Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා
මහනුවර යුගයේ පහළ වූ රජවරුන්ට නැකැත්කරුවන් සහ නැකැත් උපදේශකවරුන්ද සිටි බව පැවසේ. දෙවැනි රාජසිංහ රජු ගන්නෝරුව සටන ජය ගැනීමට සටන් පෙරමුණට ඉදිරි පියවර තබා ඇත්තේ නැකැත්කරු දුන් %පුසේ^ නැකැතින් බවත්, ඒ අනුව රජු සටන දිනා දුන් රත්නතිලක විදානදුරයාට සන්නසකින් ගම්වර දුන් බවත් සඳහන්ය. කන්ද උඩරට රාජධානියේ 1635 -1687 දක්වා කාලය තුළ වසර 50ක් රජ කරන ලද දෙවැනි රාජසිංහ රජු දුටුගැමුණු, පැරකුම්බා වැනි ශ්‍රේෂ්ඨ රජුන් ගණයට වැටෙන රණ ශූරයෙකි. 1638දී පෘතුගීසි 'දියෝගෝ ද ෙම්ලෝ' ආණ්ඩුකාරවරයා විසින් සිංහල රජුට විරුද්ධව උඩරට බලා මෙහෙයවන ලද 28,700ක යුද හමුදාවක් සමග 1638 මාර්තු 28 වැනිදා ගන්නෝරුවේදී බිහිසුණු සංග්‍රාමයක් ඇතිවිය.
මෙම සටනේදී දෙවැනි රාජසිංහ රජුගේ සිංහල සේනාව ප්‍රතිකාලුන් අභිභවා ඔවුන් සුනුවිසිනු කර, සටන ජයගෙන ඉතිරි වූ ප්‍රතිකාලුන් තිස්දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත. දෙවැනි රාජසිංහ රජු ගන්නෝරු සටන ආරම්භ කර ඇත්තේ නැකැතකින් බව කියැවේ. සටන ජයග්‍රහණය කළ පසු රජතුමා විසින් එම නැකැත සාදා දුන් මුතුගල් පෙඩිගේ රත්නතිලක විදානදුරයාට සන්නසකින් ගම්වර ලබාදී තිබේ.
මුතුගල් පෙඩිගේ පරම්පරාවෙන් පැවැත ආ එම සන්නස අවසානයේ එම පරපුරේම යකැදුරෙකුට හිමිව ඇත. නිකන් තිබෙන සන්නසින් වැඩක් ගැනීමට කල්පනා කළ ඔහු දිනක් එම සන්නස උණු කරවා බණ්ඩි වළලු සෑදීමට සූදානම් වී තිබේ. ඒ බව දුටු ඔහුගේ භාර්යාව වළලු සෑදීමට වෙන දේවල් තිබියදී පරම්පරාවෙන් එන එම සන්නස උණු කරන්නට හොඳ නැතැයි පවසමින් හරස් කැපීම නිසා එය අටුව තුළට දමා තබන ලදැයි පැවසේ. එදා එම ස්ත්‍රිය හරස් නොවන්නට එම සන්නස ආරක්ෂා නොවේ. එලෙස ආරක්ෂා වූ සන්නස අටුවා තුළ දමා තිබෙන අතරතුර පැරණි ඉතිහාසය ආදියේ වටිනාකම දන්නා වේදමහතෙකු විසින් එය මිලදී ගෙන තිබේ. ඔහු සන්නසේ කරුණු පිටපත් කර මුතුගල් පෙඩිගේ කිපදෙනෙකු අතර ලබා දුන්නද, සන්නසට වූ දෙයක් මෙතෙක් සොයා ගැනීමට නොහැකිව ඇත.
එම සන්නසේ &සිංහල දේශය රාජසිංහ රජ ශකවර්ෂ එක්දහස් පන්සීය පනස්අටය මැදින් දින පුර තියවක රිවි දින පුසේ නැකත ගන්නෝරුවේ සටනට රජ පෙරමුණට ආධාර කළ හෙයින් සටන ජය ගත්තා හා ආධාර කළ අය මුතුගල් පෙඩිගේ රත්නතිලක විදානදුරයාට හිමිකර දෙන නියම්ගම පිහිටි රට ආරගොඩ දෙවා වදාරන ලදී. ඔහුගෙන් පැවැත එන මේ ගම වාසගම ඇති අයට ඉරහඳ ඇති තාක්කල් අණකරවා ඒ අම පිල්ලෑ කනත්තේ වෙල්යායේ ගලෙත් සටහන් කරන ලදී.
රාජසිංහ අණ ඉරහඳ පවතිනා තුරා බැබළීමට මුතුගල් පෙඩිගේ රත්නතිලක විදානදුරයාගේ පෙළපොත සකවර්ෂ එක්වාදහස් පන්සිය පනස් අටවැනි වර්ෂයට පැමිණි මැදින්පුර තියවක ලත් රිවි දින පුසේ නැකැතින් ගන්නෝරුවේ සටනට රාජසිංහ රජතුමන් වැඩිය දින මුතුගල් පෙඩිගේ රත්නතිලක විදානදුරයා කළ මුල් ආධාරයෙන් සටන ජයගත් සේක. එම සටනට මුල් ආධාර වූ රත්නතිලක මුතුගල් පෙඩිගේ විධාන දුරයාට රාජසිංහ රජ කරුණා කර දෙවා වදාරන නින්දගම නම් පිහිටි රට උඩපොළ ඔතට කෝරලයේ ආරගොඩ එකී ගම සන්නස කොට දෙවා වදාරා එම ගමට ඔහු අතුහම් කැඩූ මායිම් නම්, නැගෙනහිරට වල්ගම යන ගමද, බස්නාවට පොල්පිටියද, පිළිවෙළින් මොරහැල කන්දෙන් වැල්ලැවද, එයින් බටුගොඩ මායිමද, උතුරට හතර කෝරලයට අයිති ගං මායිමද, දකුණට ගොඩිගමුව යන ගමද මෙහි තුළ වැදීගමට දකුණු කොණ පිල්ලෑ කනත්තේ ගල්පොත්තේ කිරිබත් කැටය, කෙක්ක රාජසිංහ රජතුමාගේ රාජ පලිස, බජ්ජන් ඇල්ල, විදානදුරයාට රජුගෙන් ලැබුණු හත්පොට මුතුමාලය අන්දම එම ගලේ විජේන්ද්‍ර යන ගල්වඩුවා විසින් සටහන් කර රත්නතිලක විදානදුරයාට බාර දෙන ලදී. ඉරහඳ ලකුණද සලකුණු කරන ලදී.
මේ ඉරහඳ පවත්නා දෙයකට ඔහුගෙන් පවතිනා අයට වලංගු වන ලෙසටද, අන් කිසිකෙනෙකුට වලංගු නැති ලෙසටද, මෙම ගම වාසගම යම් රජකාලයකදී කොයි රජ කෙනෙකුටවත්, එහි අණකදීවත් සැලකර සිටියහොත් උන් ඉල්ලන තනතුරක් දී උන් කී කරුණු ඉෂ්ට කර දෙන ලෙසටද, මේ පියසෙන් කිසිම දෙයක් හින්න කර දෙන්නට බැරි ලෙසටද, යම් රජ පෙරමුණකට හෝ රාජ සභාවට යෑමට ගජලත් තොප්පියක්ද, කෝප්ප හැට්ටයක්ද, මේ වැර වේවැලක්ද, හත්පොට මුතුමාලයක් පැලඳීමට අණද, ඔවුන් හට දළදා මාලිගය වැඳීමට යන සෑම ගමනට ඇතින්නක් පිටින් සහ කැමැති වාහනයකින් පෙරට කොඩි, කඩු, කස හතර හතර සහ පංච ගීතයෙන් යෑමට අණද, අහරගොඩ ගම වාසගම වීමට එකී දුරයා පෙළපොතින් අණ නැතිව විසීම බැරි බවද, උන්ට වලංගු නැති අය එම පියසේ අකටයුතු කළහොත් තද අච්චු දෙන ලෙසටද රාජසිංහ රජතුමා විසින් රාජ සභාවේදී ඉහත කී විධානදුරයාට කියවා සන්නස් කර දෙවා වදාරන ලදී* යැයි සඳහන්ය.
