විවේකය නිදහසේ ගත කරන්නටත්, සොබා සිරි විඳින්නටත් රිසි බොහෝදෙනා ජීවිතයේ එක් වරක් හෝ ඒ සඳහා නුවරඑළිය සිය ගමනාන්තය ලෙස තෝරා ගන්නට බොහෝ කැමැත්තක් දක්වති. නුවරඑළියේ ඇති ගත සිත සනහන දේශගුණයත්, සොබා සිරියත් ඊට ප්‍රධාන හේතුවකි. නුවරඑළියට ගොස් දින කීපයක් ගතකරන බොහෝදෙනෙකු ඒ අවට පිහිටි ලෝකාන්තය, පට්ටිපොල, අඹේවෙල, බේකස් ඇල්ල, සෙන්ක්ලෙයාර් ඇල්ල, හග්ගල මල්වත්ත, හපුතලේ ඇඩිසන් බංගලාව ආදිය නැරඹීමටද අමතක නොකරති. එසේවුවද නුවරඑළියේ සිට ඉතා පහසුවෙන් ළඟා වී සොබා සිරියත් කඳු මුදුනක සිට ලැබිය හැකි වූ අපූරු අත්දැකීම් පෙළකුත් ජීවිතයට එක්කරගත හැකි අප රටේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද තරණය කිරීමට බොහෝදෙනෙකු අතපසු කරන්නේ ඒ පිළිබඳ ඔවුන් තුළ ඇති අල්ප දැනුම නිසාය.
මුහුදු මට්ටමේ සිට මීටර් 1800ක් පමණ උසකින් නුවරඑළිය නගරය පිහිටා ඇති අතර, මුහුදු මට්ටමේ සිට මීටර් 2524ක (අඩි 8281) උසකින් පිදුරුතලාගල කන්ද පිහිටා ඇත.
මෙරටට ආවේණික වූ ශාක හා සත්ත්ව වර්ග රාශියකින් සමන්විත වූ පිදුරුතලාගල කන්ද මෙරට පිහිටි උසම කඳුවැටිය සේම මෙරට පිහිටි සුවිශාල රක්ෂිත කීපයෙන් එකකි.
පසුගිය කාලයේ පැවති යුද උණුසුමත් සමග එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ගේ ප්රමුඛ පෙළේ ඉලක්කයක් බවට පත්ව තිබීම නිසා, පිදුරුතලාගල කන්ද මෑතක් වනතුරුම යුද හමුදාවේ ආරක්ෂිත කලාපයක් බවට පත්ව තිබුණි. එහි ඇතුළු වීමට අවසර ලැබුණේද සීමිත පිරිසකට පමණි.
මෙරට ප්‍රධානතම රූපවාහිනී විකාශන මධ්‍යස්ථාන කීපයක්, සිවිල් ගුවන් සේවා අංශයේ හා ගුවන් හමුදාවේ රේඩාර් ඇතුළු අධි තාක්ෂණික සංකීර්ණයක්, ආරක්ෂක අංශවලට අයත් විවිධ සංඥා පද්ධති රැසක් මෙහි පිහිටීම නිසා පිදුරුතලාගල කඳුවැටියට විශාල ආරක්ෂාවක් සපයා දී තිබුණු අතර, කිසිම හේතුවක් මත මෙහි සංචාරය සඳහා අවසර නොලැබිණි. එහෙත් යුද උණුසුම පහව යාමත් සමගම මේ වනවිට සංචාරකයන් සඳහා පිදුරුතලාගල කඳුවැටිය විවෘත කර තිබේ.
මෙරට උසම කන්ද වන පිදුරුතලාගල කන්ද කී සැණින් බොහෝවිට අපේ මනසට නැගෙන්නේ ගිරිදුර්ග මැදින් ඉතා අපහසුවෙන් ළඟා විය හැකි මාර්ග පද්ධතියකින් හෙබි ස්ථානයක් ලෙසිනි. නමුත් ඒ සිතුවිල්ල මුළුමනින්ම වැරදි බව මෙම ගමනේදී ඔබට නිසැකවම අවබෝධ වනු ඇත. කන්දක් මතින් දිවුනද මාර්ගය ඒ තරමටම සුව පහසුය.
