යුනෙස්කෝව විසින් ඓතිහාසික සීගිරි රාජධානිය ලෝක උරුමයක් ලෙස නම්කර තිබියදී, එය ලොව අටවැනි පුදුමය විය යුතු යැයි ඇතැම් පිරිස් පවසති. පළමු වැනි කාශ්‍යප රජු විසින් 05 වැනි සියවසේදී ඉදිකරන ලද මෙම විශ්වකර්ම නිර්මාණය එකල ලංකාවේ පැවැති නගර නිර්මාණ ශිල්පය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ඉදිකිරීම් තාක්ෂණය, භූමිදර්ශික උද්‍යාන කලාව සහ ජල කළමනාකරණයේ එක්තැන් වීම මැනවින් නිරූපණය කෙරෙන ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකිය.
පුරාවිද්‍යාඥයන් විසින් මුල්කාලීනව සීගිරිය බළකොටුවක් ලෙසද, පසුකාලීනව නගරයක් ලෙසද හඳුනාගෙන තිබේ. මෙතෙක් සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණවලට අනුව සීගිරියේ ඓතිහාසික අවධි 08ක් හඳුනා ගෙන තිබේ.
සීගිරිය පර්වතය හා එය මත පිහිටි මාළිගාව, ඇතුළුනුවර සහ මාලක, ජල උද්‍යානය, උයන් දිය අගල් හා පවුරුවලින් සමන්විත බටහිර භූමිභාගය, දිය අගල හා පවුර සහිත නැගෙනහිර භූමිභාගය යන අලංකාර ඉදිකිරීම්වලට අමතරව සීගිරිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්ව ඇත්තේ, එහි ඇති ලෝකප්‍රකට බිතුසිතුවම් සහ කැටපත් පවුර මත ලියා ඇති සිය ගණනක් වූ කුරුටු ගී හේතුවෙනි.
නමුත් සීගිරිය ගල මතට නැගී ආපසු බසින දෙස් විදෙස් සංචාරකයන්ගේ ඇස නොගැටෙන කාශ්‍යප රජුගේ තවත් අපූරු නිර්මාණ රැසක් සීගිරි රාජධානිය තුළ තිබෙන බව ඔබ දන්නවාද?
අටපට්ටම් පොකුණ, නයිපෙණ ගුහාව (පරුමත ලෙන), ගල් පොකුණ, ආසන ගුහාව, දැරණිගල ගුහාව, රාජසභාව, උගුල්ගල (Prison Rock), උතුරු පිවිසුම් මාර්ගය, සීගිරිය ලෙන් ලිපිය, අංක එක ගල් ආරුක්කුව, පහළ කොටසේ බිතුසිතුවම් සීගිරියට ගිය ඔබ දැක තිබේද?
බොහෝ දෙනෙකුගේ පිළිතුර %නැහැ^ යන්න විය හැකිය. ඊට හේතුව ප්‍රධාන පිවිසුම ඔස්සේ සීගිරිය ගල මුදුනට නගින සංචාරකයන් ආපසු එම මාර්ගය ඔස්සේම පහළට පැමිණීමය. සීගිරිය මුදුනට පිවිසීම පමණක් පරමාර්ථ කරගන්නා බොහෝ සංචාරකයන් අවට පෙදෙස් නිරීක්ෂණය නොකර තම සංචාරය නිමකිරීම හේතුවෙන් සීගිරියට පමණක් උරුම වූ මේ අපූරු පුරාවිද්‍යාත්මක ස්ථාන දැකබලා ගැනීමේ වටිනා අවස්ථාව අහිමිව ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ සිදුකෙරෙන සංරක්ෂණ කටයුතු සහ නව සංවර්ධන කටයුතු පිළිබඳ දැකබලා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරුණු සංචාරයකදී %අද^ පුවත්පත වෙනුවෙන් අපට මෙම තොරතුරු දැකගත හැකිවිය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සම්බන්ධීකරණ අධ්යක්ෂ සුජීව සරත්චන්ද්‍ර, සීගිරිය ව්‍යාපෘති කළමනාකාර මේජර් නිශාන්ත, තායිලන්තයේ %සවාරි^ සංචාරක සමාගමේ කළමනාකාර අධ්යක්ෂ නාලක කරුණාතිලගේ, ජ්‍යෙෂ්ඨ බිතුසිතුවම් සංරක්ෂක ශිල්පී ලලිත් කුමාරසිරි මහත්වරුද අප සමග මෙම සංචාරයට සහභාගි වූහ.
