දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා යෑමට හැකි වූ බව ජනප්රවාදයේ සඳහන් විය. පේදුරුතුඩුව යනු ලංකාවේ එක් කෙළවරකි. මෙහි සුන්දරත්වය ගැන බොහෝ දෙනා කතා කළත් මුහුදු රස්සාව සිය ජීවනෝපාය කරගත් පේදුරුතුඩු වැසියෝ ගැන කතා කරනුයේ ඉතා සුළු පිරිසකි. ගැහැනු, පිරිමි කියා වෙනසකින් තොරව හරි හරියට වැඩ කරන ඔවුන් ඇත්තෙන්ම උත්සාහවන්තය. නොයෙක් බාධක මධ්‍යයේ ගලා යන ඔවුන්ගේ ජීවිත ඇත්තෙන්ම කර්කෂය. පේදුරුතුඩුවේ වැඩි පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේද ධීවර කර්මාන්තයයි. වසර ගණනාවක් තිස්සේ කරන නිසාවෙන් මුහුදු රස්සාව දැන් ඔවුන්ට හොඳින්ම හුරුපුරුදුය.
මාළු, කරවල වෙළෙඳාමෙන් ජීවත් වන ඔවුන්ගේ දවස ගෙවන්නේ හරිම සරල ලෙසිනි. උදෙන්ම මුහුදු රස්සාවට එන පිරිමි දවහල් වෙන්නට පෙර දැල් දමා නොගැඹුරු මුහුදේ මාළු අල්ලා පැමිණෙති. මෙම ප්‍රදේශයේ කාන්තාවන්ද දවසේ වැඩි වේලාවක් වෙන් කර ඇත්තේ තම ස්වාමියාගේ කටයුතු සඳහා සහාය දීමටය. ඒ අනුව කිසිදු භේදයකින් තොරව ඔවුහු එකාවන්ව සහයෝගයෙන් ධීවර කර්මාන්තයේ නියැළෙති. විකුණා අවසන් වූ පසුව ඉතිරි වූ මාළු කපා කරවල වශයෙන් වේලා ගැනීමට ඔවුහු පුරුදුව සිටිති. පේදුරුතුඩුවට යන ඕනෑම කෙනෙකුට මඩු, කීරමින්, බල ආදී කරවල කොටු දැකීමෙන් එය මැනවින් පැහැදිලි වෙයි. පිරිමින් මාළු දැල් දමන අතරේ කාන්තාවෝ කරවල වේලා ඔවුන්ට උදවු කරති.
පාසල නිමවීමෙන් පසු දරුවන් නැවත එන්නට පෙර කාන්තාවන් ඒ වැඩ කටයුතු අවසන් කර නැවත තම නිවෙස් කරා ගොස් ඉවුම් පිහුම් කටයුතු කරන්නේ නිවසට පැමිණෙන දරුවන්ට කුමක් හෝ ආහාරයක් පිළියෙල කරන අටියෙනි. නමුත් පේදුරුතුඩුව ප්‍රදේශයේ කාන්තාවෝ එතනින් සිය කටයුතු නිමා නොකරති. නැවතත් නිවසේ වැඩ අවසන් කර පැමිණෙන ඔවුන් නිවසක හෝ කරවල වාඩියක පැය ගණනක් සේවය කරන්නේ එයින්ද කීයක් හෝ උපයා ගැනීමටය. ඇත්තෙන්ම මොවුහු දිරියවන්තය. මොවුන්ට රජයෙන් පවා කිසිදු සහනයක් නැතත් ඔවුහු එදාවේල හම්බ කරගෙන හෝ සතුටින් ජීවත් වෙති. ඇතැමෙක් වෙළෙඳාාම් වැඩි කලට අතමිට සරු වෙන කොට රන් ආභරණ සකස් කොට තබා ගනිති. ඔවුන්ට අගහිඟකම් එන කාලයට බැංකු හිමියන් හෝ රජයේ ආයතන උපකාර නොවන බැවින් ඔවුන් ඒ දුෂ්කර වූ කාලය ගත කරන්නේ ඒ අභරණ උකස් කර ඉන් ලැබෙන මුදලිනි.
මුහුදු රස්සාව ගැන නිනව්වටම කීමේ හැකියාවක් ඔවුනට නොමැත. එක් දිනක් ලාභ ලැබුණොත් ඇතැම් විට දින දෙක තුනක්ම පාඩු ලබති. එය එහි ස්වභාවයයි. ලාභ පාඩු කොතරම් ජීවිතයට ආවා ගියත් තම දරුවන්ගේ අනාගතය ගැන බොහෝ සැලසුම් ඔවුන්ට තිබේ. උරුමයක් ලෙසින් කිසිදාක නොදකින මේ මුහුදු රස්සාව තම දරුවන්ට හිමිකර දීමට ඔවුහු කිසිදිනෙක අපේක්ෂා නොකරති. තමා විඳින දුකින් කෙසේ හෝ මිදීමට ඔවුන්ට හැකිවන්නේ තම දරුවන් හොඳින් ඉගෙන ගත් විට පමණි. ඒ නිසා අගහිඟකම් කොපමණ තිබුණත් පේදුරුතුඩුවේ සිටින සෑම දරුවෙකුම පාහේ පාසල් යයි. ඇත්තෙන්ම එය අප අගය කළ යුතුය. නැගෙනහිරෙන් ඉර පායන්නට පෙර මුහුදු යන ඔවුන්ගේ ජීවිතවලට සතුටක් ලැබෙන්නේ අවරගිරින් ඉර බැස යන විට හොඳ මාළු අස්වැන්නක් තිබුණොහොත් පමණි. දුක සතුට මැද්දේ දෝලනය වන ඔවුහු තමා අදහන ආගම හා තමාගෙන් දූ දරුවන්ට ඉටු විය යුතු යුතුකම් හා වගකීම්ද නිසි ලෙස ඉටු කරති.
පේදුරුතුඩුවේ ජනතාව තම සියලු දුක්ඛ දෝමනස්සයන් වෙනුවෙන් සහනයක් පතා හෝ සුබ දෙයක් වෙනුවෙන් ආශීර්වාද ගැනීමට යන්නේ වල්ලිපුරම් අල්වාර් දේවාලයටයි. විෂ්ණු දෙවියන් ප්රමුඛ කර ගත් උන්වහන්සේගේ දස අවතාර පිළිබඳ මේ කෝවිල සුවිශේෂී වන අතර දිවයිනේ නන් දෙස සිටින හින්දු බැතිමත්හු මෙය වන්දනාමාන කිරීමට පැමිණෙති. මේ අතර දරුවන් අපේක්ෂාවෙන් සිටින විවාහපත් යුවළ බොහෝ පිරිසක් මෙහි පැමිණ බාරහාර වීමද සුලබ දසුනකි. යුද්ධයෙන් මෙන්ම සුනාමියෙන් විනාශ වී ගිය පේදුරුතුඩුවේ ජීවිතාභ්යන්තරය මෙන්ම භෞතික පරිසරයද කෙමෙන් කෙමෙන් සංවර්ධනය වෙමින් පවතියි. දිරියෙන් නැගීසිටින මොවුන්ට රජය යම් සහායක් ලබා දෙන්නේ නම් එය ඇත්තෙන්ම මොවුන්ට ආර්ථික වශයෙන් ලැබෙන්නා වූ පන්නරයකි.
අපේ දරුවන්ට කවදාවත් මුහුදු රස්සාව කරන්න නැති වෙන්නයි අපි මේ හැම දෙයක්ම කරන්නේ ජෙයසීලන් (අවුරුදු - 42)
අපි උපන්දා ඉඳලා මේ මුහුදු රස්සාව කරන්නේ. සමහර දවස්වලට අතේ තියෙන මුදල වියදම් වෙනවා විතරයි. සමහර දවස්වලට රුපියල් 500ක් වගේ අාදායමක් තියෙනවා. හොඳ දවස්වලට රුපියල් 1,000ක් වගේ මුදලකුත් හම්බවෙනවා. ඒ ගාණ දැන් ජීවත් වෙන්න නම් මදි තමයි. ඒත් වෙන මොනවා කරන්නද? අපි කොහොම හරි ඒ හම්බ වෙන මුදලින් තමයි ජීවත් වෙන්නේ. සමහර දවස්වලට මුහුදු ගියාම මාළු කිලෝ දෙකක් වගේ හම්බ වෙන්නේ. මේක ඉතින් කාටත් උරුම රස්සාවනේ. රස්සාවේ හැටියට අමාරුවෙන් හරි හැඩගැහෙන්න අපිට සිද්ධ වෙනවා. මොන අමාරුකම් තිබුණත් අපේ දරුවන්ට අපි උගන්වනවා. අපේ දරුවන්ට කවදාවත් මුහුදු රස්සාව කරන්න නැති වෙන්නයි අපි සේ හැම දෙයක්ම කරන්නේ. මේ රස්සාවෙන් හම්බ කරන සොච්චම් මුදලෙන් ජීවත් වෙන්න අමාරුයි කියලා අපි දන්න නිසයි කොහොමහරි හරි දරුවන්ට උගන්වන්න අපි වෙහෙසෙන්නේ.
