Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
අතුරුදන් වූවන්ගේ පනත රට තුළ මහත් විවාදයට ලක්වූ පුවතක් බවට පත්ව තිබේ. සැබැවින්ම එවැන්නක් අවශ්‍යදැයි ජනතාවට ඇත්තේද ප්රශ්නයකි.
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට කාර්යාලයක් පිහිටුවීම සහ එම පනත පිළිබඳ සොයා බලා වාර්තාවක් සැපයීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් 2016 සැප්තැම්බර් මාසයේ නීතිඥ කමිටුවක් පත් කරන ලදී.
ඒ අතර දිස්ත්‍රික් 11 ක බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කරවන ලද පුද්ගලයන්ගේ නියෝජිතයන් 225 දෙනෙකු කැලණියට එක් වී වින්දිත පවුල් එකතුව නමින් සංවිධානයක්ද පිහිටුවා ගන්නා ලදී.
2016 මාර්තු 22 වැනිදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ අන්තර් ක්‍රියාකාරී සැසිය එහි මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී යෝජනා ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය අවධානයට ලක් විය. එහිදීද අතුරුදන් වීම්වලට එරෙහි සම්මුතිය දැඩි ලෙස අවධානයට ලක්ව තිබේ.
මහින්ද රාජපක්ෂ පාලනයේදී ඔහුගේ කැමැත්ත ඇතිව අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් වුවද, එය ඉක්මනින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව දැඩි ලෙස 2015 වසරේදීද අවධාරණය කර තිබිණි.
නැතහොත් එයින් වින්දිතයන් කලකිරීමට පත්වන බවද එහිදී දක්වා තිබේ. එනිසා අතුරුදන් වූවන් පිළිබඳ ක්රමවේදයක යෝජනාව සහ එම කාර්යාලය බිහි වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ජිනීවා සැසියේ ඇති වූ යෝජනාවක් වශයෙන් බවද දේශපාලන විද්වත්හු අවධාරණය කරති.
අතුරුදන් වූ රණවිරුවන්ගේ මාපිය සංවිධානයේ සභාපතිනි විශාකා ධර්මදාස මහත්මිය මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කළාය.
"මගේ දරුවාට මොකක්ද වුණේ කියන ප්‍රශ්නයට උත්තර සෙවීම මේ කාර්යාලයේ ප්‍රධාන වගකීම. ඒ අනුව මේ යෝජනාව ගැන අපි ඉතාම සතුටු වෙනවා. මේක තමයි ශ්‍රී ලංකා රාජ්‍යය අතුරුදන් වූවන්ගේ ප්රශ්නය වෙනුවෙන් බැරෑරුම් විදිහට මැදිහත්වන පළමුවැනි වතාව. ඒක ඕපපාතිකව සිද්ධ වුණු දෙයක් නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් කළ අරගලවල ප්‍රතිඵලයක්.
රිචඩ් ද සොයිසාගේ මව ඇතුළු දකුණේ අතුරුදන් වූවන්ගේ මවුවරුන්, අතුරුදන් වූ රණවිරුවන්ගේ මවුවරුන් නඟපු හඬට රාජ්‍ය පළමු වරට කන්දීමක් හැටියටයි අපි මේක දකින්නේ" ඇය කියයි.
එසේ නම් ජනතාව තුළ මෙවැනි කාර්යාලයක් පිළිබඳ යම් බියක් ඇති කිරීමට හේතු වී ඇති කරුණු නැවත විමසිය යුතුය.
එම කතාබහ වඩාත් සනාථ වන්නේ මහින්ද සන්ධානය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මේ සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය තුළ නිසා යැයි තවත් පිරිසක් පෙන්වා දෙති. එහිලා ඉකුත් සතියේ ඔහු විසින් මහනාහිමිවරුන් වෙත එම පනතට එරෙහිව නිකුත් කළ නිවේදනයද පසුබිම් කථනයක් ලෙස ජනතාව අර්ථගන්වති.
