සයිටමයට එරෙහිව ගතවූ (17දා) විශ්වවිද්‍යාල සිසුන් ගෙන ගිය විරෝධතාව මර්දනයට පොලීසිය ක්‍රියා කළ ආකාරයට විරුද්ධව රජයේ වෛද්‍ය සංගමය (22දා) පැය 04 ක වැඩ වර්ජනයකි.
වර්ජනයේ අයිතිය වර්ජකයන් සතු මෙන්ම මහජන පීඩාව යටතේ මර්දනයේ වගකීම රජය සතු කාර්යයකි. ජනතාව ආණ්ඩු පත්කර ගන්නේ එක් එක් ආයතන හෝ සංවිධාන නැතහොත් කණ්ඩායම්වලට අවශ්‍ය පරිදි නීතිය මෙහෙයවීමට නොවන බව පොලීසිය පවසයි.
එසේම (17දා) සිය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ මහින්ද ආණ්ඩුව කළ පරිදි වර්ජකයන්ට වෙඩි නොතබන්නේ ඇයි දැයි ජනතාව රජයෙන් අසන බව සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
කෙසේ හෝ පවතින වර්ජන රැල්ල විමසීමේදී වර්ජනයක් යනු ජනතාව භීතියට පත්වන මානුෂීය හිංසනයක් බවට ජනතාව පවසන්නේ කඳුළු ගෑස්, කුණු වතුර,බැටන් සහ ගල්මුල් ප්‍රහාර මෙන්ම තමන්ද බේරීයාමට ගන්නා උත්සාහය හේතුවෙන් නිතර පත්වන හිංසනයන් සිහිපත් කර දෙමිනි.
පොලීසිය පවසන්නේ අධිකරණ නියෝගය නොතැකූ වර්ජකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ කතාවකි. එසේ තිබියදී නීතිය සහ ජීවත්වීමේ අයිතිය පිළිබඳ කතා කරන වෛද්‍යවරුන් අසරණ රෝගීන්ට ප්‍රතිකාර කිරීම වර්ජනය කරන්නේ වෛද්‍ය වෘත්තියේ කිනම් ගුණාත්මක ප්‍රමිතියක් යටතේ ද යන්න ජනතාව විමසති. පොලීසිය පහර දුන්නා නම් එය පොලිස්පති හෝ අදාළ අමාත්‍යවරයා සමග විසඳා ගත යුතු කරුණක් මිස ජනතාවගෙන් පළිගැනීමට හේතුවක් නොවන බව රෝගීහු ද පෙන්වා දෙති.
එසේ නැතහොත් නීතිගරුකව පැවැත් වූ අරගලයකට පොලීසිය අනීතිකව ප්‍රහාර එල්ල කළේ නම් එහිලා රටේ අධිකරණය හරහා යුක්තිය ඉටු කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබියදී රෝගීන් සහ සාමාන්‍ය පුරවැසියන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගනිමින් කරන වර්ජන ද්වේෂ සහගත ක්‍රියාවන් බවට ජනතාව පැත්තෙන් නැගෙන චෝදනාව වෛද්‍යවරුන්ට ඇසිය යුතුය.
දැන් වර්ජන රැල්ලට යමු. කොයිදේටත් වර්ජනය කරන තැනට වැඩබිමෙහි ගුණාත්මක බව පිරිහී ඇති බවට මතයකි. අනෙක ආණ්ඩු බලය හෝ දේශපාලන වශයෙන් ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ උත්සාහයක් වර්ජනයන්ට පෙළඹවීම තුළ ඇතැයි ආණ්ඩුව පැත්තෙන් චෝදනාවකි.
අනෙක වර්ජකයන්ගේ සංවිධාන සඳහා යම් යම් විදේශීය කඩාකප්පල්කාරී සංවිධාන හරහා යම් දේශපාලන උසිගැන්වීම් පවතින්නේද යන කුකුසද ආණ්ඩුවේ ඇතැම්හු අවධාරණය කරති.
ඒ අතර වැඩ නොකරන මිනිසුන්ට හෝ වෘත්තීය සමිති නායකයන්ට තමන්ගේ බඩවියත රැකගැනීම උදෙසා කවුරු හෝ පෙළගස්වා මොනවා හෝ කළා යැයි ලකුණු දමාගැනීමේ උප්පරවැටියක් ලෙස ද ජනතාව මෙවැනි සිදුවීම් අර්ථ ගන්වති.
කවුරු කොතැනක කිනම් වර්ජන සංවිධානය කළ ද එම ඉලක්ක ප්‍රජාව අතරද හැමකෙකුම වර්ජන අනුමත නොකරන බව පැවසේ. ඔවුන් එතැනට යන්නේ වර්ජන සංවිධායකයන්ගේ බලපෑම සහ ඇතිවිය හැකි හිංසා පීඩා වෙනුවෙන් මිස සැබැවින්ම වර්ජනය අනුමත නොකරන නිසා බව කාර්යාල තුළ කෙරන කතාබහ තුළ පැහැදිලි වෙයි.