නුවරඑළිය නගරයේ සිට කඳු මුදුන දක්වාම ගමන් කිරීමට කොන්ක්‍රීට් හා තාර ඇතිරූ මාර්ග පද්ධතියක් සකස් කර ඇති අතර, විශාල නැග්මක් සහිත දුෂ්කර මාර්ග කොටසක් මුණගැසෙන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් හිටිවනම මුණගැසෙන වනසතුන් අතරින්, මිහිදුම අතරින් මෙන්ම වැලමිට වංගු අතරින් වාහනය ප්‍රවේශමෙන් පැදවීම ඔබගේ වගකීමක් සේම ඔබ ඇතුළු ගමනට එක්වන පිරිසගේ ආරක්ෂාවටද එය හේතුවේ.
නුවරඑළිය නගරයේ සිට කිලෝමීටර් අටක් පමණ දුරක් ගෙවාගෙන ඉතා සුළු කාලයකදී කඳු මුදුනට ළඟා වීමට පහසු අයුරින් මෙම මාර්ගය ඉදිකර ඇති අතර, ඒ සඳහා තම පෞද්ගලික වාහන යොදාගැනීමේ අවස්ථාවද උදාකර දී ඇත.
කෙසේවෙතත් පිදුරුතලාගල කඳුවැටියට පිවිසෙන ප්‍රධාන මාර්ගය ආරම්භ වන ස්ථානයේ පිහිටි යුද හමුදා මුරපොළෙහි සේවයේ යෙදී සිටින නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි කීපයකට අවනත වීමට මෙහි සංචාරය කිරීමට පැමිණෙන ඕනෑම අයෙකුට සිදුවන බවද මෙහිලා සඳහන් කළ යුතුය.
විශේෂයෙන්ම මෙහිදී ගමනට එක්වන පිරිසගේ නම් හා ජාතික හැඳුනුම්පත් විස්තර, රියදුරුගේ නම හා ජාතික හැඳුනුම්පත් විස්තර, ගමනට එක්වන සාමාජික සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ආදී සරල කාරණා කීපයක් පමණක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපට ගමන සඳහා අවශ්‍ය අවසරය ලැබෙන අතර, එම නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන කාරුණික කොන්දේසි කීපයකට යටත් වීමටද සිදුවෙයි.
මුරපොළෙන් පසුව කඳුවැටිය දක්වා වූ කිලෝමීටර් හතක් පමණ දුර ගමන් මාර්ගය අතරතුර කිසිදු මුරපොළක් හෝ මිනිස් ජනාවාසයක් දැකගන්නට නොමැති අතර, ගමනේ ආරක්ෂාව සලසා ගත යුත්තේ අප විසින්මය. එහෙත් අපට සිදුවන ඕනෑම කරදරයදී ආරක්ෂක හමුදාවන් අප වෙනුවෙන් පිහිට වීමට ඉදිරිපත් වන බවද මෙහි ලා සඳහන් කළයුතු කාරණාවකි. (ගමන ආරම්භයේ ඇති මුරපොළේදී ඒ පිළිබඳ උපදෙස් ඔබට ලබාදෙන අතර, ගැටලුවක් වේ නම් එයද විසඳා ගත හැකිය).
කඳුවැටිය දක්වා දිවෙන මාර්ගය අතරතුර දිවියන්, වනඅලින් ඇතුළු වනසතුන්ගේ ප්‍රහාරවලට ලක්වීමට ඉඩ ඇති බැවින් කිසිදු හේතුවක් නිසා අපට වාහනවලින් බැසීමට අවසරයක් නොමැත. එසේම පරිසරයට විවිධ දෑ මුදාහැරීමෙන් වැළකී සිටීමටත්, රක්ෂිතයේ ඇති ගහකොළවලට හානි කිරීමට හෝ ඒවායේ කොටස් රැගෙන යාමටත් අපට කිසිදු අවසරයක් නොලැබේ. එමෙන්ම ගමන අතරතුර කෑකෝ ගැසීමෙන් වැළකී සිටීමද මෙම මුරපොළේ නිලධාරීන් විසින් අපෙන් ඉල්ලා සිටින කාරුණික ඉල්ලීමකි. මීට අමතරව දුම්පානය හෝ මත්පැන් පානයටද කිසිදු අවසරයක් නොමැත.
මෙම කඳුවැටිය සංචාරක කලාපයකටත් වඩා ආරක්ෂිත බැවින් තවමත් මෙහි පැමිණෙන පිරිස්වලට ඡායාරූප ගැනීමට හෝ වීඩියෝගත කිරීම් සඳහා අවසර ලැබෙන්නේ ඉතා සීමිත දර්ශන පරාසයක පමණක් බව අප තරයේ සිහි තබාගත යුතුය. කැමරා හතර අතට එල්ලකරමින් ඡායාරූප ගැනීමට අවස්ථාව නොලැබෙන අතර, එය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් බව මෙහිලා සඳහන් කළ යුතුය.
විටින් විට සුදෝ සුදු මිහිදුම් සළු අතරින් මතුවන කළු, කොළ, නිල්, රතු, දුඹුරු ආදී නෙක පැහැයෙන් වර්ණවත් වූ මීවන වර්ග, බාඳුරා මල්, බිනර වර්ග, උඩවැඩියා වර්ග හා තෘණ පෙද පාසි වර්ග, අශෝකා හෙවත් මහ රත්මල් ආදී ලොකු කුඩා ගහ කොළවලින් වැසී ගිය මහ වනය මැදින් වැටී ඇති මාර්ගය ඔස්සේ ගමන බෙහෙවින්ම සුන්දර අත්දැකීමකි. මෙය භාරව සිටින හමුදාවටත්, එදා මෙදාතුර පැමිණි බුද්ධිමත් සංචාරකයන්ටත් ස්තූති වන්නට මේ වනතුරුත් එකදු පොලිතීන් කැබැල්ලකින් තබා කඩදාසි කැබැල්ලකින් හෝ නොකිළිටි වූ මග දෙපස මෙන්ම බැලූ බැලූ අත විහිද ගිය හරිත පැහැ වනපෙත කඳුවැටියට එක් කරන්නේ අපූර්ව සුන්දරත්වයකි.
මෙරටට ආවේණික වළිකුකුළන්, දිවියන්, ගෝනුන්, වල්ඌරන් ආදී විවිධ වනසතුන්ද, පක්ෂි විශේෂයන්ද, සමනල් විශේෂ රැසක්ද මෙහි වාසය කරන අතර, සංචාරය අතරතුර ඇතැම් විට මෙම වනසතුන් දැකගන්නට ලැබෙතත් වාහනවලින් බැස සතුන් නැරඹීමට කිසිදු අවසරයක් අපට නොලැබෙයි.
අප ගමන් ගන්නා මාර්ගය සේම මග දෙපස පිහිටි වනපෙතද විටෙක සුදෝ සුදු මිහිදුම් වලාවන්ගෙන් වැසී යන අතර, වසරේ ඇතැම් කාලවලදී මේ වනපෙත මුළුමනින්ම මිහිදුමින් වැසී යන බව ගමන අතරතුරදී අපට හමුවූ මෙහි සේවයේ නියුතු හමුදා සාමාජිකයන් පැවසීය.
කඳු මුදුන දක්වාම පැමිණීමට මාර්ග පහසුකම් සලසා ඇති අතර, කඳුවැටිය මත රථවාහන ගාල් කිරීම සඳහාද විශාල ඉඩකඩක් වෙන්කර ඇත.
කඳු මුදුන මත ආරක්ෂක අංශ සාමාජිකයන් අතිවිශාල පිරිසක් විවිධ කාර්යයන්හී නිරතව සිටින අතර, ඔවුන් සඳහා වෙන්වූ ගොඩනැගිලි රැසක්ද මෙහි පිළිවෙළකට ඉදිකර ඇත.
මීට අමතරව කන්ද මුදුනෙහි ගෝලාකාරව සෑදූ ගුවන් හමුදා රේඩාර් මධ්‍යස්ථානය බලා හිඳින්නට තරම් වූ අපූරු සුන්දර දර්ශනයකි. මෙම ඉදිකිරීම්වලට අමතරව කඳු මුදුනේ අලංකාර ලෙස තැනූ බුදු මැදුරක්ද වෙයි.
මෙම ඉදිකිරීම් බොහොමයක් ආරක්ෂිත කම්බි වැටකින් ඉදිකර ඇති අතර, කඳු මුදුනේ වූ රේඩාර් පද්ධති හා විකාශන කුලුනු ආවරණය වන ලෙසද අධිආරක්ෂිත වැටක් ඉදිකර තිබේ.
මෙම ස්ථානවල ආරක්ෂාව සඳහා අවි ගත් සෙබළුන් පැය විසිහතර පුරාවටම යොදවා ඇති අතර, ඔවුන්ගේ ඇස් වසා කිසිදු නීතිවිරෝධී කටයුත්තක නියැළීමට කිසිදු සංචාරකයෙකුට ඉඩ නොලැබෙයි. එහෙත් ඔවුන්ගේ අවසරය හා දැඩි පරික්ෂාව මත මෙම ස්ථානයන්ගෙන් සීමිත කොටසක් දැක බලා ගැනීමේ අවස්ථාව මේ වන විට සංචාරකයන්ට උදාකර දී තිබෙන බවද කිව යුතුය.
කඳු මුදුනේ තැන තැන පිහිටි ගොඩනැගිලි කරා යාමට කොන්ක්‍රීට් යොදා මාර්ග පද්ධතියක් සකස්කර ඇති අතර, එම මාර්ග දෙපස නෙක පැහැයෙන් යුත් මල් වර්ග වගාකර ඉතා පිරිසුදුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහි සේවය කරන ආරක්ෂක නිලධාරීන්ට විශේෂ ස්තූතියක් හිමි විය යුතුමය.
කන්ද මුදුනෙහි ඇති රේඩාර් පද්ධතිය පිහිටි කොටස හෝ විකාශන කුලුණු අවට ප්‍රදේශ ඡායාරූපයට නැගීම සපුරා තහනම් කර ඇති අතර, එය මෙම ස්ථානයේ මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති තීරණයක් නිසා අපටද ඊට එකඟ වීමට සිදුවනු ඇත.
එහෙත් කඳු මුදුනේ සිට පහළ ප්‍රදේශ බලන විට දර්ශනය වන මහ වනය සේම නුවරඑළිය නගරයේ සුන්දරත්වයද ඡායාරූපයට නැගීමේ තහනමක් ක්‍රියාත්මක නොවීම සංචාරකයන්ට මඳක් අස්වැසිල්ලකි.
එසේම කන්දේ අනෙක් පස පිහිටි දැඩි බෑවුම හා පහළින් පිහිටි මන්දාරම් නුවර නම් වූ අපූරු පරිසර පද්ධතියද දැකබලා ඡායාරූපයට නැගීමේ අවස්ථාව මෙහි එන සංචාරකයන්ට ලැබෙන්නාවූ අපූරු අත්දැකීමක් බව සඳහන් කළ යුතුය.
එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය මෙරට ක්‍රියාත්මක වූ සමයෙහි වරක් පිදුරුතලාගල කඳුවැටියේ ආරක්ෂිත ස්ථාන වෙතද ප්‍රහාරයක් එල්ලකීරීමට එල්.ටී.ටී.ඊ සාමාජික පිරිසක් පැමිණ ඇති අතර, එහි සේවයේ යෙදී සිටි සීමිත හමුදා භට කණ්ඩායමක් විසින් එම පිරිස පලවාහැර ඇත්තේ සිය ජීවිත පවා පරදුවට තබමිනි. එම සටනේදී එක් සෙබළෙකු වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම සෙබළා සිහිවීම පිණිස කඳු මුදුන මත විශේෂ ස්මාරකයක්ද ඉදිකර තිබේ. ඔහුට ගෞරවයක් ලෙස එහි යන බොහෝදෙනා හිස්වැසුම් හා පාවැසුම් ගලවා එම ස්මාරකය වෙත යාමද සුවිශේෂී කාරණාවකි.
අප රටේ කඳු මුදුනක සිට මුහුදු ඉම තෙක් වටපිටාව බැලිය හැකි එකම ස්ථානය වන්නේද පිදුරුතලාගල කඳු මුදුනයි. විශේෂයෙන් මෙතැනට පෙනෙන උතුරුදිග තැනිතලාව නෙත වසඟ කරවන මායාවක් බඳුය.
මේ අපූරු සුන්දරත්වය විඳගැනීම සඳහා මෙන්ම ආහාර පානාදිය භුක්ති විඳීම සඳහාද කඳුවැටිය මත අට්ටාල කීපයක්ම ඉදිකර තිබේ. එහෙත් මෙහි පැමිණෙන්නන්ට වෙනත් සංචාරක ස්ථානවලදී මෙන් විවිධ වර්ගයේ ආහාර පාන වර්ග මිලදී ගන්නට නම් කිසිදු පහසුකමක් නොමැති අතර, අවශ්‍ය ආහාර පාන තම තමන්ම කන්ද පහළ සිට රැගෙන යාමට මතක තබාගත යුතුය .
මෙහි ඇති සිහිල් දේශගුණයත්, විටින් විට හමා යන පිණිබිදු රැගත් සිහිල් සුළං රැල්ලත් ගතට ගෙන දෙන්නේ අපූරු මිහිරියාවකි. ඉර මුදුන් වෙද්දී පවා කිසිදු අපහසුවකින් තොරව කන්ද මුදුනේ රැඳී සිටීමට ඇති හැකියාව නිසාම මෙහි පැමිණෙන බොහෝදෙනෙකු කන්දෙන් සමුගන්නේ පැය කීපයක් ගත කරමිනි.
මේ රටේ බොහෝ තැන්වල සේම නුවරඑළියේ කීපවිටක්ම ඔබ සංචාරය කර ඇතත්, ඇතැම් විට ඔබ පිදුරුතලාගලට පැමිණ නැතිවා විය හැකිය. එහෙත් ඇතැම් විට ඔබේ ඊළඟ සංචාරයට පිදුරුතලාගලද ඇතුළත් කර ගැනීමට අමතක නොකරනු ඇත.
ඒ නිසාම ආරක්ෂක අංශවලින් සේම අපිද ඔබෙන් ඉල්ලීමක් කරන්නෙමු. පිදුරුතලාගල යනු අපේ රටේ පිහිටි වටිනා පරිසර පද්ධතියකි. සුන්දරත්වය මොනවට අත්විඳිය හැකි පාරාදීසයකි. අතීතයේ පැවතී මෙවන් සංචාරක පාරාදීසයන් අපේම නොපනත්කම් නිසා අද වන විට මතු පරපුරට අහිමි වෙමින් යාමේ ඛේදවාචකයකට අපි මුහුණ දෙමින් සිටින්නෙමු. එවන් වටපිටාවක් තුළ තවමත් නොකිළිටිව පවත්නා මේ අපූර්ව පරිසර පද්ධතිය ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගැනීම අපගේ යුතුකමක් සේම වගකීමක් වන බව සිහිතබා ගන්න. ඒ වෙනුවෙන් මෙහි සේවය කරන ආරක්ෂක නිලධාරීන්ට අපේ උපරිම සහයෝගය ලබාදීමට මැළි නොවන්න.
සටහන සහ ඡායාරූප මීගහකිවුල එන්.කේ නිශ්ශංක