මැයි පළමු වැනිදා අප කාගේත් මතකයට නැගෙන්නේ එය වැඩකරන ජනතාවගේ දිනයක් බවටය. 1886දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර සිදුවූ සිදුවීමත් සමග ලොව බොහෝ රටවල් කම්කරු දිනය සමරයි. 1922දී ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි රැලියට රතු මිශ්‍ර ඇඳුමකින් සැරසී මිනිසුන් සහභාගි වූ අතර, එය අද වනවිට කොතෙක් දුරට පරිණාමය වීද, ලාංකේය ධනේෂ්වරවාදය මෙන්ම සමාජවාදය නියෝජනය කරන පක්ෂද එක්ව තම දේශපාලන දෘෂ්ටීන් ප්‍රදර්ශනය කරන වෛවර්ණික මැයි රැලියක් කර හමාරය.
අද පවතින මැයි රැලියේ සැබෑ අරුත සහ දෘශ්‍යමාන වන දෑ පිළිබඳ පසු විපරමක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති, මහාචාර්ය මයුර සමරකෝන් මහතා සම්බන්ධ කර ගත්තෙමු.
මැයි දිනය ලෝක කම්කරු දිනය ලෙස නම් කර තිබුණත්, ශ්‍රී ලංකාවේ එය කිසිවිටකත් කම්කරුවාගේ දිනයක් බවට පත් නොවේ. මෙය සම්පූර්ණ වශයෙන් අද දකින්නට ලැබෙන්නේ දේශපාලඥයන්ට තම බලය ප්‍රදර්ශනය කිරීමට හැකි එක් සුවිශේෂි දිනයක් ලෙසටයි. නමුත් ඊටත් වඩා කරුණක් වනුවේ ධනවාදී ක්‍රමය තුළ තිබෙන පක්ෂ මෙන්ම සමාජවාදී යැයි පවසන පක්ෂත් කම්කරු දිනය මහා ඉහළින් සැමරීමයි.
නූතනයේ පැවැත්වෙන මැයි දින වේදිකාවල කම්කරුවා ගැන ප්‍රකාශ කළත්, කිසිම කෙනෙකු මේ වනවිට ඔවුන්ගේ අරමුණු ඉටුකිරීමට ඉදිරිපත් වී නැහැ.
වෙනත් රටවල කම්කරුවාට ඔවුන්ට හිමි අයිතිවාසිකම් සහ වරප්රසාදයන් තිබෙනවා. තමාගේ නිවාඩු කාලය සිය පවුලත් සමග විනෝදයෙන්, සතුටින් ගතකිරීම සඳහා විදේශ සංචාරයක පවා යෙදීමේ හැකියාව උදාවී තිබෙනවා.
නමුත් අපේ රටේ නගර සභාවක වැඩකරන කම්කරුවෙකුට හෝ මාර්ගයේ වැඩකරන කම්කරුවෙකුට තම ළමුන් සමග විදෙස්ගත වීමට තබා අවම වශයෙන් මුදල් වියදම් කර විනෝද වීමටවත් අවස්ථාවක් උදා නොවේ. ක්‍රියාවට නංවන සංවර්ධන ක්‍රියාදාමයන්වල අතිරික්ත වුවහොත් එයද අප රට තුළ කම්කරුවාගේ නොව දේශපාලනඥයන්ගේ සුඛ විහරණය උදෙසා භාවිත කරනවා.
මේ දිනවල උෂ්ණත්වය අධික කාලගුණික තත්ත්වයක් පවතින අතර, අධික හිරු රශ්මිය තුළ කම්කරුවා බෙහෙවින් පීඩාවිඳිනවා. නමුත් සියලුම නිල නිවාසයන් වායු සමීකරණය කර ඇති දේශපාලන මැති ඇමතිවරු වේදිකාවට ඇවිත් වැඩකරන කම්කරුවා ගැන නොයෙක් කතා පැවැත්වීම ඉතාම හාස්‍යජනක කාරණයක්.
කම්කරු දිනය වුවත් අද එය රාජ්‍ය අංශයට පමණක් නිවාඩු ලැබෙන එක් දිනයක් බවට පත්ව තිබෙනවා. පෞද්ගලික අංශයේ සිටින කම්කරුවන්, සුපිරි වෙළෙඳසැල්වල සේවය කරන සේවක සේවිකාවන් සුපුරුදු ලෙස මැයි දිනයේ වුවත් සිය රාජකාරි කටයුතු ඒ අයුරින්ම සිදුකරනවා.
නගර සභාවල සේවයේ නියුතු සුළු සේවකයන්, විශේෂයෙන් පිරිසුදු කිරීමේ කාර්යයේ නියුතුවූවන් කම්කරු දිනය කියා තම සේවයට වාර්තා නොකර සිටින්නේ නැහැ. ඔවුන්ගේ වැඩ කම්කරු දිනයේ පැවැති උත්සව, රැස්වීම්, පෙළපාළිවලින් තවත් දෙගුණ තෙගුණ වීම නම් නිසැකයෙන්ම සිදුවන්නක්. මැයි පළමු වැනිදා කොළඹට, නුවරට පැමිණි සියලු අයගේ කුණු සියල්ල පවිත්‍ර කිරීමටද සිදුවන්නේ ඔවුන්ටයි. නූතනයේ කම්කරුවා කම්කරුවාගේ දිනය තුළ පීඩාවට පත්වීම ප්‍රබල ගැටලුවක්.
දේශපාලඥයන්ගේ මිනිස් බලය ප්‍රදර්ශනය කිරීම සඳහා මැයි රැලිවලට බස් රථ යොදාගැනීම නිසා එදිනට දිවයිනේ සියලු ප්‍රජාවට ප්‍රවාහන අපහසුතා ඇතිවී තිබෙනවා. කම්කරු දිනය කියන්නේ අද එක්තරා අයුරකින් රටට විනයක්.
එම නිසා අප මෙය ප්‍රධාන දෘෂ්ටීන් දෙකක් යටතේ බැලිය යුතුයි. එක් අතකින් කම්කරුවා සැබෑ ලෙසම තම කාර්යය ඉෂ්ට කරන්නේද යන්නත්, අප විශේෂ අවධානයට ලක්කළ යුතුයි.
කම්කරුවා එක් අතකින් රාජ්‍ය සේවකයෙක් ලෙස ගත්විට ලංකාවේ තමන් ලබන වැටුපට සරිලන සේවයක් ඉටු නොවීම රාජ්‍ය සේවයේද වැඩි වශයෙන් දැකගත හැකි තත්ත්වයක්. ඇතැම් අය අපේක්ෂා කරන්නෙ තමන්ගේ නිවාඩු දිනයන් කලට වේලාවටෙ ලබාගැනීමට, තමාගේ අතිකාල දීමනා තවත් වැඩිකර ගැනීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳවයි. තවමත් අප රට තුළ වැඩකරන සමාජයක් ගොඩනැගී නැහැ. එවැනි සමාජයක් ගොඩනගා ගැනීමටද ලාංකේය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ අවශ්‍යතාවක්ද නැහැ.
අද රාජ්‍ය සේවයට බඳවා ගන්නා සේවකයන් දේශපාලඥයන්ගේ අවශ්‍යතා මත බඳවා ගන්නත්, එයින් සැබැ දක්ෂයන්ට අවස්ථාව අවම කිරීමක්, දේශපාලන බලය යටතේ එකී සේවකයන් වැජඹෙනවා මිස වැඩ කරන සමාජයක් එයින් ගොඩනැගෙන්නෙ නැහැ. සමස්ත ජනතාවගෙන්ම 40%ක ප්‍රතිශතයක් රාජ්‍ය සේවය පිළිබඳ බොහෝ අසතුටෙන් සිටීම මෙහි ප්‍රධාන ප්රතිවිපාකයයි.
මෙවැනි වැඩ නොකරන ප්‍රජාවක් සිටින රටක් තුළ ඉදිකිරීම් හා මහා මාර්ග කටයුතු විදෙස් ණය සහ සහනාධාර ඔස්සේ සිදුකළත් ඉන් කිසි ඵලක් සිදුවෙන්නෙ නැහැ. මේ පිළිබඳ විවෘත සංවාදයක් ඇරඹිය යුතුයි. තවමත් කිසිදු වේදිකාවක ඒ පිළිබඳ සාකච්ඡා කිරීම දක්නට ලැබෙන්නෙ නැහැ. සෑම කෙනෙක්ම ව්‍යාජව තමයි අද කම්කරු දිනය සමරන්නෙ.
දේශපාලඥයන්ගේ ක්‍රියාකලාපය නිසා අද දිනයේ කම්කරු දිනය විහිළුවක් බවට පත්ව තිබෙනවා. මෙය කෙතරම් බරපතළද යන්න පසුගිය දිනවල පැවැති මාධ්‍ය සාකච්ඡාවලින් මැනවින් පැහැදිලි වෙනවා. ඔවුන් එදිනට කම්කරුවා වෙනුවෙන් කළ යුතු ප්රගතිශීලී එක් වැඩක් පිළිබඳව ප්‍රකාශ කර නැහැ. එය මෙදින මැයි දින වේදිකාව තුළද ඒ ආකාරයෙන්ම දැකගැනීමට හැකිවුණා.
ඉදිරි අනාගතයේදීද කම්කරු දිනය මෙලෙසටම සමරාවි. එය දේශපාලඥයන්ට විනා වැඩකරන කම්කරුවාට කිසිදු විශේෂත්වයක් නැහැ. ඒ නිසා තවදුරටත් මෙම මැයි දිනය කම්කරු දිනය ලෙස සැමරිය යුතු දිනයක් බවට පත්විය යුතු නැහැ. එය ජාතික වශයෙන් අවලංගු කර ඒ දවසත් වැඩකරන දවසක් බවට පත්කරන්නේ නම් ඊට වඩා රටේ යම්කිසි දෙයක් සිද්ධ වේවි.
''කම්කරු දිනයට පෙර සෑම දේශපාලඥයෙක්ම තමන්ට එදිනට පෙන්විය හැකි බලපුළුවන්කාරකම ගැන හිතුවා. කම්කරුවාගේ තිබෙන ජීවිත තත්ත්වය දියුණු කිරීමට ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට, ඔවුන්ට වැඩ කිරීමට හැකි මානසිකත්වය සකස් කිරීමට කිසිදු දේශපාලඥයෙක් එක වචනයක්වත් ප්‍රකාශ කළේ නැහැ'' කම්කරු දිනය සැමරු සියලු දේශපාලුවන් ගැන මහාචාර්යවරයා අවසන් වසරට පැවසුවේය.