සද්භාවයෙන්ම පනත ප්‍රකාර රටේ සැබෑ රණවිරුවන් යුද පිටියේදී කරන ලද යුදමය ක්‍රියා අපරාධ යටතේ නොසැලකෙන බව සනාථ කරවන ආකාරයට ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැංවීමට ගන්නා උත්සාහය සමග ජනතාවට ඇති සැකය දුරු කිරීමට පියවර ගැනීමද රජය පැත්තෙන් විය යුතුය.
මහනාහිමිවරුන්ට මහින්ද පෙන්වා දෙන කරුණු ඔහුගේ භාෂණයේ අයිතියකි. මහින්ද පවසන දේ ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව පැත්තෙන් විධිමත් ක්‍රමවේදයක් සම්පාදනය වී එය සහතික වනතුරු මහින්ද පවසන දේ සත්‍යය යැයි පිළිගැනීමට නාහිමිවරුන් සහ ජනතාව කටයුතු කරන්නේ නම් එය ද බැහැර කළ නොහැකි සත්‍යයකි. ආණ්ඩුව කළ යුත්තේ මහින්ද කියන දේ සහ පවතින ජනතා මතවාද පිළිබඳ රජයේ පැහැදිලි ස්ථාවරය සහතික කිරීමකි.
එහෙත් රජය කුමක් කීවද රජය පවසන දේ කෙරෙහි සැකයෙන් බලන්නේ ගත වූ කාලය තුළ බැඳුම්කරය, දේශපාලකයන් බෙදාගත් වාහන මගඩිය, දුන් පොරොන්දු ඉටු නොකිරීම, වංචාව, දූෂණය සම්බන්ධයෙන් ආණ්ඩුව පැවසූ දූෂිතයන්ට එරෙහිව මේ දක්වා කිසිදු පියවරක් නොගැනීම වැනි කළ යුතු අත්‍යවශ්‍ය දේ ක්‍රියාවෙන් සනාථ කරවීමට ඇති නොහැකියාව හේතුවෙන් යැයි ද ජනතා චෝදනාවකි.
කෙසේ වුවද මහින්ද විසින් ගත වූ වසරේ 2016 ජූලි 20 දා මාධ්‍යයට නිකුත් කළ නිවේදනය පැවසුවේද අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට යෝජිත කාර්යාලය මගින් ලංකාවේ සන්නද්ධ හමුදා බටහිර රටවලට පාවාදීමක් සිදුවන බවට කතාවකි.
අමාත්‍ය මංගල සමරවීර එයට පිළිතුරු ලෙස පැවසුවේ මෙය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිඳලීමේ ආයතන පද්ධතියේ කොටසක් නොවන බවය. මෙය පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක් වන අතර, එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතිරීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාවක් නැති බවද ඔහු එයින් අවධාරණය කළේය.
ඒ අනුව යෝජිත කෙටුම්පත අනුව අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලා ලේඛනගත කර අතුරුදන් වීම පිළිබඳ පසුබිම සොයා ඔවුන්ට සිදු වූ දේ වාර්තා කිරීම සහ අගතියට පත් පවුල් සඳහා වන්දි ගෙවීම සිදු කරන බවද ඔහු සඳහන් කළේය.
අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්ථාපනය සම්බන්ධයෙන් ගත වූ 2016 සැප්තැම්බරයේදී මහින්ද රාපපක්ෂ විසින් එය රණවිරුවන් මිනීමැරුවා යැයි චෝදනාවට ලක් කරවීමක් බව අවධාරණය කළේය.
අතුරුදන් වූ රණවිරුවන්ගේ දෙමාපිය සංවිධානයේ සභාපතිනි විශාකා ධර්මදාස ඒ පිළිබඳ මෙසේ පවසයි.
''ඔහුගේ ප්‍රකාශයෙන් රට වෙනුවෙන් සටන් කළ මගේ පුතා ඇතුළු සියලු රණවිරුවන්ට කළ බරපතළ අපහාසයක්. අතුරුදන් සිදුවීම් කළේ රණවිරුවන් කියලද ඔහු මේ කියන්නේ? කිසිම රණවිරුවෙක් මේ අතුරුදන් කිරීම්වලට සම්බන්ධ නැහැ. අතුරුදන් කරවීම කියන්නේ අපරාධයක්. රණවිරුවන් කියන්නෙ අපරාධකරුවන් නෙවෙයි. තමන්ගෙ බලලෝභී අරමුණු වෙනුවෙන් සිද්ධ කරපු අපරාධ වහගන්න රණවිරුවන්ගේ කීර්තිනාමය පාවිච්චි කිරීම දැන්වත් නතර කරන්න කියලා මම ඔහුට කියනවා'' යැයි අවධාරණය කළාය.
