දකුණු ඇමෙරිකානු අන්තයේ පිහිටි ඩ්‍රේක් සහ මැගලන් සමුද්‍ර සන්ධිය හරහා වැටී තිබූ අනතුරුදායක, කල්ගත වන, දුෂ්කර සහ අතිශය වෙහෙසකර නාවික ප්‍රවාහන මාර්ගය බැහැර කරමින් සුරක්ෂිත සහ කෙටි සමුද්‍ර මාර්ගයක් නිර්මාණය කළ ලොව දැවැන්තම හා අතිදුෂ්කර ඉංජිනේරු ව්‍යාපෘතියක් ලෙස 'පැනමා ඇළ' ව්‍යාපෘතිය සැලකේ.
මේ සටහන පැනමා ඇළ ජාත්‍යන්තර වෙළෙඳාමට සහ ලෝක ආර්ථිකයට ලබාදෙන සේවාව පිළිබඳවය.
පැනමා ඇෙළහි ඉතිහාසය ගත් විට මෙය ඉදිකිරීම සඳහා පළමු පියවර තබන ලද්දේ ප්‍රංශය විසිනි. ඒ 1881 ජනවාරි පළමු වැනිදාය. නමුත් අවාසනාවකට මෙම ඉදිකිරීම් කටයුතු සිදුවූයේ කැලෑබද ප්‍රදේශවල හේතුවෙන් කම්කරුවන්ට මදුරුවන්ගෙන් සහ විෂකුරු සතුන්ගෙන් පීඩාවන් එල්ල වූ අතර, එම කාලය තුළ මැලේරියා වසංගතය සහ කහඋණ රෝගය කම්කරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් කම්කරුවන් විසිදෙදහසක් පමණ මියගියහ.
ඒ හේතුවෙන් 1889 වසරේදී පැනමා ඇළ ඉදිකිරීම් අතරමග නතර කරන ලද්දේ ඩොලර් මිලියන 287ක වියදමකින් අනතුරුවය.
අතරමග නැවතුණු පැනමා ඇළෙහි ඉදිකිරීම් නැවතත් ආරම්භ කිරීමට මුල පිරුවේ ඇමෙරිකානු ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට්ය. ජනාධිපතිවරයා 1904 වසරේදී ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස ජෝන් වොලස් පත්කළ අතර, ඔහුගේ මූලිකත්වයෙන් 1914 අගෝස්තු මස පහළොස් වැනිදා පැනමා ඇළේ ඉදිකිරීම් අවසන් කෙරුණේ ඩොලර් මිලියන 375ක පිරිවැයකින් අනතුරුවය.
මෙම ඉදිකිරීම් අතරතුරදී සේවයේ නිරතව සිටි කම්කරුවන් වසංගතයෙන් මියගිය අයගේ අවතාර දුටු බව පාලනාධිකාරිට දන්වා ඇති බවද කියැවේ. වර්ෂ 1930 දී පැනමා ඇළට ජලය සපයා ගැනීමේ ගැටලුවක් මතු වූ බැවින් 'ගැටුන්' විලට ඉහළින් පිහිටි චාග්රස් ගඟ හරස් කර වේල්ලක් බැඳීමට පැනමා ඇළ ඉංජිනේරුවෝ කටයුතු කළහ.
ඒ අනුව 1935 වසරේදී මෙම වේල්ලේ ඉදිකිරීම් නිමකර අවශ්‍ය ජලය සපයා ගැනීමට හැකිවිය. වර්ෂ 1974 දී ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර් එවකට පැනමාවේ ජනාධිපති ඕමාර් ටොරිජස් සමග ඇතිකර ගත් ගිවිසුමක් මගින් එතෙක් ඇමෙරිකාව සතු වූ පැනමා ඇළ අයිතිය පැනමා ඇළ අධිකාරියට පවරන ලදී. අද වනවිටත් පැනමා ඇළෙහි අයිතිය දරන්නේ පැනමා ඇළ අධිකාරියයි.
