අනතුරු නිවාරණ ජාතික සතිය ඊයේ (18දා) දිනයෙන් ආරම්භ වූ අතර, මෙලෙස සතියක් නම් කිරීමට හේතු වී ඇත්තේ අනතුරු හේතුවෙන් වසරකට මිලියනයකට අධික පිරිසක් රෝහල්ගත වීමත්, ඉන් දසදහසකට අධික පිරිසක් මිය යාමත්ය.
අනතුරු යන වචනය ඇසෙත්ම අපට මහ මග සිදුවන අනතුරු සිහියට නැගුණත් සැබවින්ම අනතුරු යන්නට සතුන් සපාකෑම්, වැටීම්, මාර්ග අනතුරු, යම් වස්තුවක ගැටීම, කැපීම්, විෂ වීම්, සත්ත්ව දෂ්ටන, සතුන් පහරදීම් ආදියද ඇතුළත් වෙයි. අනතුරු අප ජීවත් වන නිවස, මාර්ගය, වැඩබිම, තාවකාලික නවාතැන්, අධ්‍යාපන ආයතන ආදී සියලු ස්ථානවලදී සිදුවිය හැකිය.
අප රටේ මේ ආකාරයේ අනතුරුවලට මුහුණදීම හේතුවෙන් සෑම විනාඩියකටම පුද්ගලයන් 8 දෙනෙකු රෝහල්ගත කෙරෙන අතර, සෑම පැයකටම 450 දෙනෙකු ලෙස දිනකට 11,000ක් පමණ දෙනා රෝහල්වලට ප්‍රතිකාර සඳහා යොමු කෙරෙයි.
එසේම රෝහල්වල සිදුවන මරණ අතර 11 වැනි ස්ථානයේ පවතින්නේ අනතුරු නිසා සිදුවන මරණයි. මෙලෙස මරණයට පත්වන අය අතර වැඩි පිරිසක් සිටින්නේ අවුරුදු 15-45ත් අතර ඵලදායී සේවාවන්හි යෙදෙන වයසේ ශ්‍රම බළකායට අයත් අය නිසා රටට අහිමි වන මානව සම්පත මෙන්ම මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැය වන පිරිවැය අති මහත්ය.
මේ නිසාම ජාතික අනතුරු නිවාරණ සතියක් නම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමග වගකිවයුතු ආයතන රැසක් එකට එක්ව සිටියි. මේ අනුව අනතුරු නිවාරණ සතියේ පළමු වැනි දිනය වූ ඊයේ දිනයේ දිවයින පුරා මාර්ග අනතුරු වැළැක්වීම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක විය. අද (19දා) දිනයේ සේවා ස්ථානවලදී සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන්ද, හෙට (20දා) නිවසේදී සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන්ද, අනිද්දා (21දා) පෙරපාසල්වල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන්ද, 22දා පාසල්වල සිදුවන අනතුරු වැළැක්වීම වෙනුවෙන්ද විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙරට වාර්තා වන අනතුරු අතරින් වැඩිම අනතුරු ප්‍රමාණයක් වාර්තා වන්නේ සතුන් සපාකෑම හේතුවෙනි. එය 33.1%ක ප්‍රතිශතයක් ගනී. සතුන් සපාකෑම් අතරින් බල්ලන් සපාකෑම් නිසා සිදුවන අනතුරුවලට ප්‍රතිකාර කිරීමට වැඩි වියදමක් දැරීමට සෞඛ්‍ය අංශවලට සිදුවෙයි.
වැඩිම අනතුරු සිදුවන ස්ථානය ලෙස ගත්විට නිවසේදී සිදුවන අනතුරු ඉහළින්ම තිබෙන අතර, එය 42.5% ක ප්රතිශතයකි. එසේම අනතුරු හේතුවෙන් මිය යන පුද්ගලයන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී වැඩිම පිරිසක් මිය යන්නේ රිය අනතුරුවලට ලක්වීමෙනි. එය ප්‍රතිශතාත්මකව 51.8%කි.
