පානකාවේ නායක හාමුදුරුවෝ
සබරගමුවට අයත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්ගම සුන්දර ගම්මානයේ මෙයට දශක හතකට ඉහතදී විසූ කේ.ජේ. සිරිබෝ මහතා හා යූ.ජේ. රන්මල්හාමි මහත්මිය සරුසාර ගොවිතැනක නිරත වෙමින් තම ජීවිකාව සරිකරගත් දෙපළක් විය. ඉතා සමගි සම්පන්නව ජීවත් වූ මේ යුවළට දාව 1943 ජනවාරි 08 වැනිදා පින්වත් දරුවෙක් මෙලොවට බිහි විය. එම දරුවාට කරුණාරත්න යනුවෙන් නම් තබන ලදී. මවුපිය සෙනහසේ උපරිමය ලබමින්ද, අසල්වැසි කොලු කුරුට්ටන් හා කෙළිදෙළෙන්ද මේ දරුවාගේ ළමා කාලය ගෙවී ගියේය. ඉන්පසුව සිප්සතර ඉගෙනුම සඳහා කරුණාරත්න දරුවාට රත්ගම විදුහල සුන්දර සෙවණක් විය.
අධ්‍යාපනයට උපන් හපනෙකු වූ මේ සිසුවාට ගුරුවරුන්ගේ සෙනෙහස අපමණව ලැබිණි. ඔහුට තැබූ නමේ වචනයේ පරිසමාප්තයට ගැළපෙන ලෙසම කරුණාරත්න කාරුණික විය. පිනට දහමට මෙන්ම ගමේ විහාරස්ථානයේ ඇසුර ප්‍රිය කළ ඔහුට කාලයාගේ ඇවෑමෙන් සසුනට නැඹුරු වීමේ ආශාවක් ඇති විය. මේ පිළිබඳ සිය දෙමවුපියන්ට කිහිප විටක්ම පැවසුවද, ඒ සඳහා අවසරය ලබාගැනීමට කරුණාරත්න දරුවාට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.
ඒ 1956 වසරයි. ඒ වනවිට ඔහු ජීවිත ගමනේ වයස අවුරුදු දහතුනක් සපුරා තිබුණි. සිය සිතැඟි ඉටුකර ගැනීමට කාලය එළඹුණේ සීතල උඳුවප් මාසයේ විසිහය වැනිදාය. කාලයක සිට දැන හඳුනාගෙන සිටි කෝරල තුන ඇතුළු සතර කෝරල මහා දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹන්පිටියේ ශ්‍රී දේවානන්ද නාහිමි සහ මාරපන පියදස්සී නාහිමිවරුන් යටතේ සිය මවුපියන්ගේද ආශිර්වාදය සහිතව රත්ගම විපස්සී නමින් සිය පැවිදි ප්‍රාර්ථනාව ඉටු කරගැනීමට කරුණාරත්න දරුවාට වාසනාව එදින උදා විය.
පැවිදි දිවියට පිවිසි රත්ගම විපස්සී සාමණේර හාමුදුරුවෝ හිමි නමක ලෙස මූලික අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා පිවිසියේ කෑගල්ල අඳුරාපොත සද්ධර්ථෝදය මහා පිරිවෙන වෙතටය. අනතුරුව කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනින් උසස් අධ්‍යාපනයේ දොරටු විවර කරගත් රත්ගම විපස්සී හිමියෝ පන්නිපිටියේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිය උපාධිය පූර්ණ කරගැනීමෙන් පසු, පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධියෙන්ද සම්මාන ලැබූහ.
උසස් අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කළ අප හිමියෝ සිය දැනුම අනාගත පරපුරේ දැනුම ගුණ නුවණ දැනුවත් කිරීම උදෙසා ගුරු වෘත්තිය තෝරා ගත්හ. අවසානයේදී උන්වහන්සේ ගුරු වෘතියෙන් සමුගනු ලැබුවේ විදුහල්පතිවරයෙකු වශයෙන් සේවය කිරීමෙනි. එසේ ගුරු වෘත්තියෙහි යෙදී සිටින කාලය තුළ විපස්සී හිමියන්ගේ අවධානය පාරම්පරික ජ්‍යෝතීර් විද්‍යාව, භූත විද්‍යාව සහ වාස්තු විද්‍යාව කෙරෙහි යොමු විය. ඒ සඳහා අවැසි ඉපැරණි පතපොත පරිශීලනය කරමින්ද, එම ශාස්ත්‍රයන් පිළිබඳ විශේෂඥ දැනුමැති ගුරු පඬිවරු, හිමිවරුන්ගෙන් උපදේශනයන් හා ගුරු හරුකම් ලබාගනිමින්ද එම විෂයයන් පිළිබඳ විද්වත් දැනුමක් ඇති කරගැනීමට පූජ්‍ය රත්ගම විපස්සී හිමියෝ වාසනාවන්ත වූහ.