දෙවැනි රාජසිංහ රජු නැකැත්කරුට දුන් ගම්වරය සොයා යා යුතුය. රඹුක්කන සහ පොල්ගහවෙල අතර මෙම ගම්පියස පිහිටා ඇත. අහරගොඩ හන්දියෙන් මුතුගල වලව්ව පසුකර කිලෝමීටර් දෙකක් පමණ දුරක් ගෙවා ගොස් බැලූ පසු ගම්මුන්ගෙන් ලද තොරතුරු මත මුතුගල් පෙඩිගේ රත්නතිලක විදානදුරයාගේ හත්වැනි පරම්පරාව වූ මුතුගල් පෙඩිගේ සිරිසේන ශාන්තිකර්ම වේදමහතාගේ නිවස සොයා ගැනීමට හැකිවිය. ඔහුගෙන් ප්‍රකාශ වූ තොරතුරු සහ ඔහුගේ දියණිය ප්‍රකාශ කළ ආකාරයට සන්නසේ ගම්වරය වූ මුතුගල පිළිබඳ දැකීමේ නොතිත් ආශාව සපල වෙන බව තේරුම් ගැනීමෙන් සතුටට පත්වූයේ ගවේෂණයේ ප්‍රතිඵල ලැබෙන බව දැනුණු බැවිනි.
සිරිසේන වේදමහතා නැකැත් ශාස්ත්‍රය අනුව නිවාස ඉදිකිරීමට බහිරව පූජා තැබීම, ශාන්ති කර්ම, දරුපල නොමැති කාන්තාවන්ට යහපත් ශාන්ති කර්ම සිදුකරයි. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් ප්‍රධාන තැනක් ගන්නා බවත්, ඔහු සොයා මුස්ලිම් කාන්තාවන් විශාල වශයෙන් පැමිණෙන බවත් පැවසේ. මේ වන විට ඔහු වයෝවෘද්ධව සිටින බැවින් ශාන්තිකර්ම නොකරන බව කියා සිටි ඇයගේ දියණිය, තමන් කුඩා කල පියා සමග මුතුගලට ගොස් ඇති බවත්, මුතුගල අසල කුඹුරක්ද තිබූ බවත් පැවසීය.
සිරිසේන වේදමහතා පවසා සිටියේ මෙවැන්නකි.
&අනේ මහත්තයෝ අපේ අයගේ මුතුන් මිත්තන්ගේ නොන්ජල් නිවට බවෙන් ප්‍රයෝජනය ගත් එදා ප්‍රභූන් අපට දුන් ගම්වර දේපොළ කොල්ලකා මුතුගල අසල තිබූ කුඹුරත් ළඟම ඇති වලව්වට මාරු කරවා ගත්තා. අපේම ජාතිය අපට වළ කපනවා. ජාතියක් වශයෙන් දණින් වැටී ජීවත් වෙන්න බැරි බව දැනගත් මුතුන් මිත්තන් රජුට පක්ෂපාතීව කටයුතු කළා. එම නිසා තමයි ගන්නෝරු සටනට ජයග්‍රාහී නැකැත හදලා දීලා පරංගි සමූල ඝාතන කර ජයග්‍රහණය කළේ.*
මුතුගල බලන්න යන්නේ කෙසේ දැයි අප ඇසූ විට ඔහුගේ දියණිය පවසා සිටියේ, &පහළ කුඹුරුයාය දිගේ යා යුතුයි. මේ වන විට මාර්ගය කැලෑ වැදිලා. කැත්තක්වත් අරගෙන තමයි යන්න වෙන්නෙ. ඒත් අද නම් බෑ. තාත්තා ළඟ කවුරුහරි තියලා, මගේ මහත්තයත් නිවාඩු දිනක යමු* යනුවෙනි. පසුදිනක නැවත ආරගොඩ යෑමට සිදු විය. ඒ අනුව සූදානම් කර අපි ගමන ඇරඹුවෙමු. කැලෑ නියරවල් දිගේ ආරගොඩ පිල්ලෑ කනත්ත කුඹුරුයායේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය පසු දර්ශනීය කුඹුරුයාය මැද උස් වූ කුඩා ගල්තලාවක් මත අඩි හතක්, අටක් තරම් වූ උස් වූ මොරගසේ ගෙඩි පිරී ඉඳී තිබෙනු දැක තමන්ට කුඩා කල මතක් වූ බවත්, ඒ කාලයේද එම ගසේ මොරඉඳි කඩාගත් බවත් ඇය පැවසුවාය.
