Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ජනවාරි මස 20 වන සඳුදා
2025 ජනවාරි මස 20 වන සඳුදා
දේශපාලඥයන්ගේ විනය සම්පූර්ණය පිරිහී ඇති බැවින් රට හැදීමට පෙර ඔවුන්ගේ විනය හදාගත යුතු බවට සිවිල් සමාජය විසින් අවස්ථා ගණනාවකදීම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කරන්නට විය. යහපාලන ආණ්ඩුව ආරම්භයේදී දින සියයේ වැඩපිළිවෙළටද මන්ත්‍රීවරුන්ගේ ආචාරධර්ම පද්ධතියක් සම්මත කරගැනීම සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කර තිබුණද එය යථාවක් බවට පත් නොවුණි.
කෙසේ හෝ ආණ්ඩුව පත්ව වසර දෙකකුත් ගෙවී අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් චර්යා ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇති අතර, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කර නීති දැඩි කිරීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කටයුතු සිදුවිණ.
එසේ සකස් කළ නව ස්ථාවර නියෝග සහ චර්යාධර්ම පද්ධතීන් මේ මාසයේ පාර්ලිමේන්තු දිනවලදී සම්මත කර ගැනීමට නියමිත අතර, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මේ වන විට ඒ පිළිබඳ දැනුවත්කර ඇත.
මහජන නියෝජිතයන්ගේ චර්යාධර්ම පද්ධතිය පිළිබඳ ඔවුන් පාර්ලිමේන්තුවට පත්කර යවන පරමාධිපත්‍යය හිමි ජනතාව දැනුවත් විය යුතුමය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නව ස්ථාවර නියෝග සහ චර්යාධර්ම සම්බන්ධයෙන් මෙම ලිපිය මගින් දැනුවත් කෙරේ.
ස්ථාවර නියෝග යනු
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගැබේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළිවෙත් නියාමනය කිරීම සඳහා එකඟ වූ නීති සමුදාය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග නමින් හඳුන්වයි.
ස්ථාවර නියෝගවල මුඛ්‍ය අරමුණ වන්නේ පාර්ලිමේන්තුව විනයානුකූලවත්, අර්ථාන්විතවත් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාපිළිවෙත් නිර්දේශ කිරීමයි.
පාර්ලිමේන්තු ක්‍රියාපිළිවෙත් පිළිබඳ ඉතා වැදගත්ම මූලාශ්‍රය එයයි. ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එන නීති හා සමාන තත්ත්වයක් ස්ථාවර නියෝගවලට ඇත.
ස්ථාවර නියෝග නිර්මාණය වීම
ප්‍රථම ස්ථාවර නියෝග මාලාව යොදාගෙන ඇත්තේ, 1912දී එවකට පැවති ව්‍යවස්ථාදායක සභාවේදී බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ වාර්තාවල දැක්වේ. ඒවාට පදනම්ව ඇත්තේ එවක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැති ස්ථාවර නියෝගයන්ය.
එබැවින්, පාර්ලිමේන්තු ඉතිහාසයේ ඒ ඒ අදියරයන් හිදී එවැනි නව ස්ථාවර නියෝග විටින් විට හඳුන්වා දී තිබේ.
යෝජනා සම්මතිය ප්‍රකාරව ස්ථාවර නියෝග ප්‍රකාරව ක්‍රියාත්මක වීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන බව 1978 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වැනි ව්‍යවස්ථාවෙන් කියවේ. වත්මන් ස්ථාවර නියෝග සකස් කරන ලද්දේ 1978 ව්‍යවස්ථාවට අනුකූල වන පරිද්දෙනි.