එදා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මොර දුන් විශ්වවිද්‍යාල සිසුන් මෙදා රටේ මහපුටුවලට පත්වූ පසු ඔවුන්ට ඒ විරෝධාකල්පය හෝ නිදහස් අධ්‍යාපනයේ අයිතිය අමතක කරන බවට ජනතාවගෙන් චෝදනාවකි.
එදා අසීරුතා මැද ජීවත්වූ මිනිසුන්ගේ දරුවන් අන්ත අසරණයන්ගේ මුදලෙන් අධ්‍යාපනය ලැබ වෛද්‍යවරුන් බවට පත්වූ පසු චැනලිං මිස නිදහස් සුව සේවය පිළිබඳ ඔවුන්ට හැඟීමක් නැති බවද ඔවුහු පවසති. හැමතැනම සිදුවන්නේ අතීතයේ අරගලකාරි සටන් පාඨ මගින් දිනාගැනීමට උත්සාහ කළ විමුක්තිය නිලතල, බලතල සහ දේශපාලන ඇයි හොඳයිකම් වර්ධනය සමග දියාරුවී ගොස් නැවත අත දුන් පොඩි එකා වෙත පැන පැන හපා කන කතාවකි.
ජනතාවට වැඩ වර්ජනය කිරීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම විවිධ වෘත්තීය අයිවාසිකම් යටතේ මහජන ආරක්ෂාව සහ ආර්ථිකයට යටත්ව සහ තවදුරටත් යම් සීමාවන්ට යටත්ව තහවුරු කර තිබේ. නොමනා අරගල මර්දනය සඳහා මහජන පීඩා ආඥා පනතක් ද ඇත.
ඒ අතර ජනතාව අසන්නේ එදා මහින්ද සයිටමය ස්ථාපනය කරනවිට වීථි නොබැස එහෙයි කියූ වෛද්‍යවරුන් මෙදා එයට විරුද්ධ වන්නේ නම් එය දේශපාලන කරුණක්ද නැතහොත් එදා මහින්දගේ තුවක්කුවට බියෙන් සහ ඔහුගේ වරදානවලට යටත්ව මුනිවත රැක්කාද යන කතාවකි.
අනෙක් අතට ඇතැම් වෘත්තිය සමිති යහපාලන රජයට එරෙහිව සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් වීථි බැස්ස ද එදා ජනතාව හිංසනයට පත් කළ විදුලිය බිල හමුවේත්, කටුනායක රොෂාන්, වැලිකඩ බන්ධනාගාර සහ රතුපස්වල ඝාතනවලදී මුනිවත රැක්කේ ඇයි දැයි අසන පැනය ද තවත් සංවාද ගණනාවක් බවට පත්ව ඇත. “උනුත් එකයි.මුනුත් එකයි. කවුරුත් තමන්ගේ වාසියට” යන කතාව තුළ ජනතාව කිසිදු වර්ජනයක් අනුමත නොකරන තැනට පත්ව සිටීම ද බොහෝ විට අසන්නට ලැබෙන පුවතකි.
සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසු වර්ජනය පසුගිය (17දා) පැවැත්වෙන විට පොලීසිය කඳුළු වායු ප්‍රහාර එල්ල කරමින් එය විසුරුවා හැරියේය. සිසුන් එවැනි ප්‍රහාරයකට පෙර සූදානමකින් පැමිණි සිටි බව පැහැදිලි විය. මේ අරගලයේ අවසානය එකෙක් දෙන්නෙක් මරාගැනීම දක්වා දැයි ජනතාව අතන මෙතන රැඳී දෙනෙත් පිසමින් ඇසූ කතාව ද ඉදිරි අවදානමක් පිළිබඳ අනතුරු ඇඟවීමකි.
සිසුන් ප්‍රචණ්ඩකාරීන් බවට පත්ව ඇති අයුරු ඔවුන්ගේ හැසිරීම සහ කල් ක්‍රියාවන් සනාථ කරයි. ඒ බව තවදුරටත් සනාථ කරමින් ඔවුහු අධිකරණ වාරණ නියෝගයන්ද හාස්‍යයෙන් සහ තර්ජන ස්වරයෙන් ප්‍රතික්ෂේප කරති. එය වැරදි පූර්වාදර්ශයක් වන්නේ සයිටම් අර්බුදය තම අභිමතය අනුව ඉටුවන තුරු වර්ජනය අඛණ්ඩව සිදුකරන බවට කෙරෙන වෙනත් ප්‍රකාශ හේතුවෙනි.