ගල්තලාවේ සෑම තැනකම ඇවිදිමින් ඇය කුඩා කල දුටු සලකුණු සෙව්වද, නෙතට කඳුළක් එකතු කරමින් පෙන්වා සිටියේ සලකුණු තිබූ සෑම තැනකම ගල් පුපුරුවා ඇති බවයි. හත්පොට මුතුමාලය, ඉරහඳ, රජුගේ සැරයටිය, රජුගේ ලාංඡනය වූ කිරිබත් කැටය කිසිත් නැත. රාජකීය ලාංඡන දැක ගැනීමේ අසාවෙන් ආරහගොඩ මුතුගල සොයා ගියද, එය සදහටම මකා දමා ඇත.
සිරිසේන වේදමහතාගේ දියණිය වූ ලීලා රාජපක්ෂ නියරවල් දිගේ කනගාටුවෙන් ආ පසු ගම්පියසට පැමිණ වැඩිහිටි අයෙකුට පවසා සිටියේ, &අනේ මාමේ අපි මුතුගලට ගියා. ඒකෙ තිබූ සලකුණු වෙඩි දමා මකා තිබෙනවා* යනුවෙනි.
එහිදී එම වැඩිහිටි පුද්ගලයා පවසා සිටියේ, දැනට වසරකට පමණ පෙර අධික වර්ෂා කාලයේ කුඹුරුයාය ජලයෙන් පිරුණු අවස්ථාවේ චීවරධාරියෙකු සහ පිරිසක් පැමිණ නිධන් සොයා මුතුගල ගලට වෙඩි දැමූ බවත්ය.
ඒ අවස්ථාවේ නන්දාවතී මහත්මිය ප්‍රකාශ කර සිටියේ, &බලන්නකෝ මහත්තයෝ මහත්තයා නිසයි මමත් මේ ගමන යන්න ආවේ. නැත්නම් මටත් ගාණක් නැහැ. මට ඔය ගල්තලාව හොඳට හුරුයි, පුරුදුයි. ඒත් එවැනි දෙයක් සිදුවෙලා කියලා හිතුවේ නෑ. පුදුම මිනිස්සු ඉන්නේ* කියාය. ඇය කනගාටුවෙන් සැමියා සමග නිවස බලා පිටත් වූයේ ඔවුන්ගේ ගම්වර නොමැතිවත්, එවැනි ඉතිහාසගත සටහන්ද මකා ඇති බවත් නෙතින් දුටු ශෝකයෙනි.
ගන්නෝරු සටනේ ප්‍රධානත්වය නැකැතට හිමිකර දෙමින් ගන්නෝරු සටනේදී දෙවැනි රාජසිංහ රජු සමග පෙරමුණ ගමන්ගත් වීර සෙම්පතියෙකු ගැන සඳහන් වන පරම්පරාවක්ද පවතී. බ්‍රිතාන්‍ය පාලන සමයේදී මහනුවර දිස්ත්‍රික් උසාවි දිසා විනිසුරු ලෙස ක්‍රියා කළ ඒ.සී. ලොරි මහතා විසින් රචිත ප්‍රකට 'Gazetter the proveree of celon' යන කෘතියෙන් දුනිවිල පරපුරේ ආරම්භක සාමාජිකයා ලෙස දුනුවිල හින්නි කෝරලේ දිසාව දක්වයි. ඔහු කන්ද උඩරට රජ කළ දෙවැනි රාජසිංහ රජ සමයේ ගන්නෝරු සටනේදී ඉදිරියෙන් ගමන් කළ වීර සෙන්පතියෙකු ලෙස දක්වා ඇත.