ඊට පෙරාතුව පැවති ස්ථාවර නියෝග වලට අදාළ නවීකරණයන් එක් කරමින් 1979 දී සම්මත කරගත් ඒවාය. සභාවට විටින් විට ස්ථාවර නියෝග සංශෝධනය කරගත හැකිය. ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවක් ස්ථාවර නියෝග 123 යටතේ පත්කළ යුතුය. ඒ අනුව එම ස්ථාවර නියෝග සංශෝධනය කරමින් නව ස්ථාවර නියෝග කෙටුම්පත සකස්කර ඇති අතර, මෙවර පාර්ලිමේන්තු සතියේදී එය සම්මත කරගැනීමට නියමිතය.
ස්ථාවර නියෝග කාරක සභාව
කථානායකතුමා, නියෝජ්‍ය කථානායකතුමා, කාරක සභා නියෝජ්‍ය සභාපතිතුමා සහ තේරීම් කාරක සභාව විසින් නාමනය කරනු ලබන තවත් සාමාජිකයන් හය දෙනෙකුගෙන් මෙම කාරක සභාව සමන්විත විය යුතුය.
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වනුයේ පාර්ලිමේන්තුවේ ක්‍රියාපිළිවෙත් සහ එහි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳ ගැටලු සලකා බැලීමෙන් අනතුරුව ඊට උචිත යැයි හැඟී යන්නා වූ සංශෝධන නිර්දේශ කිරීමයි. කාරක සභාවට දන්වා සංශෝධන යෝජනා කිරීමට ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඉඩකඩ විවෘත වන අතර, එවිට කාරක සභාව විසින් එය සැලකිල්ලට ලක්කර එහි වාර්තාවට අඩංගු කරනු ඇත.
නව ස්ථාවර නියෝග කෙටුම්පත
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස්ව සාකච්ඡා වට ගණනාවකින් පසුව නව ස්ථාවර නියෝග කෙටුම්පත සකස්කර තිබේ. මේ යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් දැඩි ලෙස සැලකිලිමත්ව ඇත.
පාර්ලිමේන්තුව මුල්වරට රැස්වන දිනයේ සිට මන්ත්‍රීවරුන්ට ආසන පැනවීම, කථානායකවරයෙකු තෝරාගැනීම ආදියේ සිට පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය, විවාද පැවත්වීම්, පනත් කෙටුම්පත් ඉදිරිපත්කිරීම් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු ඇතුළත් කර ඇත. ස්ථාවර නියෝග සංශෝධනය යටතේ මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ.
සභාවේ වැඩකටයුතු විකාශය කිරීම
සභාවේ වැඩකටයුතු විකාශය කිරීම සම්බන්ධ වගන්ති නව කෙටුම්පතට ඇතුළත් කර තිබේ. ඒ අනුව ගුවන්විදුලි, රූපවාහිනී, වෙනත් විද්‍යුත් මාර්ග හරහා සභාවේ කටයුතුවලට ඉඩ සැලසිය යුතු බව ස්ථාවර නියෝග 14(1) තුළ දක්වා තිබේ.
පාර්ලිමේන්තු කාරක සභාද මාධ්‍යයට විවෘත කළයුතු බව ස්ථාවර නියෝග 14(3) හි සඳහන්කර තිබේ.
ප්‍රශ්න සහ පිළිතුරු
මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට අදාළ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බවටත්, ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා නියමිත දින එම අමාත්‍යවරයා පැමිණ නොසිටියි නම් අමාත්‍යවරයා විසින් අමාත්‍යවරයා විසින් බලය පවරන ලද අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා සිටිය යුතු බවත් ස්ථාවර නියෝග 32(2) හි දක්වා ඇත.
මන්ත්‍රීවරයකු විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට අදාළ අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් අදාළ දිනට ප්‍රථම කථානායකවරයාට දැනුම්දිය යුතු අතර, ඒ වෙනුවන් යොදා ඇති සැලසුමද කථානායකවරයාට දැනුම්දිය යුතු බව ස්ථාවර නියෝග 32(3) හි සඳහන් කර තිබේ.