පැනමා ඇෙළහි විශේෂත්වය පිළිබඳ අවධානය යොමුකරන විට මෙහි තිබෙන ප්‍රධානතම අංගයක් වන්නේ කෘත්‍රීම ලෙස නිර්මාණය කරන ලද ගැටුන් විල සහ නැව් එසවීම සඳහා දිය අගුල් නිර්මාණය කර තිබීමය. ඒ අනුව මුහුදු මට්ටමේ සිට මීටර් 26 (අඩි 85) උසින් පිහිටි මෙම තටාකයට නැව ඔසවනු ලැබේ.
එය සිදුකිරීමට යොදා ගනුයේ පෙර සඳහන් කළ ජල අගුල්ය. මෙම දිය අගුල් මීටර් 33.5 (අඩි 110)ක් පළලට නිර්මාණය කර ඇත. නැවක් දිය අගුල මතට පැමිණි පසු එයට මුහුදු ජලය පුරවා ඊට ඉහළින් පිහිටි දිය අගුල මතට නැව ක්‍රමයෙන් ඔසවා තැබේ.
එය මදක් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර, ඉංජිනේරු තාක්ෂණයේ විශිෂ්ටත්වය පෙන්වන තවත් නිර්මාණයකි. පැනමා ඇළේ මේ ආකාරයෙන් දිය අගුල් තුනක් නැව් එසවීම සහ පහත් කිරීම සඳහා යොදා ගන්නා අතර පළලින් වැඩි 'panama' නැව් සඳහා නව දිය අගුලක් 2016 මැයි මාසයේදී නිර්මාණය කර තිබේ.
පැනමා ඇළ පුළුල් කිරීමේ නව ව්‍යාපෘතිය මගින් 2016 ජුනි මස 26 වැනිදා එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කෙරිණි.
පැනමා ඇළ පිළිබඳ කතා කිරීමේදී කෘත්‍රිමව නිර්මාණය කරන ලද ගැටූන් විල එහි ප්‍රධාන තැනක් ගනී. චාග්රස් ගඟ හරස් කර කෘත්‍රිමව නිර්මාණය කළ මෙම ගැටූන් විල පැනමා ඇළේ ගමන් කරන නාවික යාත්‍රා සඳහා ජලය සැපයීමේ කාර්යභාරය ඉටුකරනු ලබයි.
වර්ග සැතපුම් 470ක පමණ වපසරියකින් යුතු ගැටූන් විල මිනිසා විසින් මෙතෙක් නිර්මාණය කළ ලොව විශාලතම විල ලෙස තවමත් සලකනු ලැබේ. පෙර සඳහන් කළ පරිදි පැනමා ඇළ ප්‍රධාන වශයෙන් දිය අගුල් තුනකින් සමන්විත වන අතර, එහි ප්‍රමාණය අනුව පැනමා ඇළ තරණය කරන නැවේ ප්‍රමාණයද තීරණය කෙරේ.
එම නිසා දිය අගුලේ ප්‍රමාණයට ගැළපෙන පරිදි නැව් තැනීම ආරම්භ කළ අතර, තරණය කළ හැකි නෞකාවක උපරිම ප්‍රමාණය අනුව 'panamax' නමින් නැව් නම් කෙරිණි. එම නැව් මගින් ගෙනයා හැකි ධාරිතාව ටොන් 65000 සිට ටොන් 80000 පමණ දක්වා වේ.
මුල් කාලයේදී මෙම අගුල්වල පළල මීටර් 28.5ක් පමණ වුවත් පසුකාලීනව ඒවායේ පළල මීටර් 36ක් දක්වා වැඩිකර එහි බිත්තියක ඝනකම මීටර් තුනක් වන සේ නිර්මාණය කර උස මීටර් 24ක් දක්වා වැඩි කරන ලදී.
සූවස් ඇළේ ප්‍රතිලාභවලට වඩා පැනමා ඇළෙන් සැලසෙන ප්රතිලාභ විශාල පරාසයකට විහිදේ. ඒ අනුව පැනමා ඇළ පුළුල් කිරීම හේතුවෙන් ප්‍රමාණයෙන් හා ධාරිතාවෙන් වැඩි නෞකා පැනමා ඇළ භාවිත කිරීමට යොමුවූ නිසා එහිදී භාණ්ඩ ප්‍රවාහනයට අදාළ මෙහෙයුම් කටයුතු තවත් පුළුල් වීම හේතුකර ගෙන රැකියා අවස්ථා රාශියක් බිහිවිය.
ඔහියෝ ප්‍රාන්තය ඩොලර් මිලියන 65කට වැඩි ආයෝජනයක් හරහා භාණ්ඩ මෙහෙයුම් පර්යන්තයක් ඉදිකරන ලදී. එමගින් ඔහියෝ ගංගාව ඔස්සේ ප්‍රවාහනය කරන බහාලුම් ට්‍රක්වලට පටවා ඒවා අදාළ ස්ථාන වෙත ප්‍රවාහනය කරන අතර, ඒ ඔස්සේ නව රැකියා අවස්ථා විසිදහසක් පමණ 2038 වර්ෂය වනවිට බිහිවන බව ඇස්තමේන්තු කර තිබේ.
එමෙන්ම බොස්ටන් වරාය තවදුරටත් සංවර්ධනය කිරීම මගින් ධාරිතාවෙන් ඉහළ නැව්වලට සේවා සැපයීම සිදුකළ හැකි අතර, එමගින් ඩොලර් බිලියන 04ක පමණ ආදායමක් හිමිවේ. ඒ ඔස්සේ වක්‍ර රැකියා අවස්ථා 10000කට අධික ප්‍රමාණයක් බිහිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පැනමා ඇළ තවදුරටත් පුළුල් කිරීමට අවධානය යොමුවීමත් සමග මියාමි, සැවානා, බෝල්ටිබෝ සහ චාල්ස්ටන් යන වරායවලද සංවර්ධනය කර විශාල නැව්වලට ඉඩකඩ සලසා පහසුකම් සැපයීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර, එහි පළමු අදියර මේ වනවිට අවසන් වෙමින් පවතී.
කොලොම්බියාවෙන් චීනයට අපනයනය කරන ගල්අඟුරු ඉතා පහසුවෙන් පැනමා ඇළ හරහා ප්‍රවාහනය කළ හැකි අතර, දැනට ප්‍රවාහනය කරන ගල්අඟුරු ප්‍රමාණය තවත් වසර අටක් තුළ ටොන් මිලියන දෙසීයකින් වැඩි කිරීමට අපේක්ෂිතය. තවද මධ්‍යම ඇමෙරිකාවෙන් අපනයනය කරනු ලබන විවිධ නිෂ්පාදන ඉතා පහසුවෙන් ආසියාතික රටවල් කරා රැගෙන යෑමට මෙමගින් හැකියාව ලැබී තිබේ.
පැනමා ඇළ භාවිත කිරීම සඳහා වන ගාස්තු සූවස් ඇළේ මෙන්ම නැවේ වර්ගය ප්‍රමාණය හා රැගෙන යන භාණ්ඩ වර්ගය යන කරුණු අනුව පැනමා ඇළ අධිකාරිය විසින් තීරණය කරනු ලබයි. බහාලුම් නැව් සඳහා 2016 අප්‍රේල් මස සිට අඩි 20 බහලුමක් සඳහා ඩොලර් 74ක් අය කරන අතර එක් බහලුම් නෞකාවකට එක වරකදී ගෙන යා හැකි උපරිම බහාලුම් ප්‍රමාණය 4400TEU (Twenty Equivalent Unit)ක් පමණ වෙයි.
අනෙකුත් නැව් සඳහා ඒවායේ භාණ්ඩ ධාරිතාව අනුව ගාස්තු අය කරන අතර, එය ටොන් එකක් ඩොලර් 5.25 බැගින් පළමු ටොන් 10000 සඳහා ද, ඊළඟ ටොන් 10000 සඳහා ඩොලර් 14 බැගින්ද වෙයි. කුඩා නැව් සඳහා ඒවායේ දිග ප්‍රමාණය අනුව ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර තිබේ.
Panama canal authorityහි දත්ත වාර්තා ඇසුරෙනි
විශේෂ ස්තුතිය - රොහාන් ඩයස් මහතා