමින් තමන්ගේ අතින් මුදල් වැයකර පැමිණිලි සකසා නිදි කිරා වැටෙන ඇත්තන් අවදි කරවීමටය. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට දොස් නැඟිය නොහැක්කේ ඔවුන් මෙහෙය වනුයේ පළාත් සහ දිස්ත්‍රික් අධ්යක්ෂවරුන් නිසා ඔවුන් හරහා මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය විය යුතු බවටද ජනතාව පෙන්වා දෙන තර්කය තුළය.
අනෙක් අතට අයාලේ යනවා යැයි කියන බස් සේවයේ පවා මගීන්ගෙන් දුරකථනයෙන් පැමිණිලි භාරගෙන විමර්ශනය කිරීමේ ක්‍රමයක් ඇත. එහෙත් දසදහස් ගණනින් මිනිසුන් රෝගීන් කරවන හෝ දෙතුන් සියය මරා දමන ඩෙංගු උවදුරට අදාළ කැළිකසළ බැහැර කිරීම හෝ වෙනත් පැමිණිලි සඳහා වන පැමිණිලි භාර ගැනීමට පොලීසියේ 119ත් නිදිය.
පළාත් පාලන ආයතනයත් කර අරියි. පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලාධාරීන්ද මර නින්දේය. දඩ ගැසිය යුත්තේ ජනතාවට නොව ජනතාවගේ නමින් වැටුප් ගෙන ජනතාව මරා දැමීමට උඩගෙඩි දෙන දේශපාලකයන්ට සහ නිලධාරීන්ට යැයි කෝපයට පත් ජනතාව මළගෙවල් තුළ දෙන විළාපය පාලකයන්ට ඇසිය යුතුය. ඒ දඩය කින්නියාවෙන් හෝ පටන්ගත යුතුය.
ඩෙංගු බෝ කරන සහ අවිධිමත් කැළිකසළ බැහර කරන පරිශ්‍රයට ඇතුල්වී නඩු පැවරීමත්, දඩ ගැසීමේ ක්‍රියාවලියත් ශක්තිමත් කළ යුතුය. එහෙත් යමෙකුගේ පරිපාලනයෙන් බැහැර හැමදාමත් සිදුවන වැට මායිම් හෝ මහමඟට අනුන් ගෙනැවිත් විසිකරන කැළිකසළ ඉවත් කිරීමේ කුණු ප්‍රශ්නයත් රජය විසින් එම නිදොස් පදිංචිකරුවන් පිට පවරන්නේ නම් එය රජයේ නොහැකියාව සහ නිලධාරීන්ගේ නිද්‍රාශීලී බව පෙන්වන කාර්යාල තුළ කෘත්‍රිම මැඩම්ලාත් සර්ලාත් ලෙස වැජඹෙන නොදරුවන්ට දැනිය යුතුය. එසේ වන්නේ අදටත් නිවැරදි ක්‍රමවේදයක් සකස් කර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව නිසා බව ජනතාව පෙන්වා දෙති.
දුරකථනයෙන් පැමිණිල්ලක් ලද විගස හෝ ජනමාධ්‍ය හරහා පුවතක් ඇසුණු සැනින් එය හඹා යා හැකි ක්රමයේ කාර්යක්ෂම කඩිනම් ක්‍රමවේදයක් අවිධිමත් කැළිකසළ සඳහා පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයත්, පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්ද සම්පාදනය කර තිබුණේ නම් අදටත් කින්නියාවේ පාසල් 66ක් නොවැසෙනු ඇත. දසදහස් ගණනක් වූ සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවනු ඇත. දසදෙනකු ගතවූ දින කීපය තුළ මිය නොඇදෙනු ඇත. රෝහලේ පිරී කින්නියාව විශාලාවක් නොවනු ඇත.
රට පුරා මහමඟ විසිර පැතිර ගිය කුණු ගඳ ගසන ගොඩගැසුණු කුණු කඳු මැති ඇමතීන්ට, නිලධාරීන්ට නොපෙනෙනවාද නොවේ. එහෙත් අපේ උන්ට ඩෙංගු විඳින්නේ නැතැයි යන දුෂ්ට චේතනාව මත ඔවුන් නොදැක්කා සේ සිටින්නේ නම් ඩෙංගු මර්ධනය පුස්සක් යැයි මදුරු විසෙන් මිය යාමට පෙර යමක් කීමට ඇති ජනතාව පවසති.
සෞඛ්‍ය බලධාරීන් රාජකාරිය අකුරට කළේ නම් ඩෙංගු මෙතරම් ව්‍යසනයක් නොවනු ඇතැයි රෝගීහු පවසති. කැළිකසළ නොදැමූ අයත් මදුරුවන් විසින් මරා දමනු ලබති. එහෙත් අහිංසකයන්ගේ පැමිණිල්ල ලියා ගැනීමට ආයතනයක් රටේ නැත. ක්ෂණිකව ක්‍රියාත්මක වීමට නිලධාරීන් ලංකාවේ නැති විපාකයට හැමදාමත් ගමේ ඩෙංගු මළගෙයකි. නිවසක රෝගියෙකු දෙන්නෙකි.
රනිල් ඉකුත් සතියේ පැවසුවේ නූතන තාක්ෂණය අනුව රට ඉදිරියට ගෙන යන කතාවකි. ඩෙංගු උවදුර මෙතරම් ව්‍යසනයක් වූයේ ජනතා සහයෝගය ලබාගැනීමේ එවැනි ක්‍රමයක් පාලකයන් තබා රජයේ කාර්යාල තුළ පුයර බබාලාගේ ටිකිරි මොළයටවත් නොසිතුණු හෙයිනි.
අඩුම තරමින් මදුරු නිවාරණය කළ නොහැකි නම් නොහැකියාවට හේතු සෙවීමට ජනතාවගේ වැටුපෙන් ජීවත්වන සෞඛ්‍ය බලධාරීන්ට උනන්දුවක් හෝ දැනුමක් නැති නම් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා කරන්නේ කුමක්දැයි ජනතාව අසන ප්‍රශ්නයවත් ජනාධිපතිතුමාට ඇසිය යුතුය.
ඩෙංගු ව්‍යාප්තිය සිදුවන්නේ ජනතාවගේ දොස නිසා නොව සෞඛ්‍ය දුෂ්ට බලධාරීන්ගේ කුහකකම නිසා බව පමණක් ජනතාවට අනුව සටහන් කළ යුතුමය.