නිසි අරමුණකින් යුතුව මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න ඇසිය යුතු අතර, ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුතු බවද නව සථාවර නියෝග යටතේ දක්වා ඇත.
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න
සැම මාසයකම පළමුවැනි පාර්ලිමේන්තු සැසි වාරයේ බදාදා දිනයේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කාලයෙන් පැය භාගයක කාලයක් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්න යොමුකිරීමට වෙන්කර ඇත.
ආණ්ඩු පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් සහ විරුද්ධ පාර්ශ්වයට ප්‍රශ්න දෙක බැගින් මෙහිදී ප්‍රශ්න හතරක් ඇසීමට කාලය වෙන්කර ඇති බවට ස්ථාවර නියෝග 38 මගින් දක්වා තිබේ.
පාර්ලිමේන්තුව තුළ විනය
පාර්ලිමේන්තුවේ කටයුතු වලට යම් මන්ත්‍රීවරයකු බාධා කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ රීති කඩකරමින් හැසිරෙන්නේ නම් කථානායකවරයාට එම මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවිය හැකි ආකාරයට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කර ඇත.
එසේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවනු ලබන විට මන්ත්‍රීවරයාගේ සේවය අත්හිටුවීමේ පළමු අවස්ථාවේදී සති දෙකක්ද, දෙවැනි අවස්ථාවේ සති හතරක්ද, තෙවැනි හෝ ඊට පසුව එළඹෙන කවර අවස්ථාවකදී හෝ සති හයකට වශයෙන් සේවය අත්හිටුවිය හැකි ආකාරයට ස්ථාවර නියෝග වෙනස් කර තිබේ.
මීට පෙර අවස්ථාවලදී එසේ සේවය අත්හිටුවන විට අදාළ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගැබට පිවිසීම පමණක් තහනම් වූ අතර, මෙම නව ස්ථාවර නියෝග යටතේ සේවය අත්හිටු වූ මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසිමට නොහැක.
එසේ වුවද සේවය අත්හිටු වූ මන්ත්‍රීවරයෙකුට විසර්ජන පනත් කෙටුම්පතට ඡන්ද විමසීමේ අවස්ථාවේ පමණක් පාර්ලිමේන්තුවට සහභාගීවීමට අවස්ථාව ලබාදී ඇත.
එමෙන්ම සෙන්කෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා ඇති අවස්ථාවකදී එය ස්පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය විරෝධී ක්‍රියාවන් සිදුකරනු ලබන ඕනෑම මන්ත්‍රීවරයෙකු එය සිදුකරන අවස්ථාව පිළිබඳ නොසලකා ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති අටකට අත්හිටුවිය හැකි ලෙස ස්ථාවර නියෝග වෙනස්කර තිබේ.
කතා නොකරන මන්ත්‍රීවරයන් විසින් පිළිපැදිය යුතු රීති
පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙන අවස්ථාවක හෝ පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවකදී මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන්ද ස්ථාවර නියෝග ඇතුළත් කර ඇත.
ඒ අනුව මන්ත්‍රීවරුන් ශිෂ්ට සම්පන්න ලෙස පාර්ලිමේන්තුවට හෝ කාරක සභාවට පිවිසිය යුතු අතර, අවිධිමත් ලෙස සභා ගර්භයේ ගමන් නොකළ යුතුය.
පාර්ලිමේන්තු සභාව තුළ කටයුතු වලට සම්බන්ධ නොවන්නේ නම් පුවත්පත් කියවීම, දුම්පානය කිරීම නොකළ යුතුය.
නිශ්ශබ්දතාවය ආරක්ෂා කළ යුතු අතර, වාචික සන්නිවේදන උපකරණ භාවිත කරමින් සංවාදයේ නොයෙදිය යුතුය. පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ මධ්‍යයට පිවිසීම නොකළ යුතු බවටද ස්ථාවර නියෝග ඇතුළත් කර තිබේ.
මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සියලුම ක්‍රියාවන් සම්බන්ධයෙන් සහ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ විනය සම්බන්ධයෙන්ද යහපත් තීරණ රැසක් සහිතව ප්‍රබල ස්ථාවර නියෝග කෙටුම්පතක් පාර්ලිමේන්තුව මගින් සකස්කර තිබේ.
මෙම කෙටුම්පත මෙවර පාර්ලිමේන්තු සතියේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ආදර්ශවත්ව හැසිරෙන ජනතා නියෝජිතයන් දැකීමට හැකිවනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වේ. එය එලෙසින්ම සිදුවන්නේදැයි අපි බලා සිටින්නෙමු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයේ ඇතුළත් චර්යා මූලධර්ම
(අ) සෑම මන්ත්‍රීවරයකුට ම තීරණ ගන්නා විට, සෑම අවස්ථාවක දී ම මහජන බැඳියාවන් සැලකිල්ලට ගත යුතුය.
(ආ) කිසිම මන්ත්‍රීවරයෙකු සිය නිල කටයුතු කිරීමේ දී තමාට බලපෑමක් ඇති විය හැකි යම් ආකාරයකට යම් පිටස්තර පුද්ගලයකු හෝ සංවිධානයකට යම් මූල්‍යමය හෝ වෙනත් බැඳීමක් ඇති වන තත්ත්වයකට පත් නොවිය යුතුය.
(ඇ) යම් පොදු ව්‍යාපාරයක්, පොදු පත්වීම්, කොන්ත්‍රාත් ලබාදීම, යම් ප්‍රදාන හෝ වෙනත් යම් ප්රතිලාභ සඳහා තැනැත්තන් නිර්දේශ කිරීමට අදාළව සිය කාර්යය කරගෙන යෑමේ දී මන්ත්‍රීවරුන් විසින් එම කටයුතු හුදෙක් කුසලතා මත කරනු ලබන බවට වගබලාගත යුතු ය.
(ඈ) මන්ත්‍රීවරුන් විසින් මහජනතාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සහ ඔවුන් වෙනුවෙන් කරනු ලබන ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ධුරයට යෝග්‍ය වන යම් පරීක්ෂාවකට හෝ යම් මහජන පරීක්ෂාවකට හෝ යටත් වන්නේ ය.
(ඉ) මන්ත්‍රීවරුන් විසින් ගනු ලබන යම් තීරණයක් හෝ කරනු ලබන යම් ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන් හැකිතාක් දුරට මහජනතාවට විවෘත විය යුතු අතර, එම තීරණවලට හේතු දැක්විය යුතු බව ද, පුළුල් මහජන සුභසිද්ධිය සඳහා අවශ්‍ය වන්නේ නම් පමණක් එම තොරතුරු සීමා කළ හැකි ය.
(ඊ) මන්ත්‍රීවරුන් විසින් සිය මහජන කටයුතුවලට අදාළ වන යම් පෞද්ගලික බැඳියාවක් ඇත්නම් හෝ බැඳියාවන් සම්බන්ධ යම් ගැටීමක් ඇත්නම් ඒවා ප්‍රකාශ කළ යුතු අතර, මහජන බැඳියාවන් ආරක්ෂා වන පරිදි එසේ ඇති වන යම් ගැටීමක් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු ය.
චර්යා රීති
සෑම මන්ත්‍රීවරයෙකු ම පාර්ලිමේන්තුවේ පහත දැක්වෙන රීතිවලට අනුකූල විය යුතු ය:-
(අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම.
(ආ) මානව අයිතිවාසිකම්වලට සහ ජනතාවගේ නෛසර්ගික අභිමානයට ගරු කිරීම.
(ඇ) ජනතාවගේ විශ්වාසය සහ ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම.
(ඈ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ජීව ගුණයෙන් බැඳී සිටීම සහ බලතල බෙදීමේ න්‍යාය සහ නීතියේ ආධිපත්‍යය යන ප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක සංකල්ප බලාත්මක කිරීම.
