සුනාමියෙන් විපතට පත්වූවන් යළි පදිංචි කරවන ලද අම්බලන්ගොඩ, ධම්මිකපුර නිවාස යෝජනා ක්රමයේ පදිංචිකරුවන්ට කිසිදු පහසුකමක් නොමැති වීම හේතුවෙන් ඔවුන් දැඩි අසරණභාවයට පත්ව තිබේ. අවම වශයෙන් තමන් පදිංචි නිවාසවලට අයත් භූමියේ අයිතියවත් තමන්ට නැතැයි ඔවුහු ප්‍රකාශ කරති.
අම්බලන්ගොඩ - බටපොල මාර්ගයේ අම්බලන්ගොඩ නගරයේ සිට කිලෝමීටර් 05ක් පමණ ගිය විට ධම්මිකපුර නිවාස යෝජනා ක්‍රමය හමු වේ. එය නිවාස 68කින් සමන්විතය. සුනාමියෙන් නිවාස අහිමි වූ අම්බලන්ගොඩ, හිරේවත්ත හා පටබැඳිමුල්ල ප්‍රදේශයේ පවුල් 68ක් මෙහි පදිංචි කර තිබේ.
මෙම පවුල් 68න් 50කට අධික ප්‍රමාණයක් ධීවර පවුල්ය. හිරේවත්ත හා පටබැදිමුල්ල ධීවර ගම්මාන වුවත් ඒවා පිහිටා තිබුණේ අම්බලන්ගොඩ නගරයට ඉතා ආසන්නයේය. ඒ නිසාම ඔවුන්ගේ දරුවන්ට නගරයේ ජනප්‍රිය පාසල් ලැබුණි. නගරයෙන් ඈතට පැමිණීම තුළ සිය දරුවන්ට නිශ්චිත පාසලක් නොමැති වීම ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවයි. සිය දරුවන් හෝ තමන් කරන රැකියාවෙන් ඔබ්බට ගෙන යෑමට තිබූ එකම මාර්ගයද ධම්මිකපුරට පැමිණීමෙන් තමන්ට අහිමි වී ඇතැයි ඔවුහු ප්‍රකාශ කරති.
ගම්මානය සඳහා යොදාගෙන ඇත්තේ වසා දමන ලද තල්ගස්ගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් භූමියයි. එහි අඩක ගරාවැටුණ පාසල් ගොඩනැගිල්ලක් තිබෙන අතර එය ඉතාම අනතුරුදායක තත්ත්වයේ පවතී. එහි වහලයේ සීට් කැබලි වරින්වර කඩාවැටෙන බවත්, එය අලුත්වැඩියා කර ගම්වැසියන්ගේ පොදු අවශ්‍යතා සඳහා යොදා ගැනීමට හැකි බවත් ගම්වැසියෝ ප්‍රකාශ කරති.
නිවාස සඳහා වෙන් වෙන් වශයෙන් වැසිකිළි වළවල් නොමැති වීමද ඉතා ප්‍රබල සෞඛ්‍යමය ගැටලුවකි. නිවාස 68ට අයත් වැසිකිළි 68 සඳහාම ඇත්තේ පොදු එක වළකි. එය පිරුණ විට එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමද හරිහැටි සිදු නොවේ. නිවාස සඳහා වෙන් වෙන් වශයෙන් ඔප්පු ලබා නොදෙන්නේද මෙම හේතුව නිසා බව ගම්වැසියෝ කියති.
අපේ නිවාසවලට අදාළ භූමිය සඳහා ඔප්පු තවම ලැබිල නැහැ
මේ සම්බන්ධයෙන් ධම්මිකපුර නිවාස යෝජනා ක්රමයේ පදිංචි එහි සුභසාධක සමිතියේ සභාපතිනී එච්.පී. කුමාරි මහත්මියගෙන් (38) විමසූ විට මෙසේ පැවසුවාය.
අපි හිටියේ හිරේවත්ත ප්‍රදේශයේ. අපේ ගෙවල් සම්පූර්ණයෙන්ම සුනාමියට විනාශ වුණා. මේ ගෙවල් ලැබිලා වසර 11ක් විතර වෙනවා. අපේ නිවාසවලට අදාළ භූමිය සඳහා ඔප්පු තවම ලැබිල නැහැ. අපිත් ඉතින් ඕපපාතිකයෝ වගේ ඉන්නවා. ධම්මික හැලඹගේ මහත්තයයි මේ ස්ථානයට විදේශීය ජාතිකයෙක් එක්කන් ඇවිත් නිවාස හැදෙව්වේ. අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇවිත් අධීක්ෂණය කළා.
නිවාස ඉතා බාල තත්ත්වයේ ඒවා. හැම නිවාසයකම වගේ බිත්ති පුපුරලා. වහල වලට දාල තිබෙන්නේ ගොබඩ පරාල. හැම එකක්ම වගේ ගුල්ලෝ ගහලා. කොන්ක්‍රීට් එහෙමත් බාලයි. සිමෙන්නි අඩුවෙන් දාලද දන්නෙත් නැහැ. සෑම වැසිකිළියක් සඳහාම තිබෙන්නේ එක වළයි. ඒකත් හරි ප්‍රශ්නයක්. මේවා ගැන කතා කරල විසඳුමක් කරගන්න අපේ මහත්තයලටත් තේරුමක් නැහැ. ඒ අය ධීවර රස්සාව කරන්නේ. සුනාමියෙන් ගොඩගිය අය නම් කෝටිපතියෝ වෙලා ඉන්නවා*
මේ නිවාස හුඟක් කල් තිබෙන එකක් නැහැ, ඔක්කොම වගේ අබලන් වෙලා ජී. දිමුතු මහත්මිය (21)
'තල්ගස්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය තිබුණ භූමියෙයි මේ නිවාස හදල තිබෙන්නේ. ඉස්කෝලෙ ගොඩනැගිල්ලත් බාගෙට කඩන් වැටිල තිබෙනවා. ඒ ස්ථානය හරිම අනාරක්ෂිතයි. අපේ ළමයි සෙල්ලම් කරන්න ඒ ස්ථානයට යනවා. සීට් කෑලි ඔළුවට කඩාවැටෙන්න පුළුවන්. අපි මේ ගොඩගැගිල්ල කඩා ඉවත් කරන්න කියන්නේ නැහැ. අලුත්වැඩියා කර ගමේ ප්‍රයෝජනවත් දේකට යොදවන්න කියලා ඉල්ලා සිටිනවා.
මගේ මහත්තයත් කරන්නේ ධීවර රස්සාව. මහත්තය මුහුදු ගියාම දුකසේ ජීවත් වෙනවා. ගමන් දුෂ්කරයි. අපි අම්බලන්ගොඩ සිටියදී නගරයට ළඟ නිසා හැමදෙයක්ම පහසුවෙන් කරගත්තා. දැන් සියලුම වැඩ සඳහා අමුතුවෙන් කාලයක් වැය කරන්න සිදුවෙලා තිබෙනවා. මේ නිවාස හුඟක් කල් තිබෙන එකක් නැහැ. ඔක්කොම වගේ අබලන් වෙලා. අයිතියකුත් නැති නිසා වැඩි සැලකිල්ලක් නැතුව ඇති. ඉඩම් ඔප්පු ටිකවත් ඉක්මනින් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපේ ඔප්පු දෙන කෙනෙකුට
අපි ඡන්දය දෙනවා'
දැන් ළමයින්ට පාසලක් නැහැ, අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ එම්.ඩබ්ලිව්. දේවිකා මහත්මිය (40)
ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගේ ආයතනය කියල ආයතනයකිනුයි මේ ගම්මානය ඉදිකළේ. කොන්ත්‍රාත් කළේ කවුද කියන්න අපි දන්නේ නැහැ. ළමයින්ට සෙල්ලම් කරන්න තැනක් නැහැ. මහපාරේ සෙල්ලම් කරනවා. පිට්ටනි කොටස කැලෑ වෙලා. කොච්චර සුද්ධ කළත් ඉක්මනින් වල් බිහිවෙනවා. පිට්ටනිය කැලෑ වෙලා තිබෙන නිසා අපි ඒකෙ දාල කරවල ටිකක් වේලා ගන්නවා. පිට්ටනිය සුද්ධ කරල දෙනවා නම් ළමයින්ට සෙල්ලම් කරන්න පුළුවන්.
අම්බලන්ගොඩ සිටියදී අපේ ළමයි ධර්මාශෝක, දේවානන්ද වගේ ජාතික පාසල්වලට ගියා. දැන් ළමයින්ට පාසලක් නැහැ. අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. මේ පිළිබඳව කියන්න යන්න පුළුවන් හැම තැනකටම ගියා. වැඩක් වුණේ නැහැ. පොඩියට හරි වෙන වෙනම ගෙවල් හදල දුන්න නම් මීට වඩා වටිනවා. අපේ ගම්මානයේ ළමයින්ට කලින් වගේ නගරයේ පාසල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා
තමිඳු මධුසර ලියනගේ - අහුන්ගල්ල