වෙනස්ම භූ විද්‍යා ලක්ෂණ රැසක් සහිත යාපනය අර්ධද්වීපය තුළ සංචාරකයන්ට නැරඹීමට ඇති ස්ථාන බොහෝය. ඉන් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්ව ඇති, සංචාරකයන් ඇදී යන වෙරළ තීරයක් ලෙස කැසුරිනා (Casuarina) වෙරළ තීරය හඳුනාගත හැකිය.
සුදුවැලි සහිත යාපනය අර්ධද්වීපයේ සුන්දරතම වෙරළ තීරය ලෙස සැලකෙන මෙය උතුරේ සංචාරය කරන කවුරුත් යෑමට අමතක නොකරන මුහුදු තීරයකි. යාපනයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කරෛයිනගර්හි පිහිටි මෙම වෙරළ තීරය %කැසිනියා^ හා %කැස්බේරියා^ යන නම්වලින්ද හඳුන්වනු ලැබේ. අනෙකුත් වෙරළ තීරයන්ට වඩා මෙම වෙරළ තීරය %කැසිනෝනා^ ගස්වලින් ගහන වී තිබීෙමන් එයට අනන්‍ය වූ පරිසරයක් ඒ වටා ගොඩනැගී ඇති බැවින්ද මෙය %කැසුරිනා^ නමින් හඳුන්වයි. ආරක්ෂක වළල්ලක් ලෙස මෙම කැසිනෝනා ගස් සමූහය එකී තීරය වටා වෙළී පවතී.
තල් ගස්වලට ආවේණික වූ උතුරුකරය තුළ තිබෙන මෙම වෙරළ සංචාරකයන්ට පමණක් නොව යාපනයේ වෙසෙන මහජනයාටද වෙනස්ම හැඟීමක් ඇතිකරවයි. සාමාන්‍යයෙන් වෙරළ තීරයක චිත්‍රයක් මවා ගන්නා වූ අපට හැඟෙනුයේ පොල් ගස්වලින් අලංකාර වූ වෙරළකි. නමුත් මෙය කැසිනෝනා ගස්වලින් ගහනය වූ තීරයකි. ඉන්දියන් සාගරයේ අනෙකුත් වෙරළ තීරයන්ට වඩා වෙනස්ම වූ වෙරළක් ලෙස මෙය ප්‍රසිද්ධය. එබැවින් යාපනයේ බොහෝ වැසියන් පවා විනෝදාස්වාදය විඳගැනීම සඳහා වඩාත් ප්‍රිය කරනුයේ කැසුරිනා වෙරළ තීරයට පැමිණෙන්නටය.
යාපනය නගරයේ සිට කිලෝමීටර් 27ක් පමණ දුරින් පිහිටි මෙම වෙරළ තීරය සමීපයටම පෞද්ගලික වාහනයකින් ගමන් කළ හැකි අතර, අවශ්‍ය අයෙකුට යාපනය බස් නැවතුම්පළ සිට කරෛයිනගර් ප්‍රදේශයට පැමිණෙන බස් රථයකින් වුවද මෙම ස්ථානයට ළඟා වීමේ හැකියාව තිබේ. ඒ සඳහා ගතවනුයේ විනාඩි 45ක පමණ කාලයකි.
මෙම වෙරළ තීරයට පැමිණෙන මාර්ගය පවා කාගෙත් සිත් ඇදගන්නා සුලු අයුරින් ගුවන හා යාවී පවතී. කසුරිනා වෙරළට ප්‍රවේශ වීමට මත්තෙන් කරෛයිනගර්හි හමුවන මාර්ගය දෙපස ඇති ඉස්සන් කොටු වෙත කාගෙත් සිත ඇදී යන්නේ එබැවිනි. පේනතෙක් මානයට ඉස්සන් කොටුය. නමුත් මේ ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ඉස්සන් ඇල්ලීම පමණක් නොව, ඊට අමතරව නොගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමද සිදු කරති. එසේම තල් ආශ්රිත නිෂ්පාදනවලටද කරෛයිනගර් මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඒ අතරින් ප්‍රමුඛතාවක් හිමිවන්නේ තල් රාවලටය. උදෑසන හා සවස් කාලයේ තල් රා කපන කරෛයිනගර් පිරිමි පුද්ගලයෝ ඒවා එක්රැස් කරන සමුපකාර සමිතිවලට ගෙනගොස් දෙති. එමෙන්ම ගෘහණියන් විසින් සකස් කරනු ලබන තල්කොළ ආශ්රිත නිෂ්පාදනද මාර්ගය දෙපස විකිණීම සඳහා තබා තිබේ.