(ඉ) ඔවුන් වගකීමක් දරනු ලබන ඔවුන්ගේ චර්යාව සහ කාර්යභාරය සම්බන්ධයෙන් වගකිව යුතු වීම.
(ඊ) ඔවුන්ගේ මහජන ධුරයේ බලතල ක්‍රියාත්මක කිරීම, කාර්යය කිරීම සහ කර්තව්‍යය ඉටු කිරීම යම් නීතියක් යටතේ භුක්ති විඳීමට ඔවුන්ට හිමිකම් ඇති වරප්‍රසාද නිසි ලෙස,
අනලස්ව, අභිමානයෙන් යුක්තව, නිසි සැලකිල්ල ඇතිව ගෞරවයෙන් භුක්ති විඳීම.
සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තුව ඵලදායී සහ කාර්යක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වීම සඳහා දායක වීම සම්බන්ධයෙන් පෞද්ගලිකව වගකිව යුතු වන්නේ ය.
සෑම මන්ත්‍රීවරයෙකුම පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කාර්යභාරය, ස්වාධීනත්වය, අයිතිවාසිකම් සහ වගකීම්වලට ගරු කළ යුතු ය.
සෑම මන්ත්‍රීවරයෙකුම, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකීමේදී විධායකය පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සහතික කිරීමෙහිලා වගකිව යුතු ය.
කිසිම මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ හෝ එහි මන්ත්‍රීවරුන්ගේ හෝ රටේ කීර්තියට සහ ඒකාග්‍රතාවට හානිකර විය හැකි යම් කටයුත්තක් බාර නොගත යුතු ය.
මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය සහ එම බැඳියාවන් අනාවරණය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීම
මහ ලේකම්වරයාට කරනු ලබන ඉල්ලීමක් මත යම් මන්ත්‍රීවරයෙකුට පරීක්ෂා කිරීම සඳහා ලබාගත හැකි, 'මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය' යනුවෙන් හඳුන්වනු ලබන (මෙහි මින්මතු 'ලේඛනය' යනුවෙන් සඳහන් කරනු ලබන) ලේඛනයක් මහ ලේකම්වරයා විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් නිශ්චය කරනු ලබන යම් ආකෘතියකින් සහ ආකාරයෙන් තැබිය යුතු අතර පවත්වාගෙන යා යුතු ය.
මන්ත්‍රීවරුන් කෙරෙහි මහජන විශ්වාසය වැඩි කරනු පිණිස මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද ඇතුළු එම මන්ත්‍රීවරුන්ගේ ව්‍යපාර සම්බන්ධතා හා මූල්‍යමය බැඳියාවන් අනාවරණය කළ යුතු ය.
සෑම මන්ත්‍රීවරයෙකු ම අදාළ ලේඛනයේ සිය බැඳියාවන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සභාවේ නියමයන් හෘදසාක්ෂියට එකඟ ඉටු කළ යුතු ය.
මෙම ඡේදයේ කාර්යය සඳහා මහ මැතිවරණයකට ඉක්බිතිව ම එම මන්ත්‍රීවරුන්ගේ රාජකාරි කටයුතු හා වගකීම් ද ඉඩම් සහ දේපළවලට අදාළ වත්කම්, කොටස් හිමිකාරීත්වය සහ ත්‍යාග වැනි එම මන්ත්‍රීවරයාගේ පුද්ගලික බැඳියාවන් අතර බලපෑමකට තුඩු දිය හැකි යැයි සාධාරණ තැනැත්තෙකු විසින් සිතිය හැකි අදාළ සියලු බැඳියාවන් පාර්ලිමේන්තුවට අනාවරණය කළ යුතු ය.
මේ ඡේදයේ විධිවිධාන එම මන්ත්‍රීවරයාට ලැබෙන හෝ ඔහු විසින් ප්රදානය කරනු ලබන යම් දේවල්වලට ද අදාළ වන්නේ ය.