මෙලෙස බලන විට අප එදිනෙදා වැඩකටයුතු කරන අවස්ථාවන්වලදී අනතුරු සිදුවීම් වළක්වා ගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙනී යයි. විශේෂයෙන් පසුගිය වසරේද ක්‍රියාත්මක කළ ජාතික අනතුරු නිවාරණ සතියේදී අනතුරු සිදුවිය හැකි ස්ථාන පරික්ෂා කර අනතුරු සිදුවීමට අවදානමක් සහිත ස්ථාන හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සඳහා පියවර ගැනීමට අදාළ කටයුතු යෙදීම් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී සිදුකරන ලදී. මේ අනුව පාසල් 1134ක් නිරීක්ෂණය කර අනතුරු අවදානම් සහිත පාසල් 506ක් හඳුනාගෙන තිබුණු අතර, ඉන් 256ක් නිවැරදි කිරීමට හැකිවී ඇත.
එමෙන්ම රාජ්‍ය සේවයේ ආයතන පරිශ්‍ර 773ක් පරික්ෂා කිරීමෙන් අනතුරු සහිත ස්ථාන 555ක් හඳුනාගෙන ඉන් 331ක් නිවැරදි කර ඇත.
පෞද්ගලික සේවා ස්ථාන 791ක් පරීක්ෂා කර 610ක් අවදානම් සහිත බව හඳුනාගෙන ඉන් අඩක් නිවැරදි කිරීමට හැකිවී ඇත.
නිවාස 14708ක් පරික්ෂාකර අනතුරු සහිත ස්ථාන 8829ක් හඳුනාගෙන 5729ක් නිවැරදි කිරීමට එම සතිය තුළදී අදාළ නිලධාරීන්ට හැකි වී ඇත.
මේ හේතුව නිසාම මෙවර ජාතික අනතුරු නිවාරණ සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා පොලීසිය, මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය දෙපාර්තමේන්තුව, මාධ්‍ය ආයතන ආදී ආයතන රැසක් එක්ව සිටියි.
සෑම පැයකටම එක් අයෙක් අනතුරු නිසා මිය යනවා
- සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන
ලෝකයේ සිදුවන මරණ දෙස බලන විට 1/10ක් සිදුවන්නේ අනතුරුවලින් බව කිව හැකියි. එසේම වැඩිම අනතුරු ප්‍රමාණයක් සිදුවන්නේ අඩු හා මැදි ආදායම් ලබන රටවලයි. අපේ රටේ තිබෙන රෝහල්වල නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන් අතර වැඩිම ප්‍රමාණයකට හේතු වී තිබෙන්නේ අනතුරුවලට මුහුණ දීමයි. අපේ රටේ සෑම පැයකටම අයෙක් අනතුරු නිසා මිය යනවා. එය දිනකට පුද්ගල මරණ 27ක් ලෙසත්, වසරකට පුද්ගල මරණ 10,000ක් ලෙසත් දැක්විය හැකියි.
පසුගිය වර්ෂයේ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 3020ක් මිය ගියා
- කොළඹ පොලිස් රථවාහන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.ඒ ධනංජය
අපේ රටේ කිලෝමීටර 98,000ක් වන මාර්ග පද්ධතිය තුළ අධික වාහන ප්‍රමාණයක් ධාවනය කෙරෙනවා. මෙරට ලියාපදිංචි වාහන ලක්ෂ 7න් ලක්ෂ 6ක්ම ධාවනයේ යෙදෙනවා.
මේ විදිහට කුඩා මාර්ග පද්ධතියක වාහන අධික ප්‍රමාණයක් ධාවනය කිරීම නිසා මහා මාර්ගයේ සිදුවන අනතුරු ගණනින් වැඩිවෙලා. මේ අනතුරු සිදුවෙන්නත් නොසැලකිල්ල, අපරික්ෂාකාරී බව, අනවධානය, නොදැනුම්වත්කම යන හේතු බලපාලා තිබෙනවා.
