අපේ රට පුංචි රටක් වුණත් මේ රට තුළ සංචාරය කරන්නෙකුට නම් මේ රටේ ලස්සන සුන්දර වූ තැන් බලන්න කොච්චර නම් තියෙනවද? ඒකාකාරී ජීවිතයෙන් මිදිලා අලුත්ම අත්දැකීමක් විඳගන්න වෙනස් වූ පරිසරයකට යන්න අපි හැමෝම කැමතියි. ඉතින් එවැනි වෙනස් වූ අත්දැකීමක් ලබාගන්න යන්න හිතාගෙන ඉන්න කෙනෙකුට හෝ කණ්ඩායමකට ඒ ගමනට නරඹන්න යන්න එකතු කරගත යුතු හොඳම ස්ථානයක් ගැන කියන්න යන්නයි අද අපේ මේ සූදානම.
අම්බලන්තොට නගරයට ආසන්නයේ පිහිටි නෝනාගම හන්දියේ සිට ඇඹිලිපිටිය පාරේ කිලෝමීටර් 16ක් පමණ ගොස් බරවකුඹුක හන්දියෙන් හැරී ලියන්ගස්තොට පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගිය විට ජුලංගැටේ ග්‍රාම නිලධාරී වසම තුළදී මේ කියන සුන්දර වූ ස්ථානය ඔබට දැක බලාගන්න හැකියාව ලැබෙනවා.
සමනල කඳු මුදුනින් ආරම්භ වී කෙත්වතු දහස් ගණනක් සරුසාර කරමින් අම්බලන්තොට ගොඩවායෙන් මහ මුහුද සිප ගන්නා වළවේ ගං කොමළිය හරස් කරමින්, ලියන්ගස්තොට ගම්මානයේදී වේල්ලක් බැඳ ඉදිකර ඇති මේ සුන්දර ස්ථානයේ තමයි ලියන්ගස්තොට අමුණ පිහිටා තිබෙන්නේ.
මේ අමුණ ළඟට ගියාම අපිට දැනෙන්නේ අපූරු චමත්කාරයක්. සුදෝ සුදු පාටට පෙණ බුබුළු නංවමින් ගලා හැලෙන සුනීල දිය දහරාවන්. ඒ අතරින් හමා එන සීත සුළං රැළිවල දැවටීගෙන එන පෙණ පිඬු ගත සිත වෙළා ගන්නේ අමුතු මිහිරියාවකින්. ඒ විතරක් නොවෙයි, අමුණේ ඉවුර දිගේ ගිහින් පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා තුරු වඳුල යටට ගියාම ගතට දැනෙන සිසිලස කියලා නිම කරන්න බැහැ. අනෙක් පැත්තෙන් වතුර පාරට සේදී ගිය විශාල ගස්වල මුල් පෑදිලා තියෙනවා. ඒවා එකින් එක එකට යා වෙලා ලස්සන රටා මවන වියමනක් වෙලා.
1849දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් නිර්මාණය කර ඇති මේ ලියන්ගස්තොට අමුණ ලියන්ගස්තොට ගම්මානයට පමණක් නොවෙයි අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම මිනිසා විසින් නිර්මාණය කර දායාද කළ විස්මිත නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. වළව දකුණු ඉවුර හා වම් ඉවුර පෝෂණයට උරදෙන ලියන්ගස්තොට අමුණ අද වන විට ප්‍රදේශයේ දේශීය කෘෂි ආර්ථිකය නගාසිටුවීමට පණ පොවන ජීව උපතක් වෙලා තියෙනවා.
මේ ලියන්ගස්තොට අමුණ හැදිච්ච හැටි ගැනත් ජන වහරේ අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. ඒ අවට ගම්වාසීන් පවසන අන්දමට මෙම අමුණ ගොඩනගන වාරයක් වාරයක් පාසාම කඩා වැටීමට ලක්වීම නිසා මේ අමුණේ වැඩ නිම කරගන්න බැරි වෙලා තියෙනවා. ඊට විසඳුමක් ලෙස ඉංග්‍රීසි ජාතිකයා බිල්ලක් දීමට කටයුතු කරන ලද බවත්, එහිදී එහි අසල බුලත් විට විකුණමින් සිටි මහලු මිනිසකුට කතාකොට වළ පෙන්වා මගේ මුද්ද වළට වැටුණා, එය අරන් දෙන්න යැයි පවසා වළට බැසීමට යන විට ඉංග්‍රීසි ජාතිකයා විසින් මහලු මිනිසා වළට තල්ලු කර පස් දමා තද කරන ලද බවත් පැවසෙනවා. ඉන්පසු අමුණ කඩන් නොවැටී දිගටම වැඩ අවසන් වනතුරුම කරගෙන යෑමට හැකි වූ බවයි ගම්වාසීන් පවසන්නේ.
මෙය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගෙන 1889 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර, ලියන්ගස්තොට අමුණේ වම් ඉවුර සහ දකුණු ඉවුර යනු කොටස් දෙකකට බෙදී පවතිනවා. අමුණෙහි දිග අඩි 240ක් වේ. විවර දහ අටක් වන අතර, අමුණෙහි වැලි කාණු හතරක් හා පාලන විවර දෙකක් තිබෙනවා.
දකුණු ඉවුරේ පිවිසුම් ඇළහි දිග කිලෝමීටර් 7.5ක්. සොරොව් හතරකින් යුත් මෙම අමුණෙන් දකුණු ප්‍රදේශයේ වගා කරන බිම් ප්‍රමාණය අක්කර 8000ක් පමණ වන අතර, වම් ඉවුර ප්‍රදේශයේ වගා කරන බිම් ප්‍රමාණය අක්කර 8500ක් පමණ වෙනවා.
මිනිසා විසින් ස්වභාව ධර්මයට දායාද කළ විස්මිත නිර්මාණයක් වන මෙය නෙත් සිත් ඇද බැඳගන්නා පාරිසරික වටපිටාවක පිහිටා තිබෙනවා. ශුෂ්ක දේශගුණික පරිසරයක් තුළ දක්නට ලැබෙන විශේෂිත පාරිසරික සාධක හා ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික ලක්ෂණවලින් සමන්විතයි.
ගම්කොහොඹ, කුඹුක්, අට්ටිකා, ලියන් වැනි ශාක විවිධත්වයකින් බහුල මෙම ප්‍රදේශයේ වතරතු මල්කොහා, අළුගිරවා වැනි ආවේණික කුරුල්ලන් හා සියක්කාරයා, දියකාවා, අලිකොකා හා විවිධ ජලජ පක්ෂි විශේෂ කිහිපයක් ජීවත් වන අතර, වවුලන්ගේද නිජභූමියකි. එමෙන්ම රිළවා මහා කළු වඳුරා සුලභව දක්නට ලැබෙන අතර, ගංගාව ආශ්‍රිතව ගැටකිඹුලාද දැක ගැනීමටත් හැකියාව තියෙනවා.
දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳගන්නා ලියන්ගස්තොට අමුණ හෙළදිව වාරි තාක්ෂණයේ දියුණුව කියාපාන්නක්. විශේෂයෙන්ම අධ්‍යාපනික වශයෙන් පාසල් දුවා දරුවන්ට නැරඹීමට වැදගත් සුවිශේෂී ඓතිහාසික වටිනාකම්වලින් සමන්විත වූ ස්ථානයක් වන අතර, ඔබත් පුංචි විවේකයක් ලද මොහොතක මේ සුන්දර වූ ස්ථානයට ගොස් එහි අපූර්වත්වය විඳගැනීමට අවස්ථාවක් කර ගන්නවා නම් ඔබේ ජීවිතයට චමත්කාර අත්දැකීමක් එකතු කරගන්නට පුළුවන්කම තියෙනවා. දැනට හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මගින් මෙහි පාලන කටයුතු සිදු කරගෙන යනු ලැබෙනවා.
චාරිකා සටහන හා සේයා රූ - හම්බන්තොට රෝහණ ආරියරත්න
(විශේෂ ස්තුතිය - තොරතුරු සපයා දුන් හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්.එල්.එන්. බුද්ධික මහතාට)