ඉදිරි කාලය තුළ වෛද්‍ය වර්ජන පිළිබඳ තවත් ඇසෙනු ඇත. මේ දිනවල ඒ සඳහා වෛද්‍යවරුන් කාලසටහන සකසමින් සිටින්නේ යැයි ආණ්ඩුව චෝදනා කරයි.වෛද්‍ය අධ්‍යාපනයට ප්‍රමිතියක් තිබිය යුතු යැයි වෛද්‍යවරුන්ගේ හඬකි. ජනතාව පවසන්නේ අධ්‍යාපනයට මෙන්ම වෘත්තියටද ප්‍රමිතියක් තිබිය යුතු කතාවකි. ඒ වෛද්‍ය සේවයේ ඇතැමුන්ගේ චර්යාවන් සහ වෙනත් වර්ජන තර්ජන ඇසෙන විටය.
සයිටමයට එරෙහිවන්නෝ පවසන්නේද වෛද්‍ය වෘත්තිය අයාලේ යන තැනට සහ එයින් ජනතාවගේ ජීවිතවලට සිදුවිය හැකි හානිය අවධාරණය කරමින් ප්‍රමිතිගත තත්ත්වයක් තුළ වෛද්‍ය සේවා පවත්වා ගැනීමට රජය ගුණාත්මක සහ ප්‍රමිතිගත විධිමත් වැඩපිළිවෙළක් පවත්වා ගත යුතු බවට වගකිව යුතු ප්‍රකාශයකි.
සැබවින්ම ආණ්ඩුවලට හිතෙන දේ නොව රජයකට කළමනාකරණය කළ හැකි සහ තිරසාර ලෙස පවත්වාගෙන යා හැකි වෛද්‍ය සේවයක අවශ්‍යතාව රටේ ජනතාව වෙනුවෙන් සපථ කිරීමේදී අවශ්‍යතාව සුළුකොට තැකිය නොහැකිය.
වෛද්‍යවරුන්ගෙන් නැගෙන ඒ හඬ වෛද්‍ය අධ්‍යපනය සඳහා වුවද වෛද්‍ය වෘත්තිකයන් සඳහා වන ප්‍රමිතියක් පිළිබඳ හඬක් ජනතාවගෙන් ඔබ්බට වෛද්‍යවරුන්ට හෝ රජයට නැතහොත් ආණ්ඩුවලට නොඇසීමේ විපාකය පිළිබඳ ජනතාවට ඇත්තේ සැකය මුසු නොසතුටකි.
විශේෂයෙන්ම ලෝකයේ පශ්චාත් යටත් විජිත යුගයේ දුප්පත්කමට එරෙහිව බිහිවූ වෘත්තිකයන් අපමණ බව සමාජ විද්වත්හු අවධාරණය කරති. වෛද්‍ය සේවය වෛද්‍ය වෘත්තිකයක් ලෙස පත්වන්නේද එනිසා යැයි ඇතැම් සමාජ විද්වත්හු අවධාරණය කරති.
තත්කාලීන සමාජය තුළ රෝගියාට සහ රෝගයට මිලක් නියම වන්නේද මේ පසුබිම තුළ යැයි මානව විද්වත්හු අවධාරණය කරති. වෛද්‍යවරයාට වටිනාකමක් ලැබෙන්නේ ලබන අධ්‍යාපනය නිසා පමණක් නොවේ යැයි තර්කයකි. වෛද්‍ය විද්‍යාලයට දිළින්දන්ගේ පවුල් සහ කෝටිපති පවුල් අතරින් පිවිසෙන දරුවන් යැයි දෙපිරිසකි.
එහෙත් කෝටිපති දරුවන් වෛද්‍ය වෘත්තිය තමන්ගේ පරම්පරාවේ නම්බුවක් ලෙස සලකන අතර දිළිඳු පවුල්වල දරුවන් වෛද්‍යවරුන් වී එතැන් සිට තම පවුලට එය ආභරණයක් කර ගැනීමට උත්සාහ කරන්නේ යැයි ඇතැමෙකු පෙන්වා දෙන මතය යමෙකුට උරණ වීමට නොව සමාජයේ විවිධ පැතිකඩ හරහා නිරීක්ෂණය කළ යුතු කරුණකි.
පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිවීමට එක් අනුබලයක් වන්නේද එයමය. නමුත් හැමකෙකුගේම සේවා ඉලක්කය විය යුත්තේ අසාධාරණයකින් තොර අවශ්‍ය විට සැපයෙන වෛද්‍ය සේවයක් බව කිවයුතු නැත.