කිසිම මන්ත්‍රීවරයෙකු විසින් රාජ්‍ය ප්‍රතිපත්තිවලට අදාළ කාරණයක් සම්බන්ධ ප්‍රශ්නයක දී හැර ඔහුට යම් මූල්‍යමය බැඳියාවක් ඇති ප්‍රශ්නයක දී බෙදීමක් සහිත ඡන්ද විමසීමක දී ඡන්දය ප්‍රකාශ නොකළ යුතු ය.
පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සභාවක සලකා බැලීමට භාජනය වී ඇති යම් කාරණයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකුට කෙළින්ම හෝ අන්‍යාකාරයෙන් යම් පුද්ගලික හෝ මූල්‍යමය බැඳියාවක් ඇති අවස්ථාවක, එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාව මන්ත්‍රීවරුන්ගේ අදාළ ලේඛනයේ ලියාපදිංචි කර ඇත්තේ වුව ද, එය නොතකා, එම මන්ත්‍රීවරයා විසින් එම බැඳියාවේ ස්වභාවය ප්‍රකාශ කළ යුතු අතර, ඔහු විසින් මේ ඡේදයේ නියම කොට ඇති ආකාරයට එම ප්‍රකාශය කර ඇත්නම් මිස පාර්ලිමේන්තුවේ හෝ එහි යම් කාරක සභාවක ඒ සම්බන්ධයෙන් කරනු ලබන කිසිම විවාදයකට ඔහුට සහභාගී විය නොහැකි ය.
කිසිම මන්ත්‍රීවරයෙකු සිය පාර්ලිමේන්තු කාර්යභාරය ඉටු කරන අතරතුර තමාට රහසිගතව ලැබුණු යම් තොරතුරක් අයුතු ලෙස පාවිච්චි නොකළ යුතු ය. එම තොරතුරු සිය පාර්ලිමේන්තු රාජකාරි කිරීමේ දී පමණක් පාවිච්චි කළ යුතු අතර, මූල්‍යමය හෝ පුද්ගලික ලාභයක් සඳහා එම තොරතුරු පාවිච්චි නොකළ යුතු ය.
17 වැනි ඡේදය යටතේ යම් මන්ත්‍රීවරයෙකු විසින් එසේ අනාවරණය කරනු ලබන තොරතුරු සහ එක් එක් මන්ත්‍රිවරයා විසින් වියදම් පාවිච්චි කරන ලද මහජන අරමුදල්වල වියදම් ප්‍රමාණය සහ එම අරමුදල් පාවිච්චි කරන ලද කාර්යය ප්‍රායෝගිකව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතු ය.
පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවිය වැනි වඩාත් ප්‍රවේශ විය හැකි ආකාරයකින් එම තොරතුරු පළ කළ යුතු ය.
මේ කොටසේ නිශ්චිතව දක්වා ඇති විධිවිධාන අදාළ මන්ත්‍රීවරයාගේ කලත්‍රයා සහ පවුලේ සමීප සාමාජිකයන්ට ද අදාළ වන්නේ ය.
මන්ත්‍රීවරුන් විසින් පොදු දේපළ පාවිච්චි කිරීම
මන්ත්‍රීවරුන් විසින් යම් පොදු අරමුදල්, දේපළ හෝ පහසුකම් හුදෙක් මහජන බැඳියාවක් සම්බන්ධයෙන් පමණක් නීතියෙන් අවසර දී ඇති පරිදි පාවිච්චි කළ යුතු ය. එම පොදු අරමුදල්, දේපළ හෝ පහසුකම් ඒ සඳහා නීතියෙන් විශේෂිතව විධිවිධාන සලසා ඇත්නම් මිස පක්ෂ දේශපාලන කටයුතුවලට පාවිච්චි නොකළ යුතු ය.