2016 වර්ෂයේ මාර්ග අනතුරු 40,000ක් හේතුවෙන් පුද්ගලයන් 3020ක් මියගොස් තිබෙනවා. මේ වසරේ එම තත්ත්වය තවත් ඉහළ යන බවක් පෙන්නුම් කෙරෙනවා. දිනකට මාර්ග අනතුරු 100-150ක් අතර ගණනක් වාර්තා වෙනවා වගේම ඒවායෙන් 10-12ත් අතර ගණනක් මිය යනවා.
මාර්ග අනතුරු අතර 90%කටම හේතු වී තිබෙන්නේ යතුරුපැදි හා ත්‍රිරෝද රථයි. මෙලෙස අනතුරුවලට වැඩියෙන්ම මුහුණ දෙන්නේ වයස අවුරුදු15-48ත් අතර අයයි. ඒ වගේම වැඩිපුරම මිය යන්නේ අවුරුදු 40-70ත් අතර පුද්ගලයන් බවයි අපට වාර්තා වන්නේ. මාර්ගවල සිදුවන අනතුරු වළක්වා ගැනීමට දෛනිකව පොලිස් නිලධාරීන් 8000කට අධික පිරිසක් මාර්ගවල රාජකාරිවල යොදවා තිබෙනවා. යම් හෙයකින් අනතුරකට හේතු වන මාර්ග සංඥා හෝ වෙනයම් හේතු පවතී නම් පොලිස් මූලස්ථානයේ ඉංජිනේරු අංශයේ 0112 431718 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.
දිනකට දෙදෙනෙක් හෝ 10ට අඩු ගණනක් දුම්රිය අනතුරුවලට ලක්වෙනවා
-දුම්රිය ආරක්ෂක හමුදාවේ නීතිය හා විමර්ශන පිළිබඳ සහකාර ආරක්ෂක අධිකාරී ලලිත් කුමාර
2016 වර්ෂයේ දුම්රිය අනතුරුවලට මුහුණ දී පුද්ගලයන් 405 දෙනෙකු මිය ගියා. 2017 වර්ෂයේ ජනවාරි සිට මේ දක්වා දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 300ක් වාර්තා වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ එන්න එන්නම දුම්රිය අනතුරු නිසා මිය යන ගණන වැඩි වන බවයි. දුම්රිය අනතුරු නිසා සිදුවන මරණවලට සියදිවි නසාගැනීම වෙනුවෙන් දුම්රියට පැන සිදුවන මරණ මෙන්ම අපරික්ෂාකාරීව දුම්රිය මාර්ගවල ගමන්කිරීම වගේ දේවල් හේතු වෙලා තිබෙනවා.
දුම්රිය අනතුරු ගැන බැලුවොත් බොහෝදෙනා අනතුරට ලක්වෙන්නේ දුම්රිය නැවැත්වීමට ප්‍රථමව දුම්රියට ගොඩවීමට හෝ දුම්රියෙන් බැසීමට තැත්කිරීම නිසයි. බොහෝ වෙලාවට ළඟ ගමනාන්තවලට ගමන් කරන මගීන් තමයි දුම්රිය නැවැත්වීමට පෙර දුම්රියට ගොඩවී අසුනක් ලබාගැනීමට තැත් කරන්නේ. මේ අවස්ථාවල සිදුවන අනතුරු වළක්වා ගැනීමට දැන් දුම්රියත්, දුම්රිය වේදිකාවත් අතර පවතින ඉඩ පරතරය අඩු කිරීම වෙනුවෙන් වේදිකා නවීකරණ කටයුතු සිදුකරමින් තිබෙනවා. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින ගැටලුව වන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කරන අයට මුහුදේ ශබ්දය නිසා දුම්රියේ හඬ නෑසීමයි. ඒ වගේම වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා හෝටල්වලට පිවිසීමට සිදුවන්නේ දුම්රිය මාර්ග හරහා ගමන් කිරීමෙනුයි. ඉතින් මේ වගේ වෙලාවට අපරික්ෂාකාරීව ගමන් කිරීම නිසා අනතුරුවලට ලක්වෙන්නට හැකියාවක් තිබෙනවා. දිනකට දෙදෙනෙක් හෝ 10ට අඩු ගණනක් දුම්රිය අනතුරුවලට ලක්වෙනවා.