ඒ අනුව ලබාගත් දැනුමින් විපුල ප්‍රයෝජන අත්පත් කරගැනීමට විපස්සී නායක හිමියන් සමත් වී ඇත. කෑගල්ලේ රන්වල ගාමන්ට් හන්දියෙන් පානකාවට හැරීයන පටු මාවතේ කඳු ගැටයක් මත පිහිටා ඇති පානකාව පුරාණ විහාරයෙහි වැඩ වාසය කරන අපේ හිමියන් භූත විද්‍යා, ජ්‍යෝතීර් විද්‍යා සහ වාස්තු විද්‍යාව යන ත්‍රිවිද්‍යාවෙන් ලබා ඇති හසල දැනුම විශ්මිතය. පානකාව පුරාණ විහාරයට පැමිණෙන බොහෝ දෙනෙකු සිය දිවියේ පැවැති බොහෝ ගැටලු විසඳාගෙන අද සතුටින් දිවි ගෙවති.
දායකකාරකාදීන්ට බරක් නොදී, තමන් වැඩ වාසය කරන පානකාව පුරාණ විහාරස්ථානය මෙන්ම උන්වහන්සේ භාරකාරත්වය උසුලන අඹන්පිටියේ ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරය යන උභයවිහාරයන් මේ වනවිට වාස්තු විද්‍යනුකූලව රමණීය ලෙස ගොඩනගා ඇති අතර, සිය පූර්ණ ධනය යොදවා පානකාව පොල්ගහවෙල පාරේ හබුදුගල ග්‍රාමයේ අලුතින්ම ශ්‍රී දේවානන්ද නමින් විහාරස්ථානයක් නිර්මාණය කර බුදු සසුනට පූජා කිරීම උන්වහන්සේගේ දිවියේ පරිත්‍යාගශීලීත්වයට මහඟු නිදසුනකි.
එමෙන්ම සුපේෂල ශික්ෂාකාමී අගනා සිසු පිරිසක්ද උන්වහන්සේ වටා සිටිති. දැනට ඇමෙරිකාවේ මහායෝහි වැඩ වාසය කරන ප්‍රධාන ශිෂ්‍ය පූජ්‍ය ආචාර්ය පානකාවේ සෝමානන්ද හිමි ඇතුළු හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පානකාවේ යසස්සී, පල්ලේගම නාරද, කහවත්තේ විමලරතන, කොහොවිල වනරතන, ඇල්ලන්දේ ජිනරතන, පානකාවේ ඥානරතන, හුම්බුළුවේ ගුණානන්ද, අලපත්වැව ඉන්දරතන, දෙමටම්පිටියේ ගුණරතන සහ දෙමටම්පිටියේ පියරතන යනු එම හිමිවරුන් පිරිසයි. බුදු සසුනේ චිරස්තිථිය සඳහා අතිමහත් සේවාවක් කර ඇති නාහිමියන්ට සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වය මගින් කෑගලූ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සමග ගෞරව නාමයක්ද පිරිනමා ඇත.
පසුගිය ජනවාරි අට වැනිදා හැත්තෑ පස්වැනි වියට එළඹි අප නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර පිංකම් මාලාවක් කොළඹ නුවර පාරේ, අඹන්පිටිය ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරය, පානකාව පුරාණ විහාරය හා හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයන් මූලික කරගනිමින් එළඹෙන ජනවාරි 22 වැනිදා දක්වා පැවැත්වීමට උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස, කාර්ය මණ්ඩලය සහ දායක සභාව සැලසුම්කර ඇත. මෙම පිංකම් මාලාවේ විශේෂත්වය වන්නේ උන්වහන්සේ ගුරු උපහාරයක් ලෙස ගොඩනැගූ ශ්‍රී දේවානන්ද විහාරස්ථානයට මෙතෙක් අඩුවක්ව පැවැති චෛත්‍යයක් ගොඩනැගීම ආරම්භ කිරීමයි.
ඒ සඳහා මූලික දායකත්වය හොබවනු ලබන්නේ සබරගමු පළාත් සභාවේ විපක්ෂනායක ඩබ්ලිව්. සෝමදාස මහතාය. එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතනාභිධාන මහනායක හිමිපාණන් වහන්සේගේ සුරතින් හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සුරතින් එළඹෙන ජනවාරි 18 වැනිදා හබුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේදී උත්සවාකාරයෙන් සිදු කෙරේ.
පුරා වසර හැටක කාලයක් මුළුල්ලේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පරිත්‍යාගශීලී මෙහෙවරක් කරමින් ජීවිතයේ හැත්තෑ පස් වැනි වියට එළඹි අතිගෞරවාර්හ රත්ගම සද්ධර්ම කීර්ති ශ්‍රී විපශ්‍යාභිධාන නාහිමිපාණන් වහන්සේට තවදුරටත් ශසනාභිවෘද්ධිය සඳහා කැපවී සේවය කිරීමට චිර ජීවනය සැලසේවා යැයි ප්‍රාර්ථනා කරමු.
සටහන - අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