දැන් තියෙන ආණ්ඩුවෙන් නම් කිසිම උදව්වක් මේ වෙනකම්ම ලැබිලා නැහැ වින්සන් (අවුරුදු - 44)
මේ හරියට කියන්නේ සෙක්කොට්ටේ ධීවර ගම්මානය කියලා. දැනට අපේ සමිතියේ ධීවර පවුල් 250ක් විතර ඉන්නවා. අපි දැල් දාලා අල්ල ගන්න මාළු ඔක්කොම එකතු කරලා අපේ මාළු සමිතියට ගිහින් දෙනවා. ඔවුන් ඒවා කිලෝ ගාණට මිලදී ගන්නවා. ඔවුන් අයිස් දාලා අහුරලා කොළඹ යවනවා. ඉස්සර නම් මෙහේ ධීවර සමිති සමාගම්වලට රජයෙන් මොකක් හරි උදව්වක් කරා. දැන් තියෙන ආණ්ඩුවෙන් නම් කිසිම උදව්වක් මේ වෙනකම්ම ලැබිලා නැහැ. අපිට දැන් තියෙන බොට්ටු හැම එකක්ම වගේ කැඩිලා ගිහින් තියෙන්නේ. ඒවා හරි හදාගන්න රජයෙන් හෝ උපකාරයක් දෙනවා නම් ඇත්තටම ගොඩක් වටිනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉන්න කාලේ අපේ ධීවර කටයුතු සදහා අවශ්‍ය භූමිතෙල් ලබා දුන්නා. එහෙම හරි තිබුණ නම් අපිට මේවට යන වියදමවත් පොඩ්ඩක් හරි අඩුකර ගන්න තිබුණා.
මට දරුවන් හතර දෙනෙකු ඉන්නවා. ඒ ඔක්කොමලා ඉගෙන ගන්න වයසේ අය. මේ හැම දේටම වියදම් කරන්නේ මේ ලැබෙන මුදලින් තමයි. ඒත් අද කාලේ පවුලක් නඩත්තු කරන්න මේ හම්බ වෙන මුදල මදි.
හැමදාම මේ රස්සාව තියෙන්නේ නැහැ නිර්මලා (අවුරුදු - 57)
අපි උදෙන්ම ළමයින්ට උයලා දීලා මෙහේ ඇවිල්ලා මුහුදු රස්සාව කරනවා. ඒ වැඩ 11 – 12 වගේ වෙන කොට ඉවරයි. ඒ ඉවර කරලා ගෙදර ගිහින් ළමයි පාසල් ඇරිලා එන්න කලින් කෑම පිළියෙල කරලා තියන්න ඕන. මේ තැන වැඩ කරන්නේ අපේ ඥාති සහෝදරයෙක්. ඉතින් අපි වැඩ කරලා ඉවර වුණාම ඔහු ඒ වැඩ කරපු ගාණට අපිට කීයක් හරි දෙනවා. ඒ හම්බවෙන මුදල්වලින් සතියකට විතර සැරයක් ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගේනවා. හැමදාම මේ රස්සාව තියෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක විතරක් නෙමෙයි. අපිට පුළුවන් හැම දෙයක්ම හැකි පමණින් උපරිමයෙන් අපි කරනවා.
අපේ වියදම් අපි කොහොම හරි පිරිමසාගෙන මේ රස්සාව කරගෙන යනවාරාණි (අවුරුදු - 54)
මේ අල්ලලා තියෙන මාළු අහුරලා ඉවර වුණාම අපි ඊළඟට යන්නේ කරවල කොටුවල කරවල වේලන්න. ඒ තැනිනුත් අපිට ඔවුන් සතුටු වෙන මුදලක් දෙනවා. මට දුවලා දෙන්නෙක් ඉන්නේ. එක්කෙනෙක් විවාහ වෙලා ඉන්නේ. අනිත් දුව මගෙත් එක්ක ඉන්නේ. ඔවුන් මේවගේ කුලී වැඩ කරලා ජීවත් වෙනවට මම කැමති නැහැ. ඒක නිසා පොඩි දුවටත් මම හොඳට උගන්වනවා. ඒ ගොල්ලන්ට මේ මුහුදු රස්සාවෙන් මිදෙන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් විතරයි. මේ ළඟකදී අපේ බොට්ටුවල තිබුණ දැල් වගේ මුහුදු ගෙනියන බඩු ලක්ෂ දෙකක වගේ ඒවා හොරෙන් ඇවිත් ගලවන් ගිහින් තිබුණා. අමාරුවෙන් මුහුදු රස්සාව කරන අපිට ඒක ලොකු පාඩුවක්. අපිට වුණ පාඩුව අපිට කවුරුත් දෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න වුණේ ණයට. මුහුදු රස්සාවෙන් අපි හම්බ කරගන්න මුදල් ටිකෙන් ටික එකතු කරලා අපි රත්රන් බඩු හදා ගන්නවා. අපිට බැංකුවලින් ණයක් ගන්න අපහසු නිසා අපහසු කාලවල ඒවා උකස් කරලා තමයි අවශ්‍ය මුදල් හොයා ගන්නේ. අපිව විශ්වාස කරලා බැංකු වුණත් ණය දෙන්න බයයි. ඒ නිසා අපේ වියදම් අපි කොහොම හරි පිරිමසාගෙන මේ රස්සාව කරගෙන යනවා.