මහජන මුදලින් තමාට ලබාදෙන යම් වියදම්, පහසුකම් සහ සේවාවන් එම කාරණා සම්බන්ධයෙන් දක්වා ඇති රීතිවලට අනුකූලව වන බවට සෑම මන්ත්‍රීවරයෙකු ම වගබලා ගත යුතු ය.
මන්ත්‍රීවරුන් විසින් යම් පොදු සම්පත් පාවිච්චි කිරීම සෑම විටම සිය පාර්ලිමේන්තු කාර්යභාරය සඳහා වන බවට ද වගබලා ගත යුතු අතර, එය ඔවුන් හෝ වෙනත් අයෙකු හෝ යම් දේශපාලන සංවිධානයක අයුතු පුද්ගලික හෝ මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා නොවිය යුතු ය.
පාර්ලිමේන්තුවට හෝ එහි යම් කාරක සභාවකට ඉදිරිපත් කරන ලද හෝ ඉදිරිපත් කිරීමට අදහස් කරන යම් පනත් කෙටුම්පතකට, යෝජනාවකට හෝ වෙනත් කාරණයකට එකඟ වීම හෝ විරෝධතාව පළ කිරීම සඳහා යම් ගාස්තුවක්, වන්දියක් හෝ ත්‍යාගයක් ඇතුළු බැදීම් සම්බන්ධ ගැටීමකට හෝ බලපෑමකට තුඩු දිය හැකි කවර හෝ ආකාරයක පෙළඹවීමක් කිසිම මන්ත්‍රීවරයෙකු විසින් භාර නොගත යුතු ය.
කිසිම මන්ත්‍රීවරයෙකු මුදල් ගෙවනු ලබන බලපෑම් කිරීම්, මුදල් ගෙවනු ලබන පාර්ලිමේන්තු උපදෙස් දීම හෝ මුදල් ගෙවනු ලබන උපදේශනවල නියුක්ත නොවිය යුතු ය.
කිසිම මන්ත්‍රීවරයෙකු විසින් ඔහු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටීම අවසන් වූ විටක ඉදිරි සේවා නියුක්තියක් ලබා ගැනීම, මුදල් ගෙවා කරනු ලබන බලපෑම් කිරීම, උපදේශක කටයුතු හෝ වෙනත් පරිශ්‍රමික හෝ ප්රතිලාභ ලබාගැනීම සඳහා සිය තනතුර භාවිත නොකළ යුතු ය.
සෑම මන්ත්‍රීවරයෙකු ම සිය ඡන්දදායකයන්ගේ බැඳියාවන් යම් පෞද්ගලික හෝ දේශපාලනමය සබඳතා හෝ පෙළඹවීම් මත පදනම් නොවී යුක්තිසහගත පදනමක් මත නියෝජනය කළ යුතු ය.
චර්යා ධර්ම සංග්‍රහය පිළිපැදීම
චර්යා ධර්ම සංග්‍රහය අදාළ කිරීම, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුවට අදාළ කාරණයක් වන්නේ ය.
මෙම චර්යා ධර්ම සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති විධිවිධානවලට අනුකූලව යම් මන්ත්‍රීවරයෙකු විසින් කටයුතු කිරීමට අදාළ වන යම් කාරණා විමර්ශනය කිරීම ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව විසින් කළ හැකි ය.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සිය කාර්යය ඉටු කිරීමේ දී විශේෂඥයන්ගේ සේවාව ලබාගැනීම, ලේඛන ගෙන්වා ගැනීම, සාක්ෂිකරුවන් කැඳවීම සහ ඔවුන් විභාග කිරීම කළ හැකි ය.
පාර්ලිමේන්තුව විසින් ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව මගින් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගත යුතු අතර, එම කාරක සභාව විසින් යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අවශ්‍ය යැයි සලකනු ලබන දඬුවමක් සලකා බලා නිර්දේශ කළ හැකි ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd