මිහිරි කුරුලු කූජනය දසතින් ඇසෙන, තුරුලතාවන්ගෙන් පිරීගිය සිසිල් පරිසරයක අසිරිය විඳගැනීමට හා ඒකාකාරී ජීවන රටාවට මද අස්වැසිල්ලක් ලබාගැනීමට කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට හැකියාව ලැබෙන්නේ කලාතුරකිනි.
බොහෝ විට එවැනි අත්දැකීමක් ලැබීමට නම් කොළඹින් පිට දුරබැහැර ප්‍රදේශයක් වෙතම යා යුතුය. එබැවින් වර්තමානයේ පවතින කාර්යබහුලත්වය සමග එවැනි අත්දැකීමක් විඳගැනීම ඔවුන්ට යම් සිහිනයක් බවට පත්ව තිබිණි.
2016 වසරේදී ජනතා අයිතියට පත්වූ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ අගනගරයේ පිහිටි 'බැද්දගාන තෙත්බිම් උද්‍යානය' නාගරික ජනතාවගේ එම සිහිනය සැබෑවක් බවට පත්කර තිබේ. පසුගිය රජය විසින් 2014 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබූ අතර, එහි වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් කර 2016 වසරේ ජුනි 15 වැනිදා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
හෙක්ටයාර 18ක භූමි ප්‍රමාණයකින් යුතු ස්වාභාවික තෙත්බිම් පරිසරයක ඉදිකළ මෙම උද්‍යානයේ වැඩකටයුතු සහ එහි සැලසුම් නිර්මාණය කරන ලද්දේ නාගරික සංවර්ධන අධිකාරිය මගිනි. වනජීවී දෙපාර්තමේන්තුව විසින් 1984 ගැසට් නිවේදනයක් මගින් මෙම භූමිය, අභය භූමියක් ලෙස නම් කරන ලද අතර, භූමියේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරී තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරන ලද පරීක්ෂණයට අනුව මෙම භූමියෙන් ශාක විශේෂ 100ක්, පක්ෂීන් විශේෂ 80ක්, සමනලුන් විශේෂ 50ක්, බත්කූරන් විශේෂ 35ක්, මත්ස්‍ය විශේෂ 20ක්, ක්ෂීරපායී විශේෂ 10ක් සහ උභයජීවීන් විශේෂ 05ක් හඳුනාගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයාගෙන ඇත්තේ 'ලෝක බැංකු සහන ණය ආධාර' ක්‍රමය මගිනි. මෙම උද්‍යානයේ ඇති සුවිශේෂීතාවන්ට අවධානය යොමු කිරීමේදී කරුණු කිහිපයක්ම පවතී.
කොළඹ ආශ්‍රිතව වැඩිම විදෙස් සංචාරක පක්ෂීන් ප්‍රමාණයක් දැකගත හැකි භූමියක් ලෙස මෙය සැලකේ. දේශීය පක්ෂීන් විශාල ප්‍රමාණයක්ද මෙහි දක්නට ලැබේ. මෙම උද්‍යානය නිර්මාණය කිරීමේ ප්‍රධානතම අරමුණ වී ඇත්තෙ තෙත්බිම් ගොඩ කිරීම හේතුවෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමය. මෙහි ජෛව විවිධත්වයද අධිකය. මෙහි ඉදිකිරීමේ කටයුතු සඳහා කිසිදු ආකාරයකින් යන්ත්‍රෝපකරණ භාවිත කිරීමක් සිදුකර නොමැති වීමද විශේෂත්වයකි.
ඉදිකිරීම් කටයුතු සියල්ලටම පාරිසරික හානි අවම කර ගැනීමට මිනිස් ශ්‍රමය පමණක් භාවිත කර තිබේ. මෙම උද්‍යානයට ඇතුළු වීම සඳහා දේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් 100ක්ද, දේශීය ළමයෙකුගෙන් රුපියල් 50ක්ද, විදේශීය වැඩිහිටියෙකුගෙන් රුපියල් 1,000ක්ද, විදේශීය ළමයෙකුගෙන් රුපියල් 500ක්ද වශයෙන් අයකෙරේ.
මෙම උද්‍යානයට පැය 24 පුරා ආරක්ෂාව යොදවා තිබේ. අධ්‍යාපන චාරිකා සඳහා පැමිණෙන පාසල් සිසුන්ගෙන් මුදල් අය නොකෙරේ. එමෙන්ම මංගල ඡායාරූප ලබාගැනීම සඳහාද මෙම උද්‍යානය විවෘතය. පොලිතීන්, ප්ලාස්ටික්, ආහාර මෙම උද්‍යානය තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. දැනට නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම භූමියට අවටින් තවත් තෙත්බිම් 11ක් හඳුනා ගෙන තිබෙන අතර, ඒවා ආශ්‍රිතවද මෙවැනි උද්‍යාන නිර්මාණය කිරීමට නියමිතය.
තෙත්බිම් ගොඩකර සිදුකරන ඉදිකිරීම් හේතුවෙන් සිදුවන පාරිසරික හානිය වැළැක්වීම මෙහි තවත් අරමුණකි. නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව හා කොළඹ විශ්වවිද්‍යාලය ආදී ආයතන රැසකින් සමන්විත කමිටුවක් මගින් මෙම උද්‍යානය සම්බන්ධ තීන්දු තීරණ ගැනීම සිදුකෙරේ.
පාසල් පරිසර නියමු කමිටු සහ එම දරුවන් සඳහා මසකට දෙවරක් මෙහි ප්‍රා‘‘යෝගික පුහුණු වැඩසටහන් හා අධ්‍යාපන වැඩසටහන් පැවැත්වේ.
'බැද්දගාන තෙත්බිම් උද්‍යානය' තුළ දැකගත හැකි දේශීය සත්ත්ව විශේෂ බොහොමයකි.
දේශීය පක්ෂීන්
හීන් තඹ සේරුවා, දම් මැදි කිතලා, පුංචි ගෙඩි තුරුවා
කොක්කු වර්ග
කහමැටි කොකා, රෑ කණ කොකා, පළා කොකා, අළු කොකා, කරවැල් කොකා, ගෙරි කොකා, පුංචි අනු කොකා, සුදු මැදි කොකා, සුදු මහ කොකා, පුංචි දියකාවා, මහදියකාවා, අහිකාවා
උකුසු වර්ග
බමුණු පියාකුස්සා, කොරවක්කන් වර්ග, ලය සුදු කොරවක්කා, පොදු ගැලිනුවා, යටිමල් කිරලා
මේ ආදී ලෙස දේශීය පක්ෂීන් වර්ග රැසක් දැකගත හැකි අතර, විදෙස් සංචාරක පක්ෂී විශේෂ බොහොමයක්ද නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා මෙහි දැකගැනීමට හැකියාව තිබේ. මෙහි සිටින ක්ෂීරපායී විශේෂ ලෙස හඳුන් දිවියා, දියබල්ලා සහ මුගටියන් සැලකෙන අතර, විවිධ වර්ගවල සර්පයන්, කිඹුලන්, කබරයන්, තලගොයන් සහ ඉබ්බන්ද දැකගත හැකිවේ.
ඡායාරූප - සරසි නෙත්මිනි