වෛද්‍ය වෘත්තිය සේවයක්ද නැතහොත් වෘත්තියක්ද යන අපැහැදිලි ප්රශ්නය තුළ පැහැදිලි තර්ක ගණනාවක් තිබිය හැකිය. ධනපති පවුල්වලට එය ආභරණයක් වුවද දිළිඳු පවුල්වලින් ගිය බහුතරයකට එය තමන්ගේ පන්ති පැවැත්ම සඳහා ආභරණයක් වන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් ආශිර්වාදයක්ද කරගන්නා බවට ඇතැම් සමාජ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම බටහිරවාදී චින්තනයේදී මෙවැනි පාර්ශ්වයන්ගේ ආත්ම මූලික ගුණය වූයේ උන්නතිකාමය වන අතර, ඔවුන් සිය අනෙක් වෘත්තිකයාද තරගකරුවෙකු ලෙස සැලකීය.
අදටත් ඒ ක්‍රමය විකාශය වෙමින් වෘත්තීය අභිමානය සහ ගරුත්වය වෙනුවට වෛද්‍ය වෘත්තිය තුළ ඇසෙන්නේ වෛද්‍ය සේවය යනු හොඳ රස්සාවක් සහ මුදල් ඉපැයිය හැකි ධන ආකරයක් යනුවෙනි. විශේෂයෙන් බටහිරවාදී ආකල්ප තුළ දැක්වෙන වෛද්‍යවරයා යනු ආත්මීය වශයෙන් ප්රාග්ධනය ලෙස යමෙක් අර්ථ ගන්වති.
ඔවුන් වෛද්‍යවරයා යනුවෙන් එදා ඇසුණු සදාචාරාත්මක ආකල්පයන් අදටත් ගරුත්වය උදෙසා භාවිත කළද, වෛද්‍යවරුන් තුළින් ඒ වෙනුවට දිස්වන්නේ සදාචාරය සහ පෞද්ගලික අභිමානය නොසලකා හැර මුදල සහ පැවැත්ම පාදක කර ගත් ආත්ම ලාභය යැයි තවත් ආකාරයකින් සමාජ විද්වත්හු අවධාරණය කරති.
එදා ලංකාවේද ජනතාවට බටහිර වෙදකම නොතිබුණද ඔවුන් ඒ වෙනුවෙන් යාතුකර්ම, නැකත් විධි, යන්ත්රමන්ත්ර ගුරුකම් ආදී අංශ කෙරෙහි යොමු විය. ආගමට අනුව පිරිත් මතුරමින් ලෙඩ දුක් සුව කිරීමට අනුබලයක් කරගත්හ.
විහාරස්ථානයට සහ පූජ්‍ය පක්ෂය අතරට නක්ෂත්රය යන්ත්රමන්ත්ර කටයුතු එක්වන්නේ එහෙයිනි. එහිලා ජනතාවට දැඩි විශ්වාසයක්ද තිබුණි. එයද යම් ප්‍රාග්ධනයක් ලෙස වර්ධනය වී ඇතැම් වාමාංශික දෘෂ්ටිකෝණයන් තුළ යකැදුරන්, කට්ටඩියන්ද සූරාකන්නන් ලෙස පශ්චාත් නූතන යුගය තුළ මුදලාලිලා බවට පත්ව ඇතැයි තවත් ප්‍රබල චෝදනාවකි.
ඒ චෝදනාව වඩාත් ප්‍රබල වන්නේ ගමේ මනුස්සයාත් ගොඩ වෙදකමත් මුදලට විකුණාගෙන කන තරමට මුදලාලිලා පිරිසක් බිහිව ඇතැයි සමාජය තුළ පවතින අවතක්සේරුව නිසා බව පැහැදිලිය. රූපවාහිනී සහ පුවත්පත් දැන්වීම් අධ්‍යයනය කරන අයෙකුට මේ යථාර්ථය වටහා ගැනීම අසීරු නැත.
එදා සහතික නැතත් පරම්පාරිකව කළ ගොඩ වෙදකම ගැමියාට අත්දුටුවක් වූ අතර, කිසිවෙකු එය මුදල බලා කළ සේවයක් නොවීය. එහිලා ඇතමුන් නගන තර්කය වන්නේ වාණිජමය සමාජයක වෛද්‍යවරයාට ඒ අභියෝගයන්ගෙන් ගැලවිය හැකිද යනුවෙන් සාධාරණ තර්කයක් යැයි යමෙක් පෙන්වා දෙති.
එයට හේතු දක්වන පිරිස විමසන්නේ ෆාමසිවලින් සහ බෙහෙත් නිෂ්පාදන අලෙවි සමාගම්වලින් ලැබෙන වරදාන වරප්‍රසාද මුදල් ලාභ හැරුණුකොට දවසේ චැනලින්වලින් උපයන රුපියල් ලක්ෂ ගණනාවක් පෞද්ගලික රෝහල් සහ රසායනාගාරවලින් උපයන මුදලත් විමසීමේදී වෛද්‍ය වෘත්තියේ සදාචාරය අමතක වී එය ප්රාග්ධනය උපයන මාර්ගයක් බවට පත් කරගෙන තිබේ නම් එතැනද වෘත්තීය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් මතුවන කතාවකි.
තීරණාත්මක වෛද්‍ය වර්ජනයක් පිළිබඳ සාකච්ජාවක් පැවති දිනයේම කුලියාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ගේ රෝගීන් නගරයේ රසායනාගාරවලට එවීම සඳහා රුපියල් 75000.00ක අල්ලස් ලබාගනිද්දී අත්අඩංගුවට ගත් පුවත වාර්තා විය.
ජනතාව නිදහස් වෛද්‍ය වෘත්තිකයන්ගේ මුදලාලිකරණය දකින්නේද එවැනි අපමණ උදාහරණ හේතුවෙනි. එයටද උත්තරයක් වෛද්‍යවරුන්ට ඇත.
වරදක් කළා නම් නීතියෙන් දඬුවම් ලැබේ යනුවෙන් ඔවුහු පවසන විට අනෙක් පැත්තෙන් පොදු දේපළ විනාශ කළ අය වරදක් කර ඇත්නම් සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් නිදහස් කරනු යනුවෙන් නැගෙන හඬ තුළ ඇත්තේ ප්රාග්ධනය උපයා දෙන මිනිසුන් බේරාගැනීමේ න්යායක්දැයි ජනතාව අසති.
ව්‍යාපාරයක් හෝ මුදලාලිකරණයට ලක්වීමට හෝ මුදල මත යැපෙන ආදායම් මාර්ගයක් ලෙස වෛද්‍ය සේවයද සමාජ සදාචාරය තුළ පිරිහෙන තැනට පත් නොවන්නට නම් වෛද්‍ය වෘත්තියටද ආචාරධර්ම සමාචාර විධි සහ ජනතාව සමග ඇසුරු කළයුතු වෘත්තීමය ආකාරය පිළිබඳවද ප්‍රමිතියක අවශ්‍යතාව ජනතාව දැඩි ලෙස අවධාරණය කරති.
සැබවින්ම වෛද්‍ය සේවය වුවද ප්‍රජා සත්කාරක සේවයක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිර්ණායක සහ ගුණාත්මක ප්‍රතිපත්තිය පිළිබඳ අද දක්වා විධිමත් වූ කෙටුම්පතක් ගැන ඇසුණේ නැතැයි වර්ජන තුළ දුක්විඳින ජනතාව පවසන දේ අසන්නට රෝහලකට යා යුතුය.
ලංකාවේ වෛද්‍ය සේවයේ මෑතකාලීන සිදුවීම් විමසීමේදී රජයේ සයිටමයට විරුද්ධ වීම, වෛද්‍ය අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කිරීමක් බව බහුතරයකගේ තර්කයකි. වැඩවර්ජනය කරමින් රෝගීන් හෙට්ටු කරවීම වර්ජනයේ අයිතියක් වී ඇත. පොලීසිය අත්අඩංගුවට ගන්නා අනුගාමිකයන් නිදහස් කරව් යනුවෙන් නීතියට හෝ අධිකරණයට බලපෑම් කිරීමද යමෙකුගේ නෛතික අයිතියකි.
අඩුම තරමින් සාපාරාධී අපරාධයක් පිළිබඳ නිවැරදි වාර්තාවක් සැපයීමටත් දේශපාලකයන් වන්දනාවේ යෙදුණේ යැයි ඇසෙන්නේද සුපිරි වෛද්‍ය වෘත්තිකයන්ටය. නැතහොත් වෛද්‍ය සභාවට පත්විය යුත්තේ කවුද හෝ ඉවත් කළ යුත්තේ කවුදැයි රජයට බලපෑම් කරන්නේද වෛද්‍යවරුන් යැයි ආණ්ඩුව පැත්තෙන් වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහිව නැඟෙන චෝදනාවකි.
එහෙත් රෝහලේ බංකුව මත තමන්ගේ වර්ජන නිසා දුක් විඳින රෝගීන් නොපෙනෙන්නේ ඇයිදැයි අසන පැනයට ඔවුන් නිරුත්තර යැයි ආණ්ඩුවේ ඇත්තෝ පවසති.
විශේෂඥ වෛද්‍යවරයෙකු කාන්තාවක් දූෂණය කළ පුවත ගත වූ ජුලි 3 දින ජනමාධ්‍ය අනාවරණය කළේය. මීගමුව පැත්තේ රෝහලක වෛද්‍යවරයෙකු රෝගී කාන්තාවක් පරීක්ෂා කළ අයුරු සහ ඉන් පසු උඩු මහලින් තල්ලු කර මරා දැමූ අයුරු සහ එල්ලුම් ගස් යැවූ කතාව ගතවූ කාලයේ ඇසුණි. ප්‍රධාන ජාතික රෝහලක වෛද්‍යවරියකගේ නොසැලකිල්ල නිසා ජීවිත කිහියක් විනාශ වූ අයුරු ඇසුණේද මෙයට මාස කිහියකට පෙරය.
බලහත්කාර වඳ සැත්කම් එන්නත් ගැන නිතර රෝහල තුළින් ඇසේ. එයද වෛද්‍ය සේවයේ ගුණාත්මක බව මෙන්ම වෛද්‍යවරුන්ගෙන් රෝගීන් රැක ගතයුතු නොහැකි තරමට වෛද්‍ය සේවය හිංසනයක් වී ඇති බවට තවත් පසෙකින් ඇසෙන කතාවකි.
ජීවකලා වැනි වෛද්‍යවරුන් සහ වෙද මහත්වරු ගැන ජනතාවට ඇත්තේ ගෞරවයකි.ඒ සදාචාරය සහ සම්මතය තුළ වුවද අදටත් ඇතැමුන් තම ජීවිත අපේක්ෂාවෙන් තමන්ට පණ පොවන වෛද්‍යවරයාගේ ආදායම වැටුප ගණනය නොකරති.
එහෙත් චැනල් සාප්පුවේ බංකුව මත වාඩිවී ඔයාගේ නොම්මරය කීයද? මගේ හතළිස්පහ... ඒ කියන්නෙ වරුවකට හතළිස්පහයි. දවසට සියයක් විතර බලනවා. එක්කෙනෙක්ගෙන් එක්දහස් පන්සියය ගානේ ලක්ෂ එකහමාරක් හවසට බැංකුවට යැයි, ජනතාව ගණන් හදන්නේද මේ ජීවක අසපුවේ සිටම නම් එතැන ඇත්තේ එදා තිබු ගෞරවයට වඩා වෙනස් දැක්මකි.
කවුරු අකමැති වුවද වෛද්‍ය වෘත්තිය පිළිබඳ රට තුළ නැඟෙන මැසිවිල්ල තර්ජනයකින් හෝ අවලාද නැගීමෙන් යටපත් කළ නොහැකි බව ජනතාව පවසති. එකම කරුණක් සඳහා විවිධ තර්ක තිබිය හැකිය. එහෙත් හැම තර්කයක් හෝ පිළිතුරක් සහ යෝජනා චෝදනා සියල්ල මාධ්‍ය හරහා සංවාදයට ගැනීමද පහසු නොවේ.
එනිසා කළ යුතුව ඇත්තේ චෝදනා අඩු එහෙත් ඵලදායීතාවය වැඩි මනුස්සකම රැඳුණු යහපත් පිළිගත හැකි ගුණාත්මක අගයෙන් ඉහළ වෛද්‍ය වෘත්තිකයන් සඳහා වූ ප්‍රමිතියක් නිර්මාණය කිරීමය. ඒ ආණ්ඩුව පැත්තෙන් නොව වෛද්‍ය සේවයට ආදරය කරන සැබෑ මානව හිතවාදීන් විසින්මය.
මන්ද අදටත් හැමකෙකුම රටේ ජනතාව කඹුරන මුදලින් අධ්‍යාපනය ලැබූ ජීවකයන් වන නිසා මිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හරහා බිහිවූ අජීවකයන් නොවන හෙයිනි.
එහෙත් ''අපි වෛද්‍යවරු වුණාම තමන්ගෙ දරුවො ගුරුවරු ලිපිකරුවො කරපු දෙමව්පියන්ට අපි ගැන ඊෂ්‍යාවක් තියෙනවා'' යැයි හිස උදුම්මවා ගත් ඇතැම් වෛද්‍යවරුන්ගේ හීනමානය ගැනද ජනතාව අවධාරණය කරන්නේ එහෙම මිනිසුන් සිටිත් නම් මෙවැනි ප්‍රශ්න කෙසේ දකිනු ඇත්දැයි යන උපේක්ෂාව තුළය.
මේ යමෙකුගේ හිත රිදෙන්නට හෝ හිත හදන්නට නොව තවත් යමක් හිතන්නට ජනතා මතයට ඇහුම්කන් දීමක් පමණි.