අනෙක් අතට පැවැති රජය විසින්ම රණවිරුවන් දංගෙඩියට ගෙනයනවා යැයි කියන විට යමෙකුට හැඟෙන්නේ සැබැවින්ම එදා රණවිරුවන් මිනීමැරුවාද යන පැනයකි. රිචඩ් ද සොයිසා අතුරුදන් වීම ප්‍රේමදාස ජනාධිපතිවරයා සමයේ පුවතකි.
සෙවිය යුතු දේ නොසොයා සිටින්න යැයි බලපෑම් කිරීමද, එයින් රණවිරුවන්ට දඬුවම් නියම වෙනවා යැයි පැහැදිලිවම ප්‍රකාශ වීමෙන් හැඟවෙන්නේද එදා රණවිරුවන් පුද්ගලයන් අතුරුදන් කරවූ බවට කතාවකි.
අනෙක යුද පිටියේ සිදුවන ක්‍රියාකාරකම් යුද නීතිය සහ මානුෂීය නීතිය යටතේ විවරණය වෙයි. සිවිල් සමාජය තුළ සිදුවන දේ මානව හිමිකම් නීතිය සහ රටේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වෙයි. එනිසා යුද්ධය නිර්මාණය කළ ප්රභාකරන් වෙනුවෙන් සිදුකළ යුද මෙහෙයුම වෙනුවෙන් සැබෑ රණවිරුවන් කළ සටන හේතුවෙන් ඔවුන් මිනිස් ඝාතකයන් ලෙස දංගඩියට ගෙන යන්නේ නම් ඇමෙරිකාව, එංගලන්තය නිතිපතා සිදුකරන මිනිස් ඝාතන හමුවේද ඒ නීතිය වලංගු විය යුතුය.
තවද 1971 කැරැල්ලට මුවා වී ඒ ඒ කාලවල පැවැති ආණ්ඩු විසින් පුද්ගලයන් අතුරුදන් කළේ නම්, ඒ ජාතිය වෙනුවෙන් බිහි වූ මිනිසුන් ජාතියට අහිමි කරවීමකි. පවුල් වෙනුවෙන් උපත ලද්දෝ පවුලට අහිමි කරවීමකි. 71 දී ඇඹිලිපිටියේ සිසුන් 32 ක් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව හෝ පසුව මරා දැමූ චෝදනා හමුවේ චූදිතයන් අපරාධ නඩු විධිවිධාන යටතේ දඬුවම් ලැබුවේද එහෙයිනි. මනම්පේරි ඝාතනයද එවැන්නකි.
එහි චූදිතයන් අතර හමුදා නිලධාරීන් සිටි අතර, එදා හමුදා රණවිරුවන් අධිකරණයට ගෙනයන්න එපා යැයි ජනතා හඬක් නොඇසුණි. මනම්පේරිය මරා දැමූ හමුදා ඝාතකයන් වෙනුවෙන් කිසිවෙකු පෙනී සිටියේ නැතැයිද ජනතාව පෙන්වා දෙති. මෙවර මේ පසුපස දේශපාලනය මැදිහත්ව නීතිය යටපත් කර තම බලය වෙනුවෙන් රණවිරුවන් යොදවා කළ රහස් ඝාතන වසන් කිරීමේ උත්සාහයක් ලෙස ඔවුහු මෙවැනි චෝදනා ගෙනහැර දක්වන බවටද ඇතැමුන් අතර කතාබහකි.
මිහිපිට උපන් හැම මිනිසෙකුටම ගෞරවනීය මරණයක් හිමි විය යුතු වුවත්, පාලකයන්ට පමණක් එය ලබාදීමට යමෙකු දරදිය ඇද්දේ නම් ඒ වරදට දඬුවම් ලැබීම ස්වාභාවික බවද ඇතැම්හු පෙන්වා දෙති. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් එවැනි ආණ්ඩු ම්ලේච්ඡ පාලකයන්ගේ මෙහෙයවීමක් ලෙස නීති ක්ෂේත්රයේ විද්වත්හු පෙන්වා දෙති.
ආණ්ඩුව පවසන්නේ නව පනත යටතේ 71 සහ 89 කැරැල්ල සමයේ අතුරුදන් වූවන් පිළිබඳවද සෙවිය හැකි බවට කතාවකි. එදා එ.ජා.ප. සමයේ ජ.වි.පෙ. සමාජිකයන් මෙන්ම ශ්‍රී.ල.නි. පාක්ෂිකයන්ද, ජවිපෙ සාමාජිකයන් හෝ වෙනත් කණ්ඩායම් අතින් එජාප සාමාජිකයන්ද අතුරුදන් කළ කතා ඇසුණු බවට චෝදනාවකි. ජවිපෙ පනතට සංශෝධනයක් ගෙන ආවේද එහෙයිනි. එනිසා කිනම් පනතකින් හෝ සැමට සාධාරණය ඉටුවීම මානව ගරුත්වයට පමා වී හෝ වටිනාකමක් ලබාදීම බවට එවැනි පවුල් තුළින් ඇසෙන යෝජනාවද බැහැර කළ නොහැකිය.
එහෙත් මෙහිදී මෙම අවශ්‍යතා ලඝු කර දක්වමින් හිටපු පාලකයන් විසින් තම සුඛ විහරණය රැකගැනීම සඳහා අත්පා කඩා දැමූ, අතුරුදන් කර මරා දැමුණු හෝ කප්පම් වෙනුවෙන් සංවිධානාත්මකව යම් පිරිස් මෙහෙයවා කළ අපරාධ වෙතොත්, ඒවා වසා ගැනීමට අතුරුදන් වූවන් පිළිබඳ කොමිසමට යමෙකු එරෙහි වන්නේදැයි තවත් පාර්ශ්වයක් නඟන තර්කයද විමසුමට ලක් කළ යුතුය.
ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීම පාර්ලිමේන්තුවේ 225 දෙනා සතු ප්‍රධාන වගකීමක් වන්නේද එහෙයිනි. දැනට මාස කීපයකට පෙර ගම්පොළ ප්‍රදේශයේ අතුරුදන් වී යැයි පැවසූ කාන්තාවක් වසර 18කට පසු නිවසට පැමිණි කතාවද ජනතාව උදාහරණ ලෙස සිහිපත් කරති.
යුද සමයේ පැහැරගෙන යාම, අතුරුදන් වීම සහ සිවිල් පුරවැසියන් ප්‍රහාරයට ලක්කිරීමෙන් ජීවිතක්ෂයට පත් කිරීම පිළිබඳ සිද්ධි සම්බන්ධයෙන් වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ජිනීවා අවශ්‍යතාව මත ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූං අතර ඇති කරගන්නා ලදී. එම සභාවේ සභාපතිත්වය ශ්‍රී ලංකා මහාධිකරණයේ විශ්‍රාමලත් විනිසුරු මහානාම තිලකරත්න මහතා විසින් දරනු ලැබිණි.
එහිදී ඉරිපත්ව ඇති වර්ගීකරණය පහත පරිදි සඳහන් වෙයි.