දීර්ඝ කාලයකට පසුව සීගිරියේ තිබෙන තවත් ඉපැරණි බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මේ වනවිට සංරක්ෂණය කෙරෙමින් පවතී. මීට අමතරව දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබේ. ඒ අනුව විදෙස් සංචාරකයන් සඳහා දිගුකලක සිට විශාල අඩුවක්ව තිබූ වැසිකිළි පද්ධතියක් සමග පිරිසුදු පානීය ජලය සැපයීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කෙරේ.
සීගිරියට පිවිසෙන ප්‍රධාන දිය අගල පසුකර මද දුරක් යනවිට මෙතෙක් බොහෝ සංචාරක අවධානයට යොමු නොවූ ඒ අපූරු නිර්මාණ පිළිබඳව මෙසේ විස්තර කරමු.
අටපට්ටම් පොකුණ
අටපට්ටම් පහන් කූඩුවක හැඩය සිහිගන්වන මෙම පොකුණ කාශ්‍යප රජු දියකෙළිය සඳහා යොදා ගන්නක් ලද බවට විශ්වාස කෙරේ. මෙම පොකුණ අසල පිහිටි ගලෙහි තැටියක් සවිකළ ආකාරය සටහන් වන කුහරයක් සමග එය දෙකෙළවරෙහි කණු දෙකක් සවිකළ බව සැලකෙන සිදුරු දෙකක්ද දැකගත හැකිය. මෙය ඉහළ සිට දියට පැනීම සඳහා ලෑල්ලක් වැනි දෙයක් සවි කිරීමට යොදාගත් ස්ථාන ලෙස සැලකේ. ඒ අනුව අතීතයේද වර්තමානයේ පිහිනුම් තටාකවල ඇති ඉහළ සිට පිනුම් ගසා ජලයට පැනීමේ පුවරුවක් මෙහි සවිකර තිබෙන්නට ඇතැයි අනුමාන කෙරේ.
සීගිරිය ලෙන් ලිපිය
අටපට්ටම් පොකුණ ආසන්නයේම මෙම ලෙන් ලිපිය පිහිටුවා තිබේ. කටාරම් කොටන ලද ලෙනක් වැනි ස්ථානයක මේ ලෙන් ලිපිය ඇත. ක්‍රිස්තු පූර්ව පළමු වැනි සියවසට අයත් පුරාණ සිංහල අක්ෂර මෙහි ඇති බවට හඳුනාගෙන තිබේ. මෙය %සියඹලා ව්‍යාපාරික සලගේ සහ වේශ්‍යා තොසාගේ ලෙන^ යනුවෙන් සඳහන් වී ඇත.
දැරණිගල ගුහාව
මෙම ලෙන 'දැරණිගල ගුහාව' යන නාමයෙන් ප්‍රසිද්ධ වූයේ පුරාවිද්‍යාඥයෙකු වූ ජී.ඒ.පී. දැරණියගල මහතා විසින් මෙහි ඇති සිතුවම් පිළිබඳ ඉදිරිපත් කරන ලද මුල්ම වාර්තාකරණය හේතුවෙනි. මෙය කාශ්‍යප යුගයට පෙර මුල් ආගමීය අවධියට අයත් සංඝාවාසයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ලද්දකි. කාන්තා සිතුවම් කිහිපයක ශේෂයක් මෙහි ඇතුළත දක්නට ලැබෙන අතර, එම සිතුවම් සීගිරි ගලෙහි ඇති කාන්තා සිතුවම්වලට බෙහෙවින් සමානය. නමුත් සම්පූර්ණ ශරීරය නිරූපණය වන ආකාරයට මෙම රූප සිතුවමට නගා තිබීම විශේෂ ලක්ෂණයකි.
