විභාගයකින් අනතුරුව එම විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබාගත් සිසුන් ගැන වැඩි අවධානයක් යොමුවෙයි. 2015 වසරේ දෙසැම්බර්හි පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කළ අය දක්වන අදහසයි මේ.
එදිනෙදා අධ්‍යාපන කටයුතු පසුවට කල් නොදමා එදිනම අවසන් කළා
- දිවයිනේ ප්‍රථමයා වූ කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සසඳි සත්සරණි හෙට්ටිආරච්චි
"මේ පාර විභාගයෙන් මට ලංකාවේ ප්‍රථම දහදෙනා අතරට එන්න පුළුවන් කියලා හොඳ විශ්වාසයක් තිබුණා. එදිනෙදා අධ්‍යාපන කටයුතු පසුවට කල් නොදමා එදිනම අවසන් කළා. ඒක තමයි මගේ ජයග්‍රහණයට හේතු වුණේ. මට ඒ සාමාර්ථ නවයක් ඇති බව අන්තර්ජාලයෙන් ප්‍රතිඵල නැරඹීමේදී දැනගත්තා. ඒත් ලංකාවෙන්ම ප්‍රථමයා කියලා දැනගත්තෙ මිතුරියකගේ මාර්ගයෙන්.
කොහොමත් පළමු ස්ථාන 10 අතරට එන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබුණා. ඒත් ලංකාවෙ පළමුවැනියා වෙයි කියලා හිතුවෙ නැහැ. මේ ලැබුණු ප්‍රතිඵල ගැන මට ගොඩක් සතුටුයි. පොඩි කාලෙ සිටම මම හොඳින් අධ්‍යාපන කටයුතු කළා. වාර විභාග ආදියේදිත් හොඳින් ලකුණු ලබාගත්තා. විභාගය නිසා ලොකු බරකින් පැය ගණන් පාඩම් කරන්න අවශ්‍ය වුණේ නැහැ. සැහැල්ලුවෙන් විභාගයට මුහුණදෙන්න හැකි වුණා"
එදිනෙදා ඉගෙනගත් දේ එදාම පාඩම් කර මතකයේ තබාගත්තා
- දිවයිනේ දෙවැනියා වූ කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ.කේ. සමල් පුන්සර
“එදිනෙදා ඉගෙනගත් දේ එදාම පාඩම් කර මතකයේ තබාගත් නිසා මට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයට එහා ගිය ප්‍රතිඵලයකට යන්න පුළුවන් වුණා මම වගේම මගේ ගුරුවරුන්, විදුහල්පතිතුමා දැනගෙන හිටියා මට විශිෂ්ට සාමාර්ථයක් ලබාගැනීමට හැකියි කියලා. ඒත් ඒ අය මාව නිතරම දිරිමත් කළේ ඊට වඩා ඉහල ප්‍රතිඵලයකට යන්න කියලා ඒ දිරිමත් කිරීම මට මේ ජයග්‍රහණයට බලපෑවා. මගේ නිවුන් සොයුරාටත් විශිෂ්ට සාමාර්ථ නවයක් තියෙනවා.
නාලන්දා විද්‍යාලයේ පළමු වසරේ සිට මට ඉගැන්වූ සියලුම ගුරුවරුන්, මගේ පංති භාර ආචාර්ය සමන්මලී රාජපක්ෂ ගුරු මහත්මිය වගේම, අප විද්‍යාලයේ විදුහල්පතිතුමා, මගේ දෙමවුපියෝ මට ගොඩක් උදව් කළා. ඒ අයට මම ස්තුතිවන්ත වෙනවා. මම විද්‍යාලයේ විෂය බාහිර ක්‍රියාකාරකම්වලත් නිරත වුණා. ජයග්‍රහණත් ලබාගත්තා. මගේ බලාපොරොත්තුව ඉන්ජිනේරුවෙකු වීමටයි"
පාසලෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහනින් හොඳ පෙරහුරුවක් ලැබුණා
- දිවයිනේ තෙවැනියා වූ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මලීනා රත්නායක
"අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන අප පාසල සංවිධානය කළ විශේෂ වැඩසටහනක් නිසා අපට විභාගයට හොඳ පෙරහුරුවක් ලැබුණා. එය මගේ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වුණා. මම මුල සිටම එදිනෙදා වැඩ එදිනෙදා ඉවර කළා. විභාගය ළංවෙද්දි වැඩ ගොඩගැහෙන්න ඉඩ තිබ්බෙ නෑ. වැඩි පීඩනයක් ඇති කරගත්තෙ නැතිව සැහැල්ලුවෙන් විභාගයට මුහුණදුන්නා"
ප්‍රථමයා, දෙවැනියා හෝ තෙවැනියා විය යුතුයි සිතා විභාගයට සූදානම් වුණේ නැහැ
- දිවයිනේ තෙවැනියා වූ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී රත්නායක
“විභාගයෙන් ප්‍රථමයා, දෙවැනියා හෝ තුන්වෙනියා විය යුතුයි කියලා විභාගයට සූදානම් වුණේ නැහැ. උපරිම කැපවීමෙන් අධ්‍යාපන කටයුතු කළ නිසා තුන්වැනි ස්ථානය නොදැනුවත්වම ලැබුණා. පාසලෙන් අධ්‍යාපනයට අමතරව සංගීත හා ඉංග්‍රීසි විෂයයන් සඳහා පමණක් අමතර පංතිවලට සහභාගි වුණා. නමුත් අනික් සියලු විෂයයන් පාසලේ ගුරුවරුන්ගෙන් ලැබුණු දැනීම සහ ඒ කටයුතු එදිනෙදා ඒ අවස්ථාවේදීම අවසන් කළ නිසා මේ ස්ථානය මට ලැබුණා"
ක්‍රිෂාන් රණසිංහ/චමිල් රූපසිංහ