%මහ හටන^ කෘතියෙහි දුනුවිල ඒකනායක අප්පුහාමි පිළිබඳ පැහැදිලි කර ඇත. ඒ අනුව ඔහු රූපශ්‍රීයෙන් පිරිපුන් කඩවසම් පුද්ගලයෙකි. එසේම ඔහු කුරිරු වූ යුදට වැද අලංකාරවත් වූ තම අසිපත ගෙන සුර වූ ගුරුලෙකු විසින් නාග සේනාවක් ගොදුරු කරගන්න ස්වභාවයෙන් සටන් කළ අකාරය එම කෘතියේ කාව්‍ය මගින් හුවා දක්වා ඇත. ගන්නෝරු සටනේ එම දුනුවිල සෙන්පතිගේ පරම්පරාවේ හත්වැනි පරපුර අද සෙංකඩගලපුර ජීවත් වන අතර, එදා එම දුනුවිල පරම්පරාවේ විශාල දුනුවිල වලව්ව අද මහනුවර නගර සභා ප්‍රධාන කාර්යාලයට පරිත්‍යාග කර ඇත්තේ වර්ෂ 1871 දී එම පරපුර විසින්ය.
දුනුවිල පරපුර ගැන, අම්දරම් පුවත පුස්කොළ පොතෙහි සටහන් වෙන ආකාරයට ගන්නොරුව සටනින් සතුරන් පරාජය කර බැවින් දෙවැනි රාජසිංහ රජු විසින් 'ඒකනායක' යන නාමය ප්රදානය කළ බවත්, රජුගේ මහාධිකාරම් ධුරය දැරූ මෙතැන් පටන් දුනුවිල පරපුර, 'දුනුවිල රාජ කරුණාදාර ඒකනායක ධර්මකීර්ති මුදියන්සේ^ යන නම් පටබැඳී පරපුර පැවැත එයි.
ගන්නෝරු සටන සිදුව ඇත්තේ බණ්ඩාර තැන්න නමින් පැවැත ඇති තැනිතලා භූමිභාගයේ 'කිරිවන් තලාව'නම් කඳුගැටයේදීය. පෘතුගීසීන් නැවතී ඇත්තේ එම ස්ථානයේය. පෘතුගීසි හමුදාව කන්ද උඩරට රාජ්‍යයට පහර දීමට පැමිණෙන විට රජු උපායමාර්ගයෙන් පසු බැස ඇත. පෘතුගීසි සතුරු හමුදාව මහනුවරට පහසුවෙන් ඇතුළු වී නුවරට ගිනි තබා තවදුරටත් එහි නැවැතී සිටීම නුවණට හුරු නොවන බව දැනගත්ද, මේලෝ ගන්නෝරුව, කිරිවන් තලාව නම් භූමියේ ලැගුම් ගෙන ඇත. එදින රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවෙන් පෘතුගීසි වෙඩිබෙහෙත් දියබත් විය.
පසුබැස සිටින රජු සහ රජුගේ බිසෝවරු ගන්නොරුව අසල දිවිදොස් කන්දේ ඇති ගල් කුළුවලින් වට වූ ගුහාවක ආරක්ෂාවට රැඳී සිට ඇති අතර, එම ස්ථානය වැදීපොළ හෙවත් වැඩිපොළ වශයෙන් හඳුන්වයි. රජු දැක ඇත්තේ කිරිවන් තලාවේ ලපයක් වැනි ස්ථානයකි. එය පෘතුගීසීන් වෙඩිබෙහෙත් වේළන බව තීරණය කර රජු ඔවුන් සමූල ඝාතනය කර දැමීමේ ලෙහෙසිම උපාය බව වටහාගෙන දහවල් කාලයේ ගිනි රස්නයේ වේළී යන වෙඩිබෙහෙත් ස්ථානය වෙත කරුන්කා ගෙඩියක් ගිනි අවුළුවා ඊතලයේ රඳවා දුනු ඊය ඇද ඇත. වෙඩිබෙහෙත් ගිනි ඇවිළී එයින් සතුරෝ දැඩි ලෙස අසරණ වූහ. ඉන් ප්‍රයෝජන ගත් රජු සිංහල හමුදාව 16,000ක් සමන්විතව ගන්නෝරු සටන ජයග්‍රණය කර තිබේ.
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd