සාලාව අවි ගබඩාව පිපිරීම නිසා සාලාව අවට ග්‍රාම නිලධාරී වසම් 13 ක පවුල් 2,200කට කුමන හෝ හානි සිදු විය. මහජනතාවගේ පාර්ශ්වයෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකු පසුව වෙනත් කාරණයක් නිසා මියගොස් තිබේ. අදාළ පිපිරීම කෙසේ සිදුවූවාද යන්න අදටත් සොයාගෙන නොමැති වුවද අදාළ සිදුවීම පාලකයන්ගේ වරදින් සිදු වූ ක්‍රියාවක් සේ සැලකිය හැකිය.
එනම්, ජනතාව අතරේ අවි ගබඩාවක් පවත්වාගෙන යෑම හා එය සුරක්ෂිත ලෙස පවත්වාගෙන යෑමට කටයුතු නොකිරීම නිසාය. කෙසේ හෝ ජනතාවට සිදු වූ සෑම අලාභයකටම පූර්ණ වන්දි මුදල් ලබාදෙන බවටත්, පූර්ණ නිවාස හානි වෙනුවෙන් නිවාස ඉදි කරගන්නා තෙක් වෙනත් නිවාසයක් කුලියට ලබාගැනීම සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබාදෙන බවටත් බලධාරීන් පොරොන්දු වූ බවද පීඩාවට පත් ජනතාව සඳහන් කරති. මීට අමතරව අලුත්වැඩියා කරනතුරු පදිංචියට නුසුදුසු නිවාස හිමියන්ට මාස 06 ක නිවාස කුලී ලබාදෙන බවට පොරොන්දු වූ බවද ජනතාව පවසති. නිවාස හානිවලට අමතරව වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන 54 ක් විනාශයට පත් වූ අතර, වාහන 87කටද අලාභ හානි සිදු විය. නිවාස 200කට පූර්ණ හානි සිදු වී තිබූ අතර, තවත් නිවාස 700කට ආසන්න ප්‍රමාණයකට කුමන හෝ හානියක් සිදු වී තිබේ.
පසුගිය වසරේ ජුනි 05 වැනිදා සිදු වූ මෙම පිපිරීම සිදු වී මේ වනවිට මාස 16කට ආසන්න කාලයක් ගත වී ඇතත්, නිවාස හානි සිදු වූ ජනතාවටද තවමත් නිසි ලෙස වන්දි ලබා දී නැතැයිද ජනතාව සඳහන් කරති. රජයේ තක්සේරුවලට අනුව යම් යම් මුදල් ප්‍රමාණයන් ගෙවනු ලැබුවද එම මුදල් වර්තමානයට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද පීඩාවට පත් ජනතාව සඳහන් කරති. පූර්ණ නිවාස හානි සිදු වූ පිරිස්වලට නිවසක් සකස් කරගන්නා තුරු රුපියල් 50000 නිවාස කුලිය ලබාදෙන බව පැවසුවද එම මුදල් ලබාදුන්නේ මාස 05 ක ප්‍රමාණයක් පමණි. අනෙකුත් ජනතාවට පවා නිවාස කුලී නිසි ලෙස ලබා නොදුන් බවද පීඩාවට පත් ජනතාව සඳහන් කරති. වාහන 87කට හානි සිදු වුවද මෙතෙක් නිවැරදි වාහන හානි තක්සේරුවක් හෝ සිදුකර නැතැයිද වාහන හිමිකරුවෝ සඳහන් කරති.ව්‍යාපාරික ස්ථාන 54 ක් භාණ්ඩ සමග විනාශයට පත් වුවද අදාළ ව්‍යාපාරික ස්ථානයට හෝ භාණ්ඩ සඳහා නිවැරදි තක්සේරුවක් හෝ මෙතෙක් සිදුකර නැතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. මීට අමතරව නිවෙස් තුළ තිබූ භාණ්ඩ සඳහා පූර්ණ වන්දි ලබාදෙන බව සඳහන් කළද, එයද නිවැරදි ලෙස ලබා නොදෙන බව ජනතාව සඳහන් කරති. මේ පිළිබඳ 'අද' සාලාව අවට ප්‍ර‘දේශවල ජනතාව සමග කතාබහක නිරත විය.
'වාහන හානියට වන්දි නෑ' - ඩී. කාන්ති
“සාලාව කඳවුර තුළ සිදු වූ පිපිරීම නිසා අවට නිවෙස්වල තිබුණ වාහන විශාල ප්‍රමාණයකට හානි සිදු වුණා. අපට අයත් ත්‍රි‘රෝද රථයක් විනාශ වුණා. අපට වගේම අවට කිසි කෙනෙකුට හානි සිදුවුණ වාහනවලට වන්දි ලබාදීමක් සිදු වෙලා නැහැ. වන්දි ලබාදෙන්නේ නැති නිසා අපේ වියදමින් ත්‍රිරෝද රථය අලුත්වැඩියා කටයුතු කළා. ඒ සඳහා රුපියල් තුන්ලක්ෂ පනස්දහසක් වියදම් වුණා. ත්‍රිරෝද රථ අලාභයට තක්සේරු කරලා තියෙන්නේ රුපියල් පනස්දහසක මුදලක්. අපට අයත් තවත් වාහනයක් විනාශ වුණා.
ඒත් ඒක හදාගන්න මුදල් නැති නිසා තාම ඒක අලුත්වැඩියා කළේ නැහැ. ත්‍රි‘රෝද රථය ගත්තේ බොහෝම අමාරුවෙන්. අනිත් වාහනය පුතාලට අයිති එකක්. මම ස්වයං රැකියා සිදුකරන ස්ථානයක වැඩ කරන කෙනෙක්.*
“ආදායමයි ඉන්න තැනයි දෙකම නැති වුණා* - රේණුකා ප්‍රියදර්ශනී
“වෙළෙඳ සැලයි නිවසයි එක ළඟ තිබුණේ. පිපිරීමත් සමග කෑලි වැටිලා කඩේ විනාශ වුණා. ගෙටත් හානි වුණා. කඩේ ඇතුළෙ විශාල භාණ්ඩ ප්‍රමාණයක් තිබුණ. ගෙටයි, කඩේටයි වන්දි තක්සේරු කරද්දි බිල්ඩිමට තක්සේරු කළේ රුපියල් අසූ පන්දහසක මුදලක් අභියාචනාවේදී රුපියල් අනූහත්දහස වුණා. ගේයි වෙළෙඳ සැලයි ඉදි කරන්න ලක්ෂ අටකට වඩා ණය වෙලා තියෙනවා. ගේ සහ කඩේ භාණ්ඩ තක්සේරු කිරීමේදී රුපියල් ලක්ෂ දෙකයි තක්සේරු කළේ. ඒත් කඩේ ඇතුළෙ විතරක් ලක්ෂ හතරකට වඩා වැඩි බඩු තිබුණා. ශීතකරණයට විතරක් රුපියල් අසූදහසක මුදලක් වියදම් වුණා. ගෙවල් කුලී දෙනවා කියලා කිව්වා. ලැබුණේ මාස තුනක කුලිය විතරයි. නිවාසයක් නැති නිසා අතේ සල්ලිවලින් කුලී නිවසක් අරං ජීවත් වන්නේ. කඩේ තිබුණ තැනම තේ කඩයක් හදාගත්තා. ඒත් එක් ස්ථීර ගොඩනැගිල්ලක් නොවෙයි. කඩේ ආදායමෙන් හතර දෙනෙක් ජීවත්වෙනවා. කඩේ පිහිටලා තියෙන්නේ සාලාව නගරයෙන් පිටත ප්‍ර‘දේශයක. මේ නිසා කඩ හදලා දෙනකොට අපට කඩයක් ලැබේද කියලා විශ්වාසයක් නැහැ. දැන් අපට යන එනමං නැහැ.'
'නිවාස හානි තක්සේරුව සාධාරණ නැහැ' - හේමන්ත කුමාර,- අත්කම නිවාස ගම්මානය
“සාලාව කඳවුරේ පිපිරීම නිසා ලක්ෂ 35කට වැඩි වටිනාකමක් තියෙන මගේ නිවස විනාශ වුණා. මෙම හානිය පිළිබඳ මුල් තක්සේරුවෙන් වන්දි ලෙස තීරණය වුණේ තුන්ලක්ෂ අසූ හතර දහසක් පමණයි. එය ප්‍රමාණවත් නොවන නිසා අභියාචනා කළා. ඉන්පසු තක්සේරුවෙන් ආවේ පන්ලක්ෂ අසූපන්දහසක්. නිවසේ ටයිල් ටික අල්ලන්නත්, ඊට වඩා මුදලක් ගිහිල්ලා තියෙනවා. මේ ගේ සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කරන්න තියෙන ගෙයක්. අලුතින් මේ වගේ ගෙයක් හදන්න ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් යනවා.
අවුරුදු 40 ක ඉඳලා මේ ප්‍ර‘දේශයේ ජීවත් වෙන්නේ දැන් රැකියාව ලෙස කරන්නේ ත්‍රිරෝද රථයක් මගී සේවාවේ යොදවන එක. මේ ඉඩමට ස්ථිර ඔප්පු තියෙනවා. තක්සේරු මුදල ප්‍රමාණවත් නොවන නිසා මුදල් ගත්තේ නැහැ. මේ පිළිබඳ ප්‍රා‘දේශීය ලේකම්වරයා හා ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කරලා තියෙන්නේ. අත්කම නිවාස ගම්මානයේ ගෙවල් 34කට හානි සිදුවුණා හැම කෙනාගේම තක්සේරු මුදල ප්‍රමාණවත් මුදලක් නොවෙයි'.
“ලක්ෂ ගණනක පාඩුවක් සිදු වුණා' - සුනේත්‍රා සංජීවනී,
“මම රැකියාවක් ලෙස කරන්නේ අයන් බෝඩ් හදන එක. සාලාව කඳවුර පිපිරීමට ලක්වෙන්න ඉස්සෙල්ලා සේවකයෝ 08 දෙනෙක් වැඩ කළා. මෙම ව්‍යාපාරය ආරම්භ කළේ බොහෝම අමාරුවෙන්. සාලාව කඳවුරේ පිපිරීමත් සමග මගේ වැඩපොළට හානි සිදු වුණා. භාණ්ඩවල හා අමුද්‍රව්‍යවලට හානි සිදු වුණා. ඒ වගේම ගොඩනැගිල්ලට හානි සිදු වුණා. නිෂ්පාදනය කරලා තිබුණ භාණ්ඩවලට වගේම අමුද්‍රව්‍යවලටත් හානි සිදු වුණා. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවලටත් හානි සිදු වුණා. අලාභය ලක්ෂ ගණනක්. තාම තක්සේරු කළේ නැහැ. එක යන්ත්‍රයක් හදාගන්න ලක්ෂයකට වඩා වියදම් වුණා. දැන් ආයෙත් ව්‍යාපාරය සුළුවෙන් පටන් ගත්තා. සේවකයන් 05 දෙනෙකු සේවය කරනවා. වන්දි මුදලක් ලබාදෙන්න කියලා මානව හිමිකම් එකටත් පැමිණිලි කළා'.
“ව්‍යාපාරිකයෝ තාම මහ පාරේ* - හේමන්ත ප්‍රියංකර (සභාපති, සාලාව එක්සත් ව්‍යාපාරික සංගමය),
“කඳවුරේ පිපිරීම නිසා සාලාව නගරය තුළ තිබූ ව්‍යාපාරික ස්ථාන 54 ක් විනාශ වුණා. මෙතනදි කුලී පදනමින් 34 දෙනෙක් ව්‍යාපාර කළා. මේ සියලුම ස්ථාන පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දිනට පෙර සකස් කරලා දෙනවා කිව්වා. ඒත් තාම කඩ හදලා දුන්නේ නැහැ. කුලී පදනමින් ව්‍යාපාර කළ අයට කඩ කාමර ලබාදෙන්න කාමර 34 ක් සකස් කරගෙන යනවා. ඒත් තාම එහි වැඩ අවසන් කරලත් නැහැ. භාණ්ඩ තක්සේරු කිරීමේදී නිසි ලෙස තක්සේරු කළේ නැහැ.
නිලධාරීන්ට හිතුණ ආකාරයට භාණ්ඩ තක්සේරු කළා. මේ නිසා ව්‍යාපාරික ස්ථානවල තිබූ භාණ්ඩ වටිනාකමින් හරි අඩක මුදලක් නොලැබුණු අයත් ඉන්නවා. පොදුවේ කාටත් ලැබුණේ භාණ්ඩ වටිනාකමින් භාගයක් පමණයි.
එවකට සිටිය මුදල් ඇමතිවරයා කිව්වා මාස 06 ක කාලයක් රුපියල් 50,000 ගාණේ ලබාදෙනවා කියලා. ඒත් රුපියල් 50,000 ලැබුණේ මාස තුනයි.*
“ජනතාවට සාධාරණය ඉටු වුණේ නැහැ* - චන්දන සූරියආරච්චි (ලේකම් - සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව) ,
“සාලාවේ පිපිරීම සිදුවෙලා මාස 16කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මෙම පිපිරීම නිසා ග්‍රාම නිලධාරී වසම් 13 ක පවුල් 2200කට අලාභ හානි සිදු වුණා. මෙතනදි සාලාව කොස්ගම, බටහිර, මුර්තගම කියන ග්‍රාම නිලධාරී වසම් තුනට අයත් සාමාන්‍ය ජනතාවගේ නිවාස, දේපොළ, වාහන ව්‍යාපාරික ස්ථානවලට බරපතළ හානි සිදුවුණා. මෙම සිදුවීමත් සමග වෙච්ච අලාභයට හානියට නිසි ලෙස වන්දි ලබාදෙනවා කිව්වා.
නමුත් මේ දක්වා කිසිදු පුද්ගලයෙකුට තමන්ගේ අලාභයට සරිලන වන්දියක් ලබාදීලා නැහැ. යම් යම් වන්දි මුදල් ලබාදීමක් සිදු කරලා තියෙනවා. ඒත් එය ඉතාමත් සාධාරණ ලෙස සිදු වුණේ නැහැ. වාහන 87කට හානි සිදුවුණා. සාලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන 54 ක් ඇතුළුව ව්‍යාපාරික ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වුණා. මේ කිසි කෙනෙකුට සාධාරණය ඉෂ්ට වෙලා නැහැ. සාධාරණයක් ඉටු නොවීම නිසා අපි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කළා. මීට අමතරව ආගමික නායකයන් දැනුවත් කළා. මෙම හානියට රජය වගකිව යුතුයි. නිවාස, භාණ්ඩ, වාහන හා ව්‍යාපාරික ස්ථානවලට සිදුවුණ හානිය යම් තරමකට තක්සේරු කළා. ඒත් ඒවා නිකම් උඩින් පල්ලෙන් කළේ. රජය යම් යම් මුදල් ප්‍රමාණයක් ගෙව්වා. ඒක අපි නැහැ කියන්නේ නැහැ. ඒත් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට රජය තාමත් සමත් වෙලා නැහැ. මේ නිසා ජනතාව තමන්ට සාධාරණයක් කරන්න කියලා ඉල්ලා මහපාරේ සටන් කරනවා'.
“ජීවත් වෙන්න කුලී වැඩ කරනවා' - නන්දසේන රණසිංහ (වෙළෙඳ ව්‍යාපාරික),
“මම කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක හෝටලයක් පවත්වාගෙන ගියා. සේවකයෝ හත් දෙනෙක් සේවය කළා. ලක්ෂ 20කට වැඩිය වටින භාණ්ඩ තිබුණ හෝටලය කඳවුරේ සිදුවුණ පිපිරීම නිසා ගිනි ගත්තා. සේරම භාණ්ඩ විනාශ වුණා. පිපිරීම සිදු වෙලා දවස් හතරකට පස්සෙ රජයේ නිලධාරීන් ඇවිත් ඇහුවා මොකද වුණේ කියලා. ඊටපස්සෙ වෙච්ච දේ කිව්වා. විනාශ වුණේ මොකක්ද කියලා ඇහුවම කිව්වා හෝටලයක් කියලා. ඒක පොඩි කොළ කෑල්ලක ලියාගෙන ගියා.
එදා නිකමට කිව්ව විස්තරයට අනුව රජය තීරණය කරලා තිබුණා භාණ්ඩ හානිය ලක්ෂ 06 ක් කියලා. අපි දන්නේ නැහැ ඒක කොහොම හැදුවද කියලා. පස්සේ දිස්ත්‍රික් ලේකම්තුමාට ප්‍රා‘දේශීය ලේකම්තුමාට අභියාචනා ඉදිරිපත් කළා. ඒ අය ශතපහකට ඒක ගණන් ගත්තේ නැහැ. අන්තිමට ජීවත්වෙන්න මම කුලී වැඩ කරන තැනට පත් වුණා. සේවකයන්ට රැකියා නැති වුණා. දැන් මම අතන මෙතන වැඩ කරලා කීයක් හරි සොයාගෙන පවුලේ අය ජීවත් කරනවා.'