හතර කෝරළේ පුරාණ විහාර අතරින් වැඩි ප්‍රමාණයක් නවීකරණය වී පැරණි බිතුසිතුවම් වැනසී තිබේ. ඒ අතරින් සිතුවම් ඉතිරි වී ඇති පුදසුන් ස්වල්පය අතරට සැලව විහාරය ද එක් කළ හැකිය. මල් වතු විහාර පාර්ශ්වයට අයත් මෙම විහාරයට අක්කර 600කට ආසන්න ප්‍රමාණයක් රජ දවස සිට අයත්ය. සියවස් ගණනාවක් තිස්සේ බැබළුණු අරණායක සැලව රජ මහා විහාරස්ථානය මෑතක සිට දැඩි පරිහානියකට පත්ව අභාවයට යමින් පවතී. විහාර භාරකාරීත්වයේ ප්‍රශ්නයක් මුල්කර ගනිමින් එය පසුගිය දිනවල ඉබියතුරු යොදා වසා දමා තිබුණි. මෙම විහාරය මෙලෙස වසා දැමුණේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව පැවසේ.මාවනැල්ලේ සිට හෙම්මාතගම පාරේ පැමිණ හෙම්මාතගමින් අරණායක පාරට හැරී එම මාර්ගයේ කි.මී. 5ක් ගමන් කර වම්පස වෙල්යාය හරහා ඇති අතුරු පාරේ තවත් කි.මී. 2ක් පියමං කිරීමෙන් මෙම සැලව විහාරය හමුවේ. මෙහි අවසාන කි.මී. අර්ධය ගමන් කළ යුත්තේ පා ගමනිනි. එම මග කෙත්යාය හරහා නියරවල් ඔස්සේ ගොස් ඊට පසු කඳු බෑවුමේ පිහිටි විහාරයට ප්‍රවේශ වේ.
පුරාණ බෙදීම් අනුව සැලව අයත් වන්නේ පරණකුරු කෝරළේ නැගෙනහිර තුන් පළාත පත්තුවටය. මාර්ගය හා විහාරය අවට පැතිරී ඇත්තේ ඉතා සුන්දර ග්‍රාමීය වටපිටාවකි. එක් පසෙකින් ඉහළ නැගී සිටින්නේ ප්‍රදේශයේ කැපී පෙනෙන භූ ලක්ෂණය වූ රහලගලයි. අනෙක් පසින් විහාරය පිටුපසින් ඉහළට ඇදී යන පහන් තියාපු ගල් පර්වතයයි. විහාරය පිටුපසින් ඇදී යන පර්වතය පහන් තියාපු ගලයයි හැඳින්වෙන්නේ එහි මුදුනෙහි ඇති පර්වතය පහනක් ආකාරයට පිහිටි නිසාවෙනි. මෙම නාමයම මහනුවර යුගයේදී පවා භාවිත වූ බව සැලව විහාර සෙල්ලිපියේ විහාරයේ එක් සීමාවක් ලෙස පාන් තිබූ ගල යන්න දක්වා තිබීමෙන් පෙනේ.
මෙහි ඉතිහාසය හෙළිදරව් කරන ප්‍රධාන සාධකය ලෙන් විහාර බිත්තියට සවි වන සේ කොටා ඇති පර්වත ලිපියයි. එය ශ්‍රී ලංකා රාජාවලියේ අවසාන සෙල්ලිපිය සේ සැලකේ. පේළි 9කින් යුත් එය 17 වැනි සියවසේ සිංහල භාෂාවෙන් රචිතය. මෙය දිගින් අඩි 10 අඟල් 2ක්, පළලින් අඩි 4 අඟල් 2ක්ද වේ.
එයට අනුව මෙය කරවා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි ඒ රජුට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ රාජගුරු අනුනායක මොරතොට ධම්මකන්ධ හිමියන් විසිනි. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයේය.
බු.ව. 1779 (ක්‍රි.ව.1779) දී ආරම්භ කළ විහාර කර්මාන්තය නිමකර ඇත්තේ බු.ව. 2349 (ක්‍රි.ව.1806) දී බව සෙල්ලිපියේ සඳහන්ය. මේ සඳහා ධනය 8102ක් වැය වූ බවද, විහාරය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ඔප්පු කළ පසු ඔහු විහාරයේ පැවැත්ම උදෙසා ගම්බිම් පූජා කළ බවද සඳහන්ය. සොඳුරු වටපිටාවක පිහිටා ඇති සැලව විහාරය අප සිත් අතීතයට රැගෙන යන්නට සමත්ය.
කඳු බෑවුමේ ඇති පර්වතයේ තනා ඇති ලෙන් විහාර සංකීර්ණය කටාරම් කෙටූ ලෙන් තුනකින් යුක්තය. මෙම ලෙන් මහනුවර යුගයේදී කරවූ බව සෙල්ලිපියේ පැහැදිලිව දක්වා තිබේ. පිහිටි පොළොවේ සිට අඩි 3ක් පමණ උස් පදනමක් මත විහාරය කරවා තිබේ.
විහාර මන්දිරය තුළ දකුණු පසින් අඩි 8ක් උසැති වේදිකාවක් මත පිහිටුවා ඇති සැතපෙන බුදු පිළිමය දිගින් අඩි 20කි. එයට මෙපිටින් තනා ඇත්තේ මකර තොරණ සහිත ප්‍රධාන හිඳි පිළිමයයි. එය උසින් අඩි 10කි. එම වේදිකාවට ආබද්ධ වන සේ පහළින් පිහිටුවා ඇත්තේ හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ හිඳි ප්රතිමාවකි. වම්පස සහ දකුණු පස බිත්තිවල අවකාශය හිඳි බුද්ධ රූපාවලියකින් සරසා ඇත. එය මහනුවර යුගයේ චිත්‍ර කලාවේ අංගයක් වූ දහසක් රූප නිරූපණය කිරීමකි. ප්‍රධාන හිඳී බුද්ධ ප්‍රතිමාවේ මකර තොරණ ඉහළින් රජ රූ සහ දේව රූපය. මෙම චිත්‍ර සහ ප්‍රතිමා සඳහා මහනුවර යුගයේ ප්‍රධාන වශයෙන් භාවිත කළ වර්ණ වන රතු, කහ, නිල්, කළු භාවිත කර තිබේ.
දෙවන ලෙනට ඇතුළු වීමට උළුවහු දෙකකි. මෙහි ඇති ප්‍රතිමා සහ චිත්‍රකර්ම පසුකාලීන නවකම් නිසා ඓතිහාසික වටිනාකමින් හීන වී ඇත. මෙම විහාරය ජරාවාස වී තිබී බු.ව. 2471දී එවකට විහාරාධිපති වූ මහනුවර පුෂ්පාරාම විහාරවාසී යටිවාවල ධම්මකන්ධ රාජගුරු හිමියන් විසින් අලුත්වැඩියා කළ බව බිත්තියේ සඳහන් කර තිබේ. එම අලුත්වැඩියාවේදී පැරණි ස්වරූපය වෙනස් කරන්නට ඇති බව පැහැදිලිය. එච්.සී.පී. බෙල්ගේ 1892 කෑගලු දිස්ත්‍රික් පුරාවිද්‍යා වාර්තාවේ මෙහි පැරණි චිත්‍ර සහ ප්‍රතිමා ගැන සඳහන් කර තිබුණද, ඒවායේ පැරණි ස්වරූපය දැන් විනාශ වී ගොස් ඇත. නැතහොත් ඒවා මත අලුතින් සායම් ආලේප කර තිබේ. මෙහි ඇති විශාල සැතපෙන පිළිමය දිගින් අඩි 36 අඟල් 6කි. වම්පස බිත්තියට පිටුපා සිටින සේ හිඳි සහ හිටි බුද්ධ ප්‍රතිමා දෙකක්ද දැකගැනීමට පුළුවන. නාථ දේව ප්‍රතිමාවක් සහ මොරතොට ධම්මකන්ධ හිමිගේ චිත්‍රයක්ද මෙහි සිත්තම් කර තිබේ.
තුන්වැනි ලෙන ගබඩාවක් වශයෙන් බෙල්ගේ වාර්තාවේ සඳහන් කර තිබුණද දැන් එය විහාරයක් බවට පත්කර ඇත. එය පිහිටා ඇත්තේ අනෙක් ලෙන්වලට වඩා ඉහළිනි. එම ලෙනට පියගැට කිහිපයක් නැග පිවිසිය යුතුය. එහි උළුවස්සේ 1891 යන්න සඳහන් කර ඇති අතර, උළුවස්ස පිටත බිත්තියේ දොරටුපාල රුවක පැරණි බිතුසිතුවම් කොටසක් මතුව ඇත. ඇතුළත මෑත අතීතයේ තැනූ හිඳි පිළිමයක් සහ ඒ දෙපස හිටි බුද්ධ ප්‍රතිමා දෙකකි.
සැලව ප්‍ර‘දේශයේ ඓතිහාසික තොරතුරු හෙළිකරන තවත් සෙල්ලිපියක් විහාරයට නුදුරු වෙල්යාය මැද ගල්තලාවක පිහිටා තිබේ. පළමුවෙන්ම එච්.සී.පී. බෙල් 1892 කෑගලු දිස්ත්‍රික් පුරාවිද්‍යා වාර්තාවේ මේ පිළිබඳව සඳහන් කර තිබුණි. 9 වැනි සියවසට අයත් එම සෙල්ලිපියේ මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ සැල්හෝගම නමිනි. මෙම ගම්මානයෙන් අවුරුදු පතා මලිවා අරමට (මෙයට කි.මී. 15ක් දුරින් පිහිටි අරම විහාරය) පුවක් අමුණු දෙකක් සැපයිය යුතු බව එහි සඳහන්ය.
සටහන/ඡායාරූප - කුසුම්සිරි විජයවර්ධන