''අපරාධමය පසුබිමක් සහිත පුද්ගලයෝ පැහැරගෙන යනු ලැබූහ. ඔවුන්ට සමාජයේ සතුරෝ සිටියහ. එමෙන්ම බලවත් පුද්ගලයන් වූ ඔවුන්ගේ ඥාතීන් සහ හිතුවතුන් විසින් මෙම පැහැරගැනීම කරන්නට ඇත. (12.03(ඇ)1)
කප්පම් මුදල් ලබාගැනීම සඳහා ඇතැමෙකු පැහැරගෙන යනු ලැබූ අතර, සුළු කණ්ඩායම් අතර පවත්නා දේශපාලන මතභේදයන්ද ඇතැම් පැහැරගැනීම් සඳහා හේතු වී ඇත. (12.03(ඇ)2)
පවුල්වල පවත්නා සුළු භේදයන් නිසාද පැහැරගෙන යාම් සිදුව ඇත. (12.03 (ඇ)3)
තරුණියන්ගේ ආදරය දිනාගැනීම සඳහා පැහැරගෙන යාම් සිදුකොට ඇත. (12.03(ඇ)4)
සල්ලාල ජීවිතවලට හැඩගැසුණු පුද්ගලයන් පැහැරගෙන යනු ලැබූහ. (12.03(ඇ)5)
කිහිපදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල්ව ව්‍යාජ මුදල් භාවිතය සහ ඉඩම් ගනුදෙනුවලින් මුදල් උපයාගත් අය වූහ. (12.03(ඇ)6)
සොල්දාදුවන් ලෙස පුහුණු කිරීම සඳහා පැහැරගැනීම් අදාළ වන්නේ නැගෙනහිර පළාතේ හා යාපනයේ පරීක්ෂණ නොපැවැත්වූ සමහර සිද්ධීන් සම්බන්ධයෙනි. (12.03(ඇ)7)
තමන්ටම පමණක් සීමා වූ හේතුන් මත සැඟව සිට පසුව ආපසු පැමිණි අයද වූහ. (12.03(ඇ)8)
මාධ්‍යවේදී ප්රගීත්ගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ වරක් ජනමාධ්‍යට ප්‍රකාශ කළේ, “මගේ අතුරුදන් කළ සැමියා පෙන්වීමට නොහැකි නම් ඇටකටු කෑල්ලක් හරි පෙන්වාපල්ලා” යනුවෙන් මැසිවිල්ලකි. කිසිදු බිරියකගේ මුවකින් එවැනි ඉල්ලීමක් ඉදිරියේ නොඅසන්නට නම් රජය විසින් පුද්ගලයන් අතුරුදන් කරවීමට එරෙහිව යම් යාන්ත්‍රණයක් සකස් කිරීමේ වැදගත්කම එවැනි වූ බිරින්දෑවරුන්ගේ ප්‍රකාශ සනාථ කරයි.
කවුරු චෝදනා කළද තමන්ගේ පවුලේ කෙනෙකු අතුරුදන් කළ පසු මෙවැනි කාර්යාලයක අවශ්‍යතාව ඒ හැම අයෙකුටම දැනෙන බවට නීති විශාරදයන් පෙන්වා දෙන යථාර්ථයද බැහැර කළ නොහැක.
නමුත් අතුරුදන් කරවීම පාපයක් මෙන්ම තවදුරටත් එවැනි දේ රට තුළ සිදුවීමට ඉඩ තැබීමද එයටත් වඩා පාපයකි. දේශපාලකයන් තම බලය වෙනුවෙන් අතීතයේ ගත් නිහීන උත්සාහයන්ගේ ප්‍රතිඵලය තුළ අතුරුදන් කිරීම්, පැහැරගැනීම්, කප්පම් ගැනීම් වැනි දේ සිදුවී නම් ඒ හැමදෙයක් තුළම පැහැදිලි වන්නේ රටේ ප්රජාතන්ත්රවාදය නමැති කඩතුරාවට මුවාවී බලය නමැති නිවට ඒකාධිපති ක්‍රමයක් වෙනුවෙන් පාලකයන් විසින් තවත් පරපුරක් යොදාගෙන ඇති බවට සිදුවීම් පෙළකි.
ඇඟිල්ල දිගු විය යුත්තේ රණවිරුවන්ට නොවේ. මිනිසුන් පැහැරගත් සහ කප්පම් ගත් හෝ පුද්ගලයන් අතුරුදන් කළ සහ කිරීමට අනුබල දුන් ඇත්තන්ටය. සමහර විට එතැන නිල ඇඳුමේ ගරුත්වය මත මළමූ තැවරූ සොල්දාදුවන් කිහිපදෙනෙකුද සිටිය හැකිය.
අනික මෙතැන ඇත්තේ රණවිරුවන් අපරාධ කළා නොව අපරාධයන්ට රණවිරුවන් යොමු කර එම අසරණ පවුල්ද මේ වනවිට කාලකණ්ණි කර නඩු පටලවා ඇති පාලකයන්දැයි ඇතැමුන් අසන ප්‍රශ්නයද එසේම සටහන් කරමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd