ගෙවී ගිය මාස හතර පහ පුරා පැවැති නියඟය නිසා දිස්ත්‍රික්ක15ක ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් බොහෝ පීඩාවට ලක්විය.
ගංගා 103ක් රට හරහා ගලා ගියද මෙම දිස්ත්‍රික්කවල ජනතාවට බීමට ජලය පොදක්වත් සොයාගැනීමට ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවිය.
ස්වභාව සෞන්දර්යය අතින් ලෝකයේ අන් රටකට නොදෙවැනි ශ්‍රී ලංකාවට අනාගතයේදී මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනවාදැයි අතීතයේ සිටි මිනිසුන් කිසිදා නොසිතන්නට ඇත.
මන්දයත් අතීතයේ සිටි මිනිසුන් මෙවැනි විපත් හෝ ගංවතුර, කඳු නානයෑමේ විපත් සිදුනොවන ආකාරයට මේ රටේ පරිසරය කළමනාකරණය කිරීම නිසාවෙනි.
එහෙත් සංවර්ධනයේ නාමයෙන් ගෙවී ගිය දශකය දෙක කාලයේදී රට තුළ සිදුවූ අවිධිමත් සංවර්ධන ක්‍රියාවලිය මේ සියලුම දේ උඩු යටිකුරු කර දැමීය.
ස්වභාව දහමට එරෙහිවන තරමට ස්වභාව දහම අපට එරෙහිවන බවට ඕනෑතරම් අද වනවිට අපට පාඩම් කියාදී ඇත.
එනම් මාස හතර පහකට පෙර නියඟයෙන් බැට කෑ ජනතාවට අද වනවිට වැසි ජලයෙන් හා ගංගා පිටාර ගැලීම නිසා ඇතිවී තිබෙන ජල ව්‍යසනයෙන්ද බැට කන්නට සිදුව තිබේ.
මීට අමතරව කඳුනායයෑම්, පස්කන්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම නිසාත් මේ රටේ ජනතාව පීඩාවට පත්ව සිටිති.
මෙවන් විපත් නිරන්තයෙන්ම පැමිණියද බොහෝ දෙනෙකු තවමත් සිතා සිටිනුයේ, සොබාදහමෙන් ලබාදෙන සෑම දෙයක්ම අපට භාර ගැනීමට සිදුව තිබෙන බවයි.
සැබැවින්ම මෙය සොබාදහම නිසා ඇතිවන ක්‍රියාවලියක් නිසා ඉන් එහාට සිතීමටවත් සමහර පිරිස් උත්සාහ නොගන්නාහ. සිදුවන සෑම විපතක්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක් බවට සිතීමට මිනිසුන් පෙළඹෙන්නේ නැත.
ගෙවී ගිය දශකය දෙක ගතහොත් වසරේ අවස්ථා දෙකකදී අපට කුමන හෝ විපතකට මුහුණදීමට සිදුව තිබේ. සොබා දහමෙන් දායාද ලද බොහෝ සම්පත් උරුම අප රටට අතීතයේදී මෙවැනි විපත්වලට මුහුණ දීමට සිදුව තිබෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි. කාලයාගේ ඇවෑමෙන් දියුණුයැයි සම්මත වර්තමාන මිනිසා විසින් සොබාදහම විනාශ කර දමනු ලැබුවේ තමන්ගේ දේපළක් විනාශ කර දමන අයුරිනි.
මේනිසා ගංවතුර හා නියඟය වැනි අවස්ථාවලදී එය පාලනයට විශාල ලෙස උපකාරීවන වගුරු බිම් අද වනවිට අප රට තුළ නොමැති තරම්ය.
ගංවතුර තත්ත්වයකදී හෝ වැසි ජල තත්ත්වයකදී වගුරු භූමි මගින් එය මනා ලෙස පාලනය කරන බවට තහවුරු වී තිබෙන දෙයකි.
නියං තත්ත්වයක් නිර්මාණය වීමට බලපාන කාරණාව වන්නේ වැසි ජලය නොලැබීයාම වන අතර එහෙත් වගුරු භූමි හරහා පොළොවෙ තෙතමනය රැක ගනිමින් නියඟයේ බලපෑම අවම කිරීමටත් වගුරු භූමි විශාල දායකත්වයක් සපයනු ලබයි.
මේ තරම් අතිශය පාරිසරික වැදගත්කමක් ඇති වගුරු භූමි ගොඩකර දමා නිවාස ගොඩනැගිලි හෝ අධිවේගී මාර්ග, වෙනත් මාර්ග සකස් කිරීමට මිනිසා කටයුතු කර තිබේ.
මේ නිසා අනාගතයේ දවසක මේ රටේ දරුවන්ට වගුරු භූමියක් පෙන්වීමට සිදුවුවහොත් එය සිදුකිරීමට සිදුවන්නේ ඡායාරූපයකින් හෝ චිත්රයකින් වගුරු භූමි රූප රාමුවක් පෙන්වීමෙනි.
මීට අමතරව නියඟයට ගංවතුරට ඔරොත්තු දිය හැකි ගංගා 103ක් අප රටට උරුම වී තිබේ.
මෙම ගංගා නිදහසේ ගලාගෙන යාම නිසා නියඟයක් ගංවතුරක් ගැන මේ රටේ මිනිසුන්ට අතීතයේදී සිතීමටවත් අවශ්‍ය නොවූයේය.
එහෙත් වර්තමානයේදී මෙම ගංගා 103 තුළම කුමන හෝ මිනිස් ක්‍රියාකාරකමක් සිදුවී තිබේ. මේ නිසා ගංගා 103 තුළම කුමන හෝ විනාශයක් සිදුව ඇත. මේ නිසා ගංගා හරහා ජලය නිදහසේ මුහුදට ගලාගෙන යාමක් සිදුවන්නේ නැත. මේ හේතුවෙන් කුමන හෝ ප්‍රදේශයක දින දෙකක් තුනක් වර්ෂාවක් නොලැබුණොත් එය නියඟයක් තරමට දරුණු වන කටයුත්තකි.
එක දිගට පැය හතරක් පහක් වර්ෂාපතනයක් ඇති වුවහොත් සිදුවන්නෙ ගංවතුරකි. එසේ නොමැතිනම් නායයෑමකි.
එහෙත් ගංඟා ඇළ දොළ නිදහසේ මහා මුහුදට ගලාගෙන යාමක් සිදුවුනාම මෙම ගැටලු දෙකටම විසඳුම් ලැබෙනු ඇත.
මධ්‍යම කඳුකරය යනු පරිසර සංවේදීතාවයෙන් ඉහළම අගයක් ගන්නා ස්ථාන වේ. මේ නිසා පෙර රජ දවසේ සිට මෙම පරිසර කලාප ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාව වැව් බැඳි රාජ්‍යයක් වුවත් මධ්‍ය කඳුකරයට ලබාදී තිබූ ආරක්ෂාව නිසා පෙර රජ දවසේදීවත් මධ්‍ය කඳුකරයේදී කිසිදු වැවක් ජලාශයක් හෝ වෙනත් සංවර්ධන කටයුත්තක් සිදු නොකළේය. එහෙත් දියුණු යැයි සම්මත නූතන පරපුර විසින් මධ්‍යම කඳුකරය ඉවක් බවක් නොමැතිව විනාශ කරමින් සිටිති.
මේ නිසා මධ්‍යම කඳුකරයේ වනාන්තර වැස්ම විනාශ වී ගොස් සමස්ත මධ්‍යම කඳුකරය නිරුවත් භූමියක් බවට පත්ව තිබෙනු දැකගත හැකිය. මේ හේතුව නිසා ඉහළ වර්ෂා තත්ත්වයන් ඍජුවම කඳු මුදුන්වලට ඇදහැළෙන්නට විය. මේ හරහා පාංශු ඛාදනය සිදුවන අතර, එම තත්ත්වය මත ගස් වැල් පෙරළීම කඳුනාය යෑම නිරතුරුවම සිදුවන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.
සිදුවන මෙම ක්‍රියාවලිය හරහා කවදා හෝ දවසක කඳු පන්ති නාය යෑමකට ලක්ව මෙම රට ලොකු විනාශයක් සිදුවිය හැකි බවට 1970 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ අභාවප්‍රාප්ත රෝහණ විජේවීර මහතා විසින් පෙන්වාදී තිබේ. 1970 දශකයේදී රෝහණ විජේවීර මහතා පෙන්වාදුන් දේ අද වනවිට යථාර්ථයක් බවට පත්ව ඇත.
මධ්‍ය කඳුකරයේ වනාන්තර වැස්ම ඉවත් කර ඇති කළ තේ, රබර් වගාවන් තුලින් ලැබුණ ප්රතිලාභ නිසා එදා සිටි පාලකයන් පවා රෝහණ විජේවීර මහතා පෙන්වා දුන් අනතුර ගැන තැකීමක් නොකරන්නට ඇත.
මේ නිසා අද දවසේ සිදුවන විනාශය සැලකිල්ලට ගෙන හෝ මධ්‍යම කඳුකරය ආරක්ෂා කරගැනීමට දැන්වත් රට තුළ වැඩපිළිවෙළක් සකස්විය යුතුය.
මීට අමතරව රට වටා ඉදිකරමින් තිබෙන අධිවේගී මාර්ග පද්ධති පවා මේ වනවිට රටට විපත් ගෙන එන කාරණායක් බවට පත්ව තිබේ.
යල් පැනගිය තාක්ෂණයක් හරහා සිදුවන අධිවේගී මාර්ග ඉදිකිරීමේ ක්‍රියාවලිය නිසා භූමිය දෙකඩවීම සුලබව සිදුවන කාරණයකි. මේ නිසා ඉහළ කොටසේ ජලය පහළට නිදහසේ ගලාගෙන යාමක් සිදුනොවන තත්ත්වයකට පත්ව තිබේ.
උදාහරණයක් ලෙස ගතහොත් කටුනායක සිට මාතර දක්වා අධිවේගී මාර්ගය නිසා එම සමස්ත භූමියම දෙකඩ වී ඇත. මේ නිසා පහත් බිම්වලින් මුහුදට ජලය බැස යාමක් සිදුවන්නේ නැත. එහෙත් අධිවේගී මාර්ගයේ කොටසින් කොටස කොන්ක්‍රීට් කණුමත ඉදිකරනු ලැබුවේනම් ජලය බැසයාම සාමාන්‍ය පරිදි සිදුවන අතර මේ නිසා කිසිදු ස්ථානයක වැසි ජලය රැඳීමක් හෝ ගංගා පිටාර ගැලූ ජලයක් රැඳී තිබීමක් සිදුවන්නේ නැත.
මේ නිසා ගංවතුර, නියඟය අද වනවිට අපට බොහෝ පාඩම් කියාදී තිබේ. එම පාඩම්වලින් ඉදිරියේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට ආදර්ශ ගත හැකි නම් අනාගතයේදී අපට බොහෝ විනාශයක් වළක්වා ගත හැකි වනු ඇත.
එහෙත් ගංවතුර, ගංවතුර ලෙසත්, නියඟය, නියඟය ලෙසත් දැකීමෙන් පමණක් සෑහීමකට පත්වුවහොත් හෙට දවසේදී අපට මීට වඩා විපත්වලට මුහුණ දීමට සිදුවනු ඇත.
මේ නිසා මේ රටේ පාලකයන් මුලින්ම සිදුකළ යුතු ක්‍රියාව වන්නේ මධ්‍යම කඳුකරයට සිදුකරන විනාශය මුලින්ම නවතා දැමීමයි. මධ්‍යම කඳුකරයේ වගාවන්වලට යොදනා අධික රසායනික ද්‍රව්‍ය නිසා අදාළ භූමිවල පස මළ පසක් ලෙස හඳුනාගෙන තිබේ.
එයට හේතුවී තිබෙන්නේ යොදන අධික රසායනික නිසා එම භූමිවල ක්ෂුද්‍ර ජීවි විනාශ වී තිබෙන බවට තොරතුරු අනාවරණය වේ. මේ නිසාම එම ප්‍රදේශවල පස සම්පූර්ණයෙන්ම බුරුල් වීමකට ලක්ව තිබෙන බව පරිසරවේදීහු පෙන්වා දෙති.
වගුරු භූමි ගංවතුර පාලනයට නියඟයට මහා දායකත්වයක් ලබාදෙන නිසා වගුර බිම් ගොඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කර, ගොඩකර දමා ඇති වගුරු භූමි සියල්ලම නැවත යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගත යුතුය. වගුරු භූමි විනාශ කළ නොහැකි බවට රට තුළ නීතියක් තිබුණද දේශපාලන ගැත්තන් හා හිතවතුන් දේශපාලඥයෝ පසුගිය කාලය පුරාම මෙම නීතියට පයින් ගසා කටයුතු කළහ. නීතියට පයින් ගැසීම කොතරම් ද යත් අතිශය පාරිසරික වටිනාකමක් ඇති මුතුරාජවෙල වගුරු භූමිය පවා කසළ ගොඩකර දැමීමට මෙරට දේශපාලන හිතවත්කම් ඇති ව්‍යාපාරිකයෙකු කටයුතු කරයි.
පරිසරය රැක ගැනීමට රටේ ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශය තම යටතට ගත්තද ජනාධිපති මන්දිරයේ සිට කිලෝමීටර් 10ත් 15ත් දුරකින් පිහිටි මුතුරාජවෙල තෙත්බිම ගොඩකර දමනවා නම් හම්බන්තොට, මොනරාගල ප්‍රදේශවල පිහිටි වගුරු භූමිවල සිදුවන විනාශය ගැන කතා කරන්නවත් දෙයක් නොමැත.
මේ නිසා කල්ගතවී හෝ මෙවැනි වැරදි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පරිසර අමාත්‍යවරයා ලෙසත් රටේ ජනාධිපති ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් හා යුතුකමක් වන්නේය.
ජලය බැස යන මාර්ග අවහිර කර නිවාස ගොඩනැගිලි හා විවිධ ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව නීතිය, නීතියක් ලෙසම ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොමැතිව දුප්පතාට එක් නීතියකුත් දේශපාලඥයන්ට බලපුළුවන්කාරයන්ට තව නීතියකුත් වශයෙන් නීතිය නැවීමට ගියහොත් එම වැඩපිළිවෙළවල් ගඟට කැපූ ඉනි මෙන් වනු ඇත.