ලංකාවේ හමුවූ පළමු විශාලතම සිතියම පිටපත් කරයි. ඒ අනුව වසර 5000-6000 අතර මේ සිතියම පරගහමඩිත්ත, පින්නගල කන්ද ත්‍රිමාණ ආකාර සිතියමක් ලෙස පෙන්වයි. මේ ඒපිළිබදව කියැවෙන විස්තරයකි.
බලංගොඩ පරගහමඩිත්ත පින්නගල බාදාහේන ගල්ලෙනෙන් හමුවූ වසර හයදාහක් පැරණි ආදි පරිණත මානවයන් විසින් නිර්මාණය කරන ලද සිතියම ඇන්ද බවත්, ඒ අනුව පින්නගල කන්ද නිරූපණය කරන ත්‍රිමාණ ආකාර සිතියමක් මෙයින් නිරූපණය කරන බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පසුගියදා කළ විමසුමකදී පැවසීය.
මෙහි නිල්පාටින් සලකුණු කර ඇත්තේ ප්‍රදේශයේ අවට හඳුනාගත් ජනාවාස බවත්, රතුපාටින් ලකුණු කර ඇත්තේ හඳුනාගත් ගල්ගුහා බවත් ඒ මහතා පැවසීය.
පින්නගල කන්ද හා අවට විශාල ගල්පර්වත, දිය පහරවල් සතුන් සොයා ගිය ස්ථාන, ස්ථාන යා කරන අඩි පාරවල්, ඝන වනාන්තර මෙයින් නිරූපණය කෙරන බවත් මහාචාර්යවරයා පැවසීය.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා,
''අපි මේ වෙලාවේ බලංගොඩ, වැලිගෙපල, පරගහමඩිත්ත, පින්නගල, බාධාහේන ගල්ගුහාවේ තිත් සටහන් සහිත සිතියමක් සොයා ගත්තා.
අපට මෙවැනි අත්දැකීමක් පුරාවිද්‍යා කැණීම්වලින් ලැබුණේ නැහැ. අප ලෝක සාහිත්‍යයට ගිහිල්ලා පුරාවිද්‍යාව සම්බන්ධයෙන්, මානව විද්‍යාව සම්බන්ධයෙන්, ප්රජානන පුරාවිද්‍යා සම්බන්ධයෙන් සාහිත්‍යය විමර්ශන කර බැලුවා.
ඒ අනුව අපට මේ ගලේ තිබෙන තිත් සටහන්, මේ ගල්ගුහා භාවිත කරපු ඓතිහාසික ගල් යුගයේ මිනිසුන්ගේ කිසියම් භූගෝලීය අවකාශයන් නිරූපණය කිරීම සඳහා ගත් උත්සාහයන්ට මෙවැනි දේවල් සම්බන්ධ බවත් තවත් මත ලෝකයේ තිබෙනවා.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ඇබෝර්ජියන්වරුන්ගේ මේ වගේ සටහන් වර්ෂ 1936 දී අතිවිශාල වාර්තාගත කිරීමක් කරලා තියෙනවා. ඒක දැනට දකුණු ඔස්ට්‍රේලියාවේ කෞතුකාගාරයක වෙළුම් දක්නට තිබෙනවා.
මේ සියුම් දේවල් අධ්‍යයනය කරනකොට ලෝකයේ සිටින මේ සම්බන්ධ මානව විද්‍යාඥයන් විශේෂයෙන් ප්රජානන පුරාවිද්‍යාඥයන් කල්පනා කරන දේ තමයි මේ වගේ දේවල් තුළින් අදහස් කිහිපයක් මතු කරගන්න පුළුවන්කම තිබෙනවා යන්න. එකක් යම්කිසි යාතුකර්මයක්, ආගමික මුහුණුවරක් තිබෙනවා.
අනෙක් පැත්තෙන් තමන්ගේ යැපීම් ක්‍රමය සම්බන්ධව වනසතුන් දඩයම් කිරීම යම්කිසි ජීවන අත්දැකීම් නිරූපණය කරන සටහන් ලෝකයේ නොයෙක් තැන්වල තියෙනවා. ඒ අතර තවත් දෙයක් තමයි තමන් ප්‍රතික්‍රියා කරන භූ දර්ශනය භූගෝලීය අවකාශය විමර්ශනය කිරීම සඳහා මේ වගේ සටහන් තියෙනවා.
අප මේ තුන් ආකාරයටම පින්නගල බාදාහේන ගල්ලෙනේ තියෙන සටහන ආදේශ කරන්න මහන්සි ගත්තා. අවසානයේ තිත් සටහන්වල ප්‍රමාණය, විශේෂතා, මතුපිට තිබෙන විෂ්කම්භය වෙනස්කම්, ගැඹුරේ තිබෙන වෙනස්කම්, ඒවා ගලේ ව්‍යාප්ත වී තිබෙන රටාවන් අධ්‍යයනය කරනකොට අපට පේනවා නියත වශයෙන්ම අවට භූමි දර්ශනය තුළ ඒගොල්ලෝ නිරීක්ෂණය කරපු, ඒගොල්ලෝ අත්දැකපු භූගෝලීය අත්දැකීමක් තිබෙන බව.
එනම් ගල් මෙවලම්වලට සම්පත් සොයාගෙන වනසතුන් පස්සේ එළවපු, දිය පහරවල් සොයාගත්තු භූමි දර්ශනය තමයි මේ තිත් සටහන් තුළින් පෙනෙන්නේ. ඒක ගැන සිතන්න පොළඹවන සාක්ෂි මේ ගල්ලෙනේ තිබෙනවා. අප මේ ගල්ලෙනේ දිග ගණනය කළා. මීටර් 51ක් මේ ගල්ගුහාව දිගයි.
ඒ අනුව මේ පළාතේ තිබෙන විශාලම ගල්ගුහාව ප්‍රපාතාකාර බෑවුමක ඉතා හොඳින් භූමි දර්ශනය කෙරෙන අංශක 1800ක සිතිජය පෙනෙන ගල්ගුහාවක්. මේ ගල්ලෙන ගුප්ත පූජනීය අර්ථයකින් සලකන්න ඇතැයි අප සලකනවා. මේ අය මේ වගේ නිරූපණය කරන්න හැම ගල්ගුහාවක්ම තෝරගෙන නැහැ. ඒ අය යම්කිසි ගුප්ත හැඟීමක් නිරූපණය කරන්න උත්සාහගෙන තියෙනවා.
කර්මයකට සම්බන්ධ නැහැ කියන එක අපට කියන්න පුළුවන්. මොකද මේ ගල්ලෙන විවෘත අවකාශයක තිබෙන්නේ. විශේෂයෙන්ම යාතුකර්ම කටයුතු සඳහා මේ ගල්ලෙන යොදාගන්නේ නැහැ. එයට හේතුව තමයි මේ බාදාහේන ගල්ලෙන එළිය වැටෙන වටපිටාවක තිබෙන්නේ. ඒ නිසා යාතුකර්ම සඳහා මේ ගල්ලෙන යොදාගෙන නැහැ.
අපි දන්නවා ලැස්ටෝ ගුහාව, අල්ටමීරා ගුහාව වැනි ලෝකයේ ප්‍රකට ප්රාග් ඓතිහාසික යුගයේ සිතුවම් තියෙන ගල්ගුහාවල ඒ සඳහා අවකාශය කළමනාකරණය කරලා තියෙනවා කියන එක. මේකෙ ඉතාමත් වැදගත් කාරණේ තමයි තිත් සහිත හමුවුණු සටහන සිතියමක් කියලා උපකල්පනය කරලා අපි ඒක විමර්ශනය කරලා මේ සිතියම ඇන්දා.
බාදාහේන ගල්ගුහාව ගැන සිතන්න පුළුවන් තිත් සටහන් කරලා තියෙනවා. බාදාහේන ගල්ගුහාවේ හැඩ නිරූපණය කරලා මේකෙ ලකුණු කරලා තියෙනවා. මේක අපි පරීක්ෂණයට ලක් කරලා තියෙනවා.
එය යම් දුරකට සනාථ කරන්න පුළුවන් ශක්තියක් අපට ලැබිලා තියෙනවා. මේ ප්‍රදේශයේ තිබුණු ප්රාග් ඓතිහාසික යුගයට අයත් ගල්ගුහා යම්කිසි විෂ්කම්භයකින්, නිශ්චිත විෂ්කම්භයකින්, සමාන විෂ්කම්භයකින් ලකුණු කරලා තියෙනවා.
ඒ වගේම ගිම්හාන කාලයට, පායන කාලයට විවෘත කඳවුරුවල සිටියේ, ඒ කඳවුරුවල ව්‍යාප්තිය කොහොමද තිබුණේ කියන එක මේකෙ සටහන් කරලා තියෙනවා. එමෙන්ම කුඩා කුඩා දිය පහරවල්, ස්ථාන දෙකක් යා කරන අඩි පාරවල් මේ සිතියමේ තියෙනවා. ඒවා අප පිටපත් කළා. මෙය ඊසාන දෙසට යොමුවෙලා තියෙන්නේ.
ඉර පායන්නේ නැගෙනහිරෙන් විය හැකි නිසා ඊසාන දෙසින් මේ ගල පිහිටලා තියෙනවා. මේ සටහන් ඔස්සේ අනුමාන කරන අප පසුගිය සතිය තුළ මේ ප්‍රදේශයේ අවකාශය භූමි දර්ශනය සමීක්ෂණයට භාජනය කළා. ඒකෙ තිබෙන විශේෂත්වය තමයි ඒ සිතියම තිබෙන දිශාව. සිතියමේ කඳු බෑවුම්වල තියෙන ලක්ෂණ අප පාදක කරගෙන සමීක්ෂණයක් පළාතේ ආරම්භ කළා.
මේ සතියේ අපට මගපෙන්වීමක් කළා මේ ප්‍රදේශයේ විවෘත ස්ථාන. ගිම්හාන කාලයේ ස්ථාන 12ක් පමණ අනාවරණය කරගෙන තිබෙනවා. මේ සිතියම ත්‍රිමාණ ප්රකාශනයක්.
මේ තිත් සටහන් ඉදිරිපත් කරලා තිබෙන ගල අප යෝජනා කරනවා පින්නගල කන්ද කියන එක. එය ත්‍රිමාණ ලෙස ඉදිරිපත් කරලා තිබෙනවා. එපමණක් නොවේ අවට තිබෙන කඳු, ඒ අසල තිබෙන පිහිටි ගල් පවා මේ සටහන් තුළින් නිරූපණය කර තිබෙනවා.
මේ ගලේ එක පැත්තක ලොකු කානුවක් වගේ පැල්මක් තිබුණා. ඒක මහා ගලෙන් කොටසක් අයින් කරල හදපු පැල්මක්. මේක මොකක්ද කියල බැලුවාම අපට පෙනුණා මේ ගල තල්ලු කරලා වෙනත් පැත්තකට දාලා තියන්න තිබුණා කියන එක.
නමුත් එහෙම කරල නැහැ. මොකද මේ කන්ද එහා පැත්තේ තිබෙන විශාල දිය පහරක් මේ විදියට පාර සොයා ගන්න මේ තුළින් උත්සාහ අරගෙන තියෙනවා. මේ තුළින් අපට පැහැදිලියි මේ අය සාකච්ඡා කිරීම්, සැලසුම් කිරීම් හොඳින් කරලා තියෙනවා කියන එක.
බෙහෝ අය අහනවා මේක කොච්චර පරණද කියලා. තවම අපි කාල නිර්ණය කළේ නැහැ. නමුත් අපි ඒක දන්නෙ නැහැ කියන්න කැමති නැහැ. මෙහි මතුපිට තිබෙන ප්රාග් ඓතිහාසික යුගයේ ගල් මෙවලම් සෑදීමට ගත් මිටි, මිටි සෑදීමට ගත් තිරුවානා ගල් අපට ලැබුණා.
මේ ප්‍රදේශයේ අපි පුරා වසර හතරක් පර්යේෂණය කරගෙන ගියා. ඉලුක්කුඹුර, පනානා, ලූණුගල්ගේ, පනානේ බන්දුගල්ගේ ඒ වගේම මැද්දේකන්ද අළුගල්ගේ අප කැණීම් සිදුකළා. අප කාබන් දින නිර්ණවලට යොමු කරලා තියෙනවා. මේ අවට ගල්ගුහාවල දින නිර්ණ ලැබිලා තියෙනවා.
ඒ අනුව වසර පන්දාහක් හයදාහක් අතර කාලය තුළ මිනිසුන් ජනාවාස කරගෙන තිබෙන ගල්ගුහාවලින් ලැබුණු පුරාවස්තු සමානතාවන් සංසන්දනය කරලා බැලුවාම අපට කියන්න පුළුවන් මේ ගලේ නිර්මාණය කරලා තිබෙන තිත් සටහන් සිතියම වසර පන්දාහක් හයදාහක් අතර සිතියමක් කියන එක'' යැයි මහාචාර්යවරයා පැවසීය.
බලංගොඩ රෝහණ වසන්ත