එයින් හැඟෙන්නේ අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවද රටේ උගත් සිසුන් වැඩ කරන ආකාරයද ජනතාව අධිකරණ නියෝග නොසළකා හරින තැනට නීතිය හෑල්ලුවට ලක් කළ අවාසනාවන්ත කතාවකි. දේශයේ යහපැවැත්ම අපේක්ෂා කරන පාර්ශ්වයන් රටේ නීතිය නොසළකා බහුතරයක් වූ ජනතාවගේ දෛනික සමාජ ආර්ථික ක්‍රියාකාරකම්වලට හානියක් වන ලෙස හැසිරීම නීති ක්ෂේත්රයේ මෙන්ම උගතුන්ගේ ද බලවත් දෝෂදර්ශනයට ලක්වූ කරුණකි.
එසේම නීතිය සහ සාමය රැකීමට ඉදිරිපත් වන පොලීසියට ඇත්තේ මල් වෙනුවට ගල් බව මෙවැනි අරගල පැහැදිලි කරන බව පොලීසිය පවසයි. පියා පොලිස් නිලධාරියෙකු වුවත් මගේ පුතාත් මහජන පීඩාකාරී අරගලයක නිරවන්නේ නම් හෝ අධිකරණ නියෝගයක්ද තිබේ නම් සහ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි අරගලයේ සුන්බුන් අතරින් ඉදිරියට ඇදෙන පොලිස් නිලධාරියෙකු පැවසූ කතාව ද බැහැර කළ නොකළ යුතුය.
අධිකරණය හමුවට ගොස් නියෝග ගැනීමේදී පොලීසියට එරෙහිව නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් මතු කරන තර්කය වර්ජකයන් නොසලකා හැර ඇති සෙයකි. මහජන පීඩාවක් සිදු නොවූ තැනක එවැන්නක් සිදුවන බවට සහ විය හැකි බවට කරුණු අධිකරණයට ඉදිරිපත් කර මෙවැනි වාරණ නියෝගයක් ලබාගන්නේ කෙසේද යනුවෙන් ඔවුහු පෙන්වා දෙති.
ගතවූ ඇතැම් අවස්ථාවලදී එවැනි වාරණ නියෝග අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවලදී අධිකරණය එය ඉවතලමින් පැවසුවේ එවැනි මහජන පීඩාවන් සිදුවන්නේ නම් අවම බලය පාවිච්චි කර ඒවා සමනය කිරීම පොලීසියේ වගකීම මිස නිමිත්තක් මතුවීමට පෙර අධිකරණයට පැමිණීමෙන් අධිකරණයේ කාලය විනාශ කරන බවට කතාවකි. වර්ජකයන් එකී නෛතික රැකවරණය පිළිබඳ දැනුම්වත්වන බවක් පෙනෙන්නට නැත.
තවදුරටත් ජනතාව පවසන්නේ සයිටම් අර්බුදය හමුවේ ජනතාවට යම් චෝදනා යෝජනා සහ එකඟතාවන් තිබුණ ද ජනතාව පත්කරවන හිංසනය පීඩාව සහ අකාරුණික හැසිරීම තුළ සයිටමය කෙරෙහි අයථා ආකාරයෙන් නම්‍යශීලී බවක් වෛද්‍යවරුන් සහ වර්ජකයන් විසින්ම ජනතාව තුළ රෝපණය කිරීමට ක්‍රියාකර ඇති බවට චෝදනාවකි.
කෙසේ වුවද මේ හැම සිදුවීමක් දෙස බලා සිටින ජනතාවට විසඳා ගත යුතු ප්‍රශ්න ගණනාවකි. ජනතාවට සැබෑ වෙනසක් අත්පත් කරන බවට පුනපුනා පවසමින් භාෂණයේ සහ ප්රකාශනයේ අයිතියත් සපථ කර නිදහස් අධ්‍යාපනය සුවසේවය සහ ජීවත්වීමේ අයිතිය ලබාදෙනවා යැයි කී ආණ්ඩුව වසර තුනක් ගතවන තුරු ඒ වෙනුවෙන් ගත් පැහැදිලි ක්‍රියාමාර්ගයක් හෝ සම්පාදනය කළ ජාතික ප්‍රතිපත්ති මොනවා දැයි ජනතාව විමසති.
ආණ්ඩුවට හැමදාමත් කටින් ගසා ප්‍රශ්න දිනාගත නොහැකි බව දැන ගත යුතුය. අල්ල්ස, දූෂණය, වංචාව මර්දනය කිරීමට නොහැකිවීමත් අසීමිත මන්ත්‍රී වරප්‍රසාද නතු කරගැනීමත් ජන ජීවිතයට හිංසාකාරී බදු බර පැටවීමත් සමග ආණ්ඩුව මේවනවිට අසමත් යැයි ජනතාව තුළ චෝදනාවකි. ඒ අතරට වර්ජන රැල්ලක් එකතු වීම ද එතරම් යහපත් තත්ත්වයක් නොවේ. 2020 මැතිවරණය වැඩි ඈතක නොවන බව මෛත්‍රීට පෙනිය යුතුය.
හැමදාමත් හැමතැනම වර්ජන සිදුවන්නේ නම් ඒ කාගේ කිනම් වරදක් නිසා දැයි ඔවුන් යම් හැදෑරීමක් කර තිබේද? තිබේ නම් එයින් ලද පිළිතුරු අනුව අර්බුදයට විසඳුම් ලබා නොදී හැමදාමත් වර්ජකයන් මහමගට තල්ලු කරන්නේ එයින් ජනජීවිතය අඩාලවන බව නොදැන නොවේ දැයි ජනතාව පවසන යථාර්ථය රජයට ඇසිය යුතුය.
එහෙත් ජනතාව පවසන්නේ මේ කිසිවකින් සිසුන්ටත් වෛද්‍යවරුන්ටත් සයිටමයේ සිසුන්ටත් වැඩබිම් සේවකයාටත් ජනතාවටත් සාධාරණය ඉටුවේද යන සැකය පමණි. සිදුවන්නේ නැවත නැවත විකාශය වන අර්බුද රැසක් සමග රට අවුලෙන් අවුලට පත්ව ඇති පුවතකි.
දිගින් දිගටම රට තුළ මතුවන වර්ජන රැල්ල හමුවේ පැහැදිලි නිරවුල් සංවාදයක් සහ පොදු නිගමනයකට පැමිණීමට ආණ්ඩුවට නොහැකි යැයි ජනතාව තුළ පවතින කලකිරීම හේතුවෙන් රටේ සැබෑ සංවර්ධනයේ ඉලක්ක කරා ජනතාව පෙළඹවීම හෝ නිවැරදි මගකට ගමන් කර තිබේ දැයි පාලකයන්ට සහතිකයක් දිය හැකිද?
රටක පවතින දේශපාලනය, පරිපාලනය සහ වැඩකරන ජනතාවගේ නිරතුරු චෝදනා අරගල විප්ලව හමුවේ ගොඩනැගෙන නීතිය නොසලකා හැරීම හෝ ප්රචණ්ඩත්වය වර්ධනයවීම තුළ රටකට යහපාලනය ගොඩ නගා ගත හැකිද යන්න පාලකයන් මෙන්ම රටට ආදරය කරන ශ්‍රම සම්පතද නැවත නැවත සිතිය යුතුය.
වෛද්‍යවරුන්ට සයිටමයත් වැඩබිම් සේවකයාට වැටුප් විෂමතාවත් විපක්ෂ දේශපාලකයන්ට චීනය සහ ඉන්දියාවත් අර්බුදයක් වුවද ජනතාවට ඒවා ප්‍රශ්න නොවේ. වෘත්තිය ප්‍රමිතිය ගරුත්වය පිළිබඳ කතා කරන උගතුන් යැයි පෙනී සිටින මිනිසුන් තමන්ගේ හෘදසාක්ෂියට තට්ටු කළ යුත්තේ සැබැවින්ම මේ තමන්ගේ සැබැ ප්‍රතිරූපය දැයි යන පදනම තුළ බවට ජනතාව චෝදනා කරන්නේ හැමදාමත් සිදුවන බොරුව ඉදිරියේ ජනතාවටද නිහඬව සිටීමේ යම් සීමාවන් ඇති බවට කෙරෙන අනතුරු ඇඟවීම තුළය.
වර්ජකයන්ට වෙනම ස්ථාන පෙන්වාදීමට රජය යෝජනා කළේය. ජනාධිපතිවරයා වර්ජන මර්දනය සඳහා සරත් ෆොන්සේකාගෙන් කැමැති දැයි අසා සිටි බවට රාජිත කළ කතාවක් ද විවිධාකාරයෙන් අර්ථ ගන්වමින් පවතී. අසුවේ වර්ජකයන්ගේ ඉරණමද ඒ අතර වරින්වර අවදානම පිළිබඳ ඇඟවීම් කරයි.
වර්ජනය අයිතියකි. අයථා වර්ජන මර්දනය නීතියකි. නමුත් මේ දෙකට මැදින් තමා පත් කළ ආණ්ඩු රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන ජනතාවට මේ අයිතියෙන්ද නීතියෙන්ද කිසිදු සෙතක් සිදු නොවී ඇති බවට ඔවුන් නගන මැසිවිලි ජනාධිපතිවරයාට ඇසිය යුතුය.