අංක එක ගල් ආරක්කුව
පැරණි මාර්ගයෙහි පිහිටා ඇති මෙම ගල් ආරුක්කුව සීගිරි සැලසුම්කරණය තුළ ස්වාභාවික පරිසරය කෙරෙහි පැවැති අනුකූලතාව පිළිබඳ කදිම නිදසුනකි. ගල් ආරුක්කුව දෙපස දක්නට ලැබෙන්නේ කාශ්‍යප අවධියට පෙර ආරම්භීය අවධියේදී සංඝාවාසය සඳහා සකස් වූ ගල් ලෙන් දෙකකි. මෙම ලෙන් දෙකෙන් වම්පස ලෙන තුළ භාවනායෝගී භික්ෂූන් වහන්සේලා උදෙසා හුණුගලින් සැකසූ ආසනයක කොටසක් දක්නට ලැබේ.
උගුල් ගල (Prison Rock)
මෙය කැටපත් පවුර අවසන් වන කොටසට මදක් පහළින් පිහිටා ඇත. සීගිරිය නරඹා ආපසු පහළට බසින මාර්ගයේදී මෙය හමුවේ. මෙයද සීගිරියේ අපූරු නිර්මාණයකි. පහළින් සතුරු තර්ජනයක් පැමිණිය හොත් ඉහළ සිට මෙම විශාල ගල පහළ සිටින සතුරන් මතට හෙළීම සඳහා අටවන ලද උගුලකි. මේ තරම් දැවැන්ත ගල් පර්වතයක් කුඩා ගල් කණු මත සිටවනු ලැබුවේ කෙසේදැයි යන්න ගැටලුවකි. ගල පෙරළීමට සේවය කළ සෙබළුන් සිටි බව කියන මුරකුටිවලද කොටස් මෙහි ශේෂව පවතී.
සීගිරියේ උසම ස්ථානය
ගල මුදුනේ මැද මාළිගය පිහිටි කොටසේ සීගිරියේ උසම ස්ථානය යැයි සැලකෙන ස්ථානයක් සලකුණු කොට ඇත. චන්ද්‍ර පාෂාණ ගල් කිහිපයක් මේ ස්ථානය සලකුණු කර ඇත. බොහෝ සංචාරකයෝ මෙය මතට නැග ඡායාරූපයක් ගැනීමට ප්‍රිය කරති.
සභා ශාලාව
සීගිරිය නිර්මාණයේ තවත් සුවිශේෂී අංගයක් වන්නේ සීගිරිය ගල පාමුල දකුණු පස බෑවුම් සහිත ප්‍ර‘දේශයේ පිහිටි මාලක උද්‍යානයයි. මෙහි විශේෂත්වය වන්නේ බෑවුම් සහිත භූමිය විශාල ගල්බැමි සහිත මාලක ආකාරයට ඉදිකර තිබීමය. රාජ සභාව මෙහි ඇති සුවිශේෂී නිර්මාණයකි. විශාල ගල් ලෑල්ලක් දෙකට කපා පෙරළා ඒ මත ගල් කැටයම් සහිත රජුගේ ආසනය ඉදිකර ඇත. මෙසේ සුවිශාල ගලක් කපා පෙරළුවේ කෙසේදැයි අදටද විසඳිය නොහැකි ප්රශ්නයකි. මෙය ආපසු පැමිණීමේදී වම්පස ප්‍ර‘දේශයට ගමන් කිරීමේදී හමුවේ.
