ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිතකොට වසර 70ක් සපිරෙන්නේ 2017 ඔක්තෝබර් 14 වැනි දිනය. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව තිබී නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනි දිනය. ඊට මාස 4කට පමණ පෙර එනම් 1947 ඔක්තෝබර් 14 වැනි දින අප රටේ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කිරීමේ සුවිශේෂී වැදගත්කමක් ඇත.
ආසියානු මහාද්වීපයේ පැරණිම සහ මනාව සංරක්ෂණය වූ පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදයක් අප රට සතු වීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් වන අප තුළ අභිමානයක් ඇති වේ. සෙසු ආසියානු රටවල් රැසක හමුදා කුමන්ත්‍රණ, කැරළි, කෝලාහල යනාදිය නිසා පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට බරපතළ හානි සිදුවිය. පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය අහෝසි වී ඒකාධිපති පාලන තන්ත්ර එම රටවල බිහි විය. එහෙත් විවිධ ගැටලු හා අභියෝග මධ්‍ය‘යේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකිව පැවතීම සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සඳහන් කළ හැකිය.
1931 දී ශ්‍රී ලංකාව සර්වජන ඡන්ද බලය ලැබීම මේ සම්බන්ධයෙන් ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ලෙස පැවතියදීම වයස 21 ට වැඩි කාන්තාවන් ඇතුළු සියලු පුරවැසියන්ට ඡන්ද බලය හිමි වීම නියෝජන ප්රජාතන්ත්රවාදය පුළුල් වීම සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයකි.
පාර්ලිමේන්තුව පිහිටුවීමට පෙර ව්‍යවස්ථාදායක මණ්ඩලය, රාජ්‍ය මන්ත්‍රණ සභාව වැනි ව්‍යවස්ථාදායක ආයතන ශ්‍රී ලංකාවේ පැවතිණි. එමගින් යම් ආකාරයක මහජන නියෝජනයක් සිදුවිය. 1931 සිට 1947 දක්වා ක්‍රියාත්මක වූ ඩොනමෝර් ව්‍යවස්ථාව තුළින් රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදී. එය පිහිටුවා ගැනීම අප රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා බෙහෙවින් ඉවහල් විය.
ඉන්පසු 1944 දී සෝල්බරි කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාදායකය ප්‍රතිසංස්කරණය කරන ලදී. මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් ස්ථාපිත කරන ලදී. උත්තර මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාවක්ද පිහිටුවන ලදී.
1947 ඔක්තෝබර් 14 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම පවත්වන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ධුරය හෙබවූ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා ප්‍රථම පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා ලෙස තේරී පත්විය.
එසේ ආරම්භ වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉකුත් වසර 70 තුළ විවිධ වෙනස්කම්වලට භාජනය වී ඇත.
1970 ඔක්තෝබර් මාසයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සෙනෙට් සභාව අහෝසි කරන ලදී. ඇතැම් පනත් සම්මත කිරීමේදී සෙනෙට් සභාව විසින් ප්‍රමාදයක් සිදුකරන්නේය යන දැඩි විවේචනය විවිධ පාර්ශ්වයන් තුළින් මතු වීම නිසා එය අහෝසි කරන ලදී.
1972 මැයි 22 දින 1 වැනි ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඩොමීනියන් තත්ත්වය නිම විය. පාර්ලිමේන්තුව, ජාතික රාජ්‍ය සභාව ලෙස නම් කිරීම විශේෂත්වයකි. එවකට වසර 5 ක් වූ නිල කාලය වසර 6 ක් දක්වා දීර්ඝ කරන ලදී.
1972 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු මන්ත්‍රීන් සංඛ්‍යාව 225 දක්වා වැඩි කරන ලදී. එසේම 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1977 ඔක්තෝබර් මස ගෙන එන ලද සංශෝධනයන් මගින් විධායක ජනාධිපති ධුරය ඇතිකිරීම විශේෂ සිදුවීමකි. මහජනතාව විසින් ඍජුවම ඡන්දයෙන් තෝරාපත්කර ගනු ලබන විධායක ජනාධිපති ධුරයක් ඇතිවීමත් සමගම අප රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදී ක්රමයේ කැපී පෙනෙන වෙනසක් ඇති විය. එනම් විධායක ජනාධිපති ක්රමයේ හා පාර්ලිමේන්තු ක්‍රම‘යේ සංකලනයක් සහිත පාර්ලිමේන්තු ක්‍රමයක් ඇරඹිණි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්වන පාර්ලිමේන්තුව මහජන ඡන්දයෙන් තේරීපත්වන මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්වන 29 දෙනෙකුගෙන් සමන්විත වේ. ධුර කාලය වසර 6කි.
විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවෙන් මුළුමනින්ම ඈත්වූවෙක් නොවේ. යම් යම් අමාත්‍යාංශ භාර ඇමතිවරයෙකු ලෙසද ඔහු කටයුතු කරන අතර, පාර්ලිමේන්තුව ඇමතීමේ බලයද ඇත.
18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධූර කාලය පිළිබඳව පැවති උපරිම ධූර කාල 2ක් බවට වූ සීමාව ඉවත් කරන ලදී. එහෙත් 19 වැනි සංශෝධනය මගින් නැවත එය ධූර කාල දෙකකට සීමා කරන ලදී.
ජානාධිපතිවරයෙකු ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනා ගෙනැවිත් සම්මත කිරීමේ බලතල පාර්ලිමේන්තුව සතුය.
ඉකුත් වසර 70ක් තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමාජ අභිවෘද්ධිය උදෙසා විවිධ පනත් රාශියක් සම්මත කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමත් වී ඇත. අධ්‍යාපනය, කෘෂිකර්මය, ප්‍රවාහනය, බලශක්ති උත්පාදනය, නිවාස, මහාමාර්ග යනාදී ක්ෂේත්‍ර ගණනාවකට අදාළ පනත් හේතු කොටගෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ජන ජීවිතය උසස් වී ඇත. අප රටේ මානව සංවර්ධන දර්ශක අසල්වැසි රටවලට වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දායකත්වය ඉමහත්ය.