මදක් මුහුදු මාර්ගයෙන් මිදී ගම්මානය තුළට එන විට මග දෙපස තල්අතුවලින් වෙන්වුණු නිවාස රැසක් එක පෙළට දැකගත හැකිය. ගම්මානය මෙන්ම මෙම වෙරළ පිහිටි භූමියද සාමකාමීය. ඒ අතරතුර එකී ශබ්දය බිඳ දමනුයේ පක්ෂීන් කිහිපදෙනෙකුගේ හඬගෑමෙන්ය. එමෙන්ම අනෙකුත් වෙරළ තීරවල මෙන් කැළි කසළ මෙහි දක්නට නොමැති අතර, ඒ හේතුවෙන්ම නීල ජල කඳ තවත් අලංකාරවත්ව දිස් වේ. මුහුදු රළ වුවද එතරම් සැර නොමැති නිසාවෙන් බියක් නොමැතිව වින්දනය ලබා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා වේ. මුහුද නොගැඹුරු බැවින් වැඩිහිටි අයට මෙන්ම කුඩා ළමයින්ට පවා නිදහසේ එහි සෙල්ලම් කිරීමේ හැකියාව ඇත.
නොගැඹුරු මුහුද හේතුවෙන් මෙම ප්‍රදේශයේ ධීවරයන් වුවද ස්වකීය කටයුතු සඳහා භාවිත කරනුයේ පැතිලි බොට්ටු විශේෂයකි. ඔවුන්ට දිගු දුරක් යනතෙක් නොගැඹුරු මුහුද ඇති බැවින් නොගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමට මෙන්ම ඉස්සන් කොටු සඳහා ළඟාවීමටද එය පහසුය.
යුද සමයේදී මෙම වෙරළ තීරයේ විනෝදාස්වාදය විඳීමට සංචාරකයන්ට අවස්ථාව අහිමි වුවද, මේ වන විට එය සංචාරකයන් සැමට විවෘත වූ සමකාමී පරිසරයක පිහිටි වෙරළ තීරයක් වී හමාරය. දැන් දැන් සංචාරකයන්ට අවශ්‍ය වන්නා වූ සියලු අවශ්‍යතා මෙම ස්ථානයෙන් ඉටුකර ගත හැකි අතර, මෙහි පැමිණෙන්නන්ට අවශ්‍ය ආහාරපානාදියද ලබා ගැනීමට ආපන ශාලාවක් පවා විවෘත කර තිබේ. එමෙන්ම ජල ක්‍රීඩාවලින් පසුව පවිත්‍ර වීම සඳහා අවශ්‍ය ස්ථාන සකස් කර තිබීමද දැකගත හැකිය.
යම් සංචාරකයෙකුට බෝට්ටු පැදයෑමේ අවශ්‍යතා ඇත්නම් එම කටයුත්තද ඉටුකර ගැනීමට මෙහිදී හැකියාව තිබේ. සුන්දර වෙරළ තීරය හා නිස්කලංක බව හේතුවෙන් මෙයට වර්ෂයේ සෑම කාලයකම පාහේ සංචාරකයෝ පැමිණෙති. මෙම වෙරළ තීරයට අමතරව කරෛයිනගර්හි එවැනිම සුන්දරත්වයක් සහිත වෙරළ තීරයක් තිබෙන අතර, එය කෝවලම් හෙවත් කේ.කේ.එස්. වෙරළ තීරය යනුවෙන් හඳුන්වයි. එය සමීපයේ මීටර් 25ක් උසැති ප්රදීපාගාරයක්ද පිහිටා තිබීම තුළින් එහි ඇති සුන්දරත්වය තවත් තීව්ර කරයි. ගම්මානයක් අසල පිහිටා තිබුනද එතරම් ජනගහනයකින් යුක්ත නොවන බැවින් මෙහි ඇති සුන්දරත්වය නිදහසේ විඳගැනීමට සංචාරකයන්ට අවස්ථාව උදා වේ. එම නිසාම කරෛයිනගර්හි පිහිටි මෙම වෙරළ තීර දෙක සඳහා සංචාරකයන් පැමිණීමේ වැඩි අගයක් පෙන්නුම් කරයි.