ගල් පොකුණ
රාජ සභා ශාලාව ඉදිකිරීම සඳහා දෙකඩ කරන ලද ගල් පර්වතයේ අනෙක් කොටසේ ගලින් නිමවන ලද පොකුණ ඉදිකර ඇත. මෙයද අපූරු ශෛලමය නිර්මාණයකි. එහි එක්රැස් වන ජලයෙන් වැඩි ජලය පහළට බැස යෑම සඳහා එම ගලෙහිම කානු පද්ධතියක්ද සකසා ඇත. ගල මතුපිට රැස්වන ජලයෙන් ඊට පහළින් පිහිටි ආසන ගුහාවට සිසිලසක් ගෙන දී ඇති බව සඳහන් වේ.
ආසන ගුහාව
මෙය කටාරම් කෙටූ ගල් ලෙනකි. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම්, ලෙන තුළ පිහිටි ගලෙහිම නෙළා ඇති ආසනයයි. කාශ්‍යප යුගයට පෙර සීගිරිය සංඝාරාමයක්ව පැවැති අවධියේදී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ ප්‍ර‘යෝජනය සඳහා මෙය පිළියෙල කර ඇත. අවධි කිහිපයකටම අයත් සිතුවම් ස්ථර මෙහි දැකිය හැකි අතර, ඒ අතර ක්‍රිස්තු වර්ෂ 8,9 සියවස්වලට අයත් කුරුටු ගී කිහිපයක්ද දැකිය හැකිය.
නයිපෙණ ගුහාව ( බී - නවය ගුහාව)
විශාල ගල්කුට්ටියක් කඩාවැටීම නිසා නයි පෙණයක ආකාරයට ස්වාභාවිකවම නිර්මාණය වී ඇත. මෙම ගුහාව කාශ්‍යප යුගයට පෙර සංඝාවාසයක් ලෙස ප්‍ර‘යෝජනයට ගත් කටාරම් කෙටූ ගල් ලෙනකි. සැරසිලි රටාවකින් අලංකාර වූ වියන් සිතුවමක්ද මෙහි දැකගත හැකිය. ආසන ගුහාව පසුකර පැමිණෙන මාර්ගයේදී මේ අපූරු නිර්මාණය හමුවේ.
උතුරු දොරටුව
සීගිරි සංකීර්ණයේ සැලසුමකට අනුව ඊට ප්රවිශ්ට වීම සඳහා සකසන ලද නොයෙක් ආකාරයේ දොරටු රාශියක්ම සොයාගෙන තිබේ. විශේෂයෙන්ම බටහිර ප්‍ර‘වේශයේ වූ දොරටු අතර බටහිර දිය අගලින් ඇතුළු වන ස්ථානයේ ඇති දොරටුව ඉතා වැදගත් නිර්මාණයකි. ඉතාම විසිතුරු මෙම දොරටුව සීගිරි සංකීර්ණයේ ප්‍රධානතම දොරටුව ලෙස සැලකේ. සීගිරියේ අනෙක් ප්‍රධාන දොරටු සැලසුම් කර ඇත්තේ පර්වතයට උතුරු හා දකුණු පැත්තෙනි. ඉන් උතුරු දොරටුව පිහිටියේ පිදුරංගල කන්දට මුහුණලාය. දකුණු පසින් දක්නට ලැබන දොරටුව උතුරු දොරටුවට සෑම අතින්ම සමානතාවක් දක්වයි. උතුරු දෙසින් පිවිසෙන මේ මාර්ගය ගවේෂණයකට ලක්ව නැත. එම මාර්ගය මේ වනවිට කැලෑවට යටවී ගොස් පවතී. එය ගවේෂණය කළහොත් සීගිරිය පිළිබඳ තවත් විස්මිත තොරතුරු රැසක්ද අනාවරණය කර ගැනීමට හැකිවනු නොඅනුමානය. මෙය සිංහ පාදයට ඉදිරියෙන